ඒ ක්‍රි.ව. 415 මාර්තු මාසයේ දිනයකි. ස්ථානය ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නුවරයි. තම නිවස කරා එන අස් රියක් නැවතූ පැරබලානි (parabalani) ( පල්ලියට අනියුක්තව සිටි පූජක පිරිසකි) යන කලකාරී ආගමික පිරිසක් විසින් රථය තුළ සිටි කාන්තාවක් එළියට ඇද ගන්නා අතර ඇය අසල පිහිටි සිසේරියම් නමින් හැඳින්වූ පල්ලියක් වෙතට ඇදගෙන යන ලදී.
එහිදී ඇයගේ සළු පිළි ඉරා ඇය නිරුවත් කළ මේ කුරුරි උම්මත්තකයින් ඇයව මරා දැමුවේ යම් දෙයක් යොදාගෙනය. එම ද්‍රව්‍යයට යෙදෙන "Ostraka" යන ග්‍රීක වදනෙහි පරිවර්තනයට අනුව ඒ එක්කෝ මුහුදු බෙලි කටු හෝ උළු කැට විය හැක. ඉතිහාසඥයින්ගේ අදහසට අනුව ඇය මරා දැමුවේ ඒ උළු කැට වලින් පහර දී හෝ මුහුදු බෙලි කටු වලින් ඇගේ සම සූරා දමාය. මුල් මූලාශ්‍රය ලියන ඩැමසියස් ට අනුව ඔවුන් ඇගේ ඇස් දෙකද උගුල්ලා දමන ලදී. ඉන් පසු ඇගේ සිරුර කීතු කීතු වලට ඉරා ඒ ඉරී ගිය සිරුර මහ මඟ දිගේ නඟරයෙන් පිටත ඇති, සිනාරියොන් නැමැති ස්ථානයට ඇදගෙන ගොස් ගිණි තබන ලදී.
එකල ඇලෙක්සැන්ඩ්‍රියාවේ දරුණුම අපරාධකරුවන්ට ලබා දුන් එවන් දඬුවමක් අත් විඳීමට ඇය කළ එකම වරද වූයේ තාරකා විද්‍යාව, දර්ශනය සහ ගණිත ශාස්ත්‍රය යන විෂයයන්ගේ කෙළ පැමිණි බුද්ධිමතියක් වීමත්, සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාවෙන් විතැන්ව නිවහල්ව පිරිමි සමාජය හා ගැවසීමත් යන කාරණාය.
එවකට නැඟෙනහිර රෝමානු අධිරාජ්‍යයට අයත්ව තිබූ ඇලෙක්සැන්ඩ්‍රියා පුර වාසය කළ ඈ, නමින් හයිපේශා (Hypatia) විය. ඇය, දර්ශනය හා තාරකා විද්‍යාව ඉගැන්වූ ආයතනයක් වූ, ඇලෙක්සැන්ඩ්‍රියානු නියොප්ලැටොනික් විද්‍යාලයේ ප්රමුඛ දාර්ශනිකාවක් වූවාය. එමෙන්ම ඉතිහාස මූලාශ්‍ර වල මනාව වාර්තා කර ඇති ප්‍රථම ගණිතඥයවරිය වන්නේද ඇයයි. ඇගේ පියා තියොන් (Theon), ඇය ඉගැන්වීම් කළ විද්‍යා ආයතනයේ මූලිකත්වය දැරීය. ඇගේ ප්‍රභාමත් බුද්ධියට අඩිතාලම වූවේද පියාගෙන් ලැබුනු ආභාෂයයි.
එකළ සිටි බොහෝ ගණිතඥයින්ගේ කෘති වලට අදහස් වලින් දායක වූ ඇය, යම් යම් ගණිත ක්රමයන් වැඩි දියුණු කිරීමටද කටයුතු කලාය. දාර්ශනිකයන් පළඳින ලෝගුවකින් සැරසී නඟරය පුරා සක්මන් කල මේ අසිරිමත් ස්ත්‍රිය, ඇරිස්ටෝට්ල් , ප්ලේටෝ යන දාර්ශනිකයින් පිළිබඳ සිය සිසුන් ට ඉගැන්වූවාය. වරක් ඇය, ඇය කෙරෙහි ප්‍රේමයෙන් මුසපත් වූ තරුණයෙකුට ඇගේ ඔසප් රුධිරය තැවරුනු රෙදි කැබැල්ලක් පෑවේ තම නියම ස්වභාව ඔහුට වටහා දීමටත් ඒ මඟින් ඔහුගේ හඹා ඒම නතර කිරීමටත් ය. මිය යන තුරු ඇය කන්‍යාවියක ලෙස දිවි ගෙවූ බවද ඉතිහාස මූලාශ්‍ර සඳහන් කරයි. ඇයගේ බුද්ධිය හේතුවෙන් ඇය ඇලෙක්සැන්ඩ්රියානුවන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ කීර්තිමත් කාන්තාවක් ලෙස දිවි ගෙවීය.
ඇගේ සමකාලීන ඉතිහාසඥයෙක් වන කොන්ස්ටැන්ටිනෝපලයේ සොක්රටීස් නැමැත්තා ඇය ගැන මෙලෙස සඳහන් කරයි:
"ඇලෙක්සැන්ඩ්‍රියා පුරයෙහි හයිපේශා නමින් කාන්තාවක් වෙයි. තියොන් නම් දාර්ශනිකයාගේ දියණිය වන ඇයගේ සාහිත්‍යය සහ දර්ශනය පිළිබඳ දැනුම, ඇගේ සමකාලීන දාර්ශනිකයන් සියළු දෙනා අභිබවා යයි. ප්ලේටෝ ගේ හා ප්ලෝටියස් ගේ පාසලට අනුප්රාප්තිත ඇය, ඇයගෙන් ගුරු හරුකම් ලබා ගැනීමට ඉතා ඈත පෙදෙස් වලින් පැමිණි අයට දර්ශනයේ මූලධර්ම පිළිබඳ උගන්වයි. ඇයගේ බුද්ධිමත් භාවය හේතුවෙන් ඇය බොහෝ විට ප්‍රසිද්ධියේ රාජ්‍යය නිළදරුවන් හා පෙනී සිටින අතර, පුරුෂයන්ගේ රැස්වීම් වලටද මැළිවීමකින් තොරව සහභාගී වෙයි. ඈ දිනා සිටින අසමාන ගරුත්වයත්, ගුණවත් බවත් හේතුවෙන් ඇය සියළු පිරිමින්ගේ පැසසුමට බඳුන් විය."
ක්‍රිස්තු ධර්මය ටිකෙන් ටික රෝමානු අධිරාජ්‍යය තුළ සිය බලය තහවුරු කරගනිමින් සිටි මේ අවදියේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ රෝමානු නියෝජිත නිළධාරියා (prefect) වූ ඔරෙස්ටීස් සහ ඇලෙක්සැන්ඩ්‍රියාවේ නව බිශෝප් වරයා ලෙස තෙරී පත් වී සිටි සිරිල් (Cyril) අතර ඇතිවූ ආරවුලකට හයිපේශා මැදිහත් වන්නේ රෝමානු නිළධාරියා සමඟ ඇයගේ ඇති සමීප හිතවත් කම හේතුවෙනි. සිරිල් යනු ඉතා දරුණු පුද්ගලයෙකු වූ අතර තමාට අවනත නොවූ සියළු දෙනා සහ අන්‍යය ලබ්ධිකයින් පීඩනයට හා මරණයට පත්කොට ඔවුන්ගේ දේපළ රාජ සන්තක කිරීමට කටයුතු කළ අයෙකි. කාන්තාවක් ලෙස හයිපේශාගේ නිවහල් ජීවන දර්ශනයත්, විද්යාත්ම ඉගැන්වීම් සහ ඇගේ බුද්ධියමත් භාවයත්, ඇය ක්‍රිස්තියානි ආගමේ අනුගාමියෙකු නොවීමත් යන කාරණා නිසා උරණ වූ සිරිල්, ඇය කෙරෙහි වෛරීසහගත අසත්‍යය පුවත් පතුරා මිනිසුන් ප්‍රකෝප කරන ලදී. අවසානයේ සිදු වූයේ ඔහු සහ ඔහුගේ ආගමික උම්මත්තකයින් විසින් ඔරෙස්ටීස් සමඟ පැවැත්වූ හිතවත්කම යන කාරණාව භාවිතා කොට ඇය මරාදැමීමයි. බයිසැන්ටියම් විශ්වකෝෂය වන සූඩා (Suda) ලියවිලි සහ, ඩැමසියස් සඳහන් කරනුයේ ඇගේ ජනප්‍රියත්වත්, සමාජය තුළ ඇයට තිබූ පිළිගැනීමත්, බුද්ධිමත් භාවයත් පිළිබඳ ඊර්ශ්යාවෙන් වියරු වැටුනු සිරිල් ඇයව විනාශ කිරීමට කටයුතු කළ බවයි. එමෙන්ම කිතුණු දහම නොඅදහා පැරණි රෝමානු ආගම ඇදහීමත් ඇය සිරිල් ගේ ඉලක්කයක් වීමට බලපාන ලදී.
අවසානයේ සිදුවූයේ ඉතා ඛේදනීය ලෙස, අසමසම බුද්ධියකින් හෙබි හයිපේශා ආගමික උම්මත්තකයින් විසින් කෲර ලෙස වධහිංසා පමුණුවා මරණයට පත් කිරීමයි. ඇය තව දුරටත් ජීවත්ව සිටියානම් ඇගේ බුද්ධි මහිමයෙන් එකළු කල හැකිව තිබූ ක්ෂේස්ත්රයන්ද, පුද්ගලයින්ද බොහෝමෙකි.
පසු කාලීන යුගයන්හිදී ඇය කතෝලික ආගමට එරෙහිව වීරවරියක සේ පිළිඹිබු වන අතර, ස්ත්‍රීවාදී කතිකාවතේ ආනන්දනීය සංඛේතයක් බවටද පත් විය.
ඇයගේ කථාව අපට කියන්නේ කුමක්ද? එක් අතකින් එය පවසන්නේ පවතින සම්ප්‍රධායන් අතික්‍රමණය කළ බුද්ධිමත් ගැහැණිකගේ ඛේදනීය ඉරණම වන අතර, අනෙක් පසින් එය අපට කියනුයේ ආගමික අන්තවාදය කෙතරම් කුරිරු විය හැකිද යන්නයි. මානව ප්රගමනයට දායක වන මහා බුද්ධි ප්‍රභවයක් ක්ෂණයකින් විනාශ කරලීමට තරම් එයට කුරිරු විය හැක.
(හයිපේශා ගේ කථා පුවත රැගත් හොලිවුඩ් සිනමා පටයක් "Agora" නමින් 2009 වසරේදී නිපදවිණි.)
මහේෂි බණ්ඩාර වීරකෝන්