මෑතකදී මට නරඹන්නට ලැබුණු සිංහල චිත්‍රපට අතුරින් විශිෂ්ට නිර්මාණයක් නම් කරන ලෙස යමෙකු මගෙන් ඉල්ලා සිටියහොත් මම කිසිදු සැකයකින් තොරව විසාකෙස චන්ද්‍රසේකරම්ගේ 'පාංශු' ගැන කියමි. ඒ මන්ද? ඇතැම් විට අප සමාජයක් ලෙස අමතක කර දමන්නට ආශා කරන වේදනාකාරී අතීතයක් අතිශය තියුණු සහ ප්රචණ්ඩ ලෙස අපගේම සමාජ හෘදය සාක්ෂිය ඉදිරියට කැඳවන්නට 'පාංශු' සමත්වන බැවින්ය. එම අතීතය දෙස හෙළන සිනමාත්මක ප්‍රත්‍යාවලෝකනය තුළින් අපගේ වර්තමාන සමාජ ජීවිතයේ ඓතිහාසිකත්වය අපට අභිමුඛ කරවන බැවින්ය.
1987-89 යුගයේ සමාජ දේශපාලන ලෝකයත් සිංහල ග්‍රාමීය පවුල් කිහිපයක ක්ෂුද්‍ර ජීවිතයත් අතර ප්රතිවිරෝධතා 'පාංශු' තුළ සංකීර්ණ ලෙස ප්‍රකාශයට පත්වේ. එම ප්රතිවිරෝධතා පෙරළා චිත්‍රපටයෙන් මෙපිට අපගේ සමාජ සබඳතා සමග සක්‍රීයව අතිපිහිත වේ.
අසූව දශකයේදී අප වළ දමන්නට අසමත් වූ සමාජමය සාපයක් තවමත් අප අතර භූතාත්ම වේශයකින් සැරිසරයි. ඒ පීඩනයට පත් ග්‍රාමීය දිළින්දන් තමන් වෙතටම මුදා හළ අන්‍යොන්‍ය වෛරයේ සහ ප්රචණ්ඩත්වයේ සාපයයි. මේ භූතාත්මය පරිකල්පනීයව 'විදේශීය' සතුරෙකු වෙතට ප්රක්ෂේපණය කරන්නට ඉන්පසුව උතුරේ යුද්ධය මාවතක් සැකසීය. අසූව දශකයේ දකුණේ දේශප්‍රේමීන් සහ ඔවුනගේ මර්දනීය අනෙකා වූ රාජ්‍යයේ මර්දන උපකරණ අතර නරුමවාදී සහසම්බන්ධයක් ('අපේකමක්') ගොඩ නැගීමට යුද්ධය ඉඩ සැලසීය; අසූව දශකයේ දකුණේ පීඩිතයන් 2006 දී පීඩකයන්ගේ ආශීර්වාදකයන් බවට පරිවර්තනය වූහ. ඒ එක් අතකින්, ඔවුන් සවිඥානකව ගණුදෙනු බේරා නොගත් අතීතය විස්මෘතභාවයේ අන්ධකාර තිමිර පටලයෙන් වසා දැමීම මගින්ය; අනෙක් අතින්, 'විදේශික' සතුරා නොහොත් අවි ගත් උතුරේ ග්‍රාමීය දිළින්දන් වෙතට ස්වකීය සාමූහික ප්රචණ්ඩත්වයේ භූතාත්මය බහීෂ්කරණය කිරීම මගින්ය. මේ සාමූහික ප්රචණ්ඩත්වයේ සාපයෙහි අද්භූත ප්රභවය වූයේ සමාජ සබඳතා තුළට වේගයෙන් කඩා වැදුණු වෙළඳපලකරණය වී නම්, එහි දෘෂ්ටිවාදීමය ප්රකාශනය වූයේ ජනවාර්ගික සහ ආගමික ජාතිකවාදයයි. මේ සැකෙවින් පසුගිය දශක හතරක කාල පරිච්ජේදය තුළ අපගේ සමාජ ඉතිහාසයේ කතාවයි.
'පාංශු' එම කතාව සිනමාවට නගන්නේ එතුළ අන්තර්ගත ප්රතිවිරෝධතාවන්ගේ සංකීර්ණත්වය මනාව ග්‍රහණය කොට ගනිමින්ය. රජයේ මර්දන උපකරණවල ඍජු මැදිහත්වීමෙන් අතුරුදහන් කරන ලද තම පුතාව සොයමින් යන මව එයට වගකිව යුතු හමුදා නිලධාරියාට සේම ඔහුගේ නූපන් දරුවාටද සාප කරයි; පුතාව රාජ්‍ය විරෝධී දේශපාලන කටයුතුවලට සම්බන්ධ කරගත් ඔහුගේ මිතුරාටද ඇය වෛර කරයි. එම මිතුරා බබානෝනා ඉදිරියේ වරදකාරී හැඟීමකින් යුක්තව හැසිරෙන අතරම කලබල සමයේදී වලදමන ලද ආයුධයක්ද සොයමින් සිටී. අතුරුදහන් කර දමන ලද දේශපාලන ක්‍රියාකාරිකයා තම අසල්වාසී කාන්තාවක ඝාතනය කිරීමට ඍජුව සම්බන්ධ බව හැඟවේ. ඒ අනුව එම චරිතයද 'අහිංසක' නැත. හමුදා භටයා සේම දේශපාලන ක්‍රියාකාරිකයාද 'ඉහළින්' ආ අණක් ක්‍රියාවට නගන උපකරණ පමණි. දෙදෙනාම වෙනස් ආකාරවලට තම ක්‍රියාවන් වෙනුවෙන් ආත්මීයව වද විඳියි. බබානෝනා රාජ්‍යය ඉදිරියේ සේම රාජ්‍ය නොවන සංවිධාන ඉදිරියේදීද නොසලකා හැරීමට සහ ආන්තිකකරණයට ලක්වේ. ඇයගේ මානව අයිතීන් නීතිඥයා ඇයට සලකන්නේ හමුදා නිලධාරීන් තරමටම සැර පරුෂ ලෙසය; නමුත්, ඔහුද වරෙක ඇය වෙනුවෙන් රහසේ වැළපෙයි.
මේ සියලු සිදුවීම් දිග හැරෙන්නේ ග්‍රාමීය දරිද්‍රතාව, කුල පීඩනය, රාජ්‍ය හා රාජ්‍ය විරෝධී මර්දනය යනාදිය අයත් සංකීර්ණ සංධර්භයක් තුළය. මේ කිසිදු චරිතයක් ඒකාකෘතික නැත; ඒවා රඟ දැක්වෙන සමාජ ඓතිහාසික වේදිකාවද එලෙසය. මෙහි එන ගම සහ ගම්මුන් හුදෙක් යම් 'විදේශික' මර්දනකාරීත්වයක හෝ පීඩනයක ගොදුරු නොවේ; මර්දනීය සහ පීඩක සම්බන්ධතාවල සක්‍රීය ඒජන්තයන්ය. අතුරුදහන් කරන ලද දරුවන් සොයා වැළපෙන මව්වරුන්.., තම සමීප අනෙකාට එරෙහිව ප්රචණ්ඩත්වය මුදා හළ ග්‍රාමීය දිළින්දන්.., රාජ්‍යයයෙන් සේම රාජ්‍ය-විරෝධීන්ගෙන්ද, රාජ්‍ය-නොවන අවකාශයෙන්ද පරාරෝපනය වන මිනිසුන්.., ගනුදෙනු බේරා නොගත් අතීතයේ බියකරු මතකයන් සමග ජීවත්වන වර්තමානයක්.., අපේක්ෂා විරහිත අනාගතයක්...මේ අසූව දශකයේ අග භාගයෙන් පසුව (ඇතැම් විට ඊටත් පෙර සිට) අපගේ සමාජ ජීවිතයේ ඉරණම පිලිබඳ සිනමාත්මක ප්රකාශනය නොවේද?
'පාංශු'හි සිදුවීම්වල ගලා යාම තුළ සහ පෙරලා එම සිදුවීම්වලට එහි එන චරිත දක්වන දයලෙක්තික සබඳතා තුළ සිදුවීම් සේම චරිතද පරිවර්තනයට ලක්වේ. එනයින් ආරම්භයේදී අපේක්ෂා නොකරන ලද දිශානතියකට සහ ඉරණමකට සමස්ත කෘතිය ගමන් කරයි. මේ හැරවුමේ තීරණාත්මක මංසන්ධිය වන්නේ පීඩනයට පත් ගැහැණියක් වෙනස් (සහ තම සහකරුද කතෘත්වය දැරූ) පීඩනයකට ගොදුරු වූ තවත් කාන්තාවකට කරන ආයාචනයකි. පසමිතුරු කඳවුරු දෙකක සිට ආත්මීයව විඳවන පීඩිතයන් දෙදෙනෙකුගේ දෙනෙත් මුල්වරට මුණ ගැසේ. ශිෂෙකියානු අරුතින් 'පංති විඥානයේ' මේ රැඩිකල් නිමේශයට පණ පොවන්නේ නදී කම්මැල්ලවීරගේ විශිෂ්ට රංගනයයි. අවසානයේදී රාජ්‍යය සේම රාජ්‍ය-විරෝධී සහ රාජ්‍ය-නොවන අවකාශයද අසමත් වූ තැනක, නොසලකා හරින ලද පරම්පරා තුනක ගැහැණුන් තිදෙනෙකු (බබානෝනා, හමුදා භටයාගේ බිරිඳ සහ ඇගේ ළදරු දියණිය) එතෙක් ගනුදෙනු බේරා නොගන්නා ලද ග්‍රාමීය පීඩිතයන්ගේ අන්‍යොන්‍ය ප්රචණ්ඩත්වයේ සාපකාරී භූතාත්මය වල දැමීමේ ඒජන්තයන් බවට පත්වේ.
'පාංශු' තුළින් ගම්‍ය වන දේශපාලන සහ කලාත්මක ගතිකයන් ගැන කොතෙකුත් විවේචනාත්මක අදහස් අපට තිබිය හැකි වුවත් ඒ සියල්ලට පෙර මේ විශිෂ්ට නිර්මාණය පිලිබඳ අවංක සහෘද ඇගයීමක් කරන්නට අප අමතක නොකළ යුතුය. මේ කෘතිය මෙකල අධිපති සංහිඳියා කතිකාවෙන් සහ විනිශ්චයවාදී විචාර සම්ප්රදායන්ගෙන් බේරා ගන්නේ කෙසේද යන්න අප හමුවේ ඇති පළමු අභියෝගයයි. එයට ශක්තියක් වනු පිණිස චන්ද්‍රසේකරම් ඇතුලු නිර්මාණ ශිල්පීන් හට ඔවුනගේ වෑයම වෙනුවෙන් මම හිස නමා ආචාර කරමි.
-සුමිත් චාමින්ද