අපි ලයනල් වෙන්ඩ්ට් වෙත ඇදෙන්නේ ජන කරළිය මගින් ඉදිරිපත් කරන "තිත්ත කහට" නාට්‍යය වේදිකාගත වන බව ඇසීමෙනි.
අඩ අඳුරේ පුටු අත ගාමින් අසුන් ගන්නා විට පෙනෙන්නේ අවට සිටින කිහිප දෙනෙක් සමීපයේ කුඩා ඉන්දීය කොඩි ඇති බවය. පැමිණ සිටින්නේ වැරදි තැනකටදැයි සිතන පමාවට එබඳුම කුඩා කොඩියක් අප අතට ලැබුණු අතර එසැණින් රංග ශාලාව අඳුරේ ගිලිණ. අන්ධකාර වේදිකාවේ මගියන් පිරිසක් වූ අතර වේදනාබර වැලපුම් ගීයක් ගැයෙන්නට විය. ඒ තිත්ත කහටෙහි තිත්ත ආරම්භයයි.
"පෝනුදේ ඒ කන්නවිට්ටු
සොන්ද ඌරු තල්ලි පෝනුදේ"
"අපේ උරුම බිම ඈතින් ඈතට නොපෙනී යනවා" යනුවෙන් ඔවුන් වැලපෙන්නේ රාමේස්වරම් කෝවිල දිසාව වන්දනා කරමිනි. ඒ වසර දෙසියයකට එහා කතා පුවතකි. දහස් සංඛ්‍යාත ශ්‍රමිකයින් පිරිසක් දකුණු ඉන්දියාවේ සිට බෝට්ටු හරහා මන්නාරමට එන්නේ තේ වතු කම්කරුවන් ලෙසිනි. අතරමග මූදුබත් වන බෝට්ටු ය. ඉන්දියානු සාගරයේ සැඟවුණු මිනිස් ජීවිතය. වෙනත් බෝට්ටුවක පැමිණි තම අඹු දරුවන් මන්නාරම පෙනි පෙනී මූදු පතුළේ සැඟව යන විට ඉතිරි වූ පිරිස පා ගමනින් මාතලේ වෙත ඇදෙයි.
"උඹ පලයන් ලෙච්චමී තෝට්ටම්" මාතලේ කංකානි වරයා පිරිස වතු වලට බෙදා වෙන් කරන්නේ සැර පරුෂ ලෙසිනි. ලෙච්චමී තෝට්ටම් යනු ලෙච්චමී වත්තය. දකුණු ඉන්දියානු ශ්‍රමිකයින් බොගවන්තලාව , මස්කෙළිය ආශ්රිත වතු යායවලට බෙදා හරින විට සැමියා සාංජිමල වත්තටත් , බිරිඳ තංගමල වත්තටත් යොමු කෙරේ. ඔවුන්ගේ කඳුළු සහ විලාප කංකානිට නෑසෙන , නොදැනෙන හැඩය. ඒ අතර වේදිකාවට පිවිසෙන්නේ කාමන්කූත්තු රංග සම්ප්රදායයේ එන " මදන් රති" අංගයකි. පුරාවෘත්තයට අනුව භාවනානුයෝගී සිව දෙවියන් හට අනංගයාගේ මල් හී වලින් බාධා සිදු වන අතර කෝපයට පත් සිව දෙවියන් තම ඇසින් ඔහු දවා හළු කරයි. එබැවින් මදන් රති රංගනයේ දී අනෙක් පිරිස අනංගයාගේ සහ රතිගේ පෙම් කෙළියට නොයෙක් හේතු පවසමින් බාධා පමුණුවති. "තිත්ත කහට" වේදිකාවට බට මදන් මති රංගනයේ ද අනංගයාට සහ රතිගේ ප්‍රේමයට බාධාවක් වේ. ඒ කංකානි විසිනි. ඔහු තර්ජනාත්මකව ගයන්නේ මෙ අරුත් ය.
"නුඹලා පැමිණ සිටින්නේ නොරටක සිට ය. නුඹලාට ගැසුවද , නුඹලා කපා මැරුවද ඒ ගැන අසන්නට කිසිවෙක් මෙහි නැත. නුඹ සැම වහල්ලුන් හා සමානය" එසේ පවසන කංකානි සිත් පිත් නැති ලෙසින් අනංගයාව එක් තේ වත්තකටත් , රති ව තවත් තේ වත්තකටත් අනුයුක්ත කරනුයේ ප්‍රේමයේ වර්ණයට වඩා තේ කහට වලට මිලක් හිමි වන බැවිනි.
"ඔය කිව්ව වැලපුම් ගී ඔක්කොම අපේ වතු වල ඉස්සර කිව්ව ඒවා. කාමන් කූත්තු නම් තවමත් පෙබරවාරි මාර්තු කාලෙට නටනවා " ජන කරළියේ නළුවෙකු වන ලෝගා අප සමග පිළිසඳරට එන්නේ ඉතිහාස කතාව සමගිනි. ප්‍රවීණ නාට්‍යකරුවන් වන පරාක්‍රම නිරිඇල්ලයන් සහ එච්. ඒ පෙරේරා විසින් 2002 දී නිර්මාණය කළ ජන කරළිය අදත් එම ජවයෙන්ම වේදිකාගත වේ. ලෝගා , ලීලා , අජන්තන් සහ ශිවා එන්නේ බොගවන්තලාවෙන් ය. ජන කරළිය සමග සම්බන්ධ වී වසර ගණනාවක් තිස්සේ රටේ අනෙකුත් සමාජ දේශපාලනික කාරණා පිළිබඳ නිර්මාණය වූ නාට්‍ය වල රඟපෑවද තමන්ගේම ප්‍රජාව වෙනුවෙන් වූ හඬක් නගන්නට ඔවුන්ට අවස්ථාව ලැබුණේ "තිත්ත කහට " නාට්‍යයෙනි. ඇඹිලිපිටියේ සරත් , කෑගල්ලේ දෙව්රාන් , තංගල්ලේ ඉනෝකා , වේයන්ගොඩ අරෝෂා , බියගම විජිත , අනුරාධපුරයේ තිළිණි , නදීර ප්‍රනීත් සහ රුවිනි ඔවුන් සමග "තිත්ත කහට" ගෙන එන අනෙක් නළු නිළියන් වෙති. ආලෝකකරණය අමිල ගෙනි. සංගීතය සුමුදු ගේය.
"අපි ඔක්කොම කතා වෙලා මේක ලිව්වේ. මේවා ඇත්තටම බොගවන්තලාවෙදි අපි දකින ප්‍රශ්න. ඉතින් අපිට ඕනේ කළේ අපේ අයගේ කතාව , තේ කෝප්පයේ රස නැති කතාව අනික් අයට කියන්න"
තිත්ත කහට යනු ජන කරළිය පවසන තිත්ත කතාවයි. එහි පෙන්වන පරිදි එකල අවුරුදු දහ පහළොවක් අවුවේ පිච්චෙමින් තේ කැඩූ ශ්‍රමිකයින්ට කිසිදා නැවත මව් රට බලා යන්නට වරම් හිමි වූයේ නැත. ගෙවන්නට තිබෙන වැටුප කංකානි විසින් නිර්දය ලෙසිනි.
බ්ලැන්කට් වලට කැපුවා.
කෑම වලට කැපුවා
බේත් වලට කැපුවා
ඇඩ්වාන්ස් කැපුවා
වේදිකාවෙන් එපිට ජන කරළිය කණ්ඩායම පවසන පරිදි අදටත් ඒ ඉරණම වෙනස් නැත. " දවසේ පඩිය තිබ්බේ හාරසිය පණහයි. දැන් ඒක පන්සීයක් කළා. පේ ෂීට් එකට රුපියල් පහක් කපාගන්නවා. දේශපාලන පක්ෂ වල සාමාජිකත්වයට එකසිය පණහක් කපාගන්නවා. අන්තිමට ඇඩ්වාන්ස් කපා ගත්තාම රුපියල් හයදාහක් වත් නෑ පවුලකට ජීවත් වෙන්න්" එසේ පවසන ලෝගා , මේ වනවිට වතුකරයේ ළමා විවාහ , අඩු වයස් විවාහ සීඝ්රයෙන් වැඩි වන බවත් පවසන්නේ කණස්සල්ලෙනි. " ලෝකේ දියුණු වුණාට අපේ ලෝකේ දියුණු වෙලා නෑ. ඉතිං ඒ අයට හෙට දවසක් ගැන බලාපොරොත්තුවක් නෑ. අධ්‍යාපනය ගැන දැං අයගෙ කිසිම උනන්දුවක් නෑ"
ලෝගා එසේ පවසන විට නැවතත් " තිත්ත කහට " වේදිකාව සිහියට නැගේ. මීරියබැද්ද නාය යාමේ සිදුවීම පසුබිමෙන් පෙනෙන විට අවතැන්වූවන් පිළිසරණක් නැතිව බලා හිඳී. එක් කාන්තාවක් ආවේගශීලී ය. " නාය යන්න කලින් අපිට ටකරං දීලා ගෙවල් වලිම් අයින් වෙන්න කිව්වා. ඒත් ටකරං හෙවිල්ලගන්න ලෑලි කෑල්ලක් , ඇණ කෑල්ලක් දුන්නද ? යන්න තැනක් දුන්නද ? අන්තිමට ඒ ටකරම් ටිකත් කන්දටම යට වුණා"
අනතුරුව "තිත්ත කහට" වලින් පීඩිත ශ්‍රමිකයින් වැඩ වරන්නට තීරණය කරති. අනෙක් වතුවලින් පිරිස ගෙන්වාගන්නා පාලකයින් වර්ජකයින්ගේ රැකියා අනතුරේ බව දන්වා සිටිති. පසුදා සිටම සියලුම වර්ජකයින් වෙනදා මෙන්ම සේවයේ යෙදෙන්නේ වර්ජනය මෙහෙයවන්නාව නොසලකා හරිමිනි. ඒ ඔවුන්ගේ වෘත්තීය ක්රියාමාර්ගයන්හි ස්වභාවය ය.
"බඹරු ඇනලා අපේ ගෑණු පිරිමි කී දෙනෙක් නම් මැරුණද ? කී දෙනෙක් නම් ඉස්පිරිතාලේ හිටියද ? අන්තිමට තේ ගස් යටට දුම් ගහලා බඹරු එලෙව්වා. අපි හිතුවේ මේ තේ කඩන අපි ගැන හිතලා කියලා" එක් කම්කරුවෙක් තමන් මූණ දෙන දුෂ්කරතා පවසයි. දුම් ගසා බඹරු එළවන්නේ ඔවුන්ට ඇති ආදරය නිසා නොව ඉන්දීය අගමැති නරේන්දරසිං මෝඩි පැමිණෙන නිසා බව ඔවුන් දැනගන්නේ පසුවය. " දුම් ගහලා තියෙන්නේ බඹරු මෝඩිට අනියි කියලා බයට"
බඹරු අනින්නේ බඹර කඩන අයට පමණක් නොවන බව අප දැනගන්නේ එවිටය. තේ දළු නෙළන්නන්ගේ බියකරු සිහිනයක් බඳු බඹර ප්‍රහාරයකට පසුව සිදුවන්නේ රෝගියා රැගෙන මධ්‍යම පළාත තුළම සංචාරය කිරීමටය. වතු ඉස්පිරිතාලයෙන් දෙන්නේ කෝකටත් තෛලය වූ බේබි පැනඩෝල් පෙති දෙකකි. ඉදින් රෝගියා රැගෙන ටවුමේ ඉස්පිරිතාලයට යා යුතුය. හෙදිය බඹරු කීදෙනෙක් ඇන්නා දැයි විමසන්නීය. තමා නොදන්න බව රෝගියා පැවසූ විට හෙදිය එය පරිවර්තනය කරන්නේ "ගණන් කරන්න බැරි වුණා" ලෙසිනි. එසේ නම් නයි විෂ තරම් උග්‍ර බව පවසන වෛද්‍යවරයා රෝගියාව දිසා රෝහල වෙත ගෙනියන්නට උපදෙස් දෙයි. දික්ඔය දිසා රෝහලේ හෙදියට දෙමළ බස බැරි නිසා වත්තෙන් පැමිණි පිරිස බඹරුන් පියාඹන්හ් රඟ දක්වා පෙන්වති. " ආ ? කුකුළෙක් කොටලද ? " හෙදිය විස්මයට පත් වේ. අවසානයේ ටවුමේ ඉස්පිරිතාලයෙන් දුන් තුණ්ඩුව කියවන හෙදිය " ආහ් .. නයෙක් දෂ්ට කරලා" යනුවෙන් පවසන්නීය. " එහෙනම් මේම නෙමෙයි , මේම මේම " කියා නයා පෙණය කරන ආකාරය අභිරූපණය කරන අයුරු උපදෙස් දෙන්නීය. රෝගියා පරලොව යන අතර "ආඬවා"ලෙසින් විලාපයක් ඉතිරි වේ.
තිත්ත කහට දේශපාලනය පිළිබඳ කතා කරන්නේ මෝදි ගේ පැමිණීම සම්බන්ධ සිදුවීම සමගිනි. වතුකරය පුරා අණසක පතුරා සිටින දිගම්බරම් සහ තොණ්ඩාමන් යන දේශපාලකයිම් දෙදෙනා අතර සිදුවන කඹ ඇදීම් නිරූපණය වන්නේ හාස්යොත්පාදීවය. මෝදී එන නිසා ඔවුන් සතුටින් නටද්දී පසුබිමෙන් ඇසෙන්නේ "චෝලී කෙ පීචෙ ක්යා හෛ " හින්දි ගීතය ය. " හැට්ටය තුළ ඇත්තේ කුමක්ද " වැනි අරුතක් රැගත් ගීතයකට නර්තනයෙ යෙදෙන තොණ්ඩාමන් සහ දිගම්බරම් මෝදිගේ අවධානය දිනා ගැනීමට පොර බදති. කොඩි වන්නනැයි අපිට පවසද්දී අප කලින් දී තිබූ ඉන්දීය කොඩි වනමින් වේදිකාප්‍රාප්ත මෝදිව පිළිගතිමු. ඔහු අත තිබුණේ බෝලයකි. අවසානයේ එය දේශපාලකයින් අතින් අතට ගොස් විසි කෙරුණේ වේදිකාවටය.
"ඒ උත්තමයා අච්චර දුර ඉඳන් අපේ කකුල් දෙක ළඟටම එනවා. උඹ ඒ දවසට ලැබෙන නිවාඩුවට පඩිත් ඉල්ලනවා" යැයි බිරිඳට බැණ වැදුණු සැමියා පක්ෂයෙන් දුන් ෆ්‍රයිඩ් රයිස් පාර්සලය සහ අරක්කු කාලක් බිරිඳ සමග සතුටින් බෙදා ගනී. ඉන්දීය අගමැතිවරයා පැමිණි නිසා දික් ඔය රෝහල තුන් වෙනි වතාවටත් විවෘත වූ බව පවසන " තිත්ත කහට" එදා උත්සවාකාරයෙන් බෙදා දුන් ඉඩම් ඔප්පු නීත්‍යානුකූල ඔප්පු නොවන බවත් පවසයි.
"ඇයි බං ! අර දිගම්බරම් ඇමතිතුමයි , මැනේජර් මහත්තයයි අත්සන් කරලා දුන්න ලොකු කොළේ තියෙන්නේ" ඇමතිවරයෙක් සහ වතු පාලකවරයෙක් අත්සන් කළ ලියවිල්ලක් ඉඩම් ඔප්පුවක් යැයි විශ්වාස කරන , වසර දෙසියයක් තිස්සේ හූරා කෑමට ලක්වන මිනිස් කොට්ඨාසයක් අදටත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජීවත්වන බව අපගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වාදෙන "තිත්ත කහට" හෙවත් "කසපු චායම්" නිමාවක් නැති නිමාවක් තබයි.
දේශපාලකයින්ගේ නම් සඳහන් කරමින් ගැටෙන්නට බය නැද්දැයි අපි ජන කරළියේ බොගවන්තලා සාමාජිකයින්ගෙන් ඇසුවෙමු. " කවුරු හරි මේ කතාව කඳුකරයෙන් එළියට ගේන්න ඕනේ. නම් ගම් හංගන්නේ ඇයි. මිනිස්සු දැනගන්න ඕනේ ඇත්ත" ඔවුන් පවසති.
"මාරියාතා!" නාට්‍යය පුරා ඇසුණු වේදනාබර විලාපය සවනේ දැවටී තිබෙද්දී නිරන්තරව මාරි අම්මා යදින නමුත් සදාකාලිකවම තිත්ත කහටින් ජීවිත වැසී ගිය පරපුරක දුක හා මුසු වෙමින් රාත්‍රියට අත වැනුවෙමු.
- සහන් කසීර වික්‍රමසිංහ -
ඉරිදා ලක්බිම