ලාංකික සිනමාවේ නිළි රැජණ මාලිනී ෆොන්සේකා ගේ රංග විලාසය අද්වීතිය බැව් අවිවාදාත්මකය.එහි ලා ඇයගේ රංග විලාසය ගැන පැවසෙන මහා නිර්මාණ අතර නිධානය,බඹරු ඇවිත් ,සොල්දාදු උන්නැහේ වැනි සිනමාකෘති සිනමා රංගනය හදාරන්නන්ට අත් පොතකි.
එහෙත් මාලිනියගේ රංග වින්‍යාසය කියවා නිම කළ නොහැකි පොතක් බැව් බොහෝ දෙනාගේ මතයයි.මාලිනි නම් නිළි රැජණ පිළිබඳ මෙවර සරසවිය සම්මාන උලෙළේ 2016 වසරේ හොඳම සිනමාකරු අශෝක හඳගම විසින් මාලිනිය ගේ සිනමා දිවියේ පනස් වසර අළලා පැවැත්වුණු උලෙළේ දී පවත්වන ලද දේශනය සිනමා රංගනය සහ ජනප්‍රියත්වය පිළිබඳ නව මතවාදයක් ගෙන එන්නක් බඳුය විවාදාත්මකය.
සුබ සැන්දෑවක්! මේ උත්සව යේ මට ලබා දී ඇත්තේ සීමිත කාලයක් නිසා වැඩි වැල් වටාරම් නැතිව කෙලින්ම විෂයට පිවිසෙන්නට අවසර. මාලිනීගේ රංගනය පිලිබඳ ජැක්සන් ඇන්තනි මිතුරා ‘මාලිනී රංග න්‍යාය’ මැයෙන් ඉතා බර සාර දේශනයක් කර තිබුණා මීට ටික දවසකට කලින්. අවාසනාවට එම දේශනය මටඅසන්නට ලැබුනේ නැහැ. එහෙත් බොහෝ දෙනෙකු එහි බර සාර බව පිළිඹඳ ප්‍රශංසාවෙන් කතාකරනු අසන්නට ලැබුණා. අප දන්නා තරමින් ලෝකයේ ප්‍රධාන රංග න්‍යායන් දෙකකුයි හමු වන්නේ. ස්ටනිස්ලෝවුස්කි රංග න්‍යාය සහ බර්ට්‍රෝල්ට් බ්‍රෙෂ්ට් රංග න්‍යාය කියා. ඒ නිසා මාලිනී ගේ රංගනය න්‍යායගත කරමින් කළ දේශනයකට පසු ඇගේ රංගනය පිළිබඳ කෙටි දේශනයකින් කියන්න ට දෙයක් ඉතිරි වන්නේ නැහැ. ඒ නිසා උත්සවයේ කුමක් කියන්නේ දැයි තෝරාගැනීමම උභතෝකෝටිකයක් වුණා.
මේ සැන්දෑව එක්තරා විදියකට ප්රසාංගික බවක් උසුලන එකක් නිසාත් මාලිනි සිය රංගනයෙන් අපේ සිනමාවට සවිඥානිකව කළ දායකත්වය පිළිබඳ ප්‍රාමාණික ඇගයීමක් දැනටමත් කෙරී ඇති නිසාත් මාලිනී අපේ සිනමාවේ රඟපෑ අවිඥානක භූමිකාවක් පිළිබඳව කියන්නට මේ නිමේෂය යොදා ගන්නට මට අවසර දෙන්න.
මාලිනි ගැන හැමෝම කියන දෙයට වෙනස් යමක් කියන්නමා මුල පුරන්නේ මෙහෙම. මෙය Adults Only කතාවක් !
“සිනමාව කියන්නේ නරඹන්න තියෙන යමක්. ප්‍රේක්ෂකයින් විදියට සිනමාව නරඹන විට අප දකින්නේ කවුරු හරි වෙන කෙනෙකු (අධ්යක්ෂ) අපට පෙනෙන්නට සලස්වන දෙය. අප නොවන ඒ අනෙකා අපට කලින් අප වෙනුවෙන් ඒ දෙය නරඹා තියෙනවා. ඔහු අපටත් ඒ දෙය බලන්නට කියනවා.
අප නරඹන සිනමාව ඇතුළේ අපට නරඹන්නට තියෙන්නේ ගහකොළ ගොඩනැගිලි සතා සීපාවා ම නෙවෙයි. ගැහැනුන් සහ මිනිසුන්.සිනමාව ඇතුළේ ඉන්න පිරිමින් එහි ඉන්නා ගැහැනුන් දෙස බලනවා. අධ්යක්ෂකත් ඒ ගැහැනුන් දෙස බලනවා. ප්‍රේක්ෂකාගාරයේ ඉන්න පිරිමිනුත් කෘතිය ඇතුලේ ඉන්න ගැහැනුන් දෙස බල ඉන්නවා.
අවසානයේ සිනමාව ඇතුළේ ඉන්නා අයත් එළියේ ඉන්නා අයත් හැමෝම ගැහැනුන් දෙස බලා ඉන්නවා. සිනමා කෘතියක් නරඹනවා කියල කියන්නේ කෘතිය ඇතුලේ ඉන්න ගැහැනුන්දෙස බලා හිඳීමයි. මේ නිසා තමයි කියන්නේ සිනමාව කියන සන්දර්භය ඇතුලේ තියෙන්නේ “පුරුශානුබද්ධ දෘෂ්ටියක්” (Male Gaze එකක්) කියල. ඒ නිසා කවුරු මොනවා කොහොම කිවුවත් සිනමා කෘතියක් ඇතුලේ කාන්තා භූමිකාව සැකසෙන්නෙම පිරිමින්ට නරඹන්න.
සිනමාවට මේ බැල්ම එන්නේ චිත්‍ර කලාවෙන්. 17 වෙනි සියවසේ (ඒ කියන්නේ බරෝඛ් යුගයේ) ඉතාලියානු චිත්‍ර ශිල්පියෙක් වන Artemisia (Italian 1593-1651) ඇඳපු සුප්‍රසිද්ධ “නිදියන වීනස් “ (1630) සිතුවම දර්ශාස්වාදකයෙකුගේ ( voyeur - යතුරු සිදුරෙන් බලන්නා ) දෘෂ්ටියෙන් නිමැවුණු එකක් ලෙස ගැනෙනවා.
සිනමා කෘතියක ගැහැණිය දිහා පිරිමියෙක් බලන්නේ මේ දෘෂ්ටියෙන්මයි.
යතුරු හිලෙන් බලන එක මහා ලජ්ජා නැති වැඩක්. බලන කෙනා (voyeur) විශ්වාස කරනවා තමන්ව කාටවත් පෙනෙන්නේ නැහැ කියලා. විශේෂයෙන් තමන් සිදුරෙන් බලන කෙනාට (object එකට) තමන්ව පෙනෙන්නේ නැහැ කියලා. සැබෑ ලෝකයේදී මේක ටිකක් අවදානම් සහගත වැඩක්. ඒ හින්ද කාටත් ආසාව තිබුණත් කරන්න ටිකක් බයයි. සිනමාව මේ (ලජ්ජා නැති ) ආසාව තෘප්තිමත් කරගන්න ආවරණයක් සපයනවා. චිත්‍රපටයේ තමන් වෙනුවෙන් බලන්න වෙන පිරිමියෙක් ඉන්නවා. එක්කෝ අධ්‍යක්ෂක එහෙම නැත්නම් චිත්‍රපටියේ ඉන්න චරිතයක්. ඉන් ආවරණය වෙමින් ප්‍රේක්ෂකයා දර්ශාස්වාදය විඳීනවා. ..
උදාහරණයක් ඕනා නම් , ජනප්‍රිය ටයිටැනික් චිත්‍රපටයේ ජැක්, රෝස් ගේ නිරුවත් සිරුර චිත්‍රයට නඟන අවස්තාව මතක් කරගන්න. ජැක් රෝස් දෙස බලාගන රෝස් ගේ නිරුවත් උඩුකය චිත්‍රයට නඟනවා. ජැක් ගේ ඇස් දෙකින් අපි රෝස් ව විඳීනවා.ජැක් ගේ Point of ViewWY කියන්නේ නරඹන්නා ගේ ඒ කියන්නේ අපේ POV එකටයි.
ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයින් දශක දෙකකටඅධික කාලයක් පුරා ( 1968 - 1990 )මාලිනී දිහා ( යතුරු හිලෙන් ) බලා සිටියා.
අපේ සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස සැලෙකෙන හැත්තෑවේ දශකය කියන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිමින් මාලිනී දෙස යතුරු සිදුරෙන් බලා සිටි යුගයයි. ගැහැණු සිරුර ලාභය ට බෙදා හරින රූපවාහිනිය හෝ අන්තර් ජාලය නොමැති මේ වකවානුව මිනිසුන් මුදල් ගෙවා සිනමා ශාලා වෙත තොග පිටින් ආකර්ශනය වුනු යුගයයි. එසේ ප්‍රේක්ෂකයින් ආකර්ශනය කෙරුණු ආශාවේ වස්තුව වුණේ මාලිනී.
අපේ සිනමාවේ ස්වර්ණමය යුගය, සිනමා කතිකාව තුල සැකසුනේ සිනමා ශාලා වටා රොක් වුණු ප්‍රේක්ෂක සංඛ්‍යාව දර්ශකය ලෙස අරගනයි. වාර්තා ගත වාර්ෂික ප්‍රේක්ෂක සංඛ්‍යාව ඇතැම් විට ලංකාවේ ජනගහනය මෙන් තුන් ගුණයත් ඉක්මවූ අවස්ථා තිබුණා.
මාලිනි සිංහල සිනමාවේ නිළි රැජින වන්නේ මෙසේ (යතුරු සිදුරෙන් බලන) ප්‍රේක්ෂකයා ගේ ඔලු තුළයි.
යතුරු සිදුරෙන් බලන්නා ගේ මූලික චරිත ලක්ෂණයක් වන්නේ ඔහු ඍජුව තමා විඳීන තම ( ආශාවේ ) වස්තුව සමග අන්තර් ක්‍රියා නොකිරීමයි.13 වන සියවසේ පුරාවෘතයකට අනුව 11 වන සියවසේ එංගලන්තයේ කොවෙන්ට්‍රි නගරයේ විසූ ගොඩීවා ආර්යාව අස්සයා පිටේ නැගලා නගරයේ වීථි දිගේ නිරුවතින් සැරිසැරුවා. ඈ එහෙම කළේ තම ස්වාමියා විසින් නගර වැසියන් පීඩාවට පත් කරමින් පැනවූ බද්දක් ඉවත් කර ගැනීම සඳහා විරෝධයක් හැටියට. සියලුම නගර වැසියන් ඇයට ගෞරවය පිණිසත් ඇගේ නිරුවත් සිරුර නොදකිනු පිණිසත් තම නිවෙස් වල දොර කවුළු වසා දැම්මා. එහෙත් ටොම් කියලා පිරිමියෙක් කාටත් හොරෙන් කවුළුව හැර ඈ දෙස බලා සිටි යා ලු. මේ නිසා යතුරු සිදුරෙන් බලන්නන් අවඥාවට හැඳීන් වුයේ ටොම් ලා කියලා. Peeping Toms.
මාලිනි රඟ පෑ සිය ගණනක් චිත්‍රපට අතරින් ඇයට අභියෝගාත්මක චරිත නිරූපන අවස්ථා ලැබුණේ අතේ ඇඟිලි ගණනකටත් අඩු ප්‍රමාණයක්. ඒවා ද මහජන ප්‍රදර්ශනයේ දී වාර්තා ගත ප්‍රේක්ෂක ආකර්ෂණයක් වාර්තා කළ චිත්‍රපට නෙවෙයි. එනිසා අපේ සිනමාවේ ස්වර්ණමය යුගය සනිටුහන් කිරීමට දායක වුණේ ප්‍රේක්ෂක ටොම් ලා ආකර්ෂණය කළ චිත්‍ර පට යි.
යතුරු හිලෙන් බලන්නා අපේක්ෂා කරන්නේ තමා නරඹන ගැහැනියගේ නිරුවත් දේහයයි. (ටොම් රහසේ බලා සිටියේ නිරුවතින් අසු පිට නැගී ගිය ගොඩීවා ආර්යාව දෙස යි.) ඒත්මාලිනි ට කිසි දිනෙක චරිතයක් වෙනුවෙන් නිරුවත් ජවනිකාවක් රඟපාන්නට වුණේ නැහැ.
එසේ නම් ප්‍රේක්ෂකයින් රහසේ වින්දේ මාලිනීගේ කුමක් ද?
මාලිනී ට පෙම් නොකළ පිරිමියෙක් ඒ කාලේ ලංකාවේ හිටියේ නැහැ. පිරිමි දකින්න විඳීන්න ආශා කළ ‘ස්ත්‍රීත්වය’ වෙන කිසිම නිළියකට වඩා තිබුනේ මාලිනී ළඟ යි. ඊට ප්රතිපක්ෂව ස්වර්ණා ( මල්ලවාරච්චි ) මැවුවේ පුරුෂ සිහිනය පුපුරා හරින, ප්රචණ්ඩව ප්‍රතික්‍රියා දක්වන ස්ත්රීත්වයක්. ( භව දුක, භව කර්ම, දඩයම උදාහරණ). ස්වර්ණා මැවූ ප්රචණ්ඩ ස්ත්‍රී රූපය පිරිමි ඔලු තුළ ඇති කළේ ක්ෂතිමය කම්පනයක් (Traumatic Shock). ඒ ස්ත්‍රීත්වය පිරිමින්ට යට වන එකක් නෙවෙයි. ඒ වෙනුවට පිරිමි පීඩකත්වයට එරෙහිව සටන් වදින එකක්.ඒ ස්ත්‍රීත්වය ට කිසිම පිරිමියෙකුට ප්‍රේම කරන්නට බැහැ.
මාලිනී ලාංකීය පිරිමියා තමන් සතු කරගන්නට සිහින මවන ගැහැනිය ගේ රූපකාය වුනා.ඒ විතරක් නෙවෙයි, ඈ ජනප්‍රිය සිනමාව තුළ මැවු සෑම චරිතයක්ම පාහේ ( හර්බට් රන්ජිත් පීරිස් ගේ එක් ටැම් ගේ චිත්‍රපටයේ මාලා ගේ චරිතය හැර ) එම රූපකායම හැඩ ගැන්වූ සිහින චරිතවුනා. එක් ටැම් ගේ චිත්‍රපටයේ මාලා යනු මාලිනී තිරයේ මැවූ අතිශය භයංකර ම චරිතයයි.
මාලිනී ගේ (අහිංසක) සිනහව, දිගු වරලස, සඳක් වන් මුහුණ නාගරික චරිතයක ජීවත් වුවත් ඇය තුල මැවුවේ ලංකාවේ පිරිමියා ඇලුම් කරන ගැමි සුන්දරත්වයයි. ගම මෙන්ම ඒ ගැමි සුන්දරත්වය ද ඇත්තේ ප්‍රේක්ෂක මනසේ මිසක් ඇත්ත ලෝකයේ නොවේ. ඇත්ත ගම ත්, ගැමි සුන්දරත්වයත් කියන්නේ ඒ මනස්කල්පිත සුන්දරත්වයෙන් බොහෝ දුරස් ත සංකල්ප. ඇත්ත ගැමි ගැහැනිය ඇතැම් විට (පිරිමියෙකු) නොසිතනා කුරිරු කම් කරනවා.
පිරිමි සිත් ත්‍රස්ත කළ ගැහැනු චරිත බොහෝ විට තිරයේ මැවුනේ ස්වර්ණා අතින්. මාලිනි එහෙම නොවෙයි. පිරිමින් දෙදෙනෙකු ගේ ජීවිත දෙකක් සහමුලින්ම අවුල් කළ එක් ටැම් ගේ චිත්‍රපටයේ මාලා ට හැරෙන්නට තිරයේ දුටු මාලිනීට ලංකාවේ පිරිමින් ප්‍රේම කළා. බියට පත් වුනේ නැහැ.
විජය කුමාරතුංග සිංහල සිනමාවේ ප්‍රේම වන්තයා වුනෙත්, ගාමිණි ෆොන්සේකා වීරයා වුනෙත් මාලිනී නිසා මයි. විජය සහ ගාමිණී යනුවෙන් තිරයේ කිසිවක් නැහැ. ඒ ඉන්නේ නරඹන ප්රේක්ෂකයාමයි. විජය ට ආවේශ වී මාලිනී ට ප්රේමකරන්නේත්මාලිනී දිනා ගැනීම වෙනුවෙන් දුෂ්ඨයින් සමග සටන් වදින ගාමිණී ත් අන් කිසිවෙකු නොවයි.චිත්‍රපට නරඹන තමාමයි.අපමයි.
මාලිනී ගේ සිරුර රහසේ විඳීමේ යතුරු හිල් අභ්‍යාසයේදී ප්‍රේක්ෂකයා තමන්ව වසන් කරගන්නේ විජයට හෝ ගාමිණී ට මුවා වෙලා. තිරයේ දී විජය මාලිනී ගේ කම්මුල් වෙතට තම දෙතොල් ලං කරනවා පමණයි. චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයා ඇගේ දෙතොල් විකනවා පමණක් නොව ඉන් එහාටද යනවා.
තමා තුළ ඒ පරිකල්පනය ගොඩ නැගීමට තමා වෙනුවෙන් මාලිනී ව සිපගන්නා මෙන් ඉන්නා එහෙත් සිප නොගන්නා කිසිවෙකු අවශ්‍යයයි. විජය ට තිරයේ ( මාලිනී ගේ ) ‘පෙම්වතා’ ලෙස කිරුළු පළඳන ප්‍රේක්ෂකයා ඇත්තටම ඔටුන්න දාගන්නේ තමාටමයි. තමා වනුවෙන් ඒ ඔටුන්න විජය දරා සිටිනවා. ඒ වෙනුවෙන් විජය ට මිලක් ද නියම වෙනවා.ප්‍රේක්ෂකයා එය කැමැත්තෙන් ම ගෙවා දමනවා.
ගාමිණී ගේ වීරත්වයද එසේමයි. ප්‍රේක්ෂක අප වෙනුවෙන් මාලිනී ව දිනා ගැනීම ගාමිණී ට පැවරෙන වගකීමයි. එය ඉටු කිරීම වෙනුවෙන් ගාමිණී තිරයේ වීරයෙකු වෙනවා. ඒ කිරුල දරා සිටීම වෙනුවෙන් ගාමිණී ට හෙළ සිනමාවේ ‘සක්විති’ කම ලැබෙනවා. අනෙකුත් අවශේෂ රංගන ශිල්පියෙකු ට නොලැබෙන මිලක් ද නියම වෙනවා.
ලංකාවේ වාණිජ හෙවත් ජනප්‍රිය සිනමාවේ චිත්‍රපටවල කිසිදු සිනමාත්මක ගුණයක් හෝ කලාත්මක වටිනා කමක් නැත. ඒවා ජනප්‍රිය වූයේ විජය ගේ කඩවසම් කම නිසා හෝ ගාමිණීගේ වීරත්වය නිසා හෝ නොවෙයි. මාලිනී ගේ භූමිකාව හේතුවෙන්. විවිධ චරිත ලෙස තිරයේ දිස් වුවද, මේ සෑම චිත්‍රපටයකම මාලිනී ගේ අවිඥානක භූමිකා ව එකක් මයි. එනම්, ප්‍රේක්ෂකයාගේ යතුරු හිල් අභ්‍යාසයේ දී කිසි දිනෙක ඇත්තට අභිමුඛ නොවන ප්‍රේක්ෂකයාගේ ආශාවේ වස්තුව වීමයි. විජය සහ ගාමිණී යනු ප්‍රේක්ෂකයා තමන්වම දකින්නට කැමති ස්වරූපයයි. එක විට රූපකායන් දෙකකට තමාව ආරූඩ කරගන්නා ප්‍රේක්ෂකයා මාලිනී සමග මනසින් තම සිහින ප්‍රේම විජිතයේ සැරි සරනවා.
මාලිනී ට පිරිමින් විතරක් නෙවෙයි ගැහැනුන් ද ආශක්ත වූ බවට කෙනෙකු ට ප්‍රතිතර්කයක් ගොඩ නගන්නට පුළුවන්. එය නිරීක්ෂණයක් ලෙස සත්‍යයක්. තමාගේ ආදරවන්ත පිරිමියා හෝ ස්වාමි පිරිමියා මාලිනීව ( රහසේ ) විඳීන බව ගැහැනුන්ට රහසක් නොවෙයි. එහෙත් රහසේ විඳීම ට එරෙහිව ගැහැනුන්ට කළ හැකි ඉටිගෙඩියක් නැහැ. තම ස්වාමියා අන් කාන්තාවක සමග ප්‍රේමයෙන් බැඳුනා නම්, ඇය හා යහන් ගත වන බව දැන ගත්තා නම් යක්ෂාවේෂව ඒ ගැහැණියට පලි ගහන ගැහැනිය මාලිනී ට ආශා කරන්නේ ඇයි ? එසේ තම ස්වාමියා (පෙම්වතා) මාලිනීව (රහසේ) විඳීම නිසා තම කුටුම්භ සමතුලිතතාව නොඹිදෙන නිසා. මාලිනී ව රහසේ විඳීන ඔහු ඇත්තට එන්නේ තමා වෙතට බව ගැහැනුන් දන්නා නිසා. එබැවින් හැත්තෑවේ දශකයේ බොහෝ ගැහැනුන්ගේ සිහිනය වූයේ මාලිනී වීම ය. ‘ඔහු’ තමා වෙතම ඇද බැඳ තබාගත හැකි දම්වැල එය බව ගැහැණුන් දැන සිටියා.
මාලිනී සවිඥානකව රඟපෑ භූමිකාවන් හරහා අපේ සිනමාවට කළ දායකත්වයට වඩා මාලිනී ගේ මේ අවිඥානක භූමිකාව ( එනම් ප්‍රේක්ෂකයාගේ ආශාවේ වස්තුව වීම ) හරහා කළ දායකත්වය අති මහත් ය. අඩුම තරමින් අපේ අයගේ පවුල් රැකුණා. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් සමූහයක ගේ ආශාවේ වස්තුව වීම සුළුපටු ප්රභාවකින් කළ හැක්කක් නෙවෙයි. 70 -80 දශකවල චිත්‍රපට බලපු, මාලිනීව රහසේ නොවිඳී කිසිවෙකු මේ සභාවේ ඉන්නා බවක් මා විශ්වාස කරන්නේ නැහැ.එබැවින් සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයක් තිබුණේ නම්, ඒ මාලිනී රිදී තිරයට රැගෙන ආ මේ අසම සම ශක්තිය (sexual energy) නිසා ම යයි කීම අතිශෝක්තියක් නොවෙයි. ඒ අරුතින් ඇත්තටම මාලිනී රැජින ක්.
සරසවිය