ඔබේ වෘත්තියේ නව මං පෙත් තනන්නට නම් යල් පිනූ සම්ප්‍රදායන්ට පයින් ගසා අභියෝගාත්මක පෙරලීන් සිදු කළ යුතුය. මගේ රඟපෑම් වෘත්තිය සැමවිටම සාමූහිකත්වය මත පදනම්ව ඇති කලාවක් ( The Collective art form ) බැවින් ද එහි වඩා පුළුල් පරාසයක් නියෝජනය වන බැවින් ද වෘත්තියේ අභිමානය මෙන්ම එහි අගය රැක ගෙන තිර නාටක රචකයා /අධ්‍යක්ෂක වරයා ගෙන එන චරිතයේ අභියෝග ඔහු බලාපොරොත්තු වනවාටත් වඩා සාර්ථක ලෙස ඉටු කරන්නට පෙළඹුනෙමි.
සංජීව පුෂ්පකුමාර මට හමු වන්නේ ඉන් වසර 12ක ට පසුවයි. සංජීව හඳගමට වඩා ප්‍රසන්නට වඩා සිනමාව උගත්, සංයමයක් ඇති පැහැදිළි අනාගතයක් පෙන්නුම් කරණ තරුණයෙකි. ස්වාධීනව සිනමාව වැනි පුළුල් විෂය ක්ෂේත්රයක ඔහු යන ගමන කුමන රාජ්‍ය තන්ත්රයක අදාළ ආයතන අගය කරමින් පහසුකම් සැලසිය යුත්තකි. එහෙත් හඳගම/ප්‍රසන්න මෙන්ම සංජීව ද "රඟපෑම" හදාරා නැත. ඉතින් මගේ රාජකාරිය හොඳින් කළ විට ඉහ වහා යන ද්වේෂය මගේ කර මතට ඒම අරුමයක් ද...?
ලාංකීය සිනමාවේ 4 වන කැරැල්ලේ ප්‍රාරම්භය සංජීව පුෂ්පකුමාරගේ "කුරුළු අම්මා" - bird mother බව තිර නාටකය කියැවූ මුල් දිනයේ මට ඒත්තු ගියේය. එහෙත් ඔහු ලියා ඇති මේ ආඛ්‍යාන චරිතයේ ( Narrative Role) සිත,කය සහ ආත්මය ගැඹුරින් රූපණය කළ යුතු අතර ආන්දෝලනාත්මක ලිංගික ජවනිකා පෙළ රස භාවයන් මතු නොවන සේ ප්‍රසංග කළ යුතුය. අතීත අමිහිරි අත්දැකීම් නැවතත් නොවන්නට නම්, මේ තරුණයාටත් සවියක් වන්නට නම් ඇති එකම පිළියම "වෘත්තීය ගිවිසුම්"- Job Contract වලට එළැඹීම යි. එලෙස කළෙමි. එහෙත් සංජීව එයින් මාරයෙකු සේ කිපුණි. දර්ශණ තලයට ගිය දා පටන් තිරිසනෙකු සේ තම වරප්රසාදිත අධ්‍යක්ෂක ධුරයේ වැඩ හිඳිමින් එක දර්ශණය 10-20 වතාවන් නැවත නැවත රූපගත කරන්න පෙළඹුණි. කැමරා අධ්යක්ෂ වරයා (කාලිංග දේශප්‍රිය) හා වේශ නිරූපණ ශිල්පියා ( ප්‍රියන්ත දිසානායක) දර්ශණ තලයෙන් නැඟිට ගියහ.
" මේ, සංජීව !...අනෝමා අක්කාට කියලා මේ වැඩේ කරගන්න ඕන නම් අක්කව පෙළන එක නවත්තාපන්..." ඔව්හු කීහ. එහෙත් මාරම මාර වැඩේ නම් "නිරුවත් ජවනිකා" රූප ගත කිරීමේ දී ඔහු එක වරින් "OK" කළේය. කෑම බීම,ඉඳුම් හිටුම් ගැන මම කිසිත් නොකියමි. ඔහු ඒ අධික පීඩනය සියල්ලටම දුන්නේ හිතා මතාය.
පැය 16 ක් දිනකට වැඩ කරන්නට සිදු විය. කැමරා ලයිට් crew එකෙන් සියල්ල අසා දැන ගත හැකිය. මු නම් බල්ලෙක් ... ජීවිතේට ආයිත් නම් මු එක්ක වැඩ කරන්නේ නැහැ. කාලිංග දේශප්‍රිය දැඩි තීරණයකට එළැඹ එසේ කීය. එහෙත් අප හැම විටම රෙන්න හුජ්ජ කරන්නට සැතපුම් 8 ක් දුර යන විට අධ්‍යක්ෂකවරයා වතුර බෝතලයක් රැගෙන හෙමින් සීරුවේ කැලයට රිංගා ගත්තේය. එහෙත් අප අපේ වැඩ කොටස වෘත්තීය අකුරටම ඉටු කළෙමු.
ධනුෂ්ක ගුණතිලක නමැති කව්රුන් හෝ බයියෙක් සංජීවගේ රූප රාමු හෝ වර්ණ පද්ධති ගැන අනවශ්‍ය ප්‍රචාරණයක් සංජීවට ලැබෙන සේ ලිපියක් ඊයේ පෙරේදා ලියා තිබුණි. ඒ මුග්ධයාට කීමට ඇත්තේ “...වරෙන් මල්ලි උඹේ ඔය අධ්යක්ෂකයා සමඟ මම එන්නම් මගේ අත ඇති තිර නාටකයත් සමඟ...අපි වාද කරමු උඹ ඔය කියන මහා ප්‍රමාණික දේවල් ග්‍රහණය කර දුන්නේ විශිෂ්ට ඝණයේ කාලිංග දේශප්‍රිය නොවේ ද...” කියා ය.
සංජීවගේ අම්මා ගේ කුස්සිය අස්සේ මගේ කාමරය තිබුණි. රාත්‍රී 10 ට ෂූටින් අහවර වී කාමරයට පැමිණ ඇඳට වැටුණු විට අවශ්‍ය, ඊ ළඟ දිනයේ ෂූටින් සඳහා සැනසීමෙන් නිඳා ගැනීමයි. එහෙත් පාන්දර 2 සිට කුස්සියේ වැඩ කටයුතු ආරම්භ වේ. මැරයන් කුසුම් පැහැර ගැනීමේ දර්ශණය බරපතළ ය.
ගිවිසුම් ඉදිරිපත් කිරීමේ දීම රක්ෂණ ආවරණයක් ඉල්ලා සිටියෙමි. ඔහු එකඟ නොවීය. මගේ අතට ත්‍රීකුණාමල රෝහලේ වෛද්‍ය වරයා සති දෙකක් නිවාඩු ගත යුතුයි නිර්දේශ කළේය. එහෙත් මම එක දිනක් පමණක් නිවාඩු ගෙන අත එල්ලා ගෙන අවුත් රූපගත කිරීම් වලට දායක වුණෙමි. මා මගේ රැකියාවට අවංකව මගේ යුතුකම් හා වගකීම් ඉටු කළෙමි.
ප්‍රධාන චරිතය රඟපෑ මගේ නම තුන්වැනි තැනට ඇද දැමුණි. චිත්‍රපටයේ නම වාර්තා චිත්‍රපටයක නමක් සේ " දැවෙන විහඟුන්"බවට පත් වුණි. එහෙත් පරිපුර්ණ සිනමා කෘතිය විදේශයට ගෙන ගෙන යන ලද අතර මෙරට දී එය විනාශ කරණ ලදී. එහි දොස් සංජීවට ලැබුණි. දැන් එයින් ගැළවීමට සංජීවට කොහෙත්ම නොහැකිය. විදෙස් සිනමා සම්මාන උළෙල වල දී චිත්‍රපටය අගය කරණ ලදී. සාමාන්‍ය ප්රේක්ෂකයකු වුව ද මෙහි පෙන්වන ලද චිත්‍රපටයම විදේශයේ දී පෙන්වූවා නම් ඊට අගැයීමක් දෙනු ඇතිදැයි සක්සුදක් සේ දනී.
එසේම ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දී චිත්‍රපට 52ක් අභිබවා “හොඳම නිළිය” සම්මානය දිනා ගතිමි. එහෙත් එය ලබා ගැනීමට යාමට මට අධ්‍යක්ෂකවරයා අකුල් හෙළීය. එය ලබා ගත්තේ ඔහු විසිනි. 2017 නොවැම්බර් 02 දින රාත්‍රියේ දී ඔහු ලබා ගත් මගේ සම්මානය මට ලබා නොදී සති 2ක් යනතුරු සංජීව පුෂ්පකුමාර ඩුබායි හි නිවාඩු ගත කළේය. එහි අරමුණ මට රාජ්‍ය ගෞරව ලැබීම වැලැක්වීම යි. අවසානයේ සම්මානය ලබා ගැනීමට වැලිකඩ පොලිසියට යාමට මට සිදු විය. මේ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ ප්රශස්ත මට්ටමේ චරිතයක් රඟපෑ මට සිදු වූ අලකලංචි වලින් සොච්චමක් පමණි. කෙසේ වුවත් තවමත් මගේ වැටුපින් 3/4 ක් තවමත් මට ලැබී නැත. මේ මගේ හමාර කීමයි.!
අනෝමා ජනාදරී