විවිධ වූ ආගමික විශ්වාසයන් අපේ ජීවිතවලට කරන බලපෑම් සුළු පටු නැත. ඇතැම් විශ්වාසයන් මිනිස්කමට ද අභියෝග එල්ල කරයි. ෆියෝනා එංගලන්තයේ සහ වේල්සයේ ඉහළ උසාවියේ විනිසුරුවරියකි. දාහත් හැවිරිදි ගැටවරයකුවූ ඇඩම් හෙන්රි සම්බන්ධ නඩුව නිසා ඇය උභතෝකෝටික පැනයකට මුහුණ දුන්නාය. ඇඩම් ලියුකේමියා රෝගයෙන් පෙළුණු දරුවකු වූ අතර ඔහුට රුධිර පාරවිලයනය කිරීමට අවශ්‍ය විය. එසේ කිරීමෙන් ඔහුට වඩාත් සාර්ථකව ප්‍රතිකාර කළ හැකි බව වෛද්‍ය විශේෂඥ නිගමනය විය. එහෙත් එසේ රුධිර පාරවිලයනය කිරීම සිය ආගමික විශ්වාසයන්ට පටහැනි බව ඔහුගේ මාපියන් දැඩි ලෙස විශ්වාස කළ නිසා ඇඩම් ද දැරුවේ ඒ මතයමය. විනිසුරුවරිය ඇඩම්ස් මුණ ගැසීමට ගියාය. ඔහු සමඟ කතා බස් කළාය.
ෆියෝනා ඇඩම්ගේ සිත දිනා ගත්තේය. එසේ කළේ සැබැවින්ම ඇඩම්ට අවශ්‍ය කුමක්දැයි දැනගැනීමටය. ඇය රුධිර පාරවිලයනයට ඔහු තුළ කැමැත්තක් ඇති කළේය. ඒ වන විට මෙවැනි අවස්ථාවන්ට නීතිමය විසඳුමක් ද නොතිබිණි. මේ අතරේ ෆියෝනාගේ විවාහයට ද කණ කොකා හඩමින් පැවතිණි. ෆියෝනා, ඇඩම් සමඟ කාර්ය බහුල වීම නිසා සැමියා ජැක් ගැන දැක්වූයේ අඩු අවධානයකි. මේ හේතුවෙන් ඔහු තමන් සමග සේවය කරන්නියක හා පෙමින් බැඳෙන බවට ඇයට පැවසුවාය. ජැක් දෙදිනක් නිවෙසට නොපැමිණි අතර පැමිණි පසු දෙදෙනා අතර වාග් සංග්‍රාමයක් ඇරඹිණි. එය නිම වූයේ ෆියෝනා දික්කසාද වීම සඳහා නීතිඥවරයකු හමුවීමට යාමෙනි.
ඇඩම්ට රුධිර පාරවිලයනය සිදු කෙරුවාද? ඉන්පසු ඇඩම් හා ෆියෝනා අතරේ ගොඩ නැගෙන්නේ කෙබඳු සබඳතාවක්ද? ජැක් සහ ෆියෝනාගේ ජීවිතවලට ඇඩම් කෙසේ බලපාවිද? සංවේදී මානව හැඟීම් උද්දීපනය කරන ද චිල්ඩ්රන් ඇක්ට් පූර්වදර්ශනය මුලින්ම ප්‍රේක්ෂකයන්ට නැරඹීමට ලැබුණේ 2017 සැප්තැම්බරයේ 42 වැනි ටොරොන්ටෝ අන්තර් ජාතික සිනමා උලළේදීය. නෝවීජියානු සම්මාන උලෙළේදී සම්මානයට පාත්රවූ ද චිල්ඩ්රන් ඇක්ට් දැන් ලොව පුරා තිරගත කෙරේ.
ඉයන් මැක්එවන්ස් 2014 වසරේදී ඒ නමින්ම රචිත නව කතාව ඇසුරෙන් සිනමා පටය නිර්මාණය වී තිබේ. සිනමා පටයට මේ වන විට ඉහළම ප්‍රතිචාර ලැබෙමින් පවතී. ප්‍රවීණ නිළි එමා වොට්සන්ගේ සුපිරි රංගනයට ලැබෙන අගැයුම් ඒ අතරින් සුවිශේෂීය. මිනිත්තු 105 ක් පුරා එමා වොට්සන් (ෆියෝනා), ස්ටැන්ලි ටූසි (ජැක්), ෆියෝන් වයිට්හෙඩ් (ඇඩම්) fnka චැප්ලින් (කෙවින්) ඇතුළු නළු නිළි කැල ප්‍රේක්ෂකයන් රැගෙන යන්නේ ඇසිපිය ගැසීමටවත් විරාමයක් ලබා නොදෙමිනි. කෙනකුගේ මරණයේ සහ ජීවිතයේ ඉරණම තමන් අත ලියවී තිබීම නිසා ෆියෝනා මුහුණ දෙන අභියෝග නරඹන්නන් කුතුහලයෙන් කලඹයි.
'ද චිල්ඩ්රන් ඇක්ට්' හැත්තෑ පස් හැවිරිදි ශ්‍රීමත් රිචඩ් චාල්ස් අයිරේගේ අධ්‍යක්ෂණයකි. ඔහු ද ඉන්වෙන්ෂන් ලව්, ගයිස් ඇන්ඩ් ඩෝල්ස්, කිංග් ලියර් වැනි සම්මානනීය සිනමා පට ගණනාවකම අධ්‍යක්ෂවරයාය. පනස් හැවිරිදි එමා වොට්සන් අති ගෞරවනීය තාරකාවකි. ඇය ඇකඩමි සම්මාන දෙකකම හිමිකාරියය. එලෙසම ඇය තෙවරක් ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වූවාය. හෝවර්ඩ්ස් එන්ඩ්ස්, ද රිමෙයින්ස් ඔෆ් ද ඩේ, සෙන්ස් ඇන්ඩ් සෙන්සිබිලිටි, ලව් ඇක්චුවල්, ආදී සිනමා රංගන ගණනාවකටම ඇය විවිධ සම්මානයන්ට පාත්‍ර වී ඇත. ඒ අතරට ඇයගේ නවතම රංගන වික්‍රමය ද චිල්ඩ්රන් ඇක්ට් ද ඇතුළත් වනු ඇති බව බොහෝ දෙනකුගේ අදහසයි. රංගනයෙන් ඇය කළ සේවය අගය කිරීමට දෙවැනි එලිසෙබත් මහ රැජන විසින් ආර්යාව යන ගෞරව නාමය පිරිනමා ඇත. ඇය විසින් රචිත ද ටේල් ඔෆ් පීටර් රැබිට් කෘතිය 2013 වසරේ වඩාත්ම අලෙවි වූ කෘතියක් ලෙස නිව්යෝර්ක් ටයිම්ස් මඟීන් සඳහන් කර තිබිණි. සිනමා පටයේ සංගීතය ස්ටෙෆන් වෝබෙක් ගෙනි. බ්‍රිතාන්‍ය තනු නිර්මාණ ශිල්පියකුවූ ඔහු ප්‍රයිම් සස්පෙක්ට් සඳහා ඇකඩමි සම්මානයට පාත්රවූ අයෙකි.
ද චිල්ඩ්රන් ඇක්ට් තේමාව වී ඇත්තේ ‘අප සැවොම තෝරා ගැනීම් සිදු කරනවා. ඇය ඉතිහාසයක් වෙනස් කරන තෝරා ගැනීමත් කළා‘ යන්නයි. මේ වෘතාන්ත සිනමා පටය ඉතිහාසයක් වෙනස් කරන සිනමා පටයක් බවට රසිකයන් පත් කරාවිද?
චම්පිකා දීපානි රණසිංහ
සිළුමිණ