තාරුණ්‍ය ජීවිතයේ වසන්ත සමය වුවද හිඟ මුදල් ජීවිතයට මොනතරම් ගිම්හානයක් උදාකරනවාදැයි නොවැම්බර් මාසයේ තිරගත වන අධි මේධාවිගල් දමිළ සිනමා පටයෙන් විවරණය වෙයි. සෙලියුලොයිඩ් පටයක මෙතෙක් සිත්තම් නොවූ වට්ටෝරුගත සිනමා රටාවෙන් බැහැර වුණු මේ නවතම කොලිවුඩ් සිනමා වෘත්තාන්තය රසිකයන්ට අලුත්ම අත්දැකීමක් වනු ඇත.
තාරුණ්‍යයේ ගැටලු සිය අත්දැකීම් පාදක කර ගෙන නිර්මාණය කර ඇත්තේ පුහුණු ඉංජිනේරු උපාධිධාරියකු වන රන්ජිත් මනිකන්දන්ය. ඔහු හිඟ මුදල් නිසා පීඩාවට පත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ තමන් වෙනුවෙන් කරන කැප කිරීමක් ලෙස සලකා උපාධියේ අමිහිරි රහස් එක් කර අධි මේධාවිගල් (අති පණ්ඩිත) නිර්මාණය කළේය.
රන්ජිත් මනිකන්දන් භාග්‍යරාජ් සහ ජෙරී යන අධ්යක්ෂවරුන් යටතේ සහාය අධ්යක්ෂවරයකු වශයෙන් සේවය කර ඇත. සිනමා පටයේ කථා නායකයා වන සුරේෂ් රවි සහ අධ්යක්ෂ රන්ජිත් දෙදෙනා ඉංජිනේරු විද්‍යාව හදාරා ඇත්තේ එකටමය.
රන්ජිත් සිනමා නිර්මාණයට මනාපය දැක්වූ අතර සුරේෂ් රංගනයට ඇලුම් කළේය. දෙදෙනාගේම සිහිනය සැබෑ කර ගැනීමට සුරේෂ් වෙනුවෙන් ප්‍රධාන චරිතය ලියවුණු වෙනත් පිටපතක් සහ ට්‍රේලරයක් රැගෙන රන්ජිත් නිෂ්පාදකයකු සොයා ගිය ද ඔහුගේ ව්‍යායාමය සාර්ථක වූයේ නැත.
පසුව ඔහු ඔවුනගේ සරසවි ජීවිතයේ සැබෑ අත්දැකීම් රැගත් අධි මේධාවිගල් නිර්මාණය කළේය. එයට නිෂ්පාදකයකු ද පහසුවෙන් සොයා ගත්තේය.
රන්ජිත්ගේත් සුරේෂ්ගේත් කුලුඳුල් සිනමා සිහින සැබෑ විය. මෙහි කතා නායකයාත් කතා නායිකාවත් මිතුරන්ම පමණි.
ඔවුහු වට්ටෝරු කතාවක මෙන් තවත් පෙම්වත්තු යුවළක් නොවෙති. එනිසා යුග ගායනා ද නැත. මේ සියලු කාරණා එය වෙනස්ම මඟක් ගත් සිනමා අත්දැකීමක් බවට පත් කර ඇත.
සරසවියේත් ඉන් ඔබ්බටත් ඔවුන්ගේ ජීවන චාරිකාව දිග හැරෙන්නේ බොහෝ දෙනකුට සමීප අත්දැකීමක් සෙලියුලොයිඩ් පටයේ දිග හරිමිනි. එය සමාජයට දැවැන්ත පණිවිඩයක් ගෙන එන සිනමා සිත්තමක් බව රන්ජිත්ගේ අදහසය.
මෝස්තර නිරූපිකාවක හා නිළියක වූ ඉෂාරා නායිර් අධි මේධාවිගල්ට සම්බන්ධ වීමට පෙර සදුරන්ග වෙට්ටයි රැඟීමෙන් වචාරක ප්‍රේක්ෂක මනාපය දිනා සිටියාය.
විනෝදකාමී සූජි නම් තරුණියගේ චරිතය සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ ඇය පසුවූයේ තමන් චරිතයට තෝරා ගනීවිදැයි යන සිත් දෙගිඩියාවෙනි.
සම්මුඛ පරීක්ෂණයේදී අධ්යක්ෂවරයා ඇය චරිතය සඳහා තරබාරු වැඩි බව සඳහන් කළ අතර ඇය සිරුර සිහින් කර ගැනීම සඳහා දින 10 ක කාලයක් ඉල්ලා සිටියාය. ඉෂාරා ඒ දින දහයේදී උදෑසන පැය තුනකුත් සවස් වරුවේ පැය තුනකුත් වැය කර චරිතයට ගැළපෙන ලෙස සිරුර සිහින් කර ගත්තාය.
අධ්යක්ෂවරයා ඇය දැක පුදුම වූ අතර වහාම චරිතය සඳහා තෝරා ගන්නා ලදී. ඉෂාරා මිතුදම සහ විනෝදය කැටිවුණු සූජි චරිතය රඟපෑමට මහත් කැමැත්තෙන් සිටි නිසා මෙතරම් කැප වීමක් කර තිබේ.
හිඟ මුදල් යන වදනට තරුණ පෙළ අකැමැති වුවද සැබෑ ජීවිතයේදී ඔවුනට එය අත්දකින්නට සිදුවෙයි. ඔවුනට ජීවත් වන්නට සිදුවන්නේ එය සමඟය. කණගාටුව නම් එය ඔවුනගේ අධ්‍යාපනයට සේම සමාජ ජීවිතයට ද කෙළින්ම බලපෑමයි. හිඟ මුදල් නැති කමින් උසස් අධ්‍යාපනය කඩාකප්පල් වී ජීවිතයේ ඉලක්කවලින් පරාජය වන්නන් එමටය.
එය ලොවටම පොදු තත්ත්වයකි. රන්ජිත් සියලු ශිෂ්‍යයන් වෙනුවෙන් කැප කරන අධි මේධාවිගල් පැය 2ක් සහ මිනිත්තු 2ක් දිගුය. සුරේෂ් රවිට ඉෂාරාට අමතරව තම්බි රාමයියා, ලිවිංස්ටන්, රේණුකා, මධු, කල්ලූරි විනෝ සෙසු ප්‍රධාන චරිත රඟති.
චම්පිකා දීපානි රණසිංහ
සිළුමිණ