එච්.ඒ. කරුණාරත්න
ඔබේ සම්පූර්ණ නම
හෙට්ටිආරච්චිගේ කරුණාරත්න
උපන්නේ
1929 අප්‍රේල් 20 දා
ගම
බණ්ඩාරගම කොතලාවල. අපේ ගම පාරම්පරික කලාකරුවන්ගේ නිජබිමක්. විශේෂයෙන් කුඹල්කරුවන්ගේ. ඔවුන් විශිෂ්ට කලාකරුවෝ. ඔවුන් ඉගෙන ගත්තේ ශාස්ත්රාලවලින් නෙමෙයි. ස්වභාව ධර්මයෙන්. දැන් බලන්න ගඟක් අද්දර තියෙන උණ පඳුරක්. කොයි තරම් ලස්සන රේඛා එහි තියෙනවද? මොනතරම් රිද්ම රටා එහි තියෙනවද? ස්වභාව ධර්මයේ හැඟවුණු රහස් තියෙනවා.
අපි ඒක මනසින් දකින්න ඕනෑ. ඇහැට දැක්කට පේන්නේ නැහැ. මම වුණත් කලාව ඉගෙන ගත්තේ සොබා දහමින්. අපේ අම්මලා මිදුල අතුගාන්නේ මොනතරම් රටාවක ද? ඔවුන් චිත්‍ර කලාවක් දැනන් හිටපු අය නෙමෙයිනේ.
ඔබේ පියා කවුද?
හෙට්ටිආරච්චිගේ පබිලිස් පෙරේරා. තාත්තා රබර් වෙළෙඳාම කළේ. කඩ සාප්පු කීපයකුත් දාගෙන හිටියා. ඒත් අපි බොහෝම කටුක ජීවිතයක් ගත කරපු අය. ඒක තමයි පස්සෙ කාලෙක අපේ ජීවිතයට ලොකු ශක්තියක් වුණේ.
ඔබේ මව?
බමුණුසිංහගේ සුබලිස් නෝනා.
පවුලේ කී දෙනයි ද?
හතර දෙනයි. මම තමයි බාලයා.
කොහෙටද පාසල් ගියේ?
හොරණ තක්ෂිලාවට. මහාචාර්ය හේමපාල විජේවර්ධන, කරුණාසේන ජයලත්, ඩී.බී. කුරුප්පු මගේ සමකාලීනයෝ. 1952 දී මම රජයේ ලලිත කලායතනයට (හේවුඩ්) බැඳුණා.
රජයේ ලලිත කලායතනයෙන් ඔබ ලබාගත් දේ මොනවද?
විශිෂ්ට ගණයේ චිත්‍ර ශිල්පීන්ගේ ඇසුර ලැබුවා. ලෝකයේ විවිධ චිත්‍ර කලා සම්ප්‍රදායන් ගැන, ශෛලීන් ගැන දැනගත්තා. ජේ.ඩී.ඒ. පෙරේරා, ඩේවිඩ් පේන්ටර්, ස්ටැන්ලි අබේසිංහ වගෙ අය තමයි අපේ ගුරුවරු. ඔවුන් මට උදව් කළා. මාව ඉස්සරහට තල්ලු කළා. විශේෂයෙන් ස්ටැන්ලි අබේසිංහ දැක්කා, මම කඩාගෙන ඉස්සරහට යනව කියල. ඔහු මාව ඉදිරියට තල්ලු කළා.
ඔබ ජපානයට ගියා නේද උසස් අධ්‍යාපනයට?
ඔව්. ලලිත කලා හා සංගීතය පිළිබඳ තෝකියෝ විශ්වවිද්‍යාලයට මං බැඳුණා. මං එහිදී විශේෂයෙන් ඉගෙන ගත්තේ ලිතෝග්රැෆික් ගැන. මං ලංකාවට ඇවිත් කරපු මුල් ම චිත්‍ර ප්‍රදර්ශනයේදී මේ ලිතෝග්රැෆික් නිර්මාණ ඉදිරිපත් කළා. ඒක බලන්න ආපු මහගමසේකර මං ගැන විශේෂ ලිපියක් පත්තරේට ලිව්වා මට මතකයි.
ඒ කාලේ මාර්ටින් වික්‍රමසිංහ පවා මගේ චිත්‍ර ගැන ලියලා තියෙනවා. ඔහුගේ පොත්වල පිටකවරවලටත් මගේ චිත්‍ර ඉල්ලගෙන තියෙනවා. වික්‍රමසිංහ හරි අපූරු චරිතයක්. ඔහු නාවල පිහිටි තමාගේ ගෙවත්තේ පොඩි වැවක් හදාගෙන ඒකේ ඔරු පදිනවා. ඔහු මනසින් ‘මඩොල් දූව’ ක් එතැන මවාගෙන ජීවත් වුණා. එහෙම කරන්න පුළුවන් අපූරු මිනිසෙකුට පමණයි.
එතැනින් ඔබ ඇමෙරිකාවට ගියා ෆුල්බ්රයිට් ශිෂ්‍යත්වයකින්?
ඔව්. ඒ 1965 දී. නිව්යෝක්වල ප්‍රැට් (PRATT) ආයතනයට. මං එහිදී විශේෂයෙන් ඉගෙන ගත්තේ ග්‍රැෆික් ආට්.
ඒ වෙනකොට ඇමෙරිකාවේ ජැක්සන් පොලොක්, පීට් මොන්ඩ්‍රියාන්, විලෙම් ඩී. කුනිං වගේ චිත්‍ර ශිල්පීන් නව සම්ප්රදායක් ගොඩනඟලා තිබුණ නේද?
ඔව්. වියුක්ත ප්රකාශනවාදය (ඇබ්ස්ට්රැක් එක්ස්ප්රෙෂනිසම්)
කොහොමද ඒ සම්ප්රදාය ඔබට බලපෑවේ?
ඇබ්ස්ට්රැක් චිත්‍ර මං ජපානයට යන්නත් කලින් කොටින් ම හේවුඩ් එකේදී ඇඳලා තියෙනවා. ඒ කාලේ හේවුඩ් එකේ සමහරු මට කිව්වේ ‘පිකාසෝ’ කියලා. චිත්‍ර අඳින්න බැරි අයටයි එහෙම කිව්වේ. ඇත්තටම මට නිග්‍රහ කරන්නයි ඔවුන් ඒ විදියට කිව්වේ. ඒත් මං ඒක නම්බු නාමයක් විදියට සැලකුවා. මං කඩාගෙන ඉස්සරහට යන මිනිහෙක්. ඒක ඇතැමුන්ට දරාගන්න බැරිව ගියා.
එතකොට වියුක්ත ප්රකාශනවාදය අපේ රටෙත් තිබුණද?
පන්සලකට ගියාම විහාර ගෙයි නෙළුම් මල් කී ආකාරයකට ඇදලා තියෙනවද? ඒත් ගැමියෝ ඒක රසවිඳිනවා. ඔවුන් කවදාක්වත් අහන්නේ නැහැ, මෙහෙම නෙළුම් මල් තියෙනවද කියලා. මේක ඇබ්ස්ට්රැක් කලාවක්. දැන් බලන්න භේරුණ්ඩ පක්ෂියා. එහෙම කුරුල්ලෙක් ලෝකයේ කොහෙවත් නැහැනේ. නමුත් අපේ පැරැණි සිත්තරු භේරුණ්ඩ පක්ෂියෙක් ඇදලා තියෙනවා. ඒක ඔවුන්ගේ පරිකල්පනය. එතැනත් තියෙන්නේ ඇබ්ස්ට්රැක් ආට්. අපේ පැරැණි සිත්තරු අද අපි අඳින චිත්‍ර දැක්කොත් අහයි ඔයාලා තාමත් අඳින්නේ එදා අපි ඇඳපුවම ද කියලා.
ඇබ්ස්ට්රැක් චිත්‍ර තේරෙන්නේ නැහැ කියලා සමහරු කියනව අපිට ඇහිලා තියෙනව.
ඇහින් බැලුවොත් තේරෙන්නේ නැහැ. අපිට ඕනෑ දේ ඇහින් බලන්න බැහැ. අපි චිත්‍රයක් මනසින් බලන්න ඕනෑ. එතකොට තමයි යමක් තේරෙන්නේ. මම සාමාන්‍යයෙන් මගේ චිත්‍ර නම් කරන්න කැමැති නැහැ. ඊට වාචිකව මැදිහත් වෙන්න කැමැති නැහැ. එතකොට වින්දනය කොටු වෙන්න පුළුවන්. රසිකයාගේත් පරිකල්පනයක් තියෙනවා. චිත්‍රයක් බහු අර්ථ නංවනවා. කැමැති අදහසක් ඇති කරගන්න රසිකයාට අයිතිය තියෙනවා.
ඔබේ චිත්‍ර බුදු දහමත් එක්කත් සම්බන්ධ කරලා සමහරු අදහස් දක්වලා තියෙනව.
ලෝකයේ හිටපු ශ්‍රේෂ්ඨතම ඇබ්ස්ට්රැක් ආටිස්ට් බුදුහාමුදුරුවෝ. ඇයි උන්වහන්සේ හස්ත මුද්‍රාව පාවිච්චි කළේ? උන්වහන්සේට කියන්න වචන තිබුණේ නැද්ද? ‘තමාව දකින්නා ධර්මය දකී’ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. බලන්න ඒකම ඇබ්ස්ට්රැක්නේ.
ඇමෙරිකාවේ ඉඳන් ආපහු ලංකාවට ආවට පස්සේ ඔබ මොකද කළේ?
මම කාලයක් (1975 - 1989) සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ කථිකාචාර්යවරයෙක් විදියට වැඩ කළා.
චිත්‍ර කලාව උගන්වන්න පුළුවන් දෙයක් ද?
බැහැ. කලාව තමයි අපිට උගන්වන්නේ. ඇත්තටම මම කිසිවක් ඉගැන්වූවේ නැහැ. මම කළේ මඟ පෙන්වීමක් විතරයි. ළමයෙක් චිත්‍රයක් අරන් ආවම මම එහි හොඳ පැත්ත කියනවා. අනෙක් පැත්ත කියන්නේ නැහැ. මේ ටික හොඳයි කියන කොට ඉතුරු ටික නරකයි කියන එක ශිෂ්‍යයා තේරුම් ගන්න ඕනෑ.
චිත්‍ර කලාවේ දේශීයත්වයක් ගැන ඔබ විශ්වාස කරනවද?
චිත්‍ර කලාව කියන්නේ විශ්ව භාෂාවක්. කැලණි ගඟ, මහවැලි ගඟ, වලවේ ගඟ ඔය මොන ගඟ ගිහිල්ලත් වැටෙන්නේ මුහුදට. ඒ වැටුණට පස්සේ කාටවත් කියන්න පුළුවන්ද මේක අහවල් ගඟේ වතුර කියලා. කලාවත් ඒ වගේ.
ඔබ දැන් වැඩිය චිත්‍ර ප්‍රදර්ශන පවත්වන්නේ නැහැ. ඒ ඇයි?
මම අදටත් අඛණ්ඩව චිත්‍ර අඳිනවා. උදේ හයහමාර හතේ ඉඳන් හැන්දෑවේ පහහමාර විතර වෙනකම් අඳිනවා. මං චිත්‍ර දහස් ගාණක් ඇඳලා තියෙනවා. ඒත් මගේ චිත්‍රයක් නිකම් හෝ මුදලට දෙන්න දැන් මට ලෝබයි. හරියට හදා වඩා ගත් දරුවෙක් පිටට දෙනව වගේ. මම දැන් කරන්නේ මගේ චිත්‍ර මමම තියාගෙන රසවිඳින එක. බුදු හාමුදුරුවෝ බුදු වෙලා සත් සතියක් බලන් හිටියයි කියනවනේ. ඒ බෝධියට කෘතගුණ දැක්වූවාටත් වඩා තමන් ලබාගත් දේ වින්දනය කිරීමක් යැයි මම හිතනවා. චිත්‍රයක් අඳින එකත් හරියට භාවනාවක් වගෙ දෙයක්. කලාවට සම වැදුණම අපිට බඩගිනි දැනෙන්නේ නැහැ. ඒ; ශරීරයෙන්ම කිසියම් ශක්තියක් ගොඩනංවන නිසා.
ඔබේ අති විශිෂ්ට නිර්මාණයක් කටුනායක ගුවන් තොටුපළේ මගී පර්යන්තයේ කාලයක් තිබුණා.
ඔව් ඒ ගොඩනැඟිල්ල කැඩුවනේ. ඒකෙන් ඒ චිත්‍රය නැතිවෙලා ගියා. මගේ තවත් නිර්මාණ පාදුක්ක චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ, ජාතික රූපවාහිනියේ, ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ, වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ මිෂන් එකේ තියෙනවා. පිටරටවල හුඟක් කලා කෞතුකාගාරවලත් තියෙනවා.
ජපානයේ ෆුකෝකා කලා කෞතුකාගාර පදනම ඔබේ චිත්‍රයක් ලක්ෂ ගණනක මුදලකට මිලට ගත්ත බව අපි අහලා තියෙනවා.
ඔව්. ඔය කියන්නේ මගේ ‘රිදම්’ කියන චිත්‍රය. ඇත්තටම ඔවුන් මගේ චිත්‍ර දෙකක්ම මිලට ගෙන තිබෙනවා.
අපේ රටේ දැනට ජීවමාන සිටින විශිෂ්ටතම සිත්තරා ඔබ කියන එකයි ඒකමතික පිළිගැනීම.
එහෙම කියනකොට මට ආඩම්බරයක් දැනෙන්නේ නැහැ. මම තව තවත් නිහතමානි වෙනවා. ජපානයේ පොතක් ගහලා තියෙනවා ‘කන්ටෙම්පරරි ඒෂියන් පේන්ට්’ කියලා. ඒකේ ශ්‍රී ලාංකේය චිත්‍ර ශිල්පියකුට ඉන්නේ මම විතරයි.
ඔබේ දැක්මට අනුව කවුද ඔබේ විශිෂ්ටතම චිත්‍ර ශිල්පියා?
එක්කෙනෙක් කියලා නැහැ. හැමෝම විශිෂ්ටයි. පොඩි ළමයා පවා හරි ලස්සනට, නිර්මාණශීලිව චිත්‍ර අඳිනවා. ඇත්තටම ඕනැ කෙනකුට චිත්‍ර අඳින්න පුළුවන්. නමුත් චිත්‍රයක් කතා කරන්න අඳින්න හරි අමාරුයි. ඔබට පුළුවන් මේ බිත්ති ඔරලෝසුව ගලවලා ආයේ හයි කරන්න. ඒත් වැඩ කරන්නේ නැහැ. ඒක වැඩ කරන්න නම් ඔරලෝසු හැදීමේ කාර්මික ශිල්පය දන්න කෙනෙක් ඒක හදන්න ඕනැ.
ඔබේ උපරීමය ලෙස ඔබ දකින්නේ මොකද්ද?
කලාකාරයා කියන්නේ කන්දක් නඟින පුද්ගලයෙක්. කන්ද පාමුල හිටියම අපිට ඒ අවට තියෙන දේ පේනවා. ඒත් කන්ද නැග්ගම සියල්ල නොපෙනී යනවා. ඒක එකම විශ්වයක්. හරිම සරලයි. ඒක සරල බවේ උච්ච අවස්ථාව. එතකොට අපිට පුදුම සුවයක් දැනෙන්න පටන් ගන්නවා. හරියට සිරිපාදේ නැග්ග වගේ. කලාකාරයාගේ උපරීමය තියෙන්නෙ එතැන.
ජීවිතය ගැන ඔබ මොකද හිතන්නෙ?
මගේ ජීවිතය පටිසෝතගාමියි. මං උඩුගං බලා යන කෙනෙක්. මං කරන්නේ කලාවෙන් ‘ඇත්ත’ ප්‍රකාශ කිරීම. එතැනදි අපිට ගුටි කන්න සිද්ධ වේවි. මොකද ඒක හුඟ දෙනකුට දිරවගන්න බැහැ. බුදුන්ටත් ගල් පෙරළුවනේ. ක්‍රිස්තුන් වහන්සේටත් කටු ඔටුනු පැලැඳුවානේ.
එතකොට දේශපාලනය? ඇරිස්ටෝටල් කියලා තියෙන්නේ පුළුල් අර්ථයෙන් ගත්තම මිනිසා දේශපාලන සත්ත්වයෙක් කියලනේ.
මේක දෙකක්. කොයි විදියකින්වත් මේ දෙකේ සම්බන්ධයක් නැහැ.
ඡන්දය දෙන එක විතර ද සාමාන්‍යයෙන් කරන්නෙ?
ඒකත් සමහර වෙලාවට කෙරෙන්නේ නැහැ.
ඇයි ඔබ වගේ කලාකාරයෙක් කලාසූරි, කලාපති, විශ්ව ප්‍රසාදිනි වගේ සම්මාන පිළිගන්නෙ? ඔබට ස්වාධීනව ඉන්න පුළුවන්නේ?
ඒක ශක්තියක්. කලාකරුවන් අගය කිරීම වැදගත් ය කියා මා හිතනවා.
ඔබේ බිරිය ගැන යමක් කියන්න?
කසුකෝ නකයාමා.
ජපන්?
ඔව්.
ඔබ ජපානයේ ඉද්දිද යාළු වුණේ?
ඔව්. ආදරයට ඉතිං තැනක් කියලා නැහැනේ.
හරියට ‘මළගිය ඇත්තෝ’ නවකතාව වගේ?
ඒකෙත් ඉන්නේ සිත්තරෙක් නේද? හැබැයි ඒ පොත පළවෙච්ච අවුරුද්දෙ තමයි (1959) මම ජපානයට ගියේ. ඒ නිසා ඒ පොතයි මගේ ප්‍රේමයයි අතර කිසිම සම්බන්ධයක් නැහැ.
ඔබ විවාහ වුණේ මොන අවුරුද්දෙ ද?
1960 දී.
දෙදෙනා අතර සංස්කෘතික ප්‍රශ්න එහෙම ඇතිවුණේ නැද්ද?
නැහැ. දෙකම බෞද්ධ රටවල්නේ. සමානකම් හුඟක් තියෙනවා.
ඇයට සිංහල පුළුවන් ද?
ඇය ලංකාවේ ජීවත්වෙලාම දැන් අවුරුදු 50 කටත් වැඩියි. එයාට මට වඩා සිංහල පුළුවන්.
ඔබේ දරුවන්?
තුන්දෙනයි. ඔවුන් විවාහකයි. ඔවුන්ටත් දරුවෝ ඉන්නවා.
ජපන් ගැහැනියයි, ශ්‍රී ලාංකේය ගැහැනියයි අතරේ ඔබ කිසියම් වෙනසක් දකිනව ද?
මොන? කොහෙ හිටියත් ගැහැනු කවුරුත් එකයි.
සුනිල් මිහිඳුකුල