පළමු නාඩගම් කතුවරයා වූ පිලිප්පු සිංඤ්ඤො 1850 දී පමණ ලියූ කෘති අතර ‘මාතලන්’ නාටකය ගැන ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් 1951 ලියන ලද ‘සිංහල නවකතා ඉතිහාසය හා විචාරය’ නම් ග්‍රන්ථයේ සඳහන් වෙයි.
ඒ අනුව දකුණු ඉන්දියාවේ ප්‍රකට ජනකතාවක් වූ ‘මාතලන්’ කතාව නාඩගමක් වශයෙන් වේදිකාවට පැමිණි අවස්ථාවට මුල පිරුණේ මීට වසර 168 කට පෙරය.
මහාචාර්ය සුනිල් ආරියරත්න ‘දෙමළ නිසොල්ලාසය නොහොත් මදනකාමරාජ කතා (2013) නමින් කෘතියක් පළ කළේය. එහි ‘මාතලන්’ කතාව ද ඇතුළත්ව ඇත. එම කෘතියේ මහාචාර්ය ආරියරත්න මෙසේ සඳහන් කරයි.
‘1955 දී ‘මාතලන්’ නමින් තිරගත වූ සිංහල චිත්රපටයෙහි දක්නට ලැබෙන්නේ මදනකාමරාජ කතා පෙළෙහි එන ‘තෙල් වෙළෙන්දාගේ දියණිය දුන් ප්‍රතිඥාව’ නමැති කතාවයි. හෙන්රි පාකර්ගේ ජනකතා කෘති මාලාවේ 3 වැනි වෙළුමේ අංක 154 දරන Matalan කතාව (3520-329PP) පූර්වෝක්ත මදනකාම කතාවට සමාන වෙන ආකාරය පාකර් විසින් පෙන්වා දෙනු ලැබ ඇත. ‘මාතලන්’ චිත්‍රපටයට මේ කතාව සංක්‍රමණය වෙන්නේ පූර්වෝක්ත දෙමළ ජනකතාව පාදක කරගත් ‘මංගම්මා ශපථම්’ (මංගම්මාගේ ප්‍රතිඥාව) නැමැති දෙමළ චිත්රපටයෙන්ය. සිංහල ‘මාතලන්’ වනාහි දෙමළ ‘මංගම්මා ශපථම්’ හි සම්පූර්ණ අනුකරණයකි.
‘තෙල් වෙළෙන්දාගේ දියණිය දුන් ප්‍රතිඥාව’ එම කතාව එම කෘතියේ විකාශනය වන්නේ මෙසේය.
‘කාලිංග දේශයේ අර්ථයෙන් ධර්මයෙන් රාජ්‍ය විචාළ කෞරව නම් රජතුමාගේ එකම පුත්‍රයා කෙළිලොල් තැනැත්තෙක් විය. බොහෝ විට දඩ කෙළියෙහි යන රාජ කුමාරයා දිනක් කුඩා ගම්මානයක් ඔස්සේ වන අඩවිය බලා යන්නේ එක්තරා කුඩා වෙළෙන්දකුගේ තෙල් අලෙවි සලක් අසල ගල් ගැසී නතර විය. ඊට හේතු වූයේ මේ තාක් නුදුටු විරූ රූපශ්‍රීයකින් යුක්ත නව යොවුන් යුවතියක් තෙල් අලෙවිසල මිදුලේ තල වේළමින් සිටිනු දක්නට ලැබීමය.
අසුපිටින් බට රාජ කුමාරයා ඇය වෙත ඇදී ගියේ නිරායාසයෙනි. ඇය කරමින් සිටි කටයුත්ත ඇයගේ කුල ගෝත්‍ර පිළිබඳ ඉඟියක් සැපයුව ද රාජකුමාරයා නොපසුබටව ඇයට සමීප විය.
‘තල ගොඩේ උපන් තල ගොඩේම ලගින වෙළෙඳ කුල යුවතිය, තල ඇටයට වඩා කුඩා ඇට වර්ගය කුමක්දැයි මට පවසන්නැ’ යි හේ සරදම් ස්වරයෙන් ඇයට කීවේය. ඔහුගේ සරදම ඇයට වටහාගත හැකි විය. එවැනිම සරදමකින් ඔහුට පිළිතුරු දිය යුතු යැයි ඇයට සිතිණි.
‘මල් ගොඩේ උපන් මල් මතම ලගින රාජකුමාරය, මල් අතර ඇති පෙති දෙකක මල කුමක්දැයි මට පවසන්නැ’ යි ඇය පැවසුවාය. රාජ කුමාරයාට හැඟුණේ එය ඔහුට කළ නිගරුවක් ලෙසිනි.
‘ඇස!’ යැයි ඔහු නිවැරැදි පිළිතුර සැපයුම ද ඇයගේ අභීත බව සහ තීක්ෂණ බව කෙරෙහි ගෞරවයක් සිත තුළ ඉපදුණ ද පෙරළා ප්රහේළිකාවක් ඉදිරිපත් කරමින් තමාට කළ අපහාසයට දඬුවම් කළ යුතු යැයි ඔහුට සිතිණ. එය කළ යුතු ආකාරය පිළිබඳ අදහසක් ඔහුගේ සිත තුළ ක්ෂණිකව ජනිත විය.
‘මට ප්රහේළිකාවක් ඉදිරිපත් කර අවමන් කිරීමට දඬුවම් වශයෙන් මම නුඹ සරණපාවා ගනිමි. ඒ මංගල රාත්‍රියෙහිම නුඹ සිපිරි ගෙයකද ලමි’ රාජ කුමාරයා ගුගුළේය. ඒ අභීත කටකාර සුරූපිය ද අභියෝගය භාර ගත්තාය.
‘ඔබතුමා මා සරණ පාවා ගෙන එදිනම බන්ධනාගාර ගත කළත් ඔබටත් නොදැනෙන්ට ඔබේ ලෙයින් දරුවකු වදමි. ඔහු ලවා ඔබ ගෝනියක දමා කස පහර දෙමි.’
මේ වෙළෙඳ යුවතිය අභියෝගයෙන් ජය ගන්නා සැටිත් ඒ සඳහා තැනට නිසි නුවණ ද ස්ථානෝචිත ප්‍රඥාවද, එඩිතරකම ප්‍රදර්ශනය කළ ආකාරය මේ කතාවෙන් මහාචාර්ය ආරියරත්න විස්තර කොට තිබුණි.
1943 වසරේ මදුරාසියේ ජෙමිනි චිත්‍රපට නිෂ්පාදනයක් ලෙස තිරයට ආ ‘මංගම්මා සබඳම්’ චිත්‍රපටයේ කතාව දෙබස් හා තිරනාටකය ලියූ ටී. (තුත්තුකුඩි) ජී. (ගෝවින්දචාරි) රාඝවාචාර්යගේ අධ්‍යක්ෂණයකි. වෘත්තියෙන් නීතිඥයෙකු වූ ඔහු රෙද්ද හා බැනියමෙන් සැරසුණු ටී.ජී. රාඝවාචාර්ය විසින් ‘ආචාර්ය’ යන ආරූඪ නම යටතේ මේ චිත්‍රපටය නිර්මාණය කරන ලදී. ලංකාවේ තිරගත වූ ‘මගම්මා සබඳම්’ හි කතා වස්තුවට පදනම් වූ ගැමි වෘත්තාත්තය සංස්කරණය කිරීමේදී ටී.ජී.ආර්. ට මහා කවි විලියම් ශේක්ස්පියර්ගේ ආභාසය ලැබුණු බව පැවසේ. ‘මංගම්මා සබදම්’ ඔහුගේ විශිෂ්ට නිර්මාණයක් බව චිත්‍රපටයේ නිෂ්පාදක එස්.එස්. වාසන් ප්‍රකාශ කර ඇත. මේ මංගම්මා ලෙස රඟපෑවේ ද්‍රවිඩ සිනමාවේ ජනප්‍රිය සුරූපී නිළි පුෂ්පවල්ලි (1925-1991) ය. ඇගේ සැමියා වූයේ ද්‍රවිඩ සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට නළු ජෙමිනි ගනේෂන්ය. මේ දෙදෙනාගේ දියණිය හින්දි සිනමාවේ ජනප්‍රිය හා සම්මානනීය නිළි රේඛා ය. රාජකුමාරයා ලෙස රඟපෑවේ ද්‍රවිඩ සිනමාවේ ජනප්‍රිය නළුවකු වූ රමණී රන්ජන්ය. (1918-1983).
‘තංගම්මා සබඳම්’ චිත්‍රපටය ඇසුරෙන් එස්.ඇම්. නායගම් ‘මාතලන්’ චිත්‍රපටය නිපදවීමට 1954 වසරේ සැප්තැම්බර් 01 වෙනිදා කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ වැඩ ඇරඹුණු අතර චිත්‍රපටයේ රූප ගතකිරීම් සිදුකළේ මදුරාසියේ වාහිනී චිත්‍රාගාරයේදීය. ‘මාතලන්’ චිත්‍රපටයේ ‘මාතලන්’ හා චිත්‍රාලම්භ කුමරු ලෙස ද්විත්ව චරිත රඟපෑවේ ‘සුරතලී’ හා ‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටයේ නැටුම් දර්ශන මෙහෙය වූ ප්‍රවීණ නර්තන ශිල්පී ශේෂා පලිහක්කාරය. (පසුව ඔහු ‘රේඛාව’ චිත්‍රපටයේ ද රඟපෑ අතර චිත්‍රපට නිෂ්පාදන අධ්‍යක්ෂවරයෙකු විය) චිත්‍රවල්ලි හා නාටිකාංගනාව ලෙස රඟපැවේ ක්ලැරිස් ද සිල්වාය.
ශේෂා පලිහක්කාර මට ‘මාතලන්’ චිත්‍රපටය ගැන අපූරු අත්දැකීම් කිහිපයක් විස්තර කළේ සිනාසෙමිනි.
‘දැන් ඒවා මතක් වෙනකොටත් ඉල ඇට කැඩෙනවා.’ එදා ඔහු කතාව පටන් ගත්තේ එසේය.
‘මදුරාසියේ වාහිනී චිත්‍රාගාරයේදී ‘මාතලන්’ අධ්‍යක්ෂණය කළ එස්.ඒ. නාගරාජන් ‘මංගම්මා සබඳම්’ චිත්‍රපටය සිනමාහලේ තිරගත කරලා එහි රඟ පෑ රන්ජන් මෙන් රඟපාන හැටි ඉගෙන ගන්න කිව්වා. නාගරාජන් ඒ ද්‍රවිඩ චිත්‍රපටයේ සහාය අධ්යක්ෂ නිසා ඔහුට එහි හැම චරිතයක්ම, හැම දර්ශනයක්ම මතකයි. මාව මාතලන්ට තෝරා ගත්තේ මම කතකලි, භරත නැටුම ඉගෙන ගෙන තිබූ නිසාය. මම ‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටයේ නැටුම් අධ්‍යක්ෂණය කරනවා නාගනාදත් බලාහිටියා. මම වරෙක බල්ටි ගැහැව්වා. කරනම් ගැසුවා ඔහු දැක්කා.
‘ශේෂා ඔබම මාතලන්ගේ චරිතය රඟපාන්න. අපේ සටන් අධ්යක්ෂවරයෙක් ඉන්නා සෝමු (Stant Somu) කියලා එයාගෙන් කඩු සටන් කලාව ඉගෙන ගන්න පුළුවන්.
සටන් අධ්යක්ෂවරයාගේ නම ස්ටන්ට් සෝමු. එයා ජෙමිණි චිත්‍රපට සමාගමේ ‘ඉන්සානියත්’ චිත්‍රපටයට (මනුෂ්‍යත්වය) නමින් සිංහල දෙබස් කැව්වා. ඔහු සටන් අධ්යක්ෂවරයෙක්. මම එක දවසයි එයාගෙන් ඉගෙන ගත්තේ.‘ මට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඔබ අගේට කඩුසටන් කරනවා. ඔබ මටත් සටන් උගන්වනවා. කිව්වා. මම බල්ටි ගහලා, සද්දෙ දාලා, ෆයිට් කරලා, කරනම් ගහලා ‘මාතලන්’ හැටියට රඟපෑවා.’
අශ්වයා පිට යාමට ශේෂා පලිහක්කාර පුරුදු වී ඇත්තේ මදුරාසියේ ‘එළියට් බීච්’ නමින් හැඳින්වෙන මුහුදු වෙරළේය. ඔහුට මුලින්ම පුහුණුව ලබාදී ඇත්තේ අඩුමිලට ගත් පයින් ගහන වෙළඹකි. චිත්‍රපටවලට සත්තු සපයන කෛරාටික මිනිසුන් මේ වෙළඹ ගෙනවිත් දී තිබුණි. මේ වෙළඹ පිටේ නැගීමට ගොස් ශේෂා කිහිප වතාවක්ම බිම ඇද වැටුණ අතර වෙළඹ පයින් ගැසීම නිසා මාංශ පේශි තැලී සතියක් පමණ ප්‍රතිකාර ලබා ඇත.
‘අශ්වයාට, වෙළඹට වඩා හොඳට වැටහෙන කරුණක් තමයි තමන් පිට නගින්නේ කෝඩුකාරයෙක් ද පුරුදුකාරයෙක් ද කියන එක. ඔය කතාවටත් කියන්නේ ‘හොර්ස් සෙන්ස්’ කියලා. කටකලියාව අල්ලන කලාවක් තියෙනවා. කටකලියාව තදින් ඇල්ලුවොත් අශ්වයාට රිදෙනවා. එතකොට පාලනය කරගන්න බැරිවෙනවා. හරියට බැලන්ස් එක තියෙන්න ඕනෑ. සමබරව ඉඳගත්තේ නැත්නම් බිම. මාස දෙකක් ගත වුණා මේ සඳහා පුහුණු වෙන්න. කඩු හරඹ සඳහා ගන්නේ මුලදීම මුවත නැති මොට්ට කඩු. පසුව සැබෑ ලෙස පාවිච්චි කළේ ප්‍රංශ කඩුවක්. ඒකට කියන්නේ රේපියර් කියල. කරණම් පුහුණු වුණෙත් මුහුදු වෙරළේ.’
‘මංගම්මා සබඳම්’ ද්‍රවිඩ චිත්‍රපටයට සමානව අපූරු දෙබස් රචනා කළේ හියුගෝ ප්‍රනාන්දුය. ඔහු ලියූ වික්රාරම්භ කුමරු (ශේෂා) හා විත්රවල්ලි (ක්ලැරිස්) කියන මේ දෙබස් ඛණ්ඩය නරඹන්නන් අතර ඉතා ජනප්‍රිය වී තිබුණි.
චිත්රාලම්බ - තල ගෙඩි උපන්, තල ගොඩේ හැදුණු තරුණ කාන්තාවිය තල තුළට තෙල් ආවේ කෙසේ ද?
චිත්‍රවල්ලි - මල් ගොඩේ උපන් මල්ගොඩේ හැදුණු මහාරජාණනි මල් තුළට පැණි ආවේ කෙලෙසද?
මේ දෙබස් ඉතා වේගයෙන් කියවිණි. ඒ පිළිබඳව ශේෂා ප්‍රවීණ ලේඛක සරත්චන්ද්‍ර ජයකොඩිට විග්රහ කර තිබුණේ මෙලෙසිනි.
‘මිලි මීටර් 35 ප්‍රමාණයේ චිත්‍රපටයක් යථාරූපීව පෙනෙන්නට තත්පරයට රාමු 24 ක් දුවන්න ඕනෑ. සටන් ජවනිකා වේගවත් කිරීම සඳහා ඒ රාමු ප්‍රමාණය 18 - 20 දක්වා අඩුකරනවා. එහෙම අඩු කරල දුවවල බැලුවාම එදා මාතලන් පෙනුණේ චාලි චැප්ලින් චිත්‍රපටයක් වගෙයි. ඉතින් ආයෙත් එය 24 ට ගත්තා.
මේ චිත්‍රපටයේ හි ක්ලැරිස් ද සිල්වාගේ රඟපෑම ඉතා ඉහළ බව ශේෂා පවසා තිබුණි. ඒ වගේම ඇය යහපත් ගතිගුණ තිබූ කුඩුකේඩුකම් නැති යහපත් නිළියක් බව කී ඔහු ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදකයෝ කැමැති රවුම් මුහුණ තියෙන හොඳට ඇඟපත මහතට තියෙන නිළියන්ට බවත් ක්ලැරිස්ගේ මුහුණ ඔවුන්ට හොඳට හිතට ඇල්ලූ බවත් පවසා තිබුණි. ඒත් ඇගේ ශරීරය මහත මදි නිසා හොඳට ශරීරය පුෂ්ටිමත් වෙලා එන්න ඇයට වෛද්‍යවරයකු ලවා ලිවර් ඉන්ජෙක්ෂන් ලබා දී ඇත. ක්ලැරිස් කොතරම් ජනප්‍රිය ද යත් ඇගේ රඟපෑම් දැක බෙංගාලි, තෙලිඟු, ද්‍රවිඩ චිත්‍රපටවල රඟපෑමට ආරාධනා ලැබී ඇත. ක්ලැරිස් අද නාවල, අරලිය මාවතේ පදිංචිව සිටින අතර ඇය තම චිත්‍රපට ජීවිතයේ හොඳම රඟපෑම ‘මාතලන්’ චිත්‍රපටයේ බව කීවාය.
මේ චිත්‍රපටයේ රඟපෑ නළු නිළියන් බොහො දෙනෙක් මියගොස්ය. ශේෂා පලිහක්කාර, මාක් සමරනායක, එඩී යාපා, හියුගෝ ප්‍රනාන්දු අද ජීවතුන් අතර නැත. චිත්‍රපටයේ හැම ගීතයක්ම ජනප්‍රිය වී ඇත. ලතා ගැයූ ‘රන්වන් දුන් කරලින් පැසිලා’, ‘ඉවසනු හදේ’, ‘සඳ කොමලී තරු පිරිවරලා’, ‘දොයි දොයි දෙයිය පුතා’, ‘සුලලිත වූ කලා’, ගීතත් ධර්මදාස ගැයූ ‘සුබ නැකතින් අපි යන මේ’, ‘උපත ලබා මේ ලෝකේ’, ‘සිරිනි සරු සර වීලා’ ධර්මදාස හා ලතා ගැයූ පෙම් මාලා ගොතා ගෙලේ කේ.රාණි ගැයූ ‘හඳ රාහු මුඛයෙහි ගිලුණා ලෙසේ’ මේ ගීතයි. ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දු ගීත රචකයාය. සංගීත අධ්යක්ෂවරයා ආර්. මුත්තුසාමි ය.
‘මාතලන්’ චිත්‍රපටය ආරම්භයේ නාමාවලියේ මෙසේ සඳහන් වෙයි.
‘ලංකාවේ වේදිකා නාට්‍යයක් වූ මාතලන් දකුණු ඉන්දියානු ජන කතාවකි. ඒ නිසා මේ චිත්‍රපටියේ එන ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත් ඉන්දියානු සම්ප්‍රදායට අනුව සකස් කිරීමට සිදුවිය.
Mathalan is an old South Indian Folk- Lore Which Was Translated in to Sinhalese and Staged as Nadagam, in the Villages in Ceylon, Hence all Costumes and Setting are According to Those in Vogue in South India.
‘මාතලන්’ කතාව විකාශනය වෙන්නේ මෙසේය.
ඔහු මහා ප්රතාපවත් රජෙකි. එහෙත් ඔහුගේ පුත් කුමරා (චිත්‍රාලම්භ) හරිම දඟකාරයෙකි. සල්ලාලයෙකි. දිනක් මේ කුමාරයා වීදි සංචාරයේ යන්නේය. ඔහුගේ ඇමැතියා ද අසු පිට නැගී ඔහු අසලින්ම යන්නේය.
ඇය (චිත්‍රවල්ලි) අසරණ ගොවි තරුණියකි. දුප්පත් පියාත් සමඟ සිය පැලට යන අතර අසුපිට ගිය දුෂ්ට ඇමැතියා ඔවුන් පාර මැදින් යන බව කියා පියාට කසපහර දෙයි. තම පියාට දුන් කස පහරට පලිය ගැනීමට තනිව රජමාළිගාවට ගොස් ඇය පැමිණිලි කරයි. රජකුමරු ඇමැතියාට බොරු දඬුවමක් දෙයි. රජ කුමාරයාගේ සිත තරුණිය වෙත තදින්ම යොමු වෙයි. ඔහු ඇය සොයා ඇය සිටි හේනට එයි. ඇය සිටියේ තල වේලමිනි. කුමරු ඇයගෙන් ප්‍රශ්න අයයි. ඇය දෙන පිළිතුරෙන් ඔහු කුපිත වෙයි. චුම්බනයක් ඉල්ලූ ඔහුට සිපගන්න ලැබෙන්නේ ඇය අත වූ කුල්ලය. මෙයින් කෝපයට පත් කුමරු මේ බව මහරජාණන්ට පැමිණිලි කරයි. ඇය කෙසේ හෝ විවාහ කර ගැනීමට සිතන්නේ ඇගෙන් පලිගැනීමටය.
ඇය දැන් රජ බිසවකි. ඇය වරක් පැවසුවේ තමා විවාහ කර ගත්තොත් ඔහුට දාව දරුවකු ලබා ඒ පුතා වැඩිවිය පැමිණි පසු කසයෙන් තලවන බවය. කුමරු අභියෝගය භාරගෙන ඇයට
සියලු රජ සැප සලසා දී සිරකර තබයි. තම පියා සමඟ සිරගෙදර සිට තම පැල්පතට උමගයක් කපන ඇය විජ්ජාකරුවන් සමග වෙස්වළාගෙන මාලිගාවට පැමිණ කුමරු ඉදිරියේ නාටිකාංගනාවක් ලෙස රැඟුම් පායි. ශිල්පිනියගේ රැඟුම්වලට මෙන්ම රූමත් ඇයගේ මායිම්වලට රැවටෙන කුමරු ඇය හා යහන්ගත වෙයි.
තරුණිය දරුවෙකු ලබයි. දරුවා හැදී වැඩෙන්නේ පියා ළඟය. ළමයා තරුණයකු වෙයි. ඔහු ඇමැතිගේ දියණියට ආදරය කරයි. රජගෙදර බඩුබාහිරාදිය සොරකම් කරයි. ‘මාතලන්’ නමින් ඔහු රට පුරා ප්‍රකට වෙයි. රට භීතියට පත්කරයි. හොරා ඇල්ලීමට ගිය රාජපුරුෂයන් පැමිණෙන්නේ හිස් අතිනි. අන්තිම වශයෙන් රජතුමා ඔහු ඇල්ලීමට ඉදිරිපත් වෙයි. මැදියම් රැයෙහි රෙදි සෝදමින් සිටි ඔහු ළඟට ගිය රජතුමා ‘මාතලන් කොහිදැයි’ ඇසීය. මාතලන් ඇල්ලීමට ගුරුකමක් ඔහු රජුට කියා දුනි. රාජපුරුෂයන් ඈතට යවන මෙන් ඔහු රජුට උපදෙස් දුනි.
‘රජතුමනි ඔබ රජ ඇඳුම් ගලවා මගේ ඇඳුම් ඇඳගෙන මේ ගෝනියට රිංගන්න. මාතලන් දැන් එයි. ආවාම මම ඔහුව අල්ලා දෙන්නම්.’
රජු එයට කැමැති විය. රජු දැන් ගෝනිය තුළය. රජ ඇඳුම් ඇඳගත් ඔහු මාතලන් ඇල්ලූ බව කියමින් කෑ ගැසූය. රාජපුරුෂයෝ ගෝනිය තුළ වූ මාතලන් ඔසවාගෙන රජ මැදුරට ගියහ. රජමැදුරේ දී එක සමාන රජු හා මාතලන්ගේ ඇත්ත කතාව පහදා දෙන්නේ වයෝවෘද්ධ ගොවි කාන්තාවය. එනම් මාතලන්ගේ මවය. කසය අතට ගත් මාතලන් තම මව වසර ගණනක් සිරකොට තැබූ බව පවසමින් රජුට කසපහර දීමට සැරසෙද්දී මව එය වළකයි.
‘පුතේ මේ උඹේ තාත්තා’ යි මව කියන විට රජු මවිත වෙයි. පියා පුතු වැළඳ ගනී. රජු තමාගෙන් වූ වරදට බිරිඳගෙන් සමාව යදී. මාතලන් පෙම් කළ ඇමැති දියණිය වෙත යන මව ඇය තම පුතුට භාර දෙයි.
‘මාතලන්’ චිත්‍රපටයට ‘එළොව ගිහින් මෙලොව ආවා.’ අපේ ජන කතාව ද ඇතුළත්ව තිබුණි. ඒ අතුරු කතාවක් වශයෙනි.
1955 අගෝස්තු 27 වැනිදා ‘මාතලන්’ චිත්‍රපටය තිරගතව ඇත්තේ එවකට කතානායකවරයාව සිටි සර් ඇල්බට් එෆ්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙනි.
‘සිංහලේ මහා සිනමා වංශය’ කෘතිය ලියූ ආතර් යූ. අමරසේන ‘මාතලන්’ චිත්‍රපටය ගැන මෙසේ දක්වා තිබුණි.
1955 සැප්තැම්බර් 11 වෙනිදා ඉරිදා ලංකාදීප පත්‍රයට ලිපියක් ලියමින් එවකට ගාල්ලේ මන්ත්‍රීවරයා වූ ඩබ්ලිව්. දහනායක මහතා ‘මාතලන්’ විකට ප්‍රදර්ශනයක් බව කීය. මෙම ප්‍රකාශයට පිළිතුරක් ‘චලන චිත්‍ර’ පත්‍රය මගින් ඉදිරිපත් කරනු ලැබිණි. එහි කතුවැකියෙහි ගාල්ලේ මන්ත්‍රීවරයා අබලන් වූ මාක්ස්වාදියෙකු යැයි ද අබලන් මාක්ස්වාදියාට කාල්මාක්ස්ගේ චරිතය නිරූපණය කරන්නට සිදුවුවහොත් ඔහු අඳින රෙද්ද සහ බැනියම ඉවත්කොට අඩුම වශයෙන් මාක්ස් ලෙස විශාල කෝටි එකකින් කලිසමකින් සහ රැවුලකින් සැරසීමට සිදුවෙනු ඇතැයි ද වැඩිදුරටත් සඳහන් විය.
දකුණු ඉන්දියවේ තන්ජෝර් නම් ග්‍රාමයේ සැබැවින්ම සිදුවුණු බව කියන ‘මාතලන් කතාව’ කේන්ද්‍ර කොට ගෙන හින්දි චිත්‍රපටයක් තිබූ බව ද ආතර් යූ. අමරසේන පවසා තිබුණි.
ඒ.ඩී. රන්ජිත් කුමාර
ලංකාදීප