ධදක්’ (Dhadak) හෙවත් හෘද ස්පන්දනය සැබෑවට ම හදවතේ ගැස්ම වැඩිකරන බොලිවුඩ් සිනමා නිර්මාණයක් ජූලි 20 වැනි දින තිරගතවීමට නියමිතය.
හිරිමල් වසන්ත සමයේ පසුවන නවකයන් දෙදෙනකු ප්‍රධාන භූමිකාවන් නිරූපණය කරන නිසාත්, සුපිරි තාරකා දියණියකගේ දොරට වැඩීම නිසාත් 2018 වසරේ කාගේත් සිනමා පැතුමක් බවට ‘ධදක්’ පත්වී අවසානය. තවත් ප්‍රබල හේතුවක් වන්නේ එය 2016 වසරේ තිරගතවූ සයිරත් සිනමා පටයේ ප්‍රතිනිර්මාණයක් වීමයි.
වනචාරී යන තේරුම රැගත් ‘සයිරත්’ මරාති සිනමා පටය 66 වැනි බර්ලින් අන්තර්ජාතික සිනමා උලෙළට තේරුණු අතර එහි ආර්චනා පටිල් චරිතයට පණ දුන් රින්කු රාජගුරු 63 වැනි ජාතික සිනමා උලෙළේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්රවුවාය. 2017 ෆිල්ම්ෆෙයාර් මරාති සිනමා උලෙළේ හොඳම සිනමා පටය වූයේ ද එයයි.
ප්‍රේමය විෂයය කොටගත් මේ සිනමා වෘතාන්තයෙන් පාර්තවී සහ මධුකර් පෙම් යුවළ කුල භේදය, ගෞරවනීය මිනීමැරීම්වලට මුහුණ දෙන ආකාරය කියැවෙයි. ඉන්දියාවේ ගෞරවනීය මිනීමැරුම් යනු පවුලට අගෞරවයක් කරන බව සිතා එම අගෞරවය කරන බවට සිතන පුද්ගලයා විනාශ කර දැමීමයි.
සිනමා පටයේ මධුකර් චරිතය රඟන්නේ ඉෂාන් කත්තර්ය. විසි දෙහැවිරිදි ඔහු ෂහීඩ් කපූර්ගේ අඩ සොයුරා ය. ෂහීඩ්ගේත් ඉෂාන්ගේත් මව නිලීමා අසීම් වන අතර පියවරුන් දෙදෙනෙකි. ඉෂාන් ළමා නළුවකු ලෙස ‘වාහ්! ලයිෆ් හෝ තෝ එයිසි’ (2005) සිනමා පටයේ ද යෞවනයකු ලෙස බියොන්ඩ් ද ක්ලවුඩ්ස් (2017) සිනමා පටයේද රඟ පා ඇත.
එහෙත් පාර්ථවී ලෙස ජාන්වී කපූර් සිනමා පටයක රඟන්නේ කුලුඳුලේය. ජාන් වී රංගනයට එක්වන්නේ ප්‍රථම වරට වුණත් ඇය උපන්දා සිට ම තාරකාවකි. ඒ ඇය බොලිවුඩයේ ප්‍රථම සුපිරි තාරකාව ශ්‍රී දේවියගේත් අධ්යක්ෂ බොනී කපූර්ගේත් වැඩිමල් දියණිය වීම නිසයි.
සිනමා නිළියක වීමට සිහින මැවූ ජාන්වීට හා හා පුරා කියා සරයිරත්හි ආර්චනා වැනි චරිතයකින් දොරට වැඩීමට සිතක් පහළ වුණේ මව සමඟ සයිරත් නරඹද්දීය. එම අදහස මව ශ්‍රී දේවියට පැවසූ විට ඇය පැය ගණනක් ආර්චනා චරිතය ගැන කතා බහ කර තිබේ. අනතුරුව නිෂ්පාදක කරන් ජොහාර්ට කතා කර ‘ධදක්’ නිර්මාණයට මං පෑදුවාය.
ජාන්වී සිනමා පටයේ රංගනයට එක්වෙද්දී විසි හැවිරිදිය. නිෂ්පාදක කරන් ජොහාර් ධදක් සිනමා පටයේ ආරංචිය ප්‍රේක්ෂකයන්ට ගෙන ආවේ 2017 නොවැම්බර් 15 වැනිදා නිකුත් කළ පෝස්ටර් තුනක් මඟිනි. උදයිපුර්හිදී සිනමාපටයේ මූලික ඡායාරූපකරණය ඇරැඹිණි.
පළමු රූගත කිරීමේ සිටම ජාන්වී සමඟ ප්‍රවීණ නිළි ශ්‍රී දේවිය ද සෙවණැල්ල මෙන් පැමිණියාය. ධදක් රූගත කිරීම් නිසා ජාන්විට මව, පියා, කුෂි සොයුරිය සමඟ පෙබරවාරි මාසයේ පැවැති පවුලේ ඥාතියකුගේ ඩුබායි හි පැවැති විවාහ මංගලෝත්සවයට සහභාගී වීමට ද නොහැකි විය.
ශ්‍රී දේවි විශිෂ්ට තාරකාව අවාසනාවන්ත ලෙස අකාලයේ එහිදී පෙබරවාරි 24 වැනිදා මිය ගිය අතර සිනමා පටයේ රූගත කිරීම් ද අතරමඟ නතර කෙරිණි. පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ දිරි ගැන්වීම් සමඟ දර්ශන තලයට පැමිණි ඇය මවගේ වියෝව දරා ගැනීමට ද සිනමා පටය සවියක් කර ගත්තීය.
ජාන්වීගේ කුලුඳුල් සිනමා පටය නැරඹීමේ මහත් බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී දේවියට එහි ට්රේලරයවත් නැරඹීමට වාසනාව නොලැබිණි. ‘ධදක්’ මුලදී තිරගත වීමට නියමිතව තිබුණේ 2018 ජූලි 6 වැනි දිනය. එය පසුව ජූලි 20 වැනි දිනට කල් ගියේය. සිනමා පටයේ ට්‍රේලරය ජූලි 11 වැනි දින නිකුත් කෙරුණු අතර එය පැය 48 කදි මිලියන 30 කට වැඩි පිරිසක් නරඹා තිබේ.
‘සයිරත්’ මුල් සිනමා පටයේ ‘සින්ගාත්’ නම් අතිශය ජනප්‍රිය ගීය ධදක් සිනමා පටයට ද ඇතුළත්ය. ට්‍රේලරයෙන් සිනමා පටයේ එම ගීතය නිකුත් කෙරුණු පසු මුල් ගීය යූ ටියුබයෙන් නැරඹූ සංඛ්‍යාව මිලියන 11 ක් ඉක්මවා ගොස් ඇත. ‘සයිරත්’ බ්ලොක් බ්ලස්ටරයක් වූවාසේම සින්ගාත් ගීයද මරාතී සිනමා ලෝලීන් අතර අතිශය ජනප්‍රිය නිර්මාණයක් විය. ධදක් සිනමා පටයේ දෙවැනි ගීත නිර්මාණය වූ එය ප්‍රතිනිර්මාණය කිරීමේදී ජාන්වී මෙන්ම ඉෂාන් ද එහි අධික ජනප්රසාදය ආතතියට හේතුවක් කර ගෙන නැත.
ධදක් අධ්‍යක්ෂණය ශෂන්ක් කයිතාන්ගේය. ඔහු මින් පෙර බොක්ස් ඔෆිස් වාර්තා පිහිටු වූ ‘හම්ටි ෂර්මාකි දුල්හනියා’ (2014) ‘බද්රිනාත් කි දුල්හනියා’ (2017) සිනමාපට අධ්‍යක්ෂණය කර තිබේ. ඔහු ‘බද්රිනාත් කි දුල්හනියා’ සිනමා පටය අධ්‍යක්ෂණය උදෙසා හොඳම අධ්යක්ෂණයට ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේදී නිර්දේශ විය.
සිනමා පටයේ සංගීත අධ්‍යක්ෂණය අජේ - අතුල්ගෙනි. අජේ හා අතුල් යනු හොඳ ම සංගීත අධ්යක්ෂවරුන් ලෙස පනස් හයවැනි ජාතික සිනමා සම්මාන උලෙළේ සම්මානයට පාත්‍ර වූවන්ය. ගී ගායනා අතුල් - අජේ සහ ශ්‍රෙයා ගෝෂාල් ගෙනි. ජාන්වීට හා ඉෂාන්ට අමතරව ‘ධදක්’ හි ආදිත්‍ය කුමාර් (පාර්ථවීගේ සොයුරා), අයිශ්චර්යා නාරකර්, කරාජ් මුඛරජී, අෂුතෝෂ් රානා රඟති.
ධදක් ප්‍රේක්ෂකයන්ට අහිංසක ප්‍රේම චාරිකාවකට හදවතේ දොරගුළු විවර කරන ලෙසට ආරාධනා කරයි. ඇතැම් ආදර අන්දරවලට වදන් නැත. ඇත්තේ හද ගැස්ම පමණයි. ධදක් - හද ගැස්ම කියන්නේ එයයි.
චම්පිකා දීපානි රණසිංහ