ඕනෑම ක්ෂේත්රයක පැවැත්ම තීරණය කරන්නේ එම ක්ෂේත්රයේ නියැලෙන්නන්. එසේම එය වෘත්තීයමය තත්වයකට පත්වන්නේ හා පත්කරන්නේ තමන් නියැලි ක්ෂේත්රය පිළිබඳව හැදෑරීම් කරන්නන්. ලංකාවේ රංගන ක්ෂේත්රය ක්‍රමයෙන් අභාවයට යමින් පවතින්නේ හැදෑරීමෙන් තොරව, ශිල්පීය නිපුණත්වයෙන් තොරව ඒ ක්ෂේත්රයට පිවිසෙන්නන් හා කුමනාකාර මාර්ගයකින් හෝ පිවිසී හෝ කිසිදු හැදෑරීමක් නොකරන්නන් බහුතරය බවට පත්වීම නිසා.
ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ මෙය කැපී පෙනෙන ලක්ෂණයක්. ඒවායේ රඟපාන නලු නිලියන්ගේ ඉංගිතයන්, ඉරියව්, චලනයන් හා දෙබස් උච්චාරණයන් හරියට නිරීක්ෂණය කලොත් මෙය හොඳින් වටහා ගන්න පුලුවන්. මේ ආකාරයට ජරාජීර්ණ බවට පත්කල මෙම ක්ෂේත්රයේ හදිසියේ හෝ විශිෂ්ට ගණයේ රඟපෑමක් නියැලුනොත් ඒ රංග කාර්ය හැදෑරූ හෝ හදාරමින් සිටින ශිල්පියෙකු පමණයි.
මේ අදහස මතුවූයේ, ඊයේ රාත්‍රියේ ලකා ගේ "කූඹියෝ" නාට්‍ය නරඹා බොහෝ ප්‍රේක්ෂකයන් මුහුණුපොතේ කල සටහන් රැසක් කියවීම නිසා. එහිදී සැමගේ අවධානය යොමුවී තිබුණේ පීටර් ද අල්මේදා රඟපෑ මල්දෙණිය නම් වූ දේශපාලකයාගේ චරිතය කෙරෙහි. එයට හේතුව ඔහු එම සුලුවේලාව තුල දැක්වූ රංග ප්‍රතිභාව. එය ඉබේ පහළ වූවක් නොවේ. පීටර් යනු ඉංග්‍රීසි නාට්‍ය වේදිකාව අතික්‍රමණය කල රංගන ශිල්පියෙක්. ඔහුගේ ඉංග්‍රීසි භාෂා දැනුම විශිෂ්ටයි. ඔහුගේ කියවීම් ප්‍රමාණාත්මකව විශාලයි. ගුණාත්මකව බරයි. ලෝක රංගන ක්ෂේත්රය, සිනමාව වේදිකාව ගැන ඔහුගේ දැනුම ප්රාමාණිකයි.
මේ සියලු දේ ඔහු නෙලා ගන්නේ හැදෑරීම තුලින්. නව කියවීම් තුලින්. ඒ නිසයි ඔහු වෙනස් වෙන්නේ. ඔහු බලන බැල්මක, හැරෙන ඉරියව්වක, උච්චාරණය කරන දෙබසක මේ විශිෂ්ටත්වය රැඳී තිබෙනවා. සිංහල භාෂිත රංගන ක්ෂේත්රයේ බහුතරයක් තුල මෙය දකින්න නෑ. ඒ කියන්නේ හැදෑරීම, කියවීම, අභ්‍යාස කිරීම ඔවුන්ට අපුලයි. ඉතා වේගයෙන් ජනප්‍රිය වී මුදල් උපයා, ඊගෝ ගොඩනගාගෙන, සිවිල් බලය කොහෙන් හෝ අත්පත් කරගැනීම මේ අයගේ මූලික උවමනාව. දේශපාලකයන් පසුපස යාමත් එහි නූතනම ප්‍රවේශය.
සිංහල භාෂිත මෙම ක්ෂේත්රයට රංගන ශිල්පීන් බහුතරය පිවිසෙන්නේ කෙලෙසද? එයත් විශේෂ ව සලකා බැලිය යුතු කාරණයක්. එක්කෝ අධ්යක්ෂවරයාට ඇති හැඳුනුම්කම හෝ ඇඟෑලුම්කම. නැත්නම් මවගෙන්, පියාගෙන් පසු උරුමය ලෙසින්. නැතිනම් ධනය වැයකිරීමෙන් වැනි අතිශය කෙටි මාර්ග වලින්.
මේ නිසයි හැදෑරීමක් සහිත ගැඹුරු කියවීමක් සහිත රංගන ශිල්පීන් මේ කසල ගොඩින් ඉහළට මතුවී පෙනෙන්නේ. ඊයේ පීටර් ද අල්මේදා ක්ෂණිකව මතුවී පෙනීමේ නොකියවෙන කාරණය වන්නේ එයයි. එය අපට වෙනස්ව දැනෙන්නේ ඒ නිසයි. එහි හැඟවුම්කාරකය වන්නේ හැදෑරීමෙන් තොරව ඕනෑම ක්ෂේත්රයක පැවැත්ම පැතැලි බවයි
© කපිල එම්. ගමගේ