හංසවිලක් චිත්‍රපටය තිර නාටකය ලියනකොට ඒකෙ නිශ්ශංකගෙ චරිතය මා විසින්ම නිරූපණය කරන්න ඕනෑ කියලා අදහසක් තිබුණේ නෑ. ඒ චරිතයට ප්‍රවීණයකු යොදා ගැනීමේදී ලොකු මුදලක් ගෙවන්න සිදුවීම නිසා එහි නිෂ්පාදකයාගේ ඉල්ලීම පිට මං නිශ්ශංකගෙ චරිතය බාරගත්තා. ඒක ඇත්තටම මට මුහුණ දෙන්න සිදුවුණු අකරතැබ්බයක්. ඒ මං ලියූ තිර නාටකයක් මමම අධ්‍යක්ෂණය කරමින් මමම ඒකේ ප්‍රධාන නළුවා හැටියට රඟපාන්න බාර ගැනීම ලොකු අභියෝගයක්. එහිදී තිරනාටකයෙන් කෙරෙන විධානය වගේම අධ්‍යක්ෂණයෙන් ලැබෙන විධානයටත් යටත්වයි මට රඟපාන්න වෙන්නේ.
ඒ වෙනකොට මං බක්මහ දීගේ, පළඟැටියෝ, හෙවණැලි ඇද මිනිස්සු, බඹා කෙටූ හැටි ආදී චිත්‍රපටවල රඟපෑමෙන් වගේම වේදිකාවේ රංගනයෙන් ලැබූ අත්දැකීම් එක්ක නිශ්ශංකගේ චරිතයට සරිලන රංගනයක් මට සකස් කර ගන්න සිදුවුණා.
අපි වේදිකාවේ කටයුතු කරන්නේ පියවි ඇසත් එක්ක. සිනමාවේදී අපට ගනුදෙනු කරන්න සිදු වෙන්නේ කැමරා කාචය ඇතුළු තාක්ෂණික මෙවලම් එක්කයි. ‘හංසවිලක්’ චිත්‍රපටයේ කැමරා ශිල්පි ඇන්ඩෘෘ ජයමාන්නගෙන් ලැබුණු සහයෝගය මට විශාල ශක්තියක් වුණා. මම රඟපාන්න කලින් මා සිටිය යුතු තැන ඇන්ඩෘෘට කියල කැමරා කෝණ සකස්කරලා පස්සේ එතැනට ගිහින් කැමරාවට මුහුණ දුන්නා.
කොහොම වුණත් මං ‘හංසවිලක්’ චිත්‍රපටයෙ රඟපෑවෙ ලොකු බරක් හිසේ අරගෙනයි. අද වගේ කාලෙක නම් මං ඒවගේ වගකීම් බාර ගන්නෙ නෑ. ‘හංසවිලක්’ නැවත බලනකොට මට හිතෙනවා ඒ චරිතයට වෙන නළුවෙක් යොදා ගත්තනම් සමහර තැන් මීට වඩා ඔපමට්ටම් කරන්න තිබුණ කියලා.
මිරැන්ඩාගේ චරිතයට ස්වර්ණා මල්ලව ආරච්චිට ආරාධනා කළ වෙලාවෙ ඒක කළු චරිතයක් නිසා බාරගැනීමට අදිමදි කළා. ඒ ඒත් ඇය ඒ අභියෝගය බාරගත්තා. ඩග්ලස්ගේ චරිතය සඳහා හෙන්රි ජයසේන වැනි ප්‍රවීණයකු යොදාගෙන වැඩ කිරීමේදී මට ඔහු අභියෝගයක් වුණා. මොකද මම ඒ වෙනකොට හෙන්රි යටතේ රඟපාපු කෙනෙක්. ‘ගම්පෙරළියේ” පියල්, ‘දහසක් සිතිවිලි‘ චිත්‍රපටයේ ලලිත් වැනි සංකීර්ණ චරිතවලට පණ පෙවූ, හුනුවටයේ අසඩක් වගේ චරිත නිරූපණය කරල දැවැන්ත ප්‍රතිරූපයක් ඔහුට ඒ වෙනකොට ගොඩනැඟිලා තිබුණා.
හෙන්රි ජයසේන ඉතාමත් සංවේදී පුද්ගලයෙක්. ඒ නිසා ඒ සංවේදීකම තේරුම් අරගෙනයි ඔහුත් එක්ක වැඩ කරන්න වෙන්නේ. ඇතැම් විටකදී ඔහු ගෙනෙන යෝජනා එහෙම ප්‍රතික්ෂේප කරන්න වෙන්නේ අර සංවේදීකම තේරුම් අරගෙනයි. කොහොම වුණත් ‘හංසවිලක්’ තිර නාටකය කියවලා ඔහුට මං මොකක්ද කියන්න යන්නෙ කියලා වැටහිලා තිබුණෙ නෑ. චිත්‍රපටය බලපු පළමු දවසෙ ඔහු මට අතට අත දීලා කිව්වා මට අදයි චිත්‍රපටය තේරුණේ කියල.
සමන්තිගේ චරිතය නිරූපණය කළ වසන්ති චතුරාණිට ඒ චරිතයට අවශ්‍ය හැඩරුව විනීත භාවය ආදී සියලු ගති ලක්ෂණ ඇගේ බාහිර ස්වරූපය තුළ තිබුණත් දෙබස් උච්චාරණයේදී ඇය තුළින් යම් දුර්වලකමක් පෙන්නුම් කළා. නමුත් ඒක එතරම් බාධාවක් වුණේ නෑ.
‘හංසවිලක්’ චිත්‍රපටයේ රඟපෑ නළු නිළියන් කවුරුවත් දැන සිටියේ නෑ මං මොකක්ද මේ චිත්‍රපටයෙන් කියන්න හදන්නෙ කියලා. පිටපත කියවන්න දුන්නට ඒක සාහිත්‍ය තිර නාටකයක් නොවී කාර්මික තිර නාටකයක් වුණු නිසා ඔවුන්ට එය අවිෂ යයි. එක අතකට ඔවුන්ට මා කරන දේ නොතේරෙන එකත් හොඳට ගියා. නැතිනම් ඔවුන් විසින් එකතු කරන්න හිතන දේවල් වලින් අවුලක් වෙන්නත් තිබුණා. හංසවිලක් චිත්‍රපටයේ අධි තාත්විකකම තිබුණේ පිටපතේ. රංගනයේදී නොවේ. රංගනයෙන් ඒක මතුකරන්න ගියා නම් අතිශයෝක්තියක් වෙන්න තිබුණා. රූපය කැපෙන විදියට තමයි මට ඕනෙ අර්ථය ගොඩනඟන්නේ.
“හංසවිලක්” චිත්‍රපටයේ නිශ්ශංකගේ පිරිමි දරුවා හැටියට රඟපෑවේ මගේ පුතා රංග. ඔහු පුංචි කාලේ තමයි මගේ චිත්‍රපටයට සම්බන්ධ කර ගත්තේ. චිත්‍රපට අවසන දර්ශනයේදී නිශ්ශංක ආපසු තම දරු පවුල සොයාගෙන ගෙදර එද්දී රංග ‘තාත්තේ මට ජීප් එකක්’ කියාගෙන එනවා. රූපගත කිරීම් කරන අවස්ථාවේදී ඔහුට ඒ දෙබස් ඛණ්ඩය කියා ගන්න බැරි වුණා. ඒ මොහොතේ නිෂ්පාදකවරයා ඇතුළුව දර්ශන තලයේ සිටි සැවොම සිනාසුණා. රංග පුතාව පැත්තට අරගෙන ගිහින් කන මිරිකලා තර්ජනය කළා. ඊළඟ සැරේ වැරැද්දුවොත් බලාගෙනයි කියලා. ඊට පස්සේ ඔහු දෙබස කිව්වා. චිත්‍රපටය බලන හැම අවස්ථාවකදීම මං කළ තර්ජනය ගැන කම්පා වෙනවා. මං ඒ ගැන ඔහුගෙන් සිතින් සිය දහස් වාරයක් සමාව ගන්නවා.
‘තුන්වැනි යාමය’ චිත්‍රපටය පර්සිගෙ චරිතය සඳහා මං මුලින්ම තෝරා ගත්තේ හේමසිරි ලියනගේ. අඩි 5,000ක රූපගත කිරීම්වලින් පස්සෙ මට තේරුණ මට අවශ්‍ය රංගනය ඒ චරිතයේදී හේමසිරිගෙන් ලැබුණෙ නෑ කියලා. ඒ නිසා මං රූපගත කිරීම් නවත්වලා ලොකු පීඩනයකින් ඉඳල අන්තිමේදී තීරණය කළා මා විසින්ම පර්සිගෙ චරිතය නිරූපණය කළ යුතුයි කියලා. නමුත් පළමුව රූපගත කිරීමේදීම මට තේරුණ මගේ රංගනය අසාර්ථකයි කියලා.
ඒ වෙනකොට වසන්ත කොටුවැල්ල මගේ සහාය අධ්යක්ෂවරයා හැටියටයි කටයුතු කළේ. මං ඔහුට පර්සිගෙ ඇඳුම් අන්දවලා උපැස් යුවළ පලඳවලා එහාට මෙහාට යන්න විධානයක් දුන්නා. ඒ අනුව ඔහුගේ හැසිරීම් රටාව තුළින් පර්සිගේ චරිතය නිරූපණය කිරීමේ හැකියාව ඔහුට ඇතැයි යන විශ්වාසයක් මට ඇති වුණා. අන්තිමේදී පර්සිගෙ චරිතය වසන්ත කොටුවැල්ලට පැවරුවා. ඔහු පිටපත අධ්‍යයනය කරමින් ඒ චරිතය සියුම් ලෙස අධ්‍යයනය කරන්නට බලවත් වෙහෙසක් දැරුවා. ඒ අනුව එම චරිතයේ තිබූ ළය ඔහුට හොඳින් අවබෝධ කරගන්න හැකි වුණා. ඔහුගේ රංගනයේ සාර්ථක කම වෙනුවෙන් ඒ වසරේ හොඳම නළුවාට හිමි සම්මානය ඔහුට හිමි වුණා.
ප්රින්සිගෙ චරිතය සඳහා ඉන්දිරා ජෝන්ක්ලොස් යොදා ගැනීමෙනුත් චිත්‍රපටයට විශාල ආලෝකයක් ලැබුණා. ඇය සාමාන්‍යයෙන් අපේ සිනමාවේ දකින්නට නොලැබෙන චරිතයක් නිසාම ඇගේ දායකත්වය විශේෂයෙන් කැපී පෙනුණා. ඇය ඒ වන විට ඉංග්‍රීසි වේදිකාවේ රඟ පා තිබුණා. ඒ නිසා ඇයටත් රංගනය පිළිබඳ මනා ශික්ෂණයක් තිබුණා. විශේෂයෙන්ම පර්සිගේ අසාමාන්‍ය ගුප්ත හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් ඒ තුළ හටගත් කුකුස ඉන්දිරාගේ සාත්වික අභිනයෙන් මනා ලෙස සනිටුහන් වුණා. මුළු චිත්‍රපටයේම තමාගේ විවාහ පුරුෂයා වශයෙන් ඇයට තිබුණේ ඔහුගේ ලිංගිකත්වය සම්බන්ධයෙන් වන අසාමාන්‍ය හැසිරීම් රටාව තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි.
වින්සන්ට් සේරසිංහත් අයිරාංගනී සේරසිංහත් ඉංග්‍රීසි වේදිකාවේ පළපුරුදු නළු නිළියෝ. අයිරාංගනී සේරසිංහ රංගනය පිළිබඳ විෂයක් හැටියට හදාරා තිබුණා. ඒ නිසා ඔවුන් සමඟ වැඩ කිරීම මට පහසු වුණා. වින්සන්ට් සේරසිංහ දර්ශන තලයට එන්න කලින් ඩ්ධථඥ එධපඬ කරල එන නළුවෙක්.
සිනමාවේදී නළුනිළියන්ගේ රඟපෑම ඇසුරෙන් ගොඩනඟන රිද්මය ඒ චිත්‍රපටයේ අර්ථ සාධනය කෙරෙහි බෙහෙවින් වැදගත් වෙනවා. ඔවුන් රඟපෑම ඇසුරෙන් ගොඩනඟන රිද්මය සංගීතඥයාටත් වැදගත් වෙනවා.
තුන්වැනි යාමයේ පර්සිගේ පියා හැටියට යොදා ගත්තේ ගාමිණී හත්තොටුවේගම, ඔහුගේ සුවිශේෂ මුහුණේ හැඩතල සිනමාවට ඉතාම වැදගත්. ඒත් රංගනයේදී ඔහුට වේදිකා රංගනයෙන් මිදෙන්න බැරි අවස්ථා තිබුණා. ඒක මඟහරවා ගන්න ඔහුට ලොකු ආයාසයක් දරන්න සිදුවුණා. ධම්ම ජාගොඩ සිනමා රංගනයට එකතු වූ අවස්ථාවේදී මේ ගැටලුවලට මුහුණ දෙන්න සිදුවුණු බව තිස්ස අබේසේකර මා සමඟ පවසා තිබුණා.
‘සුද්දිලාගේ කතාව‘ චිත්‍රපටයේ සුද්දී හැටියට ස්වර්ණා කළ රංගනයේදී ඇයට එම චිත්‍රපටය රූපගත කිරීම් කළ ගමේ මිනිසුන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තිබුණා. සමහර ගැමියෝ යමක් දිහා බලන්නේ ඇස්වලින් නෙවෙයි කටින්. නළු නිළියන්ගේ සාමාන්‍ය ජීවිත ඇතුළේ පවතින සීමාකම් දර්ශන තලයේදී ලැබෙන අත්දැකීම් එක්ක වෙනස් කර ගන්නවා. ඒක නළුවකුට නිළියකට අවශ්‍ය අභ්‍යාසයක්. නැතිනම් රෙද්දයි හැට්ටයයි ඇඳගෙන දර්ශන තලයට ගිය පමණින් සුද්දිගේ චරිතයේ ගති ලක්ෂණ හඳුනා ගන්නට ස්වර්ණාට හැකිවන්නේ නැහැ.
රොමියෙල්ගේ චරිතයට සිරිල් වික්‍රමගේ වැනි නළුවෙක් ගැළපෙන බව මට හොඳින් වැටහී තිබුණා. ඒත් ඔහුගේ මුහුණේ අහිංසක සිනහව රොමියෙල් වැනි චරිතයකට සුදුසු නැතැයි සමහරු කිව්වා. ඒත් මට ඔහුගෙන් රොමියල්ගේ ගතිපැවතුම් ලබාගන්නට හැකිවුණා.
‘බව දුක’ මගේ බාප්පාගේ අතින් ලියැවුණු නව කතාවක්. එහිදී ඔහු නෝනා හාමිගේ චරිතය නිර්මාණය කර තිබුණේ ඔහුගේම මව ඇසුරින්. චිත්‍රපටයේ නෝන හාමි මගේ අම්මාගේ, ආච්චිගේ සහ මගේ ජීවිතේ හමුවූ කාන්තාවන්ගේ සංකලනයක්. මගේ ජීවිතය ඇතුළේ ස්වර්ණාගේ ක්‍රියාකාරකම් පවා රංගනයේදී මා ඇයට සිහිපත් කර දුන්නා. චිත්‍රපටයේ පේදුරු (ජැක්සන්) දිවිනසා ගන්නට හදන අවස්ථාවේ නෝනහාමි (ස්වර්ණා) ආවේශයක් ගන්නවා. ඒ ආවේශයෙන් තමයි ඇය පේදුරු දිවි නසා ගැනීමෙන් ගලවා ගන්නේ. එවැනි ආවේශයක් නවකතාව තුළ තිබුණේ නෑ. මගේ අම්මාට තිබුණා එහෙම ආවේශයක්. මං ස්වර්ණාට ඒක කරලා පෙන්නුවා. ස්වර්ණා ඒ අවස්ථාවේදී ඒ ආවේශය තුළින් මිථ්‍යාවක් ඇතිකරනවා වෙනුවට බොරුවක් මවා පෙන්නුවා. ඒ තුළින් නාට්‍යමය අවස්ථාවක් ඇය ගොඩනැඟුවා.
‘බව දුක’ සහ ‘බව කර්ම’ චිත්‍රපට දෙකේ මං නළු නිළියන්ට කීවේ නාට්‍යයක රඟපානව කියල හිතාගෙන රඟපාන්න කියලයි. ඒකෙන් අදහස් කරන්නේ වේදිකා රංගනයක් ඉදිරිපත් කරන්න කියල නෙමෙයි. අනෙක් චිත්‍රපටවලදී වගේ රූපගතකිරීම් සඳහා ඊපචජඬ, ච්ධතතර භාවිත කළේ නෑ. කැමරා තුනක් යොදාගෙන රූපගත කිරීම් කළා. ඒ කැමරා කාච ඉදිරියේ නළු නිළියන් විසින් නාට්‍යමය අවස්ථා ගොඩනැඟීමයි මට අවශ්‍ය වුණේ.
‘බව දුක’ චිත්‍රපටයේ පේදුරුගේ චරිතය මගේ පියාගේත්, මගේ ජීවිතයේත් සංකලනයක් ඒ චරිතය සාර්ථක කර ගැනීම සඳහා මං ජැක්සන් ඇන්තනීව නැටුම් ගුරුන්නාන්සේ කෙනෙක් ළඟ ඉගෙන ගන්නට යැව්වා. ජැක්සන් එහි නැවතී ඒ ගුරුන්නාන්සේගේ ඇවැතුම් පැවැතුම් සියල්ල මැනවින් අධ්‍යයනය කළා. ඒ තුළින් ජැක්සන් පේදුරුගේ චරිතයට මනා ආලෝකයක් ලබා දුන්නා.
මුහන්දිරම්ගේ චරිතය සඳහා මා මුලින්ම තෝරාගත්තේ ගාමිණී පොන්සේකා. නමුත් මගේ නිෂ්පාදකයා සහ ගාමිණී අතර ප්‍රශ්නයක් ඇතිවුණ නිසා මට ඒ චරිතයට රවීන්ද්‍ර රන්දෙණිය යොදාගන්න සිදුවුණා. මං ගාමිණීගෙන් බලාපොරොත්තු වුණේ මුහන්දිරම් රවීන්ද්‍ර තුළින් දැකිය නොහැකි වුවත් ඔහු සෑහෙන කැපවීමකින් ඒ චරිතය මූර්තිමත් කළා.
ගුණසිරි සිල්වා