'වර්තමාන කාල ප්රවාහයේ දැවටිලා ඉන්න ඔබට කාලය තුළ මිසක් කිසිවක මොනම අර්ථයක්වත් නෑ. නමුත් කාලය කියන්නේ මොකක්ද ? අපගේ සියලු දුක් දොම්නස්, ප්‍රාර්ථනා, කලකිරීම්, ලෝභ -ද්වේෂ-මෝහ-ආදර හැඟීම්, වර්තමාන කාලයෙහි ගැබ් වෙනවා.
කාලය ක්ලේෂ ධර්මයක්. සෞන්දර්ය ය හොඳ සත්‍යය කාලයෙන් පිටත සර්වකාලීන ව පවතින දෙයක්. ඔබ කියවල ඇති මේ පිලිබඳ ව නා නා විධ මුනිවරුන් ලියු ආගමික හා දාර්ශනික පොත් පත්. ඔබතුමාගේ ප්රශ්නය වන්නේ ඔබතුමා කවදාවත් හිමාල කන්ද තබා පුංචි කන්දක්වත් තාම නැඟලා නැති එකයි. මම මේ ප්‍රකාශ කරන සත්‍යය මට ප්රත්යක්ෂ සත්‍යයක්. කාලය කියන්නේ ක්ලේෂ ධර්මයක්මයි. එම නිසා ම කාලය ක්ලේෂයන් වපුරන තෝතැන්නක් පමණයි. එම නිසා ම කාලයෙන් තොරව ක්ලේෂයන්ට පැවැත්මක් නැහැ. කාලය තමයි පරම්පරාවෙන් පරම්පරාවට, තිරිසන්- දුර්ජන-පාපකාරී හැම ක්ලේෂයක් ම රැගෙන යන්නෙ. කාලය නමැති ප්‍රවාහය නැත්නම් ක්ලේෂයන්ට ගලා යන්නට තැනක් නැහැ'
'නමුත් ක්ලේෂයන් තිබෙන තැන නික්ලේෂයන් ද පැවතිය යුතු නේද ? 'සුදු' කියල දෙයක් ගැන අපි කතා කරන්නේ 'කළු' කියල දෙයක් තියෙන තැනක දී නේද ? 'සුදු' නැත්නම් 'කළු' කොයින් ද ? ක්ලේෂ යම් තැනක තිබෙනවා නම් න්ක්ලේෂයක් එතන තිබෙන්නට වුවමනා නොවේ ද ?'
'නැහැ. එබඳු තත්ත්වයක දී හොඳ නරක පවතින්නේ අසම්භාව්‍ය විදිහකටයි. සාපේක්ෂ කාල සීමාවක් ඇතුළතයි'
'එහෙම තර්ක කරන්නෙ කොහොම ද ?'
'මම පහදා දෙන්න හදන්නෙ මෙයයි. ක්ලේෂයන්ගේ සත්‍යතාව නැත්නම් නරකයි කියල අපි හිතන දේවල සත්‍යතාවය පවතින්නෙ කාලය තුලයි. නමුත් හොඳයයි, නිර්මලයයි, සෞන්දර්යයයි, උසස් යැයි මං කියන සත්‍යය පවතින්නෙ කාලයෙන් පිටස්තරවයි. අතීත, වර්තමාන, අනාගත නැමති තුන් කාලයෙන් පරිභබාහිරවයි. කෙනෙක් කොතරම් කාලයක් එක්තරා දේශයක එක්තරා පරිසරයක කොයි තරම් කාලයක් ජීවත් වෙන්නේද ? ඒ ඒ තරමට ම නිරායාසයෙන් ම ඔහු හෝ ඇය හෝ ක්ලේෂයන් වැළඳ ගනී'
(පිටුව 71)
'ඔබතුමාගෙන් මම අසන්නට කැමතියි. පහනක් නිවුණ විගස දුමාරය අහෝසි වූ විගස සිදුවූයේ කුමක් ද කියා. පහන් දැල්ලේ තිබු ශක්තිය විසිරී ගියේ කොහේද ? එය මිහිතලයේ සහ ආපෝ-තේජෝ-වායෝ-පඨවි නමැති සතර ධාතු ගර්භයට ද ආපසු විසිරී ගිය බව කෙනෙකුට තම දෑසින් දැක ගත හැකි ද ? කෙනෙකු තමන් කරන ලද පාපය පිළිබඳ කොතරම් පශ්චාත්තාපයට පත් වුව ද සිර ගෙයක් තුළ සිටින තාක් කල් සාන්තුවරයකු පරිදි එම සිපිරි ගෙයින් නිදහස්විය හැකි ද ? මෙතැන ප්රශ්නය වන්නේ සාපේක්ෂ කාලය තුළ සිර වී සිටින හොඳ හෝ නරක හෝ පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ඒ ක්ලේශ දෙකින් ම නිදහස් වූ ශුන්‍යතාව වශයෙන් හැඳින්විය හැකි කර්ම ශක්තිය පිළිබඳ ගැටලුවකි.'
'එහෙනම් පොදු මහජනතාව සඳහා ඔවුන්ගේ අරභයා ජීවිත පරිත්‍යාග කරන වීර පුරුෂයන් ස්වාධීනත්වය - ප්‍රඥාව - නිර්වාණය ලබන්නේ කෙසේ ද ?'
'ඔවුන්ට විමුක්තියක් නොමැත්තේ මේ නිසයි. ඔවුන්ගේ පරමාර්ථ සාපේක්ෂ වශයෙන් යහපත් නමුත්, ඔවුන් මෙහෙයවනු ලබන්නේ අතීත, වර්තමාන හෝ අනාගත බාහිර කාලීන බලවේග විසිනි. එබඳු කාලීන බලවේගයකින් මෙහෙයවන්නා වූ පුරුෂයෝ ස්ත්රිහූ කවදාවත් සැබෑ විමුක්තිය නොලබති.'
(පිටුව 73)
සාපේක්ෂණි|සයිමන් නවගත්තේගම.
-රෝ -