තම තමන්ගේ ක්ෂේත්රවල විශිෂ්ටයන් වූ රහස් පරීක්ෂකයන් කණ්ඩායමකින් සමන්විත වූ අතාත්වික ක්‍රියාදාම සිදු කරන බළකාය හෙවත් මිෂන් ඉම්පොසිබල් (අයි.එම්.එෆ්) ක්‍රියාත්මක වීමට පටන් ගෙන දැන් පනස් දෙවසරකි.
රාජ්‍ය රහස් පරීක්ෂක ඒජන්සියක් වූ ඉම්පොසිබල් මිෂන්ස් ෆෝල්ස් මඟින් චර පුරුෂ සේවයේ යෙදුණේ අතිශය දුෂ්කර අවස්ථාවන්වලදී පමණි. සෑම කොටසක්ම ඇරැඹුණේ කණ්ඩායමට පැවරෙන අතිශය දුෂ්කර මෙහෙයුමකට පටිගත කරන ලද පණිවුඩයකින් ආරාධනයකිනි.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇතිවුණු සීතල යුද සමයේදී කණ්ඩායම් මෙහෙයුම් බොහෝ විට කේන්ද්‍ර ගතවී තිබුණේ කුඩා කමියුනිස්ට් රටවල් පරාජය කර නිදහස් ලොවේ ගැටලු ඇතිවීම අවම කර රජයේ අරමුණ සාක්ෂාත් කර දීමටයි.
1966 ඇරැඹු මේ ටෙලිනාට්‍ය මාලාව අතිශය ජනප්‍රිය වූ අතර ලද අසීමිත ජනප්රියභාවය නිසාම යළි 1988 දී පුංචි තිරයේ වෙනස්ම මෙහෙයුම් සමුදායකින් ඒ නමින්ම නිර්මාණය විය. එයිනුදු නොනැවතී 1996 වසරේ සුපිරි අමෙරිකානු ක්‍රියාදාම ශ්‍රව්‍යදෘශ්‍ය නිර්මාණය මිෂන් ඉම්පොසිබල් (අයි.එම්.එෆ්) රිදී තිරය ද ආක්‍රමණය කළේය.
වැඩිම ආදායමක් ලබන නළුවකු වූ ටොම් කෲස් මිෂන් ඉම්පොසිබල් 1,2,3, මුල් සිනමා පට ත්‍රිත්වයේම නිෂ්පාදකවරයා වූ අතර දැනට තිරගත වී ඇති කථාංග හයේම ප්‍රධාන වීරයා ද විය. මිෂන් ඉම්පොසිබල් සිනමාවලිය මිෂන් ඉම්පොසිබල් 1(1996), මිෂන් ඉම්පොසිබල් 2(2000) , මිෂන් ඉම්පොසිබල් 3(2006), මිෂන් ඉම්පොසිබල්ගෝස්ට් ප්‍රොටෝකෝල් (2011), මිෂන් ඉම්පොසිබල් රෝග් නේෂන් (2015), සිනමා පට පහෙන් සහ දැනට තිරගත වන මිෂන් ඉම්පොසිබල් ෆෝල් අවුට් සිනමා පටයෙන් සමන්විතය.
ජුලි මාසයේ 27 වැනි දා සිට බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් තිරගත වන මිෂන් ඉම්පොසිබල් - ෆෝල් අවුට් ඇතුළු සියලුම සිනමාපට ලොව සිනමා පට මාලාවන් අතර ධනාත්මක ප්‍රතිචාර ලබමින් සර්වකාලීනව ජනප්‍රියතාවෙන් දහ නව වැනි ස්ථානයට ඉහළ ආදායම් ලැබූ සිනමා පටය බවට පත් වී ඇත. මෙය පැය 2ක් හා මිනිත්තු 27 ක් දිගු වූ අතර සිනමාපට මාලාවේ දිගුම සිනමා පටයයි.
1996 දී සිනමා පට මාලාව ඇරැඹෙන්නේ අමෙරිකානු රජය විසින් ඊතන් හන්ට් (ටොම්කෲස්) සහ ඔහුගේ උපදේශකයා ජිම් ෆෙල්ප්ස් (ජෝන් වොයිට්) අබිරහස් ප්රාග් තානාපති මෙහෙයුමකට යැවීමෙනි. එහි දී ජිම් මරා දමන අතර ප්‍රධාන සැකකරු බවට පත්වන්නේ ඊතන් හන්ට්ය.
රහස් පරීක්ෂක කණ්ඩායමට අලුතින් බඳවා ගත් සගයින් කිහිප දෙනකුගේ ආධාරයෙන් ඊතන්ට දැඩි මුරකාවල් සහිත මධ්‍යම බුද්ධි ඒජන්සි ගොඩනැගිල්ලෙන් පැන යාමට ආධාර වන අතර තම නිරවද්‍යතාව ඔප්පු කිරීමට අවශ්‍ය රහසිගත පරිගණක ගොනු සොයා ගැනීමට මඟ පාදා දෙයි. එතැනින් ඇරැඹෙන ඊතන්ගේ ගමන තවමත් අවසන් වී නැත.
මිෂන් ඉම්පොසිබල් - ෆෝල් අවුට් (2018) මඟින් ඇපෝස්ට්ලස් ලෙස හඳුන්වන ඊතන් හන්ට් වතිකානුවට, ජේරුසෙලමට , මක්කමට එකවර එල්ලවිය හැකි න්‍යෂ්ටික ප්‍රහාර වැළැක්වීමට වෙර දරන අතර හිටි හැටියේම ආයුධ අතුරුදන් වීම මඟින් ගැටලුව තව දුරටත් බරපතළ වෙයි. රහස් පරීක්ෂක කණ්ඩායමේ ඊළඟ අභිලාෂය වන්නේ වැරැදිකරුවන් අතට ආයුධ යාම වැළැක්වීමය. මෙය එදා මෙදා තුර ‘මිෂන් ඉම්පොසිබල්’ සිනමාපට මාලාවේ විශිෂ්ටම නිර්මාණයක් ලෙස සැලකෙයි. 2018 වසරේ හොඳම ක්‍රියාදාම සිනමාපටය බවට දැනටමත් මිෂන් ඉම්පොසිබල් සය වැන්න පත්වී අවසන්ය.
ටොම් කෲස් පළමුවැනි මිෂන්: ඉම්පොසිබල් සිනමාපටයට එක් වන විට තිස්පස් හැවිරිදිය. යෞවනයේ මස්තක ප්‍රාප්තියේදී එසේ එක් වුවද දැන් ඔහු මැදිවියේ, එනම් පනස්හය වියේ පසුවන්නෙකි. ආදේශක නළුවන් යොදා නොගන්නා ටොම් කෲස් එදා මෙදා තුර සිනමා පටවල පෑ අදහාගත නොහැකි දස්කම්වලට වයස බලපා නැත.
ඔහු මේ සිනමාවලියේම ගෝස්ට් ප්‍රොටොකෝල් සිනමා පටයේදී ලොව උසම ගොඩනැඟිල්ල වූ බර්ජ් කලිෆා ගොඩනැඟිල්ලේ එල්ලී කළ වික්‍රමය සේම පනස් හය හැවිරිදි වියේදී ෆෝල් අවුට් සිනමා පටයට පෑ දස්කම් ද සිනමා පටයේ කණ්ඩායමට මෙන්ම ප්‍රේක්ෂකයන්ට ද ඇදහීමට නොහැක්කකි.
ඔහුට සිනමා පටයේ වහලයකින් වහලයකට දුවමින් පනිමින් යන ජවනිකාවක් රඟ පෑමට තිබූ අතර වයර් ගණනාවකට සම්බන්ධ කර තිබූ ටොම් එසේ පැනීමේදී වළලුකර බිඳී ගියේය. එහෙත් ඔහු සම්පුර්ණයෙන්ම ජවනිකාව නිම කර කැමරාවෙන් පිටු පසට පැන්නේය. එය සිනමා පටයට අන්තර්ගතය. කැමරාවෙන් පසු පසට ඔහු දිව්වේ පාදයට අනතුරක් සිදු වී ඇති නිසා බව සියල්ලන්ටම වැටහිණි.
ඔවුන් එම රංගනය දෙස විමතියෙන් බලා සිට පැවසුවේ ටොම් කෲස් නළුවාගේ සුවිශේෂීත්වය එය බවය. පාදයට සිදු වූ තුවාලය නිසා සති නවයක් සිනමා පටයේ රූගත කිරීම් නතර කෙරිණි. එහෙත් සති හතෙන් ටොම් දර්ශන තලයට පැමිණි අතර රක්ෂණ මුදල් හමු වීම නිසා නිෂ්පාදක කණ්ඩායමට පාඩුවක් සිදු වී නැත.
මෙහි ටොම් කෲස් මරණය අභිමුවට කැන්දු ජවනිකා කිහිපයක් ම දැකිය හැකිය. ඔහු අඩි දෙදහසකින් පහළට වැටෙන ජවනිකාව එවැන්නකි. ඔහු අඩි විසිපන් දහසක, තිස් දහසක උසක සිට පැයට කිලෝමීටර් 354 ක වේගයෙන් විශේෂ ඔක්සිජන් මුඛ ආවරණයක් ද පැළඳ වායු ගෝලයේ සැරුවේ විශේෂ හමුදා ක්රියාන්විතයකු ලෙසය. රූගත කිරීම්වලදී ඔහු C-17 හමුදා ගුවන් යානයකින් ජවනිකා තුනක් රූගත කිරීම සඳහා එකසිය හය වරක් පැන තිබේ. අධ්යක්ෂ ක්‍රිස්ටෝපර් මැක්කරී තෘප්තිමත් වන තුරු ටොම් එසේ පැන්නේය.
පෞද්ගලික ගුවන් නියාමක බලපත්‍ර වාණිජ ගුවන් නියාමක බලපත්‍ර ලබා ගැනීමට තරම් ටොම් හෙලිකොප්ටර් පැද වීමට ද දස්කම් පෙන්වීය. ටොම් හෙලිකොප්ටරයෙන් ගමන් කරන සහ ඉන් පනින දර්ශන රූගත කිරීමේදී කැමරා ශිල්පීන්ට විශේෂ හෙල්මට් කැමරා ලබා දී තිබේ.
අධ්යක්ෂ ඇතුළු සිනමා කණ්ඩායම දෛනික රූගත කිරීම් ආතතිය කැන්දු කරුණක් විය. ටොම්ගේ ජීවිතය බේරාගෙන සියලු රූගත කිරීම් කළ යුතුය. ‘හෙට දිනයේ ඔහු ඔබට අපට දැක ගත හැකි වේවිද?’ රූගත කිරීම් පුරාම අධ්යක්ෂවරයා ඔහුගෙන් අසා තිබේ. සිනමා පටයේ සෙසු ප්‍රධාන චරිත හෙන්රි කැවිල්, විං රේම්ස්, සිමන් පෙග්, රෙබෙකා ෆර්ගසන්, සෝන් හැරිස්, ඇන්ජෙලා බැසට්, මයිකල් මොනැගන්, ඇලෙක් බෝල්ඩ්වින්, වැනිසා කර්බි රඟති. සිනමා පටයේ සංගීත සංයෝජකයා ලෝන් බෝල්ෆේය.
සිනමා පටයේ රූගත කිරීම් කිහිපයක් සිදු කෙරුණේ නෝර්වේහි ප්රෙකිස්ටෝලන් නම් සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය අඩි 1982 ක් උස කඳු ප්‍රපාතයේය. දින නවයක් කන්දේ රූගත කිරීම් සිදු කෙරුණු අතර දිනකට හෙලිකොප්ටර් 50 ක් බිමට බැස්ස වීමට ද අවසර ලබාදී ඇත. ටොම් ප්රමුඛ නළු නිළියන්ගේ කැපවීමට දැන් රන් අස්වනු ලැබී තිබේ. තවත් මිෂන් ඉම්පොසිබල් සිනමා පටයකට මං පාදමින් ප්‍රථම ත්‍රිමාන මිෂන් ඉම්පොසිබල් සිනමා පටය වැය වූ ඩොලර් මිලියන 178 ට මේ වන විට ඩොලර් මිලියන 329.5 ක් ඉපයීමට සමත් වී තිබේ.
චම්පිකා දීපානි රණසිංහ
සිළුමිණ