ටිම්රාන් කීර්ති කලකට පෙර ලියූ කවියක් වුණ "අපේ අම්මා හැර සේරම බුදු වේවා…!" නම් වූ කවිය අප බෙහෙවින්ම සසල කලා. කවීන් මෙන්ම රසිකයන් ද මේ කවිය, කවියේ ආත්මය, එහි භාෂාව ගැන තැන තැන කතා වුණා. අත්දැකීම, රිද්මය හා භාෂාව එකිනෙකට පෑහුණේ අපුර්ව රසයක් ජනනය කරමින් මෙය නිර්මාණය කරන්නට ටිමා සමත් වී තිබුණේ ඔහුගේ කවිකම යළි අපට සනාථ කරමින්.
තමා පෙලන ආර්ථික ගැටළු ජයගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදෙන අම්මාට අලුත් අවුරුදු දා චාරිත්‍රානුකූලව වැඳීම ප්‍රතික්ෂේප කරන සිය නැගණියට අයියා විසින් කරන තර්ජනාත්මක පැහැදිලි කිරීමක් මේ කවියේ අත්දැකීම වෙනවා. සිය මව ගණිකාවක් බවට පත්වුන සමාජ දේශපාලන හා ආර්ථික ඛේදවාචකය තමන්ගේ පෞද්ගලික වරදක් නොවන බව අවබෝධ කරගන්නා අයියා නංගිට එය පහදන්නේ මේ ආකාරයෙන්.
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහෙ කොවුල් බිජු පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්
අම්මා ගණිකාවක් විම නිසා ප්‍රතික්ෂේප කල යුත්තේ අම්මා නොව ගැටළුව නිර්මාණය කල සමාජ ආර්ථික දේශපාලන හේතුව බවත් එය වෙනස් කල යුත්තේ අපිම බවත් අවධාරණය කරනවා. ගණිකාවක් බිහිවන්නේ උපතින් නොව ආර්ථික අසමතාවන්ගේන් හා පන්ති ප්රතිවිරෝධතාවන්ගෙන් බව නොදන්නා සමාජයක ගණිකාවක් වීම ඇයගේ ජන්ම වරදක් ලෙස දැකිම කොතරම් ඛේදයක් ද? ඒ වරද දකින සමාජය බෝසත් ගුණෝපේත සමාජයක් ද?
‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා! වැඳපන් අම්මාට
ගණිකාවකගේ සිරුරු පහස ලබන්නෝ පෙරලා ඇයට ගල් ගසන්නට අත් ඔසවනවා. ඒ අත් අතර අති පාරිශුද්ධ යැයි සම්මත සමාජය පිළිගන්නා ආගමික නියෝජිතයන් ද ඉන්නා බව එළිදරව් වූ සත්‍යයක්. ඒ සත්‍යය කහදියරෙන් නහවා, ආගමික සළුපිළි අන්දවා පූජාසනාරූඪ කරන්නේ ද මේ අන්ධානුකරන සමාජයමයි.
දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
ලොකු හාමුදුරුවො අණකර බන පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා
වැටෙන මිනිසාට පහර දෙන්නට ප්‍රිය සමාජයක, රාත්‍රියේ නිදි වදින ගැහැනියගේ මුහුණට පසු දා උදයේ කෙලගසන සමාජයක, සැබෑ සතුරා කවුදැයි නිවැරදිව තේරුම් නොගන්නේ නම් මේ ක්‍රමය වෙනස් කිරීම සරල කාරනයක් වන්නේ නැහැ.
හුදෙක් මතුපිට අරුතින් ගතහොත් මෙය නැගණියකට යම් සමාජ දැනුමක් ඇති අයියා කෙනෙක් විසින් කරන තරවටුවක්. නමුත් ගැඹුරින් සූචනය කරන්නේ ඊට එහා ගිය සමාජ දේශපාලන අරුතක්. එසේම ටිමා විසින් මෙහි භාවිතා කර ඇති භාෂාව ගැනද යමක් කිව යුතුයි. විලියම් වර්ඩ්ස්වර්ත් පවසන්නේ කවිය සඳහා භාවිතා කලයුත්තේ උපයුක්ත සමාජය භාවිතා කරන භාෂාව බවයි. මේ නිර්මාණය පුරාම මේ චරිත නියෝජනය කරන සමාජ තීරුව භාවිතා කරන භාෂාව ඒ අයුරින්ම භාවිතා කරන්න ටිමා සමත් වි තිබිම ඔහුගේ කාව්‍ය භාෂා භාවිතයේ පරිචය මනාව පැහැදිලි කරනවා. " නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම, යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට, කතන්දර එපා! වැඳපන් අම්මාට " වැනි තැන් වල එය වඩාත් කැපී පෙනෙනවා.
රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
මේ සටහන ප්‍රමාද වී මෙසේ තබන්නට හේතු වූ අනෙක් කාරණයක් තියෙනවා. පසුගිය දවසක මෙය ගීතයක් ලෙස ප්ර්තිනිර්මාණය වීම ඊට හේතුව. මෙම රචනයට තනුවක් යොදා ගායනා කරන්නේ නව පරපුරේ සංගිත රචකයෙකු මෙන්ම ගායකයෙකු වන සාදර බණ්ඩාර. ඔහු අතින් මේ රචනය ඉටු වී ඇති සාධාරණය අපමණයි. ගිතය ආරම්භයේම ඔහු යොදා ඇති නිර්මාණාත්මක ප්‍ර වේශය අපව ඉද්දගසා නවත්තන සුලුයි. අම්මාට වැඳීම ප්‍රතික්ෂේප කරන නැගණිය පිළිබඳ අයියාගේ සිතෙහි ඇතිවන කෝපය, නොඉවසිලිවන්තභාවය, දුක මේ සියල්ල ඔහු එම නිර්මාණාත්මක භාවිතයෙන් අප තුලද ඇති කරනවා. එසේම ගීතයේ අවස්ථා දෙකකදි ඔහු රසිකයාව උච්ච ස්ථානයකට රැගෙන ගොස් සිය ඥානය අවදිකරවා ගන්න අවස්ථාව සලසා දෙනවා. එය අපූරු නිර්මාණාත්මක ආකෘතිමය භාවිතාවක්.
ගීතයේ මුල සිට මධ්‍ය කොටසට එන විට සාදර, අයියා ගේ කෝපය ක්‍රම ක්‍රමයෙන් උපරිමයට ලගාවන ආකාරයට කරන සංගිත නිර්මාණය හා ගැයුම රසිකයා ගේ හද මනස කිලිපොලා යන තරමට ප්රමබලයි. ඒ කිලිපොලා යෑමම අපට සමාජය යළි කියවිමට බලකිරීමක් ඇති කරනවා. ගිතයේ දෙවන අර්ධයේ ද මේ ආකාරයෙන්ම එය පුනරුච්චාරණය කෙරෙනවා. එය හරි ප්රදබලයි. මේ ආකෘතිමය වෙනස් කම ගීතයේ සැබෑ අර්ථය ජනනයට ඉටු කරන්නේ අනුපමේය මෙහෙයක්.
එසේම ඝෝෂාකාරී බවින් මිදී අවම සංගීතය භාවිතය කරමින් ගිටාරය වැනි තත් භාණ්ඩයකින් ඔහු කරන නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම ඉහළ තලයක තිබෙනවා මෙන්ම එය නිර්මාණයේ අර්ථ රසය අපූරුවට මතුකර දැක්වීමක්. සංගීත නිර්මාණකරුවෙකු සාහිත්‍ය නිර්මාණයකට කලහැකි උපරිම සාධාරණය මේ සංගීත රචනයෙන් ඉටු කර තිබෙනවාය කියා සිතෙන්නේ ගීතයට සාවධානව කන්දෙන විට.
අවසාන වශයෙන් කිවයුත්තේ වර්තමාන කලා භාවිතාවේ මෙවැනි දැනුවත් තරුණ මැදිහත්වීම් ජීවත්වීම පිළිබඳ ආශාව හා වඩා යහපත් හෙට දවසක් ගැන සිහිනය අලුත් කරන බව පමණයි.
© කපිල එම්. ගමගේ
ගීතය පහත සබැඳියෙන්