ජීවිතය පුදා හෝ චිත්‍රපට නිළියක් දෑසින්ම දැක බලා ගැනීමට සත්සමුදුර තරණය කළ පිරිමින් අපේ රටේ සිටියාලු. ඒ 1939 වසරේය. ශ්‍රීලාංකේය කතානාද සිංහල සිනමාව බිහිවෙන්නට වසර අටකට පමණ පෙරය.
චිත්‍රපටයේ නම ‘‘චින්තාමණී’’ය. මරදානේ එල්ෆින්ස්ටන් හි 1939 වසරේ ‘‘චින්තාමණී’’ නම් ද්‍රවිඩ භාෂිත චිත්‍රපටය නැරඹීමට ලංකීක ජනතාව පොර කෑ හැටි වැඩිහිටියන් තලු මර මරා කී අයුරු මට තවමත් මතකය. මේ චිත්‍රපටය මාස අටක් පමණ ප්‍රේක්ෂකයෝ රොද බැඳගෙන නොකඩවා එල්ෆින්ස්ටන් සිනමා හලේ තිරගත වූ බව වාර්තා වේ. සිනමා ඉතිහාසඥයන් වූ ඩී.වී. සෙනෙවිරත්න, ජොර්ජ් ලෙස්ලි රණසිංහ හා ආචාර්ය කලා කීර්ති එඩ්වින් ආරියදාස ආදීන් ලියූ ලිපි හා ප්‍රකාශ මෙම ලිවීමට මහෝපකාරී විය. මෙහිදී ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන් එනම් ‘‘ඉරිදා ලංකාදීප’’ පත්‍රයේ හිටපු කර්තෘ විසින් ලියූ ‘‘සිනමා වංශ කතාවේ’’ එන චිත්‍රපටයේ කතාව තුළින් අපට එදා නුදුටු ‘‘චින්තාමණී’’ චිත්‍රපටයේ කතාව කෙටියෙන් වටහා ගත හැකිය.
‘‘චින්තාමණී අබිසරු ලියකි! සිය මව නිසා ඇය ඒ තත්ත්වයට කොටු වූවාය. දියණියගේ රූප ලාවන්‍යයෙන් තරුණ සිත් නළවා ඔවුන් පොළඹවා ගෙන මුදල් ඉපයීම මවගේ වෘත්තියයි. තරුණයෝ දෙදෙනෙක් ඇගේ රතිපාෂයට බැඳෙති. ඔවුහු මනෝහාර හා අල්ලා චෙට්ටි නම් වෙළෙන්දෝය. මවගේ බලපෑම නිසා නිවසට ආ කාමාතුරයන් පිළිගත් නමුත් ‘‘චින්තාමණී’’ තම චරිතය කිසි දිනක කැළල් කර නොගැනීමට වගබලා ගත්තාය.
ඇයගේ නිර්මලත්වය මනු ලොවට හා දෙව් ලොවට අධිපති ක්රිෂ්ණ දෙවිඳුට පෙනෙයි. දෙවිඳු ඇයගේ නිර්මලත්වය ගැන සිය බිරිය වන රුක්මණී දේවියට පැවසූ විට ඇය ඒ අදහස නොපිළිගනියි. දෙදෙනා අතර වාදයක් ඇති වෙයි. ඇයට පිරිසිදු චරිතයක් ඇද්දැයි පිරික්සීමට ඔවුහු මිනිස් වෙසින් මෙලොවට එති. කෝවිලේ විශේෂ පූජා උළෙලකි. චින්තාමණී ද පැමිණෙයි.
බිල්වා මංගල් නම් මේ අලුත් මිත්‍රයෙක් මනෝහාර සමඟ කෝවිලට එති. මනෝහාරට අවශ්‍ය වී තිබෙන්නේ චින්තාමණී බිල්වා මංගල්ට පෙන්වීමටය. මේ සියල්ල දිවැසින් බලා සිටි ක්රිෂ්ණ දෙවිඳු හිඟන වෙස් ගනියි. ඔහු චින්තාමණී වෙත පැමිණ පිනට යමක් ඉල්ලයි. චින්තාමණී ඔහුට මුදල් දෙයි. බිල්වා මංගල්ද හිඟන්නාට පිනට යමක් දෙයි. හිඟන්නා හිඟමන් ගෙන ඔහුට මෙසේ කියයි.
‘‘නෙත් යුවළ රාගයට උල්පතක්! කෙලෙස් බැමි වලින් මිදී සිටින්න.
සුසිලා බිල්වා මංගල්ගේ බිරියයි. චින්තාමණී ඇසුරු කිරීමට පටන් ගත් දා සිට බිල්වා මංගල් තම බිරිඳටත්, පියාටත් පෙර දැක් වූ සැලකිලි අඩු කරයි. මහ වැසි දිනෙක චින්තාමණී සිහිවී බිල්වා මංගල් එහි යාමට සැරසෙයි. බිරිය ඔහුට අවවාද කිරීමට පැමිණි විට ඔහු ඇය පසෙකට තල්ලු කර දමා චින්තාමණී සොයා යයි. ගෙදර තනි වී සිටි සුසිලා භූතාත්මයක් විසින් මිදුලට කැඳවා ගෙන යනු ලබයි. භූතාත්මය අතුරුදන් වෙයි.
සුසිලා මහ වැස්සේ කැලෑ පෙදෙසක් පීරාගෙන ගොස් ඒ අසල වූ ගඟට පැන මියයයි. මේ අතර වැහි අඳුරේ ගංතෙරට පැමිණෙන බිල්වා මංගල් ගඟේ ලී කොටයක් දැක එය බදාගෙන එගොඩට පීනයි. එය මළ මිනියක් බව දැනගත් හෙතෙම වහාම එය අතැර පීනා ගොස් චින්තාමණී සොයා යයි.
ඇය සිටි මැදුරේ සඳැල්ලෙන් වැලක් එල්ලෙනු දැක ඔහු එය අල්ලා ගනිත්ම වැල ඔහු වෙළා ගනියි. ඔහු එය කෑලිවලට කඩා දමා චින්තාමණියගේ කාමරයට ගිය විට ඔහුගේ පපුවේ ලේ තැවරී තිබෙනු දැක ඇය මවිත වෙයි. සඳලුතලෙන් බිම බැලූ ඔවුන්ට දකින්නට ලැබුණේ කෑලිවලට කඩා දමනු ලැබූ නාගයෙකි. ලී කොටයක් යැයි සිතූ මළ මිනියේ කතාව බිල්වා මංගල්ගෙන් දැනගත් චින්තාමණී ගංතෙරට පැමිණ බැලූ විට දක්නට ලැබුණේ බිල්වා මංගල්ගේ බිරිය වූ සුසිලාගේ මළකඳය.
මෙයින් සිත් වේදනාවටත් කම්පනයටත් පත් චින්තාමණී සසර කලකිරී තපස් රැකීමට මහ වනයට යයි. චින්තාමණී නැතිව ජීවිතය නීරසයයි කියූ බිල්වා මංගල්ද මහ වනයට ගොස් තවුස්දම් පුරන්නට තැත් කරයි. ඔහුගේ ශීලයේ තත්ත්වය පිරික්සීමට ක්රිෂ්ණ දෙවිඳුට අවශ්‍ය වෙයි. දෙවිඳු තම බිරිය වූ රුක්මණී දේවිය චින්තාමණී සේ වෙස් ගන්වා බිල්වා මංගල් ඉදිරියට දිය ගෙනෙන්නට යන විලාසයක් මවාපායි.
‘‘අනේ චින්තා, චින්තා ඔබ නැවත මා සොයා ආවාද?’’ අසමින් රතියෙන් මත්ව බිල්වා මංගල් ඇය වැලඳ ගැනීමට යයි. එවෙලේම ක්‍රිෂණ දෙවියන්ගේ ආනුභාවයෙන් බිල්වා මංගල්ට දක්නට ලැබෙන්නේ රූපශ්‍රීයෙන් බැබලුණු චින්තාමණී නොව ඇටසැකිල්ලකි.
ක්රිෂ්ණ දිව්‍යරාජයා ලෙස සැබවින්ම පෙනී සිට ‘‘ඔබ තපස්දම් පුරන්නේ මෙසේදැයි’’ විමසයි. මෙහිදී ඔහුට ‘‘නෙත් යුවළ රාගයේ උල්පතක්’’ යනුවෙන් කෝවිලේදී හිඟන්නා කී දේ සිහිවෙයි. බිල්වා මංගල් එවේලේම ඉඳිගසකින් ඉඳිකටු දෙකක් ගෙන තම දෑස අන්ධකර ගනියි. පසුව චින්තාමණී හා බිල්වා මංගල් පංචකාමයෙහි ආදීනව ප්රත්යක්ෂකොට තවුස්දම් පුරා උසස් මාර්ගඵලයට පත්වෙති.’’
මදුරාසියේ දෙමළ හා තෙළිඟු සුප්‍රකට චිත්‍රපට අධ්යක්ෂවරයකු වූ වයි.වී.රාඕ (වරද යරගුඩිපති රාඕ. 1903- 1973) විසින් ‘‘චින්තාමණී’’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත. නළුවකු ද වෙන, ධනවත් තෙළිඟු බ්‍රහ්මණ පවුලක උපන් ඔහු ‘‘චින්තාමණී’’ට පෙර ‘‘සති සලෝචනා’’ (1935) අධ්‍යක්ෂණය කර ඇත. ඔහුගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වූ මෙම චිත්‍රපටය රාවණා රජු වටා ගෙතුණු පුරාවෘත්තයක් වස්තුකොට නිපදවූවකි. මේ චිත්‍රපටය එක රැසකින්ම ජනප්‍රිය වී ඇත.
1938 රාඕ විසින් අධ්‍යක්ෂණය කළ ‘‘ස්වර්ණලතා’’ චිත්‍රපටයට පසුබිම් වී ඇත්තේ භාරතයේ නිදහස් ව්‍යාපාරය, මත්පැන් තහනම හා සමාජ විද්‍යානුකූලව පිළිබිඹු කිරීමකි. ඔහුගේ සිනමාවෙන් පිළිබිඹු වූයේ මල්වර වීමට පෙර සිදු කරන ළමා විවාහ නිසා බොහෝ වනිතාවන් වැන්දඹුවීම, සුදු පැහැති වස්ත්‍ර කාන්තාවන් ඇඳීම, හිසමුඩු කිරීම, ගතානුගතික විවාහ චාරිත්‍ර දැඩි ලෙස විචාරයට භාජනය කිරීමය.
ඒ බව ‘‘විශ්ව මෝහිනී’’ ‘‘සත්‍යභාමා’’ ‘‘ලබන්ගී’’ ‘‘මල්ලි පෙල්ලි’’ ‘‘රාමදාස්’’ චිත්‍රපටවලින් නිරූපණය වුවද ඔහුගේ අමරණීය සිනමා පටය ලෙස සැලකෙන්නේ ‘‘චින්තාමණී’’ය. ඔහු ‘‘ශාන්ත ලක්ෂමි’’ නමැති චිත්‍රපටය තෙළිඟු භාෂාවෙන් නිපදවා ඇත.
‘‘චින්තාමණී’’ චිත්‍රපටය බෙංගාලි ජාතික බන්කිම් චන්ද්‍ර චැටර්ජි විසින් රචිත ‘‘බිල්වා මංගල්’’ නම් නව කතාව ඇසුරෙන් නිපදවූවකි. මේ චිත්‍රපටය දඹදිව හා ලංකාවේ සිනමා රසිකයන් විප්ලවයට පත් කළ බව එදා චිත්‍රපටය නැරඹූ ඉරිදා ලංකාදීප කර්තෘ මණ්ඩලික ඩී.වී සෙනෙවිරත්න විසින් ලියූ ‘‘චිත්‍රපටි කලාව’’ කෘතියේ සඳහන් වෙයි.
‘‘චින්තාමණී’’ චිත්‍රපටයේ චින්තාමණී ලෙස රඟපෑවේ අශ්වතම්මා නිළියයි. බිල්වා මංගල් ලෙස රඟපෑවේ ද්‍රවිඩ සිනමාවේ සුපිරි තරුව වූ ඇම්.කේ. ත්‍යාගරාජා භගවතාර්ය. මේ දෙදෙනාගේ රංගනය හා ගීත ගායනයෙන් මනමත් වූ ජනකායෙන් ඇතැමෙක් එම චිත්‍රපටය තිස් හතළිස් වරක් නැරඹූ බවත්, ඇතැමෙක් අශ්වතම්මා නිළියගේ පියකරු රූපයට වසඟව, ඇගේ සුමිහිරි ගී ගැයුම් වලින් කුල්මත්ව, ඇයට ආලය බැඳ පිස්සු වැටුණු බව ඩී.වී. සෙනෙවිරත්නයන් තම කෘතියේ සඳහන් කර ඇත.
චින්තාමණී යන නම කොතරම් ප්‍රකට වූයේ ද යත්, එකල ‘‘චින්තාමණී කඩල’’, ‘‘චින්තාමණී පරිප්පු’’, ‘‘චින්තාමණී සාරි’’, ‘‘චින්තාමණී ස්ටෝස්’’ නම් ප්‍රකට වූ බව මගේ පියා පසු කාලෙක මට කියා තිබුණි.
අපේ පැරණිතම, ජ්‍යෙෂ්ඨතම සිනමා මාධ්‍යවේදී ඩී.වී. සෙනෙවිරත්නයන් ‘‘චින්තාමණී’’ට කොතරම් ඇලුම් කළාද යත් ඔහු පවසා ඇති අන්දමට ලංකාවේ ප්‍රථම චිත්‍රපට සඟරාවට (1947) නම තබා ඇත්තේද ‘‘චින්තාමණී’’ (The Chintamani) කියාය. තංගල්ලේ සිරිසේන විමලවීර මාස්ටර් විසින් ආරම්භ කළ 1940 ඔක්කෝබර් මස ‘‘චින්තාමණී’’ නම් මාසික සඟරාව තමා විසින් සංස්කරණය කොට ප්‍රකාශයට පත් කළ බව කියූ ඩී.වී. සෙනෙවිරත්න විසින් එවකට ‘‘සුරතුර’’ සිනමා පුවත්පතේ සංස්කාරක ආතර් යූ. අමරසේනට එවූ ලිපියක් පළ කොට තිබුණි.
වංග සාහිත්‍යයේ පුරෝගාමී නවකතා රචකයකු වූ බංකිම් චන්ද්‍ර චැටර්ජිගේ (1838-1894) නවකතාවක් ඇසුරෙන් ‘බිල්වා මංගල්’’ නම් කතාව ඇසුරෙන් හින්දි බසින් නිපදවනු ලැබූ ‘බිල්වා මංගල්’ 1935 දී මරදානේ එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේ තිරගත විය. මාස්ටර් නිසාර් හා කජ්ජන් රඟ පෑ මේ චිත්‍රපටය නැරඹීමට රසිකයෝ පොර කෑ බවත්, එය නැරඹීමට ගිය ඩී.වී. සෙනෙවිරත්න සෙනඟ ගොඩේ තෙරපී සිහි නැති වූ බවත් සඳහන් කර ඇත. මේ කතාවම පසුබිම් කරගත් ‘‘චින්තාමණී’’ 1939 වසරේ මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහලේ ප්‍රදර්ශනය වී ඇත්තේ වාර්තා පිට වාර්තා තබමිනි.
‘‘චින්තාමණී’’ චිත්‍රපටයේ ගීත ගයා ඇත්තේ ද චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක රඟ පෑ අශ්වතම්මා සහ ත්‍යාගරාජා භගවතාර්ය. මේ ගීත සිංහල රසිකයන් අතර අතිශයින්ම ජනප්‍රිය වීලු. අශ්වතම්මා ගැයූ ජනප්‍රිය ගීතයට සිංහල වදන යොදා ග්රැමෆෝන් යුගයේ ලක්ෂමි බායි ගායිකාව ගැයූ අතර ඒ H.M.V ග්රැමෆෝන් ගීතය සිංහල රසිකයන් අතර අතිශයින් ජනප්‍රිය වී ඇත. මේ ඒ ගීතයයි.
‘‘පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
තම රට දේවල් පිටරට පටවා
පිට කාසී මෙහි ඇද්දා
ආදි සිංහලුන්
පිටරට සිරිතට දිව දික් කරලා
අද සිංහල කළු සුද්දා
කන්ට අදින්ටා පිටරටින් එන තුරු
මුහුදට දත නියවන්නා
හෙරළි බතල ටික නුපුරුදු අම්මා
රට හාලේ බත කාලා
කිරි නැති හින්දා රට කිරි දීලා
සිංහල දරුවො මරන්නා
පිටරට හාලේ බත් ටික නැත්නම්
බඩගින්නේ සිංහලයා
අන්තිමේ දී බුදියන පැදුරත්
දැන් දැන් පිටරටින් එන්නා
‘චින්තාමණී’ ලෙස රඟ පෑ අශ්වතම්මා නිළිය හා ගායිකාව වයස අවුරුදු 34ක් ආයු වළදා 1944 දී මියයාම නිසා ලාංකීක රසිකයෝ සෝ සුසුම් හෙළුෑ බවද වාර්තා වේ. ඇය උපන්නේ 1910 වසරේය.
මේ චිත්‍රපටයේ බිල්වා මංගල්ගේ චරිතය රඟ පෑ ක්රිෂ්ණාමූර්ති ත්‍යාගරාජා භගවතාර් (1909- 1959) ද ලාංකේය රසිකයන් අතර එදා ජනප්‍රිය වූ නළුවෙකි. ඔහු ගීත ගැයූ ‘‘චින්තාමණී’’ ගීත ඇතුළත් සින්දු පොත මෙන්ම ග්රැමෆෝන් ගී තැටිද බෙහෙවින් අලෙවි වී ඇත. ‘‘චින්තාමණී’’ චිත්‍රපටය අතිශය ජනප්‍රිය වීමට ප්‍රධාන නළු නිළියන් දෙදෙනාගේ සුමිහිරි ගී ගැයුම්වලින් මන්මත් වූ ජනකායක් මෙරට සිටියහ. මේ මතකය අවදි කළ අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය, කලා කීර්ති එඩ්වින් ආරියදාසයන් මෙසේ කීය.
‘‘චින්තාමණී’’ අගනුවර තිරගතවෙන කාලෙ මට වයස අවුරුදු 14ක් විතර ඇති. අපේ වැඩිහිටියෝ කියන කතාවලින් මගේ සිතට නැගුණේ ලස්සන කාන්තාවකගේ රූපකායක්. ‘‘චින්තාමණී’’ චිත්‍රපටය නැරඹූ ගාලු පළාතේ තරුණයන් සත්සමුදුර තරණය කොට ඉන්දියාවට ගොස් එහි රඟ පෑ නිළිය බැලීමට ගිය කතා ගැන වැඩිහිටියෝ කතා කළා. ඇතැමෙක් ඈට පෙම් බැඳ පිස්සු වැටුණු සැටිද මට අසන්නට ලැබුණා.’’
මේ ආකාරයෙන් මෙයට වසර 79 කට ඉහත මෙරට තිරගත වූ ප්‍රේක්ෂක ආකර්ශණය ලැබූ එක් ද්‍රවිඩ භාෂිත චිත්‍රපටයක් අද වෙන තුරු තිරගතවී නැත. ලංකාවේ හා දකුණු දඹදිව සිනමා රසිකයන්ගේ විප්ලවයකට පත් කළ ‘‘චින්තාමණී’’ චිත්‍රපටය ගැන ඩී.වී. සෙනෙවිරත්න විසින් ලියු ‘‘චිත්‍රපටි කලාව’’ කෘතියේ එන උද්ධෘතයෙන් ලිපිය අවසන් කරමි.
‘‘අශ්වතම්මා නිළිය සහ ඇම්.කේ. ත්‍යාගරාජා බගවතා නළුවාගේ රැඟුම් කලා කෞශල්‍යයෙන් මෙන්ම සුමිහිරි ගී ගැයුම් වලින් මන්මත් වූ ජනකාය කොතරම් ද යත්, එම චිත්‍රපටය ඇතැමුන් විසින් තිස් හතළිස් වරක් නරඹන ලදී. ඇතැමෙක් අශ්වතම්මා නිළියගේ ප්‍රියකරු රූපයට වසඟව, ඇගේ සුමිහිරි ගී ගැයුම් වලින් කුල්මත්ව අෑට ආලය බැඳ පිස්සු වැටුණු සැටි ප්රකටය.’’
ඒ.ඩී. රන්ජිත් කුමාර
ලංකාදීප