අනුල බාල වියේ දී ගුවන් විදුලි ළමා පිටියට ද ලිපි රචනා ලියා යැව්වාය. ඇතැම් දිනෙක ඇගේ ලිපිවලට තෑගි ද හිමි විය.
විශ්වවිද්‍යාලයෙන් පසු එක්දහස් නවසිය හැට හතර වසරේ දී ඇයට ගුරු පත්වීමක් ලැබෙයි. ඒ, ඇල්පිටිය නියාගම මහා විද්‍යාලයටය. ඉන් පසු ඇය හෑගල්ල විද්‍යාලයට ද පත්වීමක් ලැබ යයි. එහෙත් ගුරුකමට වඩා පුවත්පත් කලාවට ඇලුම් කළාය.
“ටීවි චැනල්වලින් තේරෙන සුපර් ස්ටාර්ස්ලාට තියෙන තැන අද මේ රටේ ලේඛකයන්ට නෑ.”
පසුගිය දිනෙක ලේඛකයකුම කියනු ඇසිණි. කතාව නම් ඇත්තය. ඈත පිටිසර ගම්වලින් පැමිණ ටීවී චැනල් ඉදිරියේ අනුන්ගේ ගීත ගයා එස්.එම්.එස් පණිවුඩවලින් තරු ලෙස කිරුළ පලඳින තරුණ තරුණියන් යළි ගමට යන්නේ රථ පෙරහරෙනි. තෑගි ලෙස ලැබෙන්නේ දහසින් බැදි පියලිය. එසේත් නැති නම් සුපිරි මෝටර් රථය. එහෙත් මේ රටේ සාහිත්‍ය වෙනුවෙන් වටිනා මෙහෙවරක් කළ සාහිත්‍යධරයන් ලේඛකයන් වෙනුවෙන් එවැනි පිළිගැනීමක් නැත්තේ ඇයි? විටෙක හිතේ කනගාටුවක් ඇති කරන මේ සිතුවිල්ල පසෙක ලා හදවතින්ම සතුටු විය හැකි ලේඛක උපහාර උලෙළකට සහභාගි වීමේ අවස්ථාව ලැබිණි. එය කලකින් විදින්නට ලැබුණ අත්දැකීමකි.
ස්ථානය මට්ටක්කුලියේ කාකාදුපත බෝධිරාජ විහාරස්ථානයයි. දිනය දෙසැම්බර් මස විසි එක් වැනි දාය. වේලාව සවස 3.30යි.
තම ප්‍රදේශයේ ජීවත් වන ප්‍රවීණ ලේඛිකාව වෙනුවෙන් උපහාර දැක්වීමට එම උත්සවය සංවිධානය කර තිබුණේ කාකදූව බෝධිරාජාරාමයේ විහාරාධිපති දිවුල්වැවේ අරියදේව ස්වාමීන් වහන්සේ හා එම විහාරස්ථානයේ බෞද්ධ සංගමයේ සභාපති (වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ) ගාමිණී හේවගේ මහතා ඇතුළු ප්‍රදේශවාසීන් විසිනි.
ඒ සන්ධ්‍යාවේ අප යන විට උත්සවය ආරම්භ වුවා පමණි. ඒ නිසා අපට සිදු වූයේ එළිමහනේ රැඳී සිටීමටය.
එම උපහාර උත්සවය සංවිධානය කර තිබුණේ අප කවුරුත් ආදරය කරනා ප්‍රවීණ ලේඛිකා, ජ්‍යෙෂ්ඨ මධ්යවේදිනි අනුල ද සිල්වා මහත්මිය වෙනුවෙනි.
“ ඇය හොඳ ලේඛිකාවක් නේද.... අපි දැනගෙන හිටියේ නැහැනේ.....” අපට ඉදිරියෙන් සිටි මුස්ලිම් හා දෙමළ කාන්තාවෝ දෙදෙනෙක් මුනුමුනුගාමින් කතා කරන්නට වූහ.
“ආ... ඇයට සම්මානත් ලැබිලා තියෙනවා..”
පිරිමින් දෙදෙනෙක් ද කියන්නට වූහ. ඒ සියලු අදහස් පළ වුයේ අපේ අනුලක්කා පිළිබඳ තිරයේ දිස් වූ රූප පෙළ යනවාත් සමඟය.
කලකට ඉහත කාකදුපත යැයි කියූ විට නිතැතින්ම අපේ මතකයට ආවේ රීටා ජෝන් පිළිබඳය.
කාලයත් සමඟ සියල්ල වෙනස්ව ඇත. දැන් එහි බොහෝ සුන්දර දේ සිදු වේ. අනුලා ද සිල්වා මහත්මියට උපහාර දැක්වීම ද එවැනි සුන්දර සිදුවීම් පෙළකි.
අපේ අනුල අක්කා.. ( කවුරුත් ඇය හඳුන්වන ආදරණීය නාමය එයයි) එක්දහස් නවසිය හතලිස් එකේ ජනවාරි මස විසි එක් වැනි දා අම්බලන්ගොඩ පොල්වත්තේ උපන් අනුලා පවුලේ එකම දරුවා වූවාය.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරු ඇය උසස් අධ්‍යාපනය සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙයි. පාසල් වියේ සිටම නිවෙසේ හුදකලාවේ හැදී වැඩුණු ඇය ඒ පාළුව මකාගත්තේ පියා විසින් ගෙනත් දෙන පොත පත කියවීමෙනි. බාල වියේ සිටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලද ඇය විසින් වැඩිපුරම කියවන ලද්දේ ද ඉංග්‍රිසි පොත පතය. කෙසේ නමුත් විශ්වවිද්‍යාලයට ඇතුළු වූ පසු ද ඇය කියවීම අත් නොහැරියාය. එමෙන්ම බාල වියේ සිටම තිබූ ලිවීමේ පුරුද්ද ද අත්නොහැරියාය.
අනුලා බාල වියේ දී ගුවන් විදුලි ළමා පිටියට ද ලිපි රචනා ලියා යැව්වාය. ඇතැම් දිනෙක ඇගේ ලිපිවලට තෑගි ද හිමි විය. විශ්වවිද්‍යාලයෙන් පසු එක්දහස් නවසිය හැට හතර වසරේ දී ඇයට ගුරු පත්වීමක් ලැබෙයි. ඒ, ඇල්පිටිය නියාගම මහා විද්‍යාලයටය. ඉන් පසු ඇය හෑගල්ල විද්‍යාලයට ද පත්වීමක් ලැබ යයි. එහෙත් ගුරුකමට වඩා පුවත්පත් කලාවට ඇලුම් කළ අනුලා නිවැසියන්ට හොර රහසේ ලේක්හවුසියට ඉල්ලුම් පත්‍ර කිහිපයක්ම යොමු කළාය. ලේක්හවුසියෙන් එවන ලිපි සියල්ල අම්මා සඟවන්නේ දියණිය ගුරු වෘත්තිය හැර දමා යැයි යන සැකය නිසාය. කෙසේ හෝ ‘හිතුවක්කාර අනුලා‘ ලේක්හවුසියේ සේවයට පැමිණෙයි.
ඇගේ පුවත්පත් ජීවිතය ඇරැඹෙන්නේ මිහිර පුවත්පතිනි. පසු කලෙක මිහිර පුවත්පතේ කතුවරිය ලෙස ද ඉන් පසු තරුණි පුවත්පතේ කතුවරිය ලෙස ද ඇය කලක් කටයුතු කළාය. ලේක්හවුසියෙන් ඉවත් වී ලංකාදීපයට යන ඇය සිරිකත පුවත්පතේ කතුවරිය ලෙස කලක් කටයුතු කළාය. ජාතික තරුණසේවා සභාවේ ප්රචාරක නිලධාරිනියක ලෙස ද කටයුතු කළ අනුලා මේ කුමන වෘත්තියක නියැළුණ ද ඇය සිය නිර්මාණකරණය අත්නොහැරියාය.
ඇය ස්වතන්ත්‍ර නිර්මාණ කිහිපයක්ම එළිදැක්වූවාය . අහස් මාලිගා කතාව සිළුමිණ පුවත්පතේ කොටස් වශයෙන් පළ වූවකි. උන්මත්තකයෝ නවකතාවෙන් ඇරැඹී නවකතා ගොන්නේ අද වන විට ඇය විසින් ලියූ බොහෝ කතා ඇතුළත් වේ. ඇය ලේඛිකාවක ලෙස වඩාත් පාඨක ප්‍රතිචාර ලබන්නේ දෙවියන්ගේ අඩවිය නවකතාව පරිවර්ථනය කිරීමත් සමඟය. අද වන විට ඇය පොත් එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් ලියා පළ කර තිබේ. ඒ අතර, පරාවළල්ල, කටුකුරළු හඬ, දඹතැන්න, මංගේෂ්වරි, තිත්තකෝපි, ආයුබෝවන්, නවවසර, කළු ගැහැනියගේ සිහිනය, සුදු පිරුවට , ආදරය බලා හිඳී, මහ මුහුද , නිල් කබාය සහ අම්මා, සිරගත කුමරිය, පොත් වේ.
යොවුන් සාහිත්‍ය සම්මාන, රාජ්‍ය සාහිත්‍ය සම්මාන, මෙන්ම විවිධ සම්මානයෙන් පිදුම් ලද ඇයට පසුගිය දා තමන් ජීවත් වන ප්‍රදේශයෙන් උපහාර පිදිම නම් අපුරු අත්දැකීමක් වන්නට ඇත.
රටම හැඳුනුවත් ඇතැම් විට තමන ජීවත් වන ප්‍රදේශයේ ඇත්තැන් ඇය පිළිබඳ දන්නේ බොහෝ සුළුවෙනි. විවාහ වීමෙන් පසු කාකදුපත ප්‍රදේශයට පදිංචියට ගිය ඇයට එහි ප්‍රදේශවාසීන් උපහාර පිදිම සැබැවින්ම පැසසිය යුත්තකි.
උත්සවය සංවිධානය කළ ගාමිණී හේවගේ මහතා පවසන්නේ මෙවැනි කතාවකි.
“ ඇය අපේ ප්‍රදේශයට ආඩම්බරයක්. ඒ වගේම තමයි පසුගිය දා ඇයට ඉන්දියාවේ පැරැණිම කාන්තා සංවිධානයෙන් ස්ත්‍රී ශක්ති සම්මානය පිරිනැමුවා. මේ සම්මානය අපේ රටට ලැබුණ පළමු අවස්ථාව. එවැනි සම්මානයක් ලද ඇයට යම් උපහාරයක් කිරීම අපේ යුතුකම. මේ ප්‍රදේශයේ සිංහල මුස්ලිම් දෙමළ බර්ගර් ආදි සියලු ජනකොටස්වල අය වාසය කරනවා. නමුත් ඔවුන් එවැනි පොදු වැඩවල දී පන්සල මුල් කරගෙන එකට එක් වෙනවා. එය අපට ලොකු ශක්තියක්. ඒ වගේම තරුණ පරපුරත් ඉතාම ඕනෑකමින් උත්සවයට එක් වුණා. ඇය වෙනුවෙන් උපහාර උලෙළක් සංවිධානය කිරිමට ලැබීම ගැන මම බොහෝ සතුටට පත් වෙනවා. ” ගාමිණි පවසයි.
කාකදුපත වසාගෙන එමින් තිබූ ඒ හැන්දෑ වැහි අඳුරේ අනුලක්කා වෙනුවෙන් හිටපු කථානායක විජමූ ලොකුබණ්ඩාර, ප්‍රවීණ රංගනවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ප්‍රවීණ ලේඛක කමල් පෙරේරා මහතා ඇතුළු ලේඛක ලේඛිකාවන් ඇතුළු ඇගේ පාඨකයෝ රැසක් ද සහභාගි වී සිටියහ. බැලුබැල්මට පුංචි පෙනුමක් ඉසිලුව ද ඇය කර ඇති මෙහෙය විශාලය. ඇය ලියූ පොත පත බොහෝය.
මේ සියල්ල පිළිබඳ ඇය කතා කරන්නේ දැසේ තුටු කඳුළක් රඳවාගෙනය.
“ මම හැම වේලාවෙම සම්මානවලට වඩා පාඨක ප්‍රතිචාර අගය කරන කෙනෙක්. ලියන එක මට භාවනාවක් වගෙයි. හැම විටම මට ශක්තියක් වුණේ මගේ පාඨකයෝ . අද මට බොහෝම සතුටු දවසක්. මා වෙනුවෙන් මෙවන් උපහාර උත්සවයක් සංවිධානය කළ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි.
ඉසවි
සිළුමිණ