ස්වයංවරයක් යනු එකල රජ කාලේ රාජ කුමරියකට ,එක එක දිසාවන් වලින් නො එසේනම් එක් එක් රට රාජ්‍ය වලින් එන රාජ කුමාරයන්ගෙන් තමන් කැමති කෙනාව තෝරා ගැනීමය.
ඒක නම් මාරම "ආතල්" එකක්ය . හැබැයි ආතල් එක තියෙන්නේ අර රජ කුමරියටය. ඇයි දෙයියනේ කාව කියලා තෝර ගන්නද ?. හැම කෙනාම ජවසම්පන්නයි, බලසම්පන්නයි වගේම කඩවසම්. ඉතිං රජ කුමරියට හිතෙන්නේ ඔක්කොමල්ලව තෝර ගන්න. හැබැයි ඉතින් එහෙමත් බැහැ. තෝර ගන්න ඕනේ එක්කෙනයි. නැත්නම් ඉතින් පිය රජ තුමාගෙන් කඩු පහර තමා .
කුමාරවරු පෝලිමට ඉන්නවා. හරියට මිස්ට ශ්‍රී ලංකා තරඟයට වගේ. රාජ කුමාරිගේ අතට මල් මාලයක් දෙනවා. ඒක රජ පවුල් හා රට වැසියන් සහභාගී වෙන විශාල රාජ මංගල්ලයක්. ඉතින් රාජ කුමාරි, එක එක කුමාරවරු ලඟට ගිහින් එයා හොදද,මෙයා හොදද කිය කිය බලල තමන් ගේ හිත වැඩිපුර ගිය කුමාරයාට මල් මාලේ දානවා.
කාංචනාටත් ඔය වගේ ස්වයංවරයක් තියනවා . ඒකට එන්නේ 'කමල්', 'බණ්ඩාර හාමු' හා 'අනිල්' . ඒවුණාට ඒකේ වෙනසක් තියෙනවා. කාංචනා මෙතනට පත්තිනි අම්මා වගේ ආවට ඊට ඉස්සල්ලා, කමල් එක්ක හැකි තරම ජවුසම් නටලයි හිටියේ . ඉතින් ඔක්කොමල්ලා දන්නවා කාංචනා කැමති වෙන්නේ කමල්ට කියලා. හැබැයි වෙනසකට තිබුනේ, කාංචනාට මල් මාලාවක් තිබුණේ නැහැ දාන්න. ඒත් එතන ගේම් එක යන්නේ ඉඟි, බිඟි වලින් .
මොනවා වුණත් කාංචනාගේ ස්වයංවරය නම් හරිම උත්කර්ෂවත්. අර ඒ කාලේ කුමාරවරු තමන්ගේ බලය ජවය පෙන්නලානේ රාජ කුමාරිගේ කැමැත්ත දිනාගන්න බැලුවේ. ඒවුනාට කමල්, බණ්ඩාර හාමු, හා අනිල් නම් එතන කළේ තනිකරම "රියැලිටි" ෂෝ එකක්. ඒක නිකන් "සුපර් ස්ටාර්" තෝරන තරඟයක් වගේ . ඒකේ විනිශ්ය මණ්ඩලයට හිටියේ කාංචනා. එයා තමා " ඔයා හරියට ශෘතියට ගැයුවේ නැහැ, ඊළඟ වටේට ඔයා සුදුසු නැහැ කියලා" කපලා දාන්නේ . කොහොම කොහොම හරි ඔන්න කාංචනාගේ ස්වයංවරය පටන් ගත්තා. ඒක ආරම්භ කළේ අනිල්.
"මල් වයසේ මධු සිහිනේ-ආදර මාලිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා-උතුරා ගලා හැලේ
ජීවිතේ පුරා ආදරේ පෙරා-දැන් බොනු මැන ජය පානේ"
එතකොට බණ්ඩාර හාමුත් "සෙකන්ඩ්" වෙන්නේ නැහැ. ඔහුත් කාංචනාගේ හිත ගන්න උපරිමයෙන්ම ගයනවා
"බඹරෙකි කුසුමෙකි එක්ව ගී ගැයූවේ- මොණරෙකි උරගෙකි නෑ වෙලි රැඟූවේ
සඳවට පරයන පුංචි කැකුළු මල- එනු බොමු ජයපානේ"
ඒ ගයන විලාශයන්ට නම් කාංචනාට ඒ දෙන්නව කපන්නත් බැහැ. දැන් කාංචනාට හරි ප්‍රශ්නයක් . එතකොටම තමා අමුතුම හඬක් ආවේ .
"අඳුරු ගැබේ කඳූ මුදුනේ පායන සඳ වැන්නේ
අඳුරු මගේ හද මුදුනේ අද පායා පන්නේ...
නුරා රැඟුම් ලොල් හදවත් සසලයි- ආදර හිත නිසලයි"
ඒ හඩ කමල්ගේ. අම්මෝ කාංචනාගේ මූණෙ තිබුණු හිනාව .
සේන සමරසිංහගේ කුලුදුල් අධ්‍යක්ෂණය වූ "කස්තුරි සුවඳ " චිත්‍රපටයේ, තිබූ ආකර්ෂණීයම දර්ශනයකි ඒ. සේන හරි අමුතුම අනන්‍යතාවයක් හදා ගත්තා ඔය "කස්තුරි සුවඳ " නිර්මාණය කරලා. ඒක මේ ලෙනින් මොරායස්ගේ ශෛලයටත් නැති, සෙල්වරත්නම්ල, මස්තාන්ලා , යසපාලිතල , කේ.ඒ.ඩබ්ලියුල, නීල් රූපසිංහලටත් නැති හරි වෙනස්ම ආකර්ෂණයක්.
අන්තර්ගතනය ගත්තොත් නම් චිත්‍රපටය අර සුපුරුදු 'චොකා" ශෛලය. පෙම්වතා, පෙම්වතිය,වීරයා, දුෂ්ටයා, විකටයෝ දෙන්නා, විකට කෙල්ල, දුෂ්ටයා පෙම්වතියව උස්සන් යෑම, පෙම්වතිය "අත ඇරපන් මාව, අත ඇරපන් මාව " කියා කෑ ගැහීම, හෙලන් කුමරිලගේ නැටුම් ,ඒ හැම දේම තිබුණු තවත් වට්ටෝරු අච්චාරුවක්. ඒත් සේන ඒක ඉදිරිපත් කෙරු ආකාරය නම් විනෝදාත්මක සිනමාවට ප්‍රිය කරන රසික ප්‍රජාවට පමණක් නොව, සම්භාව්‍ය චිත්‍රපට නරඹන ප්‍රජාවටත් අල්ලලම ගියා.
කාංචනා ලස්සනයි . අහංකාරයි . ලස්සන පෝසත් කෙල්ලෙක් අහංකාර වීම ස්වාභාවිකයිනේ . කමල් ට නම් සල්ලි නැහැ. ඒත් කඩවසම්, කෙළිලොල්, චන්ඩියි . යාළුවො පිරිවරා ගෙන එහෙ මෙහෙ යන තාරුණ්‍යයේ දඟකාරයෙක් . කමල්ට කාංචනා හමුවන්නේ කාංචනා ගේ කාර් එක පාරේ නතර වෙලා තියෙන වෙලාවක. එතකොට කමල් එයාගේ යාළුවොත් එක්ක හිටියේ. ඔහුගේ ප්‍රථම විවාහයෙන් වෙන්වලා.
"ලස්සන ලෝකෙක ඉපදීලා- නූපන් හෙට ගැන නොතැවීලා -
හද සැණකෙළියේ වල්මත් වීලා -
රසෝඝයේ බැදී එමු - රහයි ජීවිතේ "
එතැනින් ඇරඹෙන කමල් ගේ කාංචනාගේ හිතවත් කම ආදරයකට පෙරළුණේ හරිම සුන්දරව. ඇත්තටම සේන සමරසිංහ කස්තුරි සුවඳ හරහා හරි චමත්කාර ලෙස මේ ආදරය ගොඩනැගුවා . ඒකට මනා පිටුවහලක් වුණා සරත් දසනායකගේ නැවුම් සංගීතයත්, එච්, ආර් ජෝතිපාල, හා ඇන්ජලින් ගුණතිලකගේ ගායනාත්.
"පාට පොදක් තිලක ලා- නලල් තලාවේ
කැලුම් වළලු නෙතින් අතුරලා
මුතු සිනා සල සලා නැලවී නැලවී යේ
නුවන් මහද නීල වරලියේ"
මේ චිත්‍රපටය තුළ තිබුණේ හරිම පිරුණු බවක් . කථාවක් හැටියට ගත්තොත් නම් මහා ලොකුවට කියන්න දෙයක් නැහැ. ඔය සුපුරුදු වට්ටෝරු රාමුවේ හැමදාම සිදුවන සිදුවීම් කීපයක් ඇරෙන්න. ඕවා 1960 ගණන්වල ඉඳලම සිංහල සිනමාවට ආවේණික "ප්ලොට්". ඕක ඉතින් ලෙනින්ලා, යසපලිතලා, සෙල්වරත්නම් ලා කරකො කරකො ගැහැව්වා .
සේන "කස්තුරි සුවඳ" හරහා කළෙත් ඔය දේම තමා. ඒත් සේන ඒක හොදට "බර " කරා. අර පොඩි කඩේක රාක්කෙට දාලා තියෙන දුවිලි ගහපු බඩුම, සුපර් මාකට් එකක දිස්නේ ගහන්න දාලා තියෙන කොට අපිත් හොල්මන් වෙනවා වගේ තමා සේනත් කස්තුරි සුවඳට කළේ .
ගාමිණි ෆොන්සේකා, මාලනී ෆොන්සේකා, ලයනල් දැරිණියගල , ෆ්‍රෙඩි සිල්වා, මානෙල් වානගුරු, හෙලන් කුමාරි, බන්ධු සමරසිංහ , මිල්ටන් ජයවර්ධන, තලතා ගුණසේකර, සෝමසිරි දෙහිපිටිය, මෙන්ම සරත් දසනායක, එච් ආර් ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, වික්ටර් රත්නායක, දාලා හරි අපූරුවට චිත්‍රපටය පිරෙව්වා. ඔය කට්ටිය දානවා කියපුවාම චිත්‍රපටය බර වෙන්නේ නැද්ද?
" හද විමන් දොරින්- එන පැතුම් පවන්
විහිද යයි හමා - පියඹනා, කල්පනා රසේ දේ අමා
මල් උයන් තුළින් -විල් ගඟුල් මැදින්
සුගන්ධය ගලා - එකතු වී , කිති කෑවී
රැඳේ එක්වෙලා "
සේන ගාමිණි ෆොන්සේකාව "විග්" දාලා නවීන තරුණයෙක් කළා . ඒ විග් එක ගාමිණීට නැගලා ගියා. ගාමිණී ඒ තාරුණ්‍ය තුළ කදිමට රැදිලා හිටියා.
චිත්‍රපටය හිට් වෙන්න සේන සමරසිංහ බොහෝ සුන්දර මෙන්ම විනෝදාත්මක දේ ඇතුළත් කළා. ලෙච්චමි ගේ චරිතයත් ඇයට පෙම් බඳීන කමල්ගේ මිතුරන් දෙදෙනාත් "කස්තුරි සුවඳ " සුවඳවත් කළ බවත් කිව යුතුයි.
"ගිඟිරි ජගරි හඬවනා,
කසෙන් අසුට තලමිනා-
තීරු පට්ට තීරු තීරු කලම්ඹා එමි
කඩුද කොඩිද වන වනා, පනම් පෝරු උසුලනා, නම්බුකාර තෝම්බුලගෙ මහා රාජා මං"
මානෙල් වානගුරු, ෆ්‍රෙඩී සිල්වා, හා බන්ධු සමරසිංහ කස්තුරි සුවඳ තුලින් විකට ජවනිකාවන් හරහා කිසියම් වෙනසක් කළෝය. සේන, මේ හැම චරිතයක්ම අත්‍යාවශ්‍ය චරිත බවට පත් කළේය. එහෙයින් ඉහත කී ලෙස මුළු චිත්‍රපටය පුරාම තිබුණේ පිරුණු බවකි.
ඇඳුම් පැලඳුම්, කොන්ඩා මොස්තර ඉතාමත් ආකාර්ශණීය විය. විශේෂයෙන් "මල් වයසේ" "පාට පොදක් තිලකලා", මෙන්ම "හද විමන් දොරින්" වැනී ගීත වල ගැබ්වුනු ජවනිකාවන් චමත්කාර වූයේ ඒ එකල තිබූ නව මෝස්තර වලට හැඩ ගැස්වූ නිසාය.
සේන සමරසිංහ ලාංකේය සිනමාව තුළ "බ්‍රැන්ඩඩ්" වූයේ "කස්තුරි සුවඳ" හරහාය. .
එය වින්දනීය මෙන්ම ගීතමය චිත්‍රපටයක් ලෙස ලාංකේය සිනමාව තුළ අමරණීය විය.
ශෝන් මැක්ස්මස් දිසානායක
සරසවිය