නාසි ජර්මනියේ භයානකම වෘත්තියේ නිරත වූ කාන්තාවගේ මතක සටහන්
බ්‍රිතාන්‍යයන් විසින් වස මුසු ආහාර දී කිනම් මොහොතක හෝ තමා මරා දමනු ඇතැයි ඇඩොල්ෆ් හිට්ලර් සැක කළේය. එහෙයින් තමා වෙනුවෙන් පිළියෙළ වන සෑම ආහාර වේලක්ම තමා අනුභව කිරීමට පෙර වෙනත් කෙනකු විසින් රස බැලිය යුතුයැයි ඔහු නියෝග කර තිබිණි. ඒ සඳහා ඔහු වාසය කළ වුල්ෆ් ලෙයර් මන්දිරයේ ආහාර රස බැලීම සඳහා කාන්තාවන් 15 දෙනකු සේවයට බඳවා ගත්තේය. ඔවුන්ගේ සේවය වෘත්තියකට වඩා ජීවිතයත් මරණයත් අතර දෝලනය වූ මාරක රාජකාරියක් විය. හිට්ලර්ගේ ආහාර වේල ඔහුට පෙර මෙම කාන්තාවන් විසින් අනුභව කොට එයට වස මුසු කොට නොමැති බැව් තහවුරු කළ යුතු විය.
එම කාන්තාවන් අතුරින් දැනට ජීවතුන් අතර සිටින එකම තැනැත්තිය 98 හැවිරිදි මාර්ගෝ වොල්ක්ය. ඇය එම රැකියාවට එක් වන විට 25 හැවිරිදි වියේ පසු වූවාය. පසුගියදා බර්ලිනයේ ආර්.බී.බී. රූපවාහිනී නාලිකාව හා සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ඇය එම රාජකාරියේදී තමා අත්විඳි මානසික පීඩාව පිළිබඳ හෙළිකළාය. ‘‘මා සමඟ සිටි අනෙකුත් තරුණියන් ආහාර ගැනීම ආරම්භ කරන විටම බියෙන් හඬන්නට පටන් ගන්නවා. ලබා දෙන ආහාර සියල්ල අප අනුභව කළ යුතුයි. ඉන්පසු පැයක කාලයක් එක් ස්ථානයක රැදී සිටිය යුතුයි. එම පැය අප ගෙවන්නේ බියෙන් ගැහි ගැහී. කවර මොහොතක රෝගීවේද නැතිනම් මරණයට පත්වේද යන බිය අපට තියෙනවා. අප තවමත් යහතින් සිටින බැව් දැනුණු විට එම සතුටට හඬා වැටුණා. සෑම දිනයක්ම ගෙවුණේ මේ අයුරින්.’’
මාර්ගෝ එම රැකියාවට බඳවා ගැනුණේ බලහත්කාරයෙනි. 1941 බර්ලින්හි ඇය වාසය කළ නිවස බෝම්බවලින් විනාශ වූ අතර ඇගේ සැමියා වූ කාල් හමුදාවට බඳවා ගැනිණි. තවදුරටත් බර්ලිනයේ සිටිය නොහැකි වූ තැන මාර්ගෝ තම මවගේ නිවසට ගියාය. එය පිහිටා තිබුණේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ වුල්ෆ් ලෙයර් මන්දිරය අසලය. එම ප්‍රදේශයේ නගරාධිපතිවරයා ඇය හිට්ලර්ගේ ආහාර රස බලන්නියක ලෙස බලහත්කාරයෙන් බඳවා ගත්තේය. සෑම දිනයකම හිට්ලර්ගේ ආරක්ෂකයකු පැමිණ ආහාර රස බලන කාමරය වෙත රැුගෙන ගිය අතර රස බැලීමෙන් පසු නැවත ඇයගේ නිවස කරා ගෙන ගියාය. වරක් හිට්ලර්ගේ ආරක්ෂකයකු වෙතින් කීප අවස්ථාවක ඇය දූෂණයටද ලක්වූවාය.
තම සේවා කාලයේදී හිට්ලර් කිසි දිනෙක නොදුටු බැව් ප්‍රකාශ කළ ඇය 1944 ජුලි 20 වැනි දින ජර්මානු හමුදා නිලධාරීන් පිරිසක් විසින් හිට්ලර් ඝාතනය කිරීමට දැරූ තැතක් පිළිබඳවද අනාවරණය කළාය. ‘‘එදාත් සුපුරුදු පරිදි වුල්ෆ් ලෙයර් මන්දිරයේ ලී බංකුවල අසුන්ගෙන අප 15 දෙනා කතා කරමින් සිටියා. එක්වරම මහා පිපිරීම් හඬක් ඇසුණා. එහි කම්පනයට අප බංකුවලින් බිම ඇද වැටුණා. ‘හිට්ලර් මැරිලා. හිට්ලර් මැරිලා’ යනුවෙන් එක්වරම කව්දෝ කෑගසනු ඇසුණා. එහෙත් එදා ඔහු මිය ගියේ නැහැ. එම ඝාතන තැතට සම්බන්ධ යැයි සැක කළ 5000කට ආසන්න ජර්මානුවන් පිරිසක් මරා දැමුණා.’’
මේ සිදුවීමෙන් පසුවද ඇය තම වෘත්තියේ නිරත වූවාය. 1944දී එස්.එස්. හමුදා නිලධාරියකුගේ උපකාරයෙන් එම ස්ථානයෙන් ගැලවී නැවත බර්ලිනයට යාමට ඇය සමත් වුවද දෙවැනි ලෝක යුද්ධය විසින් ඇති කරන ලද බියකරු බවින් මිදීමට ඇය අසමත් වූවාය. 1945දී බර්ලිනය රුසියානු හමුදා විසින් අත්පත් කර ගන්නා ලද අතර එය ඇයගේත් බොහෝ ජර්මානු තරුණියන්ගේත් ජිවිතවලට තවත් අඳුරු දසාවක් උදා කළේය. ජර්මානු තරුණියන්ට රුසියානු සොල්දාදුවන්ගෙන් ගැලවීමක් නොවීය. ‘‘ඔවුන්ගෙන් ගැලවීමට අප මහළු කාන්තාවන් ලෙස වෙස්වලා ගත්තා. එත් ඔවුන්ගෙන් ගැලවෙන්න නොහැකි වුණා. දිනක් ඔවුන් අප අල්ලා ගෙන අසල තිබූ වෛද්‍යවරයකුට අයත් නිවසට ඇදගෙන ගියා. දින 14 එහි සිරකර තබා ගෙන නොකඩා අපව දූෂණය කළා.’’
නොකඩවා දූෂණයට ලක් වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇයට කිසිදිනෙක දරුවන් බිහි කළ නොහැකි වූවාය. ‘’මට දියණියකගේ අවශ්‍යතාව තිබුණා. ඒත් එය ඉටු කර ගත හැකි වුණේ නැහැ.’’
බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියකුගේ සහායෙන් 1946දී ඇයට තම සැමියා නැවත සොයා ගත හැකි වුවද ඔවුන්ගේ විවාහ ජීවිතය පෙර පැවති පරිදි යහපත් එකක් නොවීය. වසර කීපයක් සිරගතව සිටි කාල් ඉතා කෘශ, රෝගී පුද්ගලයකු බවට පත්ව සිටි අතර මාර්ගෝද දැඩි මානසික ආතතියකට බඳුන්ව සිටියාය. එහි ප්‍රතිඵලයක් ලෙස කෙටි කලෙකදී ඔවුහු වෙන්වූහ. මේ වන විට ඇය බර්ලින් නුවර නිවාස සංකීර්ණයක හුදකලාව ජීවත් වන්නීය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා