උන් ඒ ඉස්කෝලෙ යන පුංචි කෙල්ලව උස්සන් ගිහිල්ල දූෂණය කරා. එකෙක්, දෙන්නෙක් , නෑ අට දෙනෙක්. ඒ කාලකන්නි මේ ලස්සන පොඩි කෙල්ලගෙ ආත්මය තිත්ක අදුරෙන් වැහුව. ඒත් ඒ ඇටපල් කලුවරේම ඒ මල කදුලු අතරින් පෙති විහිදලා හිනැහෙන්න පටන් ගත්තා.
ඉතිං මිතුර අපි කියනව උදෑසන හෝ දහවලේදී පමණක් නොවෙයි රාත්‍රී අන්ධකාරයේත් මල් පිපෙනවා.
ඉන්දියානු රාජ්‍යයේ ඉහළම සිවිල් සම්මානය වන පද්ම ශ්‍රී සම්මානය 2016 දී ඉන්දියානු රාජ්‍යය පුදදෙනු ලැබුවේ “ලිංගික සූරෑකෑමට” එරෙහිව අභීතව නැගීසිටි සුනීතා ක්‍රිෂ්ණන් නැමැති දිරිය ගැහැණියටය
සුනීතා ක්‍රිෂ්ණන් උපත ලැබුවේ මලයාලම් ජාතික මවුපියන්ට දාව 1972 දී බැංග්ලෝරයේ ය. ඇය උපතේ පටන් වෙනස්ව සිතන පතන හා ක්‍රියාකරන දැරිවියක බව ඇය ඇගේ වයස 8 දී ඉංදියාවේ කුලහීන දරුවන්ට නර්තනය ඉගැන්වීමට පටන් ගැනීමෙන්ම අපට පෙනේ. ඇය ඉන් නොනැවතී ඇයට යන්තම් වයස 14 ක් පමන වනවිට ඉන්දියාවේ කුලහීන ජනතාවක් ලෙස සැලකූ දාලිත් කුලයේ දුගී දරුවන්ට පුංචි කාමර කෑල්ලක් කුලියට ගෙන නොමිලේ උගන්වන්නට පටන් ගත්තා ය. ඉන්දියාව යනු කුලවාදය නැමති නාරාවලේ කරවටක් ගිලී ගිය මිනිසුන් වෙසෙන රාජ්‍යයකි. සුනීතාගේ මේ අඩු කුලයේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන එක කුලීන සමාජයට දිරවාගත නොහැකි විය. එහි ප්‍රතිපලය වුයේ වියරු මිනිසුන් 8 දෙනෙකු එකතුව මේ කෙල්ලව දූෂණය කිරීමයි. එවිට ඇයට වයස 15 කි.
දූෂණයෙන් පසු ඇය තවදුරටත් දරුවන්ට උගන්වන්න ගියේ නැත. ඒ ඇය කඩා වැටුණු නිසා නොවේ. දූෂණය ඇගේ අරමුණු ශක්තිමත් කර තිබූ අතර ඇයට ස්ථිරසාර ඉලක්කයක් තිබිණි. ඇය උසස් අධ්‍යාපනය සදහා දිගටම වෙහසවුනු අතර මනෝ වෛද්‍ය විද්‍යාවේදී උපාධියකින් එය අවසන් කළා ය. අනතුරුව කාන්තාවන්ගේ සිවිල් අයිතිවාසිකම් උදෙසා පාරට බැස්සා ය. එය ඇයට සිරගෙදර බත් කෑමට ප්‍රථම වරට හුරු කළේය. 1996 දි බැංග්ලෝර් තරුණියන් ලෝක රූප රාජිනි තරගවලට සහභාගිවීම නැවත්වීම සදහා කළ ඇගේ උද්ඝෝෂණයක් නතර වුයේ ඇයට මාස දෙකක සිර දඩුවමක් ලබා දෙමිනි. සිර දඩුවම අවසන ඇය සිය නිවෙසට ආ විට ගෙදර ඇයට තිබූ පිළිගැනීම එතරම් යහපත් නැත. සුනීතා එය මායිම් නොකරමින් 1996 දී සිය නිවෙස අතහැරීමට තීරණය කළා ය. එවකට කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි පල්ලියේ පුජකවරයකු වු ජෝස් වෙතිකාල් හමුවූ ඇය හයිද්‍රබාද් නගරයට පැමිණියා ය. අනතුරුව ඇය ලිංගික හිංසනයෙන් හා දූෂණවලින් මානසිකව කඩා වැටුණු ගැහණුන් වෙනුවෙන් “ප්රජ්වාලා” නැමති සංවිධානය පිහිටවුවා ය. එහි ප්‍රථම කාර්යය වුයේ හයිද්‍රාබාද්හි “රතු එළිය” නැමති ඉන්දියානු ගණිකාවන් වෙසෙන ප්‍රදේශයේ නිවෙසක් කුළියට ගෙන එහි ගණිකා වෘත්තියේ යෙදුණු ගැහැණුන්ගේ දියණියන්ට පාසැලක් විවෘත කිරීම ය. මේ පාසැලට පැමිණි දැරියන් ද සිය මව්වරු මෙන්ම දුෂණයට ලක්ව සිටි දැරියන් ය. සුනීතා මේ සියලු දැරියන්ට මනාලෙස අධ්‍යාපනය දෙමින් ඔවුන්ට ස්වයං රැකියා පුහුණු කරමින් හා රැකියා අවස්ථා සොයා දෙමින් නැවත ගණිකා වෘත්තියට නොයන සේ කාරුණිකව හා දක්ෂ ලෙස ඔවුන් මෙහෙයවුවා ය. ඇගෙන් යහපත් මාර්ගය තෝරාගත් දැරිවියන් ගණනින් අටදහස ඉක්මවයි. ඇය මේ වනවිට හයිද්‍රබාද්හි පාසැල් 19 ක දූෂණයට ලක්වූ පාසැල් සිසුවියන් වෙනුවෙන් සති පතා වෛද්‍ය සායන පවත්වයි.
වරක් නෙල්සන් මැන්ඩෙලා සමරු තිලිණය ලැබු සුනීතා අල් ජසීරා පුවත් නාලිකාවට මෙසේ කියා තිබුණා ය. “ඔබලා දන්නවාද ඉන්දියාවේ වහල් ශ්‍රමිකයො කොච්චරක් ඉන්නවද කියල? තිස් ලක්ෂයක් .මේ තිස් ලක්ෂයකගෙ දූවරු හෙට වෙනකොට තවත් තිස් ලක්ෂයක් දූෂණය වීම සදහා ලෑස්ති කරන රටක මිනිස්සු අපි. මේ දූෂකයො සමාජයේ වීරයෝ කරන එකත් උන් නීතියෙන් බේරී සිටිම ගැනත් අපි ඉන්දියානුවන් විදිහට ලජ්ජා විය යුතුයි.”
මේ වනවිට ඇගේ ප්රජාවාලා සංවිධානය විසින් ලිංගික ජාවාරම්කරුවන්ගේ ග්රහණයෙන් බේරා ගත් දැරිවියන්ගේ ගණන 12,000 කි. සුනීතාගේ ප්රජාවාලා සංවිධානය ගොඩ නැගී ඇත්තේ කුලුණු පහක් මත ය. දුෂණයකින් බේරා ගැනීම, වැළක්විම , පුනරුත්ථාපනය, වින්දිතයාව මානසිකව ගොඩ නැගීම හා දූෂකයාට දඩුවම් ලබාදීම එම කුලුණු වේ.
ඇය විවාහවුයේ ඉන්දියාවේ තිරනාටක රචකයෙකු හා අධ්‍යක්ෂකවරයෙක් වන රජේෂ් වචීර්වර් සමග ය. ඔහු හා එකතුව ඇය නිෂ්පාදනය කළ ඉන්දීය ගැහැණුන්ගේ ලිංගික සුරාකෑම විදහා දැක්වෙන චිත්‍රපටිය “නා බන්ගාරු” ඉන්දියානු රාජ්‍ය සම්මාන තුනක් දිනා ගත්තේ ය. 2003 දී ඇය ඉන්දීය රාජ්‍යයෙන් කරබා නොසිට මේ දූෂණයට ලක්වූ වින්දිතයන් පුනරුත්ථාපනය කිරීමට හා වන්දි ලබාදීමට වහා මැදිහත් විය යුතු යැයි ඉල්ලා සිටියා ය . ඒ අනුව ඉන්දීය රජය කර්ණාටක, උත්තර ප්‍රදේශ් , තමිල්නාඩු, දිල්ලි. බටහිර බෙංගාලය හා මහාරාෂ්ට ප්රාන්තයන් හි දූෂණයට ලක්වූවන් වෙනුවෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන පිහිටුවා වින්දිතයන්ට වන්දි ලබාදීමේ කාර්යයයේ දැන් නිරත වෙයි. සුනීතා ක්‍රිෂණන් මේ වනවිට දූෂණයට එරෙහිව නිෂ්පාදනය කළ චිත්‍රපටි ප්‍රමාණය 11 කි. ඇගේ දූෂණයට එරෙහිව නැගී සිට ඇය වින්දියන්ට කළ අප්‍රමාණ සේවය වෙනුවෙන් මේ වනවිට ලැබූ ඉන්දියානු සහ ජාත්‍යන්තර සම්මානවල එකතුව 49 කි. ඒවා මිනිසෙකුට ලැබිය හැකි ඉහළම ශ්‍රේණියේ සම්මාන වේ.
උපාලි ජයසිංහ