Manikarnika The Queen of Jhansi
කන්ගනා රනවුත් මෑත කාලයේ බොලිවුඩ් මාධ්‍යයන්හි නිතර කතාබහට ලක්වුණු රංගන ශිල්පිනියක්. පසුගිය කාලයේ ඇයගේ රංගන දායකත්වය ලද චිත්‍රපට බොහොමයක් ඉහළ ආදායම් වාර්තා ලැබීමත් එයට ප්‍රධානතම හේතුවක්. ඇයගේ රංගනයෙන් ඔපවත් වන නවතම චිත්‍රපටය ‘Manikarnika : The Queen of Jhansi’ ජනවාරි 25 සිට ලොවපුරා තිරගත කිරීම ආරම්භ විය. ඉතිහාස කතාවක් සමඟින් මෙම චිත්‍රපටය ගෙන එන්නේ 1853 - 1857 කාලයේ ඉන්දියාවේ ජාන්සි නම් ජනපදය පාලනය කළ රැජනක් පිළිබඳ කතාපුවතකි.
ජාන්සිහි රැජන හෙවත් ලක්ෂ්මිබායි උපත ලබා ඇත්තේ, 1828 වසරේ නොවැම්බර් 19 වැනිදා මරාති බාහිරින් පවුලකට දාව වරණාසිහිදීය. ඇයගේ මුල් නම මනිකර්ණිකා වූ අතර බොහෝ දෙනා ඇය ඇමතූයේ ‘මනූ‘ යන සුරතල් නාමයෙන්. ජාන්සිහි මහරාජා වූ ගන්ගාධාර් රාඕ සමඟින් විවාහ වන විට මනූගේ වයස අවුරුදු පහළොවකි. මෙම යුවලට දාව උපන් පුතු සිව්මස් වියේදි මරණයට පත් වූයෙන් 1853 වසරේදී රාඕ මිය යන්නට ආසන්යේදී ඔවුන් දරුවකු හදා ගැනීමට ගත් අතර රාඕගේ මරණයෙන් පසු මනිකර්ණිකා හෙවත් ලක්ෂ්මිභායි ජාන්සි‘හි රැජන බවට පත්වුණා. ඉන්දියාවේ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර පැවතිය ද ලක්ෂ්මිභායි තමන්ටම ආවේණික ලෙසින් ඒවා භාවිත කරන්නට වූවා. සාමාන්‍යයෙන් එකල කාන්තාවන් සැමියාගේ මරණයෙන් පසුව සුදු වතින් සැරසී හිස බූ ගා ආභරණ නොපැලඳීය යුතු වුවද ලක්ෂ්ම්භායි එසේ නොකළාය. ඇය සුදුවතින් පමණක් සැරසී සිටි අතර ආභරණ පැලඳීයා ය. 1857 වසරේ ඉන්දීය නිදහස වෙනුවෙන් දියත් කෙරුණු මුල්ම විප්ලවයේ සුවිශේෂි චරිතයක් වූ ලක්ෂ්මිභායි, ඉන්දීය ජාතික සටනේ සංකේතයක් ලෙසින් ද හැඳීන්වෙනවා. මේ වන විට ලක්ෂ්මි භායි චරිතය ඇසුරෙන් නවකතා රැසක් රචනා කර ඇති අතර ටෙලි නාට්‍ය මාලා සහ චිත්‍රපට ද නිර්මාණය වී තිබෙනවා. ලක්ෂ්මිභායි චරිතය ඇසුරින් නිර්මාණය කෙරුණු Manikarnika : The Queen of Jhansi චිත්‍රපටයට අමතරව Swords and Sceptres හොලිවුඩ් චිත්‍රපටය ඉදිරියේදී තිරගත කිරීමට නියමිතයි. අමීර් ඛාන් ප්‍රධාන චරිත මැවූ Mangal Pandey (2005) චිත්‍රපටයේ ද ලක්ෂ්මිභායි චරිතය නිරූපණය කෙරුණා.
Manikarnika : The Queen of Jhansi’ චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව 1857 වසරේදී දියත් කෙරුණු ඉන්දීය විප්ලවය යි. අනෙකුත් පළාත්වලින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයට එරෙහිව අවි එසවෙන විටදී ජාන්සි‘හි රැජන කාන්තාවන් ද පෙරටු කර ගනිමින් විප්ලවයේ ප්‍රධාන භූමිකාවක් බවට පත් වූයේ අති දක්ෂ ලෙස සතුරාට එරෙහි වෙමින්. තමන් හදා ගැනීමට ගත් කුඩා දරුවා ද පිට බැඳගත් ඇය සටන් පෙරමුණට ගිය අතර එහිදී ඇයගේ අති දක්ෂ සටන් විලාසය අධිරාජ්‍යවාදීන් තැති ගන්වන්නට සමත් විය.
‘Manikarnika : The Queen of Jhansi’ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කෙරුණේ 2017 වසරේදීයි. රූගත කිරීම් අතරතුර කන්ගනාට දරුණු අනතුරකටත් මුහුණ දෙන්නට සිදු වූ පුවතක් වාර්තා වුණා. එහිදී ඉන්දීය මාධ්‍ය වාර්තා ගෙන ආවේ, කන්ගනා ‘ලක්ෂ්මිභායි’ රැජිනගේ චරිතයට පණ පොවන විටදී ඇයට කඩු පහරක් වැදුණු බවයි. නිහාර් පාන්ඩේ සමඟින් රූගත කළ කඩු සටනක දී කඩු පහරක් වැදිම නිසා ඇයගේ නලළෙහි ගැඹුරු තුවාලයක් සිදු වූ අතර ඇය වහාම රෝහල්ගත කෙරුණු පසුව සැත්කමක් ද සිදු කරන්නට කටයුතු යෙදුණි.
මෙම චිත්‍රපටය කන්ගනාගේ සිනමා දිවියේ සුවිශේෂි කඩඉමක් ලෙසින් සටහන් වන්නේ, වසර 18ක සිනමා දිවියේ රංගන ශිල්පිනියකට අමතරව අධ්යක්ෂවරියක ලෙසින් ද කලඑළි බැසීමයි. කන්ගනා ‘Manikarnika : The Queen of Jhansi’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ක්‍රිෂ් හෙවත් රාධා ක්‍රිෂ්ණා ජගර්ලාමුදි සමඟින්. අතුල් කුලකර්ණි, ජිස්ෂූ සෙන්ගුප්තා, රිචඩ් කීප්, සුරේෂි ඔබේරෝයි, ඩැනී ඩෙන්සොන්පා, අන්කිතා ලෝකන්දේ ඇතුළු පිරිසක් සෙසු චරිත නිරූපණය කරනවා. මුලදී සෝනු සූද් මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට නියමිතව සිටිය ද කන්ගනා අධ්යක්ෂණයට පිවිසීම සමඟින් සෝනු එම චරිතය හැර ගිය බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. නමුත් කන්ගනා පවසන්නේ සිම්බා චිත්‍රපටයේ රූගත කිරීම් සමඟින් ඇති වූ කාර්යබහුලත්වය නිසා සෝනූ මෙම චිත්‍රපටයෙන් ඉවත් වූ බවයි.
තෙළිඟු සහ දෙමළ භාෂාවලින්ද නිකුත් කෙරෙන මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ශංකර් මහදේවන්, ලෝයි මෙන්ඩොන්සා, එෂාන් නූර්නානි, සන්චිත් බල්හාරා සහ අන්කිත් බල්හාරා විසින්. ශංකර් මහදේවන්, සුක්වින්දර් සිං, ප්‍රතිභා සිං, සිද්ධාර්ත් මහදේවන් ඇතුළු පිරිසක් ගීත ගායනයෙන් දායක වී තිබෙනවා. මෙහි තිරරචනය කර තිබෙන්නේ, Mersal, Baahibali : The Begining, Bajrangi Bhaijaan චිත්‍රපට රචනා කළ විජේන්ද්‍ර ප්‍රසාද් විසින්. ඉන්දීය රුපියල් කෝටි 125ක පිරිවැයකින් නිම කෙරුණු Manikarnika : The Queen of Jhansi චිත්‍රපටය ද මේ වසරේ බලාපොරොත්තු සහගත බොලිවුඩ් සිනමා නිර්මාණ අතරේ ඉදිරියෙන්ම සිටින චිත්‍රපටයක් බව විචාරක අදහසයි.
යතේජා ඥානරත්න
සරසවිය