මීට දශක තුන හතරකට පමණ පෙර වයඹ පළාතේ මෙන්ම, උතුරු මැද පළාතේ ගැමි ජනතාව අතර අතිශයින් ජනාදරයට පත් නාට්‍ය කලාවක් වශයෙන් ‘ජහුටා‘ හෙවත් එම නාට්‍ය කලාවේ නිර්මාතෘවරුන් විසින් භාවිතා කරන ලද වචනය වන ‘දෙබස් කථන මුද්‍රා ගීත නාටක කලාව‘ හැඳින්විය හැකිය.
මෙම නාට්‍ය කලාව හඳුන්වා දෙන ලද්දේ රාජ්‍ය නැටුම් කණ්ඩායම නියෝජනය කළ නැටුම් ශිල්පියෙක් වන සර්ධාපති මහතායි. ඉන් පසුව එම නාට්‍ය කලාව සීඝ්රයෙන් ව්‍යාප්ත වූ අතර, විශේෂයෙන් වාරියපොළ පනාදරගම විමලරත්න මහතා ඇතුළු කණ්ඩායම් කිහිපයක් ‘ජහුටා‘ හෙවත් මෙම මුද්‍රා ගීත නාටක කලාව ජනතාව අතරට ගෙන ගියෝය.
සැබවින්ම ‘ජහුටා‘ යනුවෙන් නාට්‍ය කලාවක් භාරතයෙන් හෝ හමු වන්නේ නැත. ‘ජහුටා‘ යන නාමය අපේ කවුරුන් හෝ කටහැකරයෙක් කියන ලද නමක් මිස එම නාට්‍ය කලාවට යොදන ලද නාමයක් නොවේ. නමුත්, ඊට ආවේණික ලක්ෂණ විමසා බලන විට පෙනී යන්නේ බොහෝ දුරට භාරතීය නැටුම් කලාවේ මෙන්ම, උඩරට හා පහතරට නැටුම් කලාවල අන්තර්ගතවන ශිල්ප ක්‍රම මෙම නාට්‍ය කලාව තුළ අඩු වැඩි වශයෙන් මිශ්රවීමක් දක්නට තිබූ බවයි.
‘ජහුටා‘ නාට්‍යවල ආවේණික චරිත දෙස බලන විට එහි එක් ආකෘතියක් දක්නට ලැබේ. රජු, රැජිණ, දැසි දසුන්, විකටයින්, දෙබස් හා ගීත, උත්තර භාරතීය සංගීතය සහ මාළක්කම්, අඩව්, කස්තිරම් සෑම නාට්‍යකම පාහේ දක්නට ලැබෙන්නේ ප්‍රේක්ෂකයා ඒ කෙරෙහි ඇද, බැඳ තබා ගැනීම සඳහාය.
විශේෂයෙන්ම වයඹ හා උතුරු මැද පළාතේ වෙහෙර විහාරස්ථාන සහ ප්‍රජා මණ්ඩලවල සංවර්ධන කටයුතුවල දී අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන සොයා ගැනීමේ මාර්ගයක් වශයෙන් මෙම ‘ජහුටා‘ හෙවත් ‘දෙබස් කථන මුද්‍රා ගීත නාටක‘ භාවිතා කරනු ලැබීය.
සාමාන්‍යයෙන් දින 03ක් හෝ 05ක් රාත්‍රී කාලයේ එළිවන තෙක්, මෙම පිංකම් පැවැත්වූ අතර, මහජනතාව එම පිංකම්වලට ඇද ගැනීමේ උපක්‍රමයක් වශයෙන් මෙම මුද්‍රා ගීත නාටක රඟ දක්වනු ලැබීය.
ගැමි ප්‍රේක්ෂකයින්ගේ අවධානය යොමු වන්නේ නාට්‍ය කණ්ඩායම කවුද යන්නයි. එම නැටුම් කණ්ඩායම ඇතුගල්පුර සර්ධාපතිගේ නැටුම් කණ්ඩායම නම් සිය ගණනින් ප්‍රේක්ෂකයෝ ඊට ඇදී ආහ.
එකල ‘ජහුටා‘ බලන්නට මිනිසුන් තුළ වුයේ පුදුම උනන්දුවකි. මේ උනන්දුවට හේතු ගණනාවක් විය. ගම්වල විසූ මිනිසුන්ට විනෝදවීම සඳහා තිබුනේ ඉතාමත් සීමිත මාර්ග කිහිපයකි. රූපවාහිනි හෝ සිනමා ශාලා නොමැතිවීම නිසා මෙම ‘ජහුටා‘ නැරඹීමට ඔවුන් පෙළඹියේ තමන් හොඳින් දන්නා කතාවක් වුවත්, එය සිදුවුයේ කෙසේද යන්න දැක ගැනීමට තිබු කුතුහලය නිසාය. එමෙන්ම ගැමි ගැහැණු පිරිමි අතරේ තිබු රහස්, අනියම් ලිංගික සම්බන්ධතා පවත්වාගෙන යන්නට ‘ජහුටා‘ නැටුම්පොළ හොඳ ඉඩකඩක් සපයන ලදී.
කටගොන්නක් කසිප්පු බොන පිරිමි හවස් වරුවේ සිටම ‘ජහුටා‘ පොළේ කරක්ගහන්නේ එහි රඟපාන ප්‍රධාන නිළිය දැක ගැනීමේ රිසියෙනි. මේ නිළිය වු කලී ඔවුන්ට චින්තාමනි දේවිය මෙන් විය. ඒ අහු අස්සේ අනියම් සම්බන්ධතා තිබෙන ගැහැණුන් හා පිරිමින්ට මෙය තමන්ගේ සිතැඟි ඉටු කර ගන්නට හොඳ අවස්ථාවක් විය.
සමහරුන්ට මෙය “පොරක් වීමට” හොඳ අවස්ථාවකි. ජීවිතේට මයික්රපෝනයක් අතින් අල්ලලාවත් නැති සමහරු මේ දින දෙකතුනට මයික්පාළලා වෙති. එමෙන්ම නැටුම් අතරවාරයේ මුදල් ගෙවා ගීත ගායනා කිරීමේ අවස්ථාවක් ලබා දෙයි. එහි දී වැඩිපුරම ගායනා කරන්නේ ජෝතිපාල මහතාගේ ගීතයි. තුෂාරා චිත්‍රපටයේ “කළක් තිස්සේ හිතක් පතුලේ” සින්දුව තමන් හිතෙන් ආදරය කරන ස්ත්‍රියට ඇසෙන පරිදි වේදනාවෙන් සමහරු ගායනා කරති. ‘ජහුටා‘ පොළක ගීත ගායනා කළ එක් ගායකයෙක් පසුකාලීනව දෛවෝපගත වශයෙන් අපේ රටේ ගායනා ක්ෂේත්රයේ හිනිපෙත්තේ සිටින්නේය.
අපේ ගමේ කලුබණ්ඩයියා කියන්නෙම බෙග් මාස්ටර්ගේ ගීතයි. ඔහු ගැඹුරු කටහඩින් “බුද්ධං සරණං ගච්ඡාමි” ගීතය ගයයි. පියරත්නත්, බේබි අයියාත් ප්‍රියා සුර්යසේනගේ ගීත ගයන විට ඇස්වලට කඳුළු පිරෙන්නේ එම ගී ලස්සනට ගයන නිසා නොව, එම ගීත කන හැටි සිහි වන විටය. මේ විදියට ‘ජහුටා‘ නැටුම් පොළ ‘ජහුටාවක්ම‘ විය.
ජහුටා හෙවත් දෙබස් කථන මුද්‍රා ගීත නාටකවලට පදනම් වූයේ, ජාතක කතාය. එමෙන්ම රාමායනය, සත්‍යවාදී හරිස්චන්ද්‍ර කථා පුවත, මාතලන්, වැනි ජාතක කතාවෙන් පරිබාහිර එහෙත් සිංහල ජනතාව අතර ප්‍රකට කතා පුවත් අතිශයෝක්තියෙන් යුක්තව රඟ දක්වනු ලැබූහ.
මෙම මුද්‍රා ගීත නාටකවල අන්තර්ගතය තුළ දක්නට ලැබුණු සුවිශේෂීතාවය වන්නේ දෙබස් හා ගීතයි. නළුවා කරන්නේ අංග චලනය පමණි. නේපත්‍යාගාරය අසළ පැදුරුවල ඉඳගත් පොතේ ගුරු ඇතුලු පිරිස සියලු දෙබස් හා ගීත කියයි. මෙම ගීත සියල්ලම ජනප්‍රිය හින්දි ගී තනු ආශ්‍රිතව සකස් කර තිබෙන අතර, පාත්‍ර වර්ගයා වේදිකාවට ප්රවිශ්ඨ වන්නේ නටමිනි. පොතේ ගුරුගේ හඬට අනුව අංග චලනය මගින් තම භාවයන් ප්‍රකාශ කරයි.
ජාතක කතාවල අන්තර්ගතය මෙන් එම සෑම කතාවකටම පසුබිම් වන්නේ දඹදිව බරණැස්පුර බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ රජ කරන සමයයි. රජු ද රාජ සභාවට දේවිය සමඟ පැමිණෙන්නේ ගීතයක් ගයමින් හා නටමින්ය. එමෙන්ම රංගභුමියෙන් රජු හා දේවිය පිට කරන්නේ එක් දෙබස් කාණ්ඩයකිනි.
"දේවිය අපි ඉක්මන් කොරළා සයනාගාරයට යමු" යැයි කියමින් ඔවුහු පිට වෙති. සයනාගාරය කියන්නේ අහවල් එකක්දැයි සමහරු නොදන්නවා වුවද, සයනාගාරයට යන්නේ අහවල් දේ කරන්න නොවේ දැයි දන්නෝ දනිති.
එමෙන්ම, මෙම නාට්‍ය පෙන්වීමට පෙර පින්කම් කටයුතු ආරම්භ කෙරෙන අතර, එහි දී පුණ්‍යාධාර අරමුදල් අපේක්ෂාවෙන් ගමේ යමක් කමක් ඇතියවුන් සඳහා ඒවා විවෘත කිරීම් භාර දෙයි. ඔවුන් ඒවා විවෘත කරන්නේ කිසියම් මුදලක් පරිත්‍යාග කරමිනි.
මෙම විවෘත කිරීම් අතර, ප්‍රධාන වන්නේ මල් වට්ටිය වෙන්දේසි කිරීම හා සල්පිළයි. මල්වට්ටිය කණ්ඩායම් කිහිපයක් හැප්පෙමින්, කේවල් කරමින් සිට මධ්‍යම රාත්‍රී දොළහට පමණ එහි කටයුතු අවසන් කරයි. ඉන් පසුව නිදිකිරා වැටෙන ප්‍රේක්ෂකයින් කුල්මත් කිරීම සඳහා කෙටි නාට්‍යක් රඟ දක්වයි. සාමාන්‍යයෙන් මෙම කෙටි නාට්‍ය පැයකට පමණ සීමා වන අතර, කෙටි නාට්‍ය අතර ඉතාම ජනප්‍රිය නාට්‍ය වන්නේ සාම ජාතකයයි.
සාම ජාතකය රඟ දක්වන නළු නිලි පිරිස අතර, දෙනෙත් අඳ මව් පියන් රැක බලා ගන්නා සාම කුමාරයා වේදිකාවට පැමිණේන්නේ ගීතයක් ගයමිනි. මෙම ගීතය අසන ඇතැම් කාන්තාවෝ දරු සෙනෙහස ඉවසාගත නොහී කඳුළු සළමින් සාම කුමරු දෙස බලා සිටිති. ඉන් පසුව දඩයමේ යන දසරථ රජුගේ හී පහරක් වැදී සාම කුමරු මරණයට පත්වන අතර, තම දරුවාගේ වියෝගයෙන් හඬන වැළපෙන මව්පියන්ගේ විළාපය අසන සක් දෙවිඳු මෙළොවට පැමිණ සාමකුමරුට යළි ප්‍රාණය දෙයි.
එමෙන්ම, සක් දෙවිඳුගේ අනුහසින් දෙනෙත් අඳ මව්පියන්ට පෙනීම ද ලැබේ. ඊතළය වැදුණු අවස්ථාවේ සිට සක් දෙවිඳු ප්‍රාණය ලබා දෙන තෙක් සාම කුමරු රංග භුමිය මත වැතිර සිටී. සමහර අවස්ථාවල සක් දෙවිඳු පණ දුන්නත් සාම කුමරු නැගිටින්නේ නැත. ඔහුට එහිම නින්ද ගොසිනි. එවිට උපක්‍රමයක් ලෙස කවටයා පැමිණ කිසියම් විකට ජවනිකාවක් ඉදිරිපත් කොට සාම කුමරු අවදි කරවයි.
මෙම මුද්‍රා ගීත නාටකවල වීරත්වයට, හාස්‍යයට ද, ශෘංගාරයට ද ප්‍රමුඛත්වය හිමි වේ. ප්‍රධාන නළුවා සහ නිළිය ඉදිරිපත් කරන නැටුම් විලාශයන් අතිශය ශෘංගාරය දනවන්නකි. පන්සලේ නායක හාමුදුරුවෝද නච්ච, ගීත, වාදිත, විසුක දස්සනයෙන් යුත් මේ ‘ජහුටා‘ දෙස ආසාවෙන් බලා සිට මහා පිංකමක් කර ගනිති. ප්‍රධාන නිළිය ඉතාමත් රූමත් එකියක් වන අතර, ගැමි තරුණයෝ නාට්‍යමාලාව අවසන් වන තෙක් ඇය පිළිබඳ උපන් ප්‍රේමයෙන් කල් ගෙවති.
නමුත්, ඇය දරුවන් දෙතුන් දෙනෙකුගේ මවක් බව දැන ගන්නේ පසුවයි. එවිට නාට්‍ය මාලාව අවසන්ය.
සල් පිල් භාණ්ඩ අළෙවිය ද මේ අතර, සිදු කරයි. ඇතැම් සල් පිල් භාණ්ඩ මිළ දී ගන්නවුන් තමා ගොනාට අන්දවා ඇති බව තේරෙන්නේ ඒවා මිළ දී ගත් පසුවය. වරක් “පුච්චාපු කජු මුලක්” වෙන්දේසි කරනු ලැබීය. මිළ දී ගත් තැනැත්තා සිතා සිටින්නේ පුච්චන ලද කජු මද එහි ඇතැයි කියාය. නමුත්, එහි වූයේ කජු ගසක ලොකු මුලක කැබැල්ලකි.
තවත් අවස්ථාවක “සිංහල ජනප්‍රිය කෑමක් හා බීමක්” ලෙස හඳුන්වමින් පාර්සලයක් අළෙවි කරනු ලැබීය. මිළ දී ගත් තැනැත්තා එය විවෘත කර බැලූ විට එහි වූයේ බුලත් විටක් හා බීඩි මිටියක්ය.
‘ජහුටා‘ පොළ මෙවැනි විහිළු තහළු වලින්ද ගහණ විය. ඇතැම් විට ඇතිවන ගුටිකෙළි අවසන් වූයේ පොළිසියෙනි.
සර්ධාපති මහතා විසින් හඳුන්වා දුන් මෙම නාට්‍ය කළාව පසුකාලීනව ඒ පිළිබඳව කිසිදු දැනීමක් නොමැති පුද්ගලයින් අතට පත් විය. සර්ධාපති මහතාගේ නාට්‍ය නරඹා එහි දෙබස් හා ගීත කෑළි කට පාඩම් කරගත් සමහරු නාට්‍ය කණ්ඩායම් පිහිටුවා ගනිමින් අඩු මුදලට එම නාට්‍ය කළාව විනාශ කර දැමීය.
මා දන්නා පරිදි එක් පුද්ගලයෙක් දිවා කාලයේ එක්කෝ කුලී වැඩකරන අතර, ඇතැම්විට ජීවනෝපාය සඳහා මසුන් මරණ්නෙක් විය.
ඔහු ද නාට්‍ය කණ්ඩායමක් පිහිටුවා ගත් අතර, එහි ප්‍රධාන නිළිය ඔහුගේ නැගණියයි. නාට්‍ය ප්‍රදර්ශණයට ප්‍රචාරය කරන විට ඔහුගේ නමට අගින් “ශූරීන්” යන පර්යාය පදය භාවිතා කළේය. දවල්ට ලෑන්ඩ්මාස්ටරයේ බැඳ ගත් ලවුඩ්ස්පීකරයෙන් සුද්දයියා ප්රචාරක කටයුතුවල යෙදෙයි. "අද වේදිකාගත වෙන්නේ ගාමිණි ජයසේකර ශූරීන්ගේ තෙළිතුඩෙන් ලියැවුනු රාමායනයයි" හේ කියයි.
තෙලිතුඩ යනු පින්සලයි. ඒ කියන්නේ මේ ජයසේකර ශූරින් නාට්‍ය ලියන්නේ පෑනෙන් නොව පින්සලෙනි. දෙකේ පන්තියට වත් නොගිය ඔහුට ශූරීන් යැයි කියන්නේ නම්, සාහිත්‍ය හා නාට්‍ය කළාවට අපමණ මෙහෙයක් කළ උගත් නාට්‍ය කරුවන්ට භාවිතා කළ යුත්තේ කුමන වචනය දැයි අපේ අම්මා විමසයි.
‘ජහුටා‘ නාට්‍ය මාලාව අවසන් වන විට ගමේ වත්තක කෙසෙල් කැනක් හෝ තැඹිලි වල්ලක්වත් ඉතිරි වන්නේ නැත. ඒවා සොරුන් විසින් කපාගෙන ගොසිනි. ඒවා සියල්ලම ‘ජහුටා‘ පොලේ පුහම්බු කෙළ අවසන් කෙරෙති. ඒ අතරට දැරිවියෝ හත් අට දෙනෙක් අඩු වයසේ දී හොරෙන් පැන යති. සමහර අඹු සැමි පවුල් කෑම් කිහිපයක් අවසන් වේ. දින ගණනක් නිදි මරාගෙන සිටින මිනිස්සු දවල්ට නිදි කිරා වැටෙති. ඔවුන්ට වැඩක් කිරීමට පණක් කඳක් නැත. ඒ ‘ජහුටා‘ නාට්‍ය මාලාවේ අතුරු ප්‍රතිපලයි.
‘ජහුටා‘ නාට්‍ය කලාව පිරිහීම ඇරඹෙන්නේ රූපවාහිනියේ ආගමනයත් සමඟය. ගම්වල විනෝදාස්වාද සම්පාදනය උදෙසා මාර්ගයක් නොවු එකළ ගුවන් විදුලිය හැරෙන්නට සිනමා ශාලා ද පැවතියේ අල්ප වශයෙනි. එම නිසා ‘ජහුටා‘ හෙවත් දෙබස් කථන මුද්‍රා ගීත නාටක යැයි හඳුන්වන නාට්‍ය කලාව ගැමි ජනතාව අතර, කිඳා බැස්සේය.
එක් අතකට ඒකාකාරී ජීවිතය තුළ කිසියම් වෙනසක් ගැමියෝ ඉන් ලැබීය. ගමේ හැමෝම එකට එක්වී විනෝද විය හැකි අවස්ථාවක් මේ සමග උදා විය. ඇතැම් විට ‘ජහුටා‘ නාට්‍යවල විහිළු තහළු ඉදිරිපත් කරන තැනැත්තා පැරණි සොකරි, නාඩගම් සහ නෘත්‍ය වල එන කෝලමා, බහුබූතයා, කෝනංගි වැනි චරිතවලට හාත්පසින්ම සමාන විය. ඔහු විසින් ඉදිරිපත්කරන දෙබස් එම අවස්ථාවේ ඔහුගේ මුවට නැගෙන දෙබස් විනා පිටපතට අනුව සැළසුම් කරන ලද ඒවා නොවේ. ඔහු සෑම විටම ඉදිරිපත් කරන්නේ දෙපිට කැපෙන කතාය.
සංවිධායක පිරිස සපයන ආහාර පාන රසවත් නොවේ නම්, ඔහු ප්‍රසිද්ධියේ විකට ජවනිකාවක දී ඒවා විවේචනයට ලක් කරයි. "බටුයි බතුයි කාල බඩ යනවා බං - ඒකයි කෙළින් වෙන්නේ නැත්තේ"
එමෙන්ම සොකරි සහ කෝලම්වල එන පරිදි, බොහෝ විට ගැමි වහරේ එන කුණුහරුප ඔහු පවසයි. මේ නිසා ගැමියෝ අතර වඩාත්ම ජනප්‍රියම චරිතය වන්නේ කවටයාය.
‘ජහුටා‘වල දී භාවිතා වන්නේ සීමිත සංගීත භාණ්ඩ කිහිපයකි. ඩොලැක්කිය, සර්පිනාව, වයලීනය හා ගැටබෙරය, බටනලාවද සංගීත භාණ්ඩ වශයෙන් යොදා ගනී. වේදිකාවක් නැති වුවද, රංග බූමිය ලෙස යොදා ගන්නේ පන්සල් භුමියේ ලී කණු සිටවා ලණු ඇද වෙන් කරගත් භූමි කොටසකි.
ජහුටා නාට්‍ය කලාව අද වන විට මුළුමනින්ම අභාවයට ගොස් ඇත. එම නාට්‍ය කලාවේ නිර්මාපකයින් බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නැත. රූපවාහිනිය අවතීර්ණය වීමත් සමඟම ටෙලි නාට්‍ය, සංගීත වැඩසටහන්, චිත්‍රපට වැනි විනෝදාස්වාදය සපයන අංගයක්ම රූපවාහිනිය තුළ ප්‍රදර්ශනය කෙරෙන බැවින්, ‘ජහුටා‘ වැනි අතිශය දුෂ්කර විනෝද මාර්ගයක් වෙත අවතීර්ණ වීමේ අවශ්‍යතාවයක් නැත.
මේ නිසා ‘ජහුටා‘ නාට්‍ය කලාව අභාවයට ගිය ද, ඒ පිළිබඳව මතක සටහන් තවමත් මීට දශක තුන හතරකට කට පමණ පෙර ජීවත් වූ පරම්පරාව සතුව පවතී. එම නාට්‍ය කලාවෙන් ගැමි ජනතාව වින්දනය කළ අවිහිංසක ප්‍රීතිය විද්‍යුත් මාධ්‍ය තුළින් ලබා ගත හැක්කක් නොවේ.
සාම ජාතකය නාටකයේ එන එක් අවස්ථාවක් මට සිහිපත් වේ. සාම කුමරු දෑස් අඳ මව් පියන් සමග වේදිකාවට පැමිණෙන්නේ ගීතයක් ගයමිනි.
අන්ධ දෙගුරු හාමතේ - වෙර නෑ අතේ ගතේ
අඳුරු නිසරු ජීවිතේ - අප ගෙවන හාමතේ - (සාම කුමරු)
ලැබෙන දෙයක් මගේ පුතුට ලැබේවා
අවසන මගේ පුතු නිවන් දකිත්වා - (මව් පියෝ)
දෑස් අඳ මව්පියන්ගේ කණවැල අල්ලා සිටින සාම කුමරු රංග භූමිය වටා ගමන් කරයි. අවට සිටින වයසක ගැමි ගැහැණු සාම කුමරුගේ අත ඇති භාජනයට මුදල් දමති. මේ අතර ජලය ගෙන යන්නට සාම කුමරු ආ විට මුවෙකු යැයි සිතා ඔහුට දසරථ රජු හීයෙන් විදියි. විත කා ඇද වැටෙන සාම කුමරු ගැන දුකෙන් පසුවන ගැමි කාන්තාවෝ දසරථ දෙස බලන්නේ මරාගෙන කෑ හැකි කේන්තියෙනි.
බර්ටෝල්ට් බ්‍රෙච්ට් ගේ රංග කලාවේ එන “තදාත්ම්‍ය විඝටනය” වෙනුවට ‘ජහුටා‘ වල “තදාත්ම්‍ය” යන්න හෙවත් ප්‍රෙක්ෂකයා චරිත සමග ආත්මීය වශයෙන් බැඳීම නම් තදින්ම පැවතුනි. නාට්‍ය කලාවේ අතීතය සොයා යන්නෙකුට “ජහුටා” ද හොඳ අධ්‍යයනයක් විය හැකිය.