ශ්‍රී ලංකාවේ අපි බොහෝ දේ ඉක්මනින් අමතක කරන්නෙමු.
යුද ගැටුම් සමයේ අතුරුදහන් වූ හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද දහස් සංඛ්‍යාත ජනතාවගේ ඥාතීන් වැනි යුද්ධයෙන් සෘජුවම බැට කෑ උතුරේත්, දකුණේත් අහිංසක ජනතාවට හැරුණු විට යුද්ධයේ කුරිරු බව දැන් බොහෝ දෙනාට අමතකය.
යුද්ධයෙන් වැඩිපුරම පීඩාවට පත්වූයේ උතුරේ ජනතාව බැවින් දකුණේ බොහෝ දෙනාට ඒ ගැන නිසි අවබෝධයක් නොතිබුණ බව ද නිසැකය.
වසර කිහිපයකට පෙරාතුව මේ භූමියේම උතුරු කොනේ සිදු වූ දේ එසේ අමතකව ඇත්නම් අදින් දශක දෙකකට පමණ පෙර දකුණේ සිය ඇස් පනාපිටම සිදුවූ දේ අප බොහෝ දෙනාට අමතක වීම අරුමයක් විය නොහැකිය.
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” සිනමා සිත්තම එසේ සියල්ල අමතක කළ ලාංකීය ජන මනසට අසූව දශකයේ අගභාගයේ ශ්‍රී ලංකාව නම් පින් බිමේ සිදු වූ කුරිරු ජනඝාතන, ටයර් සෑයේ පණපිටින් පිළිස්සුනු මිනිස්සු සහ පැහැර ගැනීම් මෙන්ම ඇතැමුන් පෞද්ගලික පළිගැනීම් සඳහා ද එවක පැවති වාතාවරණය යොදාගත් ආකාරය සිහිපත් කරන කාලීන නිර්මාණයකි.
ඝාතනයට ලක්වූවන්ගේ, අතුරුදහන් කරවූවන්ගේ සහ දෙතිස් වද බන්ධනවලට මුහුණ දී දිවි බේරාගත්තවුන්ගේ සමීපතමයන්ට හැරුණු විට ජනතා විමුක්ති පෙරමුණට පවා එදා සිදු වූ දේ අමතකව ඇති මොහොතක “දැවෙන විහඟුන්” ඔබත්, මාත් ඇතුළු ඒ සියලු දෙනාට “භීෂණ සමයේ” යථාර්ථය යළි මතකයට නංවන්නට සමත් වෙයි.
අට දරු මවක වන කුසුම්ගේ ස්වාමියා, සුනිල්, බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් මරා දමනු ලබන්නේ පැරාමිලිටරි කරුවන්ගේ අතකොලුවක්ව “ගෝනි බිල්ලා” බවට පත් වූ ප්‍රදේශයේ විදුහල්පතිවරයාගේ අවශ්‍යතාව මතය.
ජවිපෙ දියත්කළ භීෂණය හේතුවෙන් රටපුරාම ප්‍රවාහන කටයුතු ඇණහිට තිබුණු 89 ජුලි හෝ අගෝස්තු මාසයේ දිනෙක හදිසි අවශ්‍යතාවක් පිණිස මට කොළඹ යාමට සිදුවිය. ඒ සඳහා වෙනත් ක්‍රමයක් නොවූ බැවින් තාත්තාත්, මමත් තාත්තාගේ සී50 මෝටර් සයිකලයේ නැගී ගාට ගාටා කොළඹ ගියෙමු.
අපි ආපසු එනවිට හමුදාව ගාල්ල බස් නැවතුම්පොළ වටකර තිබුණි.
එහි මහ සෙනග පිරී සිටි අතර, බස් නැවතුම්පොළ මැද නවතා තිබුණු හමුදා ජීප් රථයක් පසුකර යාමට මටත් තාත්තාටත් අණ කෙරින.
සුනිල් පාවා දුන් විදුහල්පතිවරයා මෙන් එදා ඒ ජීප් රථයේ සිටි “ගෝනි බිල්ලා” නිකමට හෝ හිස වැනුවේ නම් මටත් අත්වන්නේ සුනිල් ඇතුළු තරුණයන් දස දහස් ගණනකට හිමි වූ ටයර් සෑයක දැවී යාමේ ඉරණම නොවේ දැයි සිහිපත් වන විට අදත් ඇඟේ හිරිගඩු නැගේ.
පසුගිය මාසයේ බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටි අතරවාරයේ ජාත්‍යන්තර සම්මානලාභී ලේඛක චූලානන්ද සමරනායක භීෂණ සමය ගැන සිය අත්දැකීම හෙළි කළ අන්දම ද මා මතකයට නැගේ.
විදුහල්පතිවරයා සිය සහෝදර සටන්කාමියා පාවා දුන් නමුත්, බරපතල වද බන්ධනවලට ලක් කොට, නියපොතු ගලවා, නිරුවත් කොට මරා දැමීම සඳහා ඔළුවට තුවක්කුව අමෝරා සිටි මොහොතේත් තමන් සමග සටනේ සිටි විමලසිරි ගම්ලත් (විමල් වීරවංශ) පාවා නොදුන් අන්දම චූලා ඒ මොහොතේ සිහිපත් කළේ කදුළු පිරි දෙනෙතිනි.
එදා සිය අනුගාමිකයන් දස දහස් සංඛ්‍යාත පිරිසකට අත්වූ ඉරණම ගැන “මහජන විනිශ්චය සභාවක්” පත්කරන බව කලෙකට පෙර මා සමග කී ජනතා විමුක්ති පෙරමුණ අද ඒ ගැන නිහඬය.
රාජ්‍ය මර්ධනය හමුවේ එදා තමන්ට අවි අතට ගැනීමට සිදු වූ බව අවධාරණය කළ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා, එදා ජවිපෙ විසින් කරන ලද මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ ගැන ඉතිහාසයේ පළමුවරට සමාව ඉල්ලා සිටියේ ද බීබීසී සංදේශය වෙනුවෙන් මා සමග අදහස් දක්වමිනි. (https://www.facebook.com/BBCnewsSinhala/videos/331470387010716/)
එහෙත් එදා රාජ්‍යය විසින් කරන ලද ඝාතන සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගැන යුක්තිය පතනු වෙනුවට ජවිපෙ පවා, එදා ඔවුන්ගේ සතුරාව සිටි රාජ්‍ය මර්ධන යන්ත්රයම උතුරේ දෙමළ ජනතාවට එරෙහිව අවි අමෝරන විට ඒ මර්ධන යන්ත්‍රයේ ආරක්ෂකයා බවට පත්වීම කෙතරම් සරදමක්ද?
එබැවින් “දැවෙන විහඟුන්” සිනමා සිත්තම මගින් සංජීව පුෂ්පකුමාර ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සමස්ත ලාංකීය සමාජයේම හෘදය සාක්ෂිය දැඩිව ප්‍රශ්න කරන්නේ යයි මට සිතේ.
සැමියා පැහැරගෙන යාමත් සමග වැඩිවිය පත් දියණියක ඇතුළු දරු අට දෙනා සහ නැන්දම්මා සමග හුදෙකලා වන කුසුම් (අනෝමා ජනාදරී) මුහුණදෙන අති ශෝචනීය අත්දැකීම උතුරේත්, දකුණේත් ලාංකීය කාන්තාව මුහුණදෙන සැබෑ ඉරණම විදහා පාන්නකි.
රටේ ව්‍යවස්ථාව සහ නීතිය අනුව කාන්තාවට ද පුරුෂයා හා සමානම අයිතිවාසිකම් හිමිවිය යුතු වුවත් සැමියා අහිමිවීමත් සමග කුසුම් මුහුණදෙන අත්දැකීම නීතිය පොතට පමණක් සීමා වී ඇති බවට කදිම සාක්ෂියකි.
දරුවන් රකිනු වස් රැකියාවක් සොයා දස අතේ ඇවිදින කුසුම් ගල් වැඩපොලක සහ මස් මඩුවක ද සේවය කිරීමෙන් පසු අවසානයේ නතර වන්නේ ගණිකා මඩමකය.
ගණිකා මඩමට නොගියේ නම් ඇයට සිදුවන්නේ කල් යල් බලා සැලසුම් සහගතව ඇය දූෂණය කළ මස් කඩේ මුදලාලි සහ ගෝලයන්ගේ සදාකල් සුරතලිය බවට පත්වීමටය.
එහෙත් සිය පෙම්වතියට හෝ බිරියට හොරෙන් ගණිකා මඩමේදී ඇගේ පහස ලබන පුරුෂයන්ම මහමගදී ඇය දුටු විට “ඕකි නියම බඩු කෑල්ල” යයි පවසන මොහොත සමස්ත ලාංකීය සමාජයේම පුරුශාධිපතිවාදී ඊනියා සදාචාරයට අධ්යක්ෂවරයා එල්ල කරන අතුල් පහරකැයි මට සිතේ.
අවසානයේ දරුවන්ගේ කුසගින්න නිවීම පිණිස සිය සැමියා පැහැරගෙන ගොස් මරා දැමූ පැරාමිලිටරි නායකයාගේ ද මනදොල පිනවීමට කුසුම්ට සිදුවේ.
යුද්ධයට ගොස් අතුරුදහන් වූ හමුදා සෙබළුන්ගේ බිරියන් ලෙසින්, උතුරේ දී අතුරුදහන්වූ කොටි සාමාජිකයන්ගේ බිරියන් ලෙසින් සහ උතුරේත්, දකුණේත් අතුරුදහන්වූ සාමාන්‍ය වැසියන්ගේ බිරියන් ලෙසින් ලිංගික හිංසනයට සහ සූරා කෑමට ලක්වන කුසුම්ලා කීදෙනෙක් අදත් අපේ සමාජයේ අප අතරම සිටින්නේද?
ඔවුන්ගේ ලිංගික පහස ලබන ඊනියා “මහත්වරුන්ම” ප්‍රසිද්ධ සමාජය ඉදිරියේ බණ දෙසා බාමින් “සුද්ධවන්තයන්” ලෙසින් රඟන රැඟුම කෙතරම් කර්කෂද?
අවසානයේ ගණිකා මඩමේදී ගණිකා පහස ලැබූ පුරුෂයා නිදහස් කොට කුසුම්ලා පමණක් අත්අඩංගුවට පත්වෙන්නේ ඇයි දැයි කිසිවෙකුත් ප්‍රශ්න නොකරයි.
කුසුම් බන්ධනාගාරගතවීමෙන් පසු ගණිකා මඩමේදී රහසේ ඇයගේ පහස පැතූ ඊනියා සුචරිතවාදී සමාජයම මහ රැයේ ඇගේ නිවසට ගල් මුල් පහර එල්ල කරයි.
සමාජයෙන් එල්ලවන දැඩි පීඩනයත්, තාත්තා මරා දැමීමට කුමන්ත්‍රණය කළ විදුහල්පතිවරයා විසින්ම තමන් පාසලෙන් දොට්ට දැමීමත් හේතුවෙන් වැඩිමහල් දියණියට (සමනලී ෆොන්සේකා) සිය සොයුරු සොයුරියන් ද සමග ගමෙන් පිටවීමට සිදුවෙයි.
ඇය කොළඹ ගොස් නවතින්නේ වෙළෙඳ කලාපයේ ඇඟලුම් සේවිකාවක ලෙසින් රැකියාවක් සොයා ගනිමිනි.
වෙළෙඳ කලාපයේ සේවිකාවන් ඉතා අසීරු දිවි පෙවෙතක් ගෙවන බව පමණක් නොව සමාජයේදීත් වැඩපොලේදීත් ඔවුන් නිරන්තරයෙන් ලිංගික ඇතුළු අනේකවිධ අතවරයන්ට මුහුණදෙන බවත් රහසක් නොවේ.
එබැවින් සැමියා පැහැරගෙන ගොස් මරා දැමීම හේතුවෙන් ගණිකාවක වීමට බලකෙරුණු මවකගේ තරුණ දියණියට වෙළෙඳ කලාපයේ සේවිකාවක වීමට සිදුවීම මගින් කියාපාන්නේ ශ්‍රී ලංකාවේ දිළිඳු ජනතාවට, විශේෂයෙන්ම කාන්තාවන්ට, පරම්පරා ගණනාවක් පුරා දිළිඳු බවේ විෂම චක්‍රයෙන් ගැලවීමක් නොමැති බව නොවේද?
ඒ අතර බන්ධනාගාරයෙන් නිදහස්ව නිවසට පැමිණෙන කුසුම් සිය සැමියා පාවා දුන් විදුහල්පතිවරයා ද මරා දමන නමුත් ඒ වනවිට ඇගේත් දරුවන් සියලු දෙනාගේත් ජීවිත විනාශ වී අවසන්ය.
කුසුම්ගේ චරිතයට පණ පොවන අනෝමා ජනාදරී සිය ප්‍රතිභා පූර්ණ රංගනයෙන් “දැවෙන විහඟුන්” වර්ණවත් කරන බව සටහන් කළ යුතුමය.
චාන්දනී සෙනෙවිරත්න සහ සමනලී ෆොන්සේකා ඇතුළු සමස්ත පාත්රප වර්ගයාම නිර්මාණයට සිය උපරිම දායකත්වය සපයති.
සංස්කරණයේ සහ කතාව පෙළ ගැසීමේ ඇතැම් අඩු පාඩු තිබුණද, ජාත්‍යන්තර සම්මානයෙන් පුද ලද සංජීව පුෂ්පකුමාර සිනමා මංපෙතේ දීර්ඝ ගමනකට මුල පුරා ඇති බවට “දැවෙන විහඟුන්” කදිම සාක්ෂියක් යයි මට සිතේ.
සරෝජ් පතිරණ