කිසිවක් නොලියා තාත්තා සහ අම්මා කෙනෙකුගෙන් දියණිය සහ අන් දියණිිවරු වෙත ලියන ලද ලිපිය පමණක් මෙහි තබන්නෙමු.
බලය හෝ වාසිය නොව රට වෙනුවෙන්
අපේ දියණිය නදී පසුගිය වසරේ ටෙලි නාට්‍ය රංගනය වෙනුවෙන් සම්මාන දුන් සම්මාන උළෙල හතරෙන්ම (රයිගම්, සිග්නීස්, සුමති, රාජ්‍ය ටෙලි සම්මාන) වසරේ ව්ශිෂ්ටතම රංගන ශිල්පිණිය ලෙස සම්මාන ලැබුවා. ඒ , ඇය රංගනයෙන් දායක වූ එකම මාලා නාටකය වූ බැද්දේ කුලවමිය ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන්. අපටත් දෙමාපියන් හැටියට එය ආඩම්බරයක් වුවත් මෙය ලියන්නේ එය කියන්නට නොවේ.
ඇය මීට සති දෙකකට පෙර සිටියේ වෘත්තීයමය කටයුත්තක් වෙනුවෙන් විදේශයක. 24 වෙනිදා පාන්දර ලංකාවට ආවේ රටේ දේශපාලනය ගැන මහත් කලකිරීමෙන්. ඇය ගෙදරට ආවේ අපේ දරුවන් ගේ අනාගතය ගැන මට හරි බයයි. අපි මොනව හරි කරන්න ඹ්න. කියාගෙන. ඒ එන විට ඒ රටේදී ලැබුණු විවේකයකදී ලියපු ලියවිල්ලක් ඇගේ කොම්පියුටරයේ තිබුණා. ඒ ඇවිත් දවසට පැය තුන හතරක් නිදා ගන්නට හැර වෙන මොහොතක් වත් ගෙදර හිටියේ නෑ.
දවස් හතරක් ගත වන විට ධාරානිපාත වර්ෂාව නොතකා ගෝල් පේස් පිටිය හරහා ගමන්කළ කලාකාරියන් ගේ විරෝධතා පෙළපාලියක් අපට දකින්ඩ ලැබුණා. එහි සටන් පාඨය වුනේ ප්රජාතන්ත්රවාදය සුරකිනු. රටේ දරුවන්ට සාමකාමී රටක් ඉතිරි කරනු යන්නයි. ඒ වැඩේ කිසිසේත්ම ඇගේ තනි ශක්තියෙන් නිර්මාණය වුණු එකක් නොවෙයි. කෞශල්‍යා ප්‍රනාන්දු- රුවන්ති චිකේරා- චිරන්ති මල්ලිකාරචිචි - අමා විජේසේකර චාන්දනී සෙනෙවිරත්න- සුජානි මේනකා, නිරන්ජලා මංජරී ඇතුළු කිසිදු දේශපාලන පක්ෂයකට ගැති නොවන කලාකාරියන් ගණනාවකගේ පරිකල්පනය - දැනුම - ශ්‍රමය - මුදල් - කැපවීම සහ ඒ සියල්ලට වඩා රට ගැන ඇති කැක්කුම මත නිර්මාණය වූවක්.
එදා ජනාධිපති කාර්යාලයට බාරදුන් එම ලියවිල්ලට ස්වර්ණා මල්ලව ආරච්චි - නීටා ප්‍රනාන්දු - අනෝජා වීරසිංහ- නිම්මි හරස්ගම- ජයනි සේනානායක, දමිතා අබේරත්න, කැත්ලීන් ජයවර්ධන- ජයන්තා රුක්මනී සිරිවර්ධන වැනි ප්‍රවීන කලාකාරියන් ඇතුළු කලා ක්ෂේර්තයේ ක්‍රියාකාරී කාන්තාවන් සියයකට වැඩි ගණනක් එක්ව සිටියා. තවත් කලාකාරියන් බොහෝ දෙනෙකු මීට සම්බන්ධ වෙන්න කැමැත්ත පළ කළත් ලියවිල්ල වහාම බාරදිය යුතුව තිබුණු බැවින් ඒ අය සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව සංවිධිායිකාවන් කියනවා.
ඉතින් මේ සටහන ලියන්නේ අපේ දියණිය සම්මාන ලබනවාට වඩා නිහතමානී ආඩම්බරයක් අපට දැනෙන බව කියන අතරම අප ජීවත් වන මේ සමාජය අද කොතරම් දූෂණය වී ඇතත් යහපත් සමාජයක් වෙනුවෙන් කිසිත් ලාබ ප්‍රයෝජන නොතකා ඉදිරිපත් වෙන්නට, කැපවෙන්නට සූදානම් කලාකරුවන් කලාකාරියන් තවමත් මේ රටේ සිටින බව අවධාරණය කරන්නයි. අපේ දියණියටත් ඒ සියලුදෙනාටත් අභියෝග ජයගන්නට තව තවත් ශක්තිය, ධෛර්ය ලැබේවා කියා පතන්නයි.
අම්මා - තාත්තා
ඉන්ද්‍රා - කම්මැල්ලවීර