පාපන්දුව ක්‍රීඩා පිටිය උණුසුම් කළ තවත් වසරක් ඉතිහාසයට එක්විය.
එහෙත් භාරත දේශය හොකී පිත්තෙන් නුදුරු අනාගතයේදීම උණුසුම්වේ. ඒ බොලිවුඩ් තිරයේය. බෙංගාලි හොකී ක්‍රීඩක තපාන් දාස්ගේ එකම සිහිනය වන්නේ ඉන්දියාවට හොකී ක්‍රීඩාව වෙනුවෙන් පළමු ඔලිම්පික් රන් පදක්කම හිමිකර දීමයි. ඒ සිහිනය ඔහු දකින්නේ නිදහස ලැබීමට පෙර හොකී ක්‍රීඩකයකු වශයෙන් සිටියදීය.
තම සිහිනය ඔහුට සැබෑ කිරීමට අවශ්‍ය නිදහස ලද ස්වාධීන ඉන්දියාවේම පමණි. බ්‍රිතාන්‍ය ඉන්දියාවේදී නොවේ. එය එවකට යටත් වැසි සෑම රාජ්‍යයකම තරුණ ජවයෙන් පිරි දේශභිමානී ක්‍රීඩකයකුගේ උදාර සිහිනයක් විය.
දේශාභිමානය මුසු වූ බෙංගාලි ක්‍රීඩකයා තපාන් දාස්ගේ චරිතය පණ ගන්වන්නේ අක්ෂේ කුමාර්ය.
අක්ෂේ කුමාර් යනු බොලිවුඩයට ජුබිලි කුමාරයෙකි. ඔහු ෆිල්ම්ෆෙයාර් සම්මාන දෙකකින් ජාතික සම්මානයෙන් පිදුම්ලද නළුවකු පමණක් නොව වසරක තමන් රැඟූ සිනමා පටවලින් බිලියන 20 – 30 කට වැඩි ආදායමක් ලද ප්‍රථම බොලිවුඩ් නළුවාය. රස්ටම්, ටොයිලට්:ඒක් ප්‍රේම් කතා, පෑඩ් මෑන් ළඟට නුදුරු අනාගතයේදී කතා බහට ලක්වන ඔහුගේ නවතම සිනමා පටය බවට පත්වනු ඇත්තේ ‘ගෝල්ඩ්’ ය.
ඉන්දියාවේ හොකී ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය පාදක කර ගෙන නිමැවුණු මෙම ඓතිහාසික ක්‍රීඩා සිනමා පටය සැබෑවටම එරට ජීවත් වූ ක්‍රීඩකයකුගේ ජීවන වෘතාන්තයක් නොවේ. සමහරුන් මෙය හොකී ක්‍රීඩක බල්බීර්සිංගේ කතාව බව පැවසුවද සම්පුර්ණයෙන්ම ප්රබන්ධයකි.
එහෙත් ඊට 1933 – 1948 කාල වකවානුවේදී ඉන්දියාව කෙබඳු රටක් ද, හොකී ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය, තරුණ ක්‍රීඩකයන්ගේ හද ගැස්ම ගැන බොහෝ තොරතුරු ඇතුළත්ය. වීර රසය, ක්‍රීඩා රසය කුළු ගන්වමින්, කුතුහලය ගෙන එමින් ‘ගෝල්ඩ්’ රසිකයන්ට තිළිණ කෙරේ.
1928 වසරේ සිට 1956 දක්වාම ඉන්දියානු හොකී කණ්ඩායම රන් පදක්කම් හයක් දිනා ගනිමින් හොකී ලොව අපරාජිතයන් විය. මුලින්ම ඉන්දියානු හොකී කණ්ඩායමක් ඔලිම්පික් උලෙළට සහභාගී වූයේ 1908 දීය. ඒ ඉන්දියාව අන්තර් ජාතිකව ක්‍රීඩා පිට්ටනියට අවතීර්ණ වූ කාලයක් නොවේ.
ඇම්ස්ටර්ඩෑම්, ලොස් ඇන්ජලීස්, බර්ලින්, ක්‍රීඩා උලෙළවලදී ලද රන් පදක්කමට වඩා 1948 දී ලන්ඩනයේ පැවැති ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ලද ඔලිම්පික් රන් පදක්කම ඔවුනට සුවිශේෂී විය. 1928 සිට 1936 දක්වා එංගලන්ත (බ්‍රිතාන්‍ය) හොකී කණ්ඩායමක් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගී වූයේ නැත.
එය එවකට සිටි ඉන්දියානු හොකී වීරයා ධ්‍යාන් චාන්ද් ඇතුළු කණ්ඩායමේ කනස්සල්ලට හේතුවිය. තම ජාතිය පාගා ගෙන සිටින සුදු ජාතිකයන් පරාජය කිරීමට එක් අවස්ථාවක් හෝ නොලැබීම එම කනගාටුවට හේතුවයි. 1948 දී සියල්ල වෙනස් විය. ඔලිම්පික් උලෙළ එම වසරේදී පැවතුණේ ලන්ඩන් නුවරයි.
අපරාජිත ඉන්දියානු හොකී ශූරයන් එංගලන්තයේ වෙම්බ්ලේ ක්‍රීඩාංගණයට පැමිණෙන විට ඉන්දියානුවන් පමණක් නොව ආසියාතිකයන්ද නැගිට අත්පොළසන් දෙමින් ජය පැතීය. නිදහසේ නැවුම් ප්‍රබෝධයෙන් උණුසුම් කරගත් රුධිරයෙන් අභිමානවත් ඉන්දියානු කණ්ඩායම සතුරු දේශය වූ බ්‍රිතාන්‍යයේ කණ්ඩායමත් සමඟ සටන් වැදිණි. සුද්දන් පරදා සතුරු දේශයේදීම ඉන්දියානු ක්‍රීඩකයෝ ජය ලැබූහ.
පර සතුරන්ගේ භූමියේදී තැඹිලි, සුදු, කොළ ත්‍රිත්ව වර්ණයෙන් සමන්විත සිය ජාතික ධජය එස වූ මොහොත අදට ද එරට ද අමරණීය මතක සටහනකි. එය ඔවුනට සෙසු ඔලිම්පික් රන් පදක්කම් සියල්ලටම වඩා අගනේය. 1948 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ දෙවැනි ලෝක සංග්‍රාමය නිසා දොළොස් වසරකට පසු ලොව පළමු වරට පැවැත්වුණු විශාලතම අන්තර්ජාතික ක්‍රීඩාවකි.
ඒ වන විට ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා වසරක් ගතවුවා පමණි. මේ ජයග්‍රහණයත් සමඟ ලෝකයේම ඇස ඉන්දියාව වෙත යොමු විය. ඔලිම්පික් ක්‍රීඩා ලෝක සිතියමේ සුවිශේෂී තැනක් ඉන්දියාවට හිමි වීමට මුල් වූයේ 1928 සිට 1956 දක්වා අඛණ්ඩව දිනාගත් හොකී රන් පදක්කමයි.
එම අද්විතීය, අසමසම වාර්තාව අද ද අන්තර් ජාතිකව හොකී ගැන කතා කිරීමේදී ප්රමුඛ ස්ථානයක් ගනී. මේ කරුණු සියල්ලම සැලකිල්ලට ගත් විට ඉන්දියානු හොකී වීරයන් ගැන සිත්තම් වුණු බොලිවුඩ් සිනමා වෘතාන්තය සැම අතින්ම සුවිශේෂීය.
ජීවිතයේ ස්වර්ණ ජුබිලිය සැමරූ අක්ෂේගේ පනස්වැනි ජුබිලියේ ලෝහය, සිනමාවේ රන් සලකුණක් කරගෙන ඇත. අක්ෂේ ඇතුළු හොකී කණ්ඩායමේ සාමාජිකයන් ලෙස රඟන සියලුම නළුවන් ඉන්දියානු හිටපු හොකී නායක සන්දීප් සිං ඇතුළු ප්‍රවිණයන්ගෙන් පුහුණු විය.
තපාන්ස්ගේ බිරිය මොනොබිනා දාස් ලෙස රඟන්නේ පුංචි තිරයේ තාරකාවක් වන මෞනි රෝයිය. මේ ඇයගේ බොලිවුඩ් ආගමනයයි. කූනාල් කපුර් (සම්රත්), අමිත් සාද් (රගුබීර් ප්‍රතාප් සිං), විනීත් කුමාර් සිං (ඉම්තියාස්සා), සනී කෞශාල (හිම්මත් සිං) ඇතුළු ශිල්පීහු රැසක් මෙහි රඟති. ගෝල්ඩ් අධ්‍යක්ෂිකා, රීමා කග්තිගේ තෙවැනි සිනමා අධ්‍යක්ෂණයයි. සිනමා පටය තිරගත වන්නේ ඉන්දියානු නිදහස් දිනය යෙදෙන අගෝස්තු 15 වැනි දා තිරගත වීමද සුවිශේෂීය.
1948 පැවැති ඔලිම්පික් තරගයේදී ඉන්දියානු කණ්ඩායම බ්‍රිතාන්‍යයට එරෙහිව 4-0 ජයක් ලැබුවද සිනමා පටය එය 5-4 ක ජයක් ලෙස දක්වා ප්‍රේක්ෂකයන්ට වඩාත් උණුසුම් තරගයක් නැරඹීමේ අවස්ථාව උදාකර දී ඇත.
චම්පිකා දීපානි රණසිංහ
සිළුමිණ