නොවැම්බර් 10 වන සෙනසුරාදා හවස 6.30ට කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී මගේ “ඉරෙන් හඳෙන්” සංගීත ප්‍රසංගය පවත්වන්න මේ වන විට සියලු කටයුතු සූදානම් කරගෙන යනවා. මගේ පරණ ගීත, අලුත් ගීත වගේම හින්දි ගීතත් එදාට ගායනා කරනවා.
හැමෝටම ආරාධනා කරනවා අලුත් අත්දැකීමක් විඳින්න එන්න කියලා. මේ ප්‍රසංගය කරන්නේ බොහොම ආර්ථික අපහසුතා මැද.මේ වගේ ප්‍රසංගයකට අනුග්‍රාහක දායකත්වය දෙන්න ඉදිරිපත් වෙන අයත් දැන් අඩුයි. නමුත් මේක මම කොහොම හරි කරනවා.
මේක තරමක් වෙනස් ආරයක ප්‍රසංගයක්. මේකෙන් මම ගොඩක් දුරට උත්සාහ කරන්නේ අපේ තරුණ පරම්පරාවට ආමන්ත්‍රණය කරන්න. මම මේ ක්ෂේත්රයට ආවේ ළමා ගායකයෙක් විදිහට.එදා මාත් එක්ක හිටපු ළමා පරපුර අද වෙනකොට මං වගේම තරුණ වයසට ඇවිත් ඉන්නවා. මට ඕන වුණා ඒ අයට නැවත ආමන්ත්‍රණය කරන්න සහ ඒ සතුටල ආදරය මේ ප්‍රසංගයේ දී බෙදාගන්න. ලෝකයේම ගත්තොත් සංගීත ක්ෂේත්රයේ සිදුවෙන නවතම වෙනස්වීම් සහ අලුත්වීම් ගැන අද අපේ තරුණ පරම්පරාව අවබෝධයෙන් ඉන්නවා. මට ඕනෙ සංගීතයේ නව මානයන්ට යොමු වෙමින්, ඒ හැම දෙනෙක්ම බලාපොරොත්තු වන රසය දෙන්න පුළුවන් විදිහේ ප්‍රසංගයක් පවත්වන්නයි. පුංචි කාලයේදී ම මට වාසනාව ලැබුණා, අපේ රටේ ප්‍රවීණ ම ගේය පද රචකයින්, සංගීත අධ්‍යක්ෂකවරුන් සහ ගායන ශිල්පීන් සමඟ නිර්මාණවලට දායක වෙන්න. ඒක මං ලබපු විශාල භාග්‍යයක්. මෙවර ප්රසංගයේදී ඒ සියලු දෙනාගේ වගේම නව පරපුරේ විශිෂ්ට නිර්මාණකරුවන්ගේ ගීත ගායනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනා මේ ප්‍රසංගයේ දී මා එක්ක ඉන්න එක මට ලොකු ශක්තියක්.
මුලින්ම මට ලැබෙන්නේ ජනාධිපති සම්මානයක්. ඒ, 'සූරිය අරණ 'චිත්‍රපටය වෙනුවෙන් හොඳම පසුබිම් ගායනයට. එතකොට මට වයස අවුරුදු 10යි. ඒ වයසට එහෙම සම්මානයක් ලැබෙනවා කියන්නේ විශාල ශක්තියක්. ඊට වසරකට පස්සේ ඒ ගීතයට ම ජනප්‍රියම ගීතය හැටියට සම්මානය ලැබෙනවා. 2009 දී 'සිරි රජසිරි' චිත්‍රපටියේ 'සරා සිත් සයුරු' ගීතය වෙනුවෙන් නිර්මාණශීලිම ගායනයට හිමි සම්මානය ලබාගන්නවා. 2015දි ප්‍රශස්තම ගායනය වෙනුවෙන් රාජ්‍ය සම්මානය ලැබෙනවා 'නිල් වළාකුළු හාදු තවරන' ගීතයට.ඒ ගීතය ලිව්වේ අසංක රුවන් සාගර. සංගීත අධ්‍යක්ෂණය කළේ දර්ශන වික්‍රමතුංග.
2016 දිත් ප්‍රශස්තම ගායකයාට හිමි සම්මානය මට ලැබෙනවා සරස්වතී අභිනන්දන ගීතයක් වෙනුවෙන්. ඒ ගීතය රචනා කළේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවො. දර්ශන වික්‍රමතුංග තමයි සංගීත අධ්‍යක්ෂණය කළේ.තවත් සම්මාන බොහොමයක් දිනාගෙන තියෙනවා. මම යන්නේ හිමින් ගමනක්. මං විශ්වාස කරනවා නිර්මාණකරුවෙක් විදිහට ප්‍රතිලාබ ලැබීමට එහා ගිහින් යම්කිසි සමාජ මෙහෙවරක් කරන්න නම් හිමින් ගමනක් තමයි යන්න ඕනෙ. හිමින් යනකොට ගොඩක් දේවල් දැකබලාගන්න පුළුවන් වගේම බොහොම පරිස්සමෙන් ඒ ගමන යන්න පුළුවන්. අපි නිර්මාණ බිහි කරන්නේ අපිට නෙවෙයි, රටට. නිර්මාණයක් කරනකොට අපි දැනගන්න ඕනෙ ඒ නිර්මාණ අහන්නෙ බලන්නෙ මුළු සමාජයක්මයි කියන දේ. බිහි කරන නිර්මාණ, හැම කෙනෙකුටම රසවිඳින්න පුළුවන් නිර්මාණ වෙන්න ඕනෙ. ඕක අද අපේ සමහර තරුණ නිර්මාණකරුවන්ට අමතක වෙලා. ඒ හැරුණම ජනප්‍රිය සංගීතයේ හරවත් නිර්මාණ බිහිකරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ හැමෝම එකතු වෙලා යන්න ඕනෙ ගමනක් මේක.