තයෝන්ට හිටිය එකම දුවණිය තමයි හයිපතියා. ඇය උපදින්නේ ක්‍රි.ව 350 හෝ 370 දී බවයි කියැවෙන්නේ. සමකාලීන ගැහැණුන් ගෙදර දොර වැඩකටයුතුවලට සීමා වෙද්දි, හයිපේෂියා ඉගෙන ගන්න ඇතන්ස් නුවර බලා යනවා. ප්ලේටෝ, ඇරිස්ටෝටල් සහ ප්ලෝටිනස් යන දාර්ශනිකයින් එක්කර තබපු දැනුමෙන් සන්නද්ධ වෙන හයිපතියා, තමන්ගේ පියාගෙන් ගණිතය සහ තාරකා විද්‍යාව හදාරනවා. ඇය පසුකාලෙක ඇලෙක්සැන්ඩ්රිනයාවේ ප්ලේටෝනියානු පාසලේ ප්‍රධානියා වුණු බවත් කියැවෙනවා. ඇගේ සිසුන් අතරේ ග්‍රීක-දේව වන්දනාකරුවන් පමණක් නොවෙයි, ක්‍රිස්තියානුවන් සහ යුදෙව් සිසුන් පවා සිටියා.
හයිපතියා එදාට වගේම අදටත්, හෙටටත් සුවිශේෂීයි. හේතුව තමයි ඇය සිය පියා සමග එක්ව කළ සොයාගැනීම්, ලේඛන කටයුතුවල නියැළීම, සිය දර්ශනයට අනුව ප්‍රසිද්ධියේ කතාකළ ගැහැණියක වීම, ඒ කාලය තුළ ඉගැන්වීම් කටයුතුවල නියැළුණු එකම ගැහැණිය වීම. ඇගේ සොයාගැනීම් අතරින් 19 වැනි සියවස දක්වාම භාවිතා කරපු තරු මාළිමාව විශේෂයි. සිය පියාගේ සොයාගැනීම්වල දිගුවන් විදියට විශ්ව පිහිටීමේ කේතු ආකාර 04 ක් (conic section may be a circle, an ellipse, a parabola, or a hyperbola) ගැන ඇය මූලික මතය පළ කළ බව කියැවෙනවා. සෞර ග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය පෘථිවිය නොව සූර්යයා බවත්, සියළු ග්‍රහලෝක සූර්යයා වටා ඉලිප්සාකාර ගමනක නිරත වෙන බවටත් මත පළ කර සිටි හයිපතියා සිය දැනුම සිය සිසුන්ට බෙදා දුන්නා, ලේඛන ගත කළා.
ක්‍රිස්තියානින්:
4 වැනි සියවස මුල් භාගය, ක්‍රි. ව 325 වෙද්දි නැගෙනහිර මධ්‍යධරණී කලාපයෙන් ඇරඹෙන ක්රිස්තියානිකරණය රෝමය, ග්‍රීසිය ඇතුළු අවට වහල් රාජ්‍ය පුර පැතිර යනවා. විශාල වශයෙන් යුදෙව්වන් වාසය කරපු ඇලෙක්සැන්ඩ්රියාවේත් ප්‍රභූන්, සාමාන්‍ය ජනයා සහ වහලුන් යන කොට්ඨාශ අතරින් බොහෝවිට සාමාන්‍ය ජනතාව සහ වහලුන් ක්රිස්තියානිකරණය වෙමින් සිටියා. එහි අගය සුළුපටු වුණේ නැහැ. ප්‍රභූ සමාජයට අයත් වුණු හයිපතියා මෙන්ම සම සමාජ පන්තිය සීමා කළ නොහැකි ක්‍රිස්තියානිකරණයේ පීඩනයට ලක්වෙන්න පටන් ගන්නවා. හේතුව ඔවුන් මිත්‍යාදෘෂ්ඨිකයින් ලෙස සැලකූ ග්‍රීක-දේව වන්දනාකරුවන්. හයිපතියා ජීවන දර්ශනය වුණේ අවබෝධය සහ අධ්‍යාපනය. ඇය කිසිම ආගමක අන්තවාදිනියක නොවූ බවයි කියැවෙන්නේ.
ක්‍රිස්තියානුවන්, යුදෙව්වන් සහ දේවවාදීන් අතර හුදෙක් ආගම වෙනුවෙන්ම ඇතිවන ගැටුම් අතරතුර, ක්රිි. ව 391 දී ඇගෝරා හී Serapeum දෙවොලේ තිබුණු පුස්තකාලය ගිනි තබා විනාශ කරන්නට මුල් වෙන්නේ Theophilus බිෂොප්වරයා. නමුත් තයොන් සහ හයිපතියා යම් යම් ලිපි ලේඛන රැකගත හැකිවුණ බවයි කියැවෙන්නේ. 2009 දී නිර්මාණය වුණු ඇගෝරා සිනමාපටය ආරම්භ වෙන්නේ ඇගෝරා පුස්තකාලය විනාශ කිරීමේ අවස්ථාවේ සිටයි. ග්‍රීක දාර්ශනික ඉගැන්වීම්වලට ක්‍රිස්තියානි බහුතර බලය විසින් විරුද්ධ වුණත් හයිපතියා සිය ඉගැන්වීම් හෝ අධ්‍යයන කටයුතු නැවැත්වීමට සුදානම් වුයේ නැහැ. නමුත් ඇගේ අධ්‍යයන කටයුතු නිමාකිරීමට හෝ ඔප්පු කර පෙන්වීමට ක්‍රිස්තියානින් විසින් ඇයට ඉඩ හළේත් නැහැ.
පළමු ගල:
ක්‍රි . ව 412 දී සිරිල් (Cyril of Alexandria) ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඊළග බිෂොප්වරයා බවට පත්වෙනවා. මේ කාලය වෙද්දි නගරයේ පාලකයා වෙන්නේ ඔරෙස්ටස්. ඔහු වරෙක හයිපේෂියාගේ ආදි සිසුවෙක් වුණා වගේම ක්‍රිස්තියානිකරණයට ලක්වූ දේව වාදියෙක්. ඔහු පමණක් නොවෙයි, හයිපේෂියාගෙන් අධ්‍යාපනය ලබපු ප්‍රභූ පවුල්වල දරුවන් බොහෝමයක් රාජ්‍ය පාලනය වගේම ක්‍රිස්තියානි පල්ලියේ ඉහළ තනතුරු පවා දරමින් සිටියා. ඔරෙස්ටස් හයිපතියාගේ දිගුකාලීන මිතුරෙක් වෙන අතරේ, දේශපාලනික වශයෙනුත් හයිපතියාගේ දාර්ශනිකවාදී පෙළඹවීම් ප්‍රිය කරමින් සිටියා. ඔරෙස්ටස් බොහෝ අවස්ථාවල දී සිරිල්ගේ ආඥාවන්ට නතුනොවුණේ හයිපතියාගේ බලපෑමෙන් බවයි සිරිල් ඇතුළු ක්‍රිස්තියානුවන් විශ්වාස කළේ. ඒ නිසාම හයිපේෂියාට චෝදනා එල්ල වෙන්න පටන්ගන්නේ ඇය දෙවියන්ට අකීකරු මායාකාරියක් යැයි කියමින්. ඇගේ ඉගැන්වීම් දේව විශ්වාසයන්ට පටහැනි මිත්‍යාවන් බවත්, මිනිසුන්ව නොමග යවන බවත් ප්‍රකාශ කරමින්, ඇයව මරාදමනු ලබනවා. ඇයව මරණයට පත්කළ ආකාරය ගැන විවිධ අදහස් පළවෙනවා. ඇයව පණපිටින් හමගසා මරා සිරුර පුළුස්සා දැමූබව හෝ මියයයන තුරු වීදී පුරා ඇදගෙන ගිය බව කියැවෙනවා. ඊට මූලික වුණේ Parabalani නම් වූ මුල්කාලීන ක්‍රිස්තියානි සමාජයට අයත්, ස්වේච්ඡාවෙන් හෙද සේවාවේ යෙදුණුවුන් බවයි කියැවෙන්නේ. ඇගේ මරණය ගැන විවිධ කාලවලදී විවිධ මත පළවුණා. සමහර ක්‍රිස්තියානිනි ඇයව සදාචාරයේ සංකේතය ලෙසත් හඳුන්වනු ලබනවාලු. කෙසේනමුත් ඔරෙස්ටස් ඇලෙක්සැන්ඩ්‍රියාව හැරගිය බවත්, සිරිල් දේශපාලනික වශයෙන් බලවත්ව ක්‍රිස්තියානි ධර්මය පතුරුවන්නට ඇප කැප වූ බවත්, ස්වර්ගස්ථව සාන්තුවරයෙකු ලෙස පුද ලද බවත් ඉතිහාසයේ සඳහන්.
වැදගත් වෙන්නේ මේ කිසිවක් නොවෙයි. හයිපතියා යනු අධ්‍යාපනය සහ දැනුම බෙදාදීම වෙනුවෙන් ජීවත් වුණු, විශ්වීය පැවැත්ම පිළිබඳව ලෝකයට කියන්නට අධ්‍යයනයේ යෙදෙමින් සිටි චරිතයක්. ඇගේ අධ්‍යයනයන් සඵල ලෙස ලෝකය ඉදිරියට ගෙන එන්නට ඇය ජීවත් වූවා නම්, ඉන් වසර 1200 ට පමණ පසුව නිකලස් කොපර්නිකස්ට සහ ජොහැනස් කෙප්ලර් ට, සෞරග්‍රහ මණ්ඩලය සූර්යයා වටා කේන්ද්‍රීයව ඉලිප්සාකාරව ගමන් කරන බව සොයාගනු වෙනුවට, වසර 1200ක් ආපස්සට ගිය ලෝකයක ජීවත් වනු වෙනුවට, එතැන් සිට තවත් වසර 1200 ක් ගතවන, තවත් නව සොයාගැනීමක් වෙනුවෙන් දැනුම පාදාගනු හැකිව තිබුණා... එසේනම් වසර 2016 දෙසැම්බර් මාසයේ දී අප පය ගසා සිටින බිම මෙය නොවන්නටත් ඉඩ තිබුණා...
නිමේෂා තන්ත්‍රී මුදලි - GO 'Life'