භාරතීය සිනමාවේ අහිංසක සුරූපිනිය “නූටාන්”
‘නූටාන්' යනු භාරත සිනමා වංසකතාවේ අමතක නොවෙන, මතකයේ රැඳුණු තවත් ප්‍රමුඛම නිළියකි. ඇය සිහින්, උස්වූ, උස තරමට පිරුණු ශරීරයක් තිබුණු සිත් වසඟ කරවන ආකර්ෂණීය සිනහවකින් මුව සරසා ගත් අතිශය සුන්දර යුවතියකි. භාරතීයයන්ගේ රූපකායට බෙහෙවින් අනන්‍යතාවක් පළ කළ ඇය 1950-1991 අතර යුගය වර්ණවත් කළ සුරූපී රංගන ශිල්පිනියක වූවාය.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට අයත් බොම්බායේදී, එවක චිත්‍රපට අධ්යක්ෂවරයකු හා කවියකු ලෙස කටයුතු කළ කුමාරසෙන් සමරාන් හා එවක නිළියක වූ ශෝභනාට දාව උපන් ඇය 'නූටාන්' වූවාය. ඇයට සොහොයුරියන් දෙදෙනෙකි. නිළියක වූ 'තනුජා'ත් 'චාතුරා'ත් ඒ දෙදෙනාය. 'ජායිදීප්' සොයුරාය. ජායිදීප්ගේ උපතට පෙරම නූටාන්ගේ මවුපියෝ දික්කසාද වූහ. එහෙත් ඒ සියල්ල මැද නූටාන් හොඳින් අධ්‍යාපනය ලැබුවාය. පංචගානි හි ශා. ජෝශප් කන්‍යාරාම විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඕ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ස්විට්සර්ලන්තයට ගියාය. ඇයගේ මව නිපැයූ චිත්‍රපටයක් අසාර්ථක වීම නිසා ඒ මඟ මඳකට නවතා ලූ ඇය නූටාන්ගේ අධ්‍යාපනය ගැන සිතුවාය. පසු කලෙක නූටාන් මාධ්‍යයට අනාවරණය කළ පරිදි අධ්‍යාපනය ලැබීමට ස්විට්සර්ලන්තයට ගිය එම කාලය ඇයගේ සුන්දරතම මතකයන් ඇති කාලය විය.
සැබැවින්ම නූටාන් සිනමා රංගනයට ප්‍රවේශවන්නේ ඇයට වයස අවුරුදු 14ක්ව තිබියදීය. ඒ 1950 තිරගත වූ 'හමාරී බේටී' චිත්‍රපටයෙනි. ඇයට මේ සඳහා ප්‍රවේශයක් ලබාගැනීමට පහසු වූයේ මවුපියන් සිනමාවට සම්බන්ධ වීම නිසාවෙනි. ඇය පළමු වතාවට පරිපූර්ණ චරිතයක් රඟපාමින් සිනමා ගමනට මතක සටහන් තැබුවේ 1957 තිරගත වූ 'සීමා' චිත්‍රපටයෙනි. එහි ඇය 'ගෞරී' ලෙස රඟපෑවාය. එම චිත්‍රපටයෙන්ම ඇයට ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි වූයේ හොඳම රඟපෑම වෙනුවෙනි. මේ ඇරැඹුම සාර්ථක වූ නිසා ඇය මහත් වගකීමකින් යුතුව තමන් යා යතු තැන නිශ්චය කරගෙන රංගනයේ අඩුපාඩුකම් හඳුනාගත්තාය.
'සීමා' හි රඟපාමින් ඉදිරියට විත් ඇය ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනාගන්නට පෙර ඒ අතරතුරද නාගිනා (1951), හුම්ලොග් (1951), ශීෂාම් (1952) සර්බාත් (1952), ලයිලා මජ්නු (1953), ශාබාබ් (1954) වැනි චිත්‍රපටවලද රඟපාමින් දක්ෂතා පළකර තිබුණාය. 'ෂීමා' නම් දැවැන්ත චිත්‍රපටයෙන් පසු හීර් (1956), බාරිෂ් (1956) හිද මතක සටහන් තැබුවාය. ගෘංගාරාත්මක ආරේ යම් හාස්‍යදනවන ශෛලියක චිත්රපටයකද ඇය රඟපෑවේ අනතුරුවය. ඒ දේව් ආනන්ද් සමඟ 'පේයිං ගෙස්ට්' හිය. අනතුරුව 'සින්දගී යා ටූෆන්' (1957), චාන්දාන් (1957), දිල්කාතුන් (1957), කබී අන්දීරා කබී උජාලා (1958) සෝනේකී චිදියා (1958) හි ලක්ෂ්මීගේ චරිතයද අමතක නොවන්නකි. ආක්රිදාඕ ද (1958) තිරගත විය. ඒ අනුව නූටාන්ට විවේකයක් නොමැති තරමට චිත්‍රපට සඳහා ඇරැයුම් ලැබුණේය. 1957 චිත්‍රපට 3කුත්, 1958 චිත්‍රපට 5 කුත් රඟපෑ ඇය තව තවත් ඉදිරියටම ගොස් තිබිණි.
1959 අති සාර්ථක චිත්‍රපට දෙකකට ඇය පණ පෙව්වාය. ඒ රාජ් කපූර් සමඟ 'ආර්නි සොහන්ලාල' නමැත්තියගේ චරිතය ඇතුළත් 'අනාරි' චිත්‍රපටයත්, බිමල් රෝයිගේ සුජාතා චිත්‍රපටයේ 'සුජාතා' ගේ චරිතය සුනිල් දත් සමඟත් රඟපෑ 'සුජාතා' චිත්රපටයත්ය. මේ වේගවත් ප්‍රවේශය ඇය අතිසාර්ථක වී ජනප්‍රියත්වයෙන් ඉහළටම ගෙන ගොස් තිබුණේය. බසාන්ට් (1960), චහබ්ලි (1960) සහ තවත් සන්ධිස්ථානයක් සටහන් කළ 1960 1960 තිරගත වූ 'චාලියා' මේ ගමනේ අමතක කළ නොහැකි චිත්‍රපටය. 1961 තිරගත වූ 'චහාල්යා' චිත්‍රපටයේ 'ශාන්ති' ගේ චරිතය වෙනුවෙන් ඇය ෆිල්ම්ෆෙයාර්සම්මානයට නම් කෙරිණි. එහි රාජ් කපූර් හා රඟපෑම වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සඟරාව සටහන් තැබුවේ 'අවාසනාවන්ත' අතීත මතකයන් උරුම කරදුන් කාලයක් පසුකරන්නට ඇයගේ මුල් කාලයේ සමීපතමයන් උදාකර දී තිබුණේ වුව ඇය ඒ සියල්ල මතින් පිබිදී ඇය අවාසනාවන්ත දුවක් නොවන බව ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබුණාය' ලෙසිනි.
ඇයට බෙහෙවින් ගැළපුණු නළුවා වූයේ දේව් ආනන්ද් බැව් ඇතැමුන් සඳහන් කර තබුණේ ඔවුන් දෙදෙනාගේ රංගනය තුළ කැපීපෙනුණු සුන්දරත්වයක් තිබුණු නිසාවෙනි. ඒ අතරින් ජෙයිං ගෙස්ට් (1957), බාරිෂ් (1957), මන්සිල් (1960) සහ අතිසාර්ථක "තෙරේ ගර්කේ සාම්නේ (1963), සුවිශේෂීය. මේ අතර 1963 තිරගත වූ බිමල් රෝයිගේ 'බන්දිනී' චිත්‍රපටය නූටාන්ගේ සිනමා දිවියේ සාර්ථකම රංගනයක් සටහන් කළ එකකි. සිරගතව සිටින කල්‍යාණියගේ චරිතය ඉතා ස්වාභාවිකව ඇය රැඟුවාය. එම රඟපෑම භාරත සිනමා ඉතිහාසයේ කැපී පෙනෙන එකකැයි විචාරකයෝ අදහස් පළ කර සිටියහ.
'බන්දිනී' චිත්‍රපටය එම වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය වූ අතර නූටාන් තුන්වැනි වරටත් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය. බෙංගාල චිත්‍රපට ජනමාධ්‍යවේදී සංගමය එම වසරේ හොඳම තුන්වැනි චිත්‍රපටය ලෙසත් නූටාන් හොඳම නිළිය ලෙසත් හින්දි චිත්‍රපට කිහිපය අතරින් නම් කළේය. එහිදී දිනේෂ් රහේජා නම් සිනමා ලේඛකයා ඇය ගැන සටහන් තැබුවේ.'
'නූටාන් සුවිශේෂී රංගන දායකත්වයක් ලබාදෙමින් හින්දි සිනමාවේ චිත්‍රපට රංගනයෙන් පෙරට පැමිණ ඇත. කල්‍යාණි නම් චිත්‍රපටයේ චරිතය ඇය වඩාත් තියුණු ලෙස ජීවමාන කර තිබුණාය. ගෞතම් බාස්කරන් ඊඩඥ ඩ්ඪදඤභ පුවත් පතට ලියුවේ.
'මම හිතන්නෙ නූටාන් මෙම චිත්‍රපටයේ කල්‍යාණිගේ චරිතයට රංගනයෙන් දායක වෙමින් හොඳම රංගනය කළ බවයි. එම රංගනය මේ වෙද්දී මතුවී සිටින සෙසු නිළියන්ට ඒ ආකාරයේම හොඳින් කළ හැකිදැයි සැක උපදවන්නේය. දුක හා සතුට යන ද්වයේදීම ඇය කළ භාවාතිෂය රංගනය හා බැඳුණු ඉඟිපළ කළ දෑස් හා හැඟුම් සමඟ ප්‍රේක්ෂකයා ඒ මතකයෙන්ම චිත්‍රපට ශාලාවෙන් පිටතට පැමිණෙන්නේය' යනුවෙනි.
1967 තිරගත වූ 'මිලාන්' චිත්‍රපටයේ රාධාගේ චරිතය වෙනුවෙන් හතරවැනි වතාවටත් ඇයට ෆිල්ම්ෆෙයාර් උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය ලැබිණි. 1973 තිරගත වූ අමිතාබ් බච්චන්ද රඟපෑ 'සෝදගාර්' හි රංගනය උදෙසා පස්වැනි වතාවටත් හොඳම නිළිය වූවාය. 1978 තිරගත වූ 'මේන් තුල්සි තෙරේ ආන්ගත් කී'හි 'සන්ජුත්තා'ගේ චරිතයට පණපෙවීම වෙනුවෙන් හයවැනි වතාවටත් හොඳම නිළිය වන්නීය. එවිට ඇයගේ වයස අවු. 42කි. එබැවින් භාරත සිනමා අඹරේ දිලුණු තරු අතර නිළියක වශයෙන් වැඩිම සම්මාන, හොඳම නිළිය ලෙස ලබාගෙන වාර්තාවක් තබන්නටද නූටාන්ට හැකි විය. ඇයගේ අවසන් රංගනය ඇතුළත් වූයේ 1992 තිරගත වූ 'සාරදා'ගේ චරිතය ඇතුළත් 'නසීබ්වාලා' හිය.
නූටාන් විවාහ වූයේ ඉන්දීය නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් රජ්නිග් බහාල් සමඟය. ඒ 1959 ඔක්තෝබර් 11දාය. ඇයට එකම එක පුතකු සිටියේය. ඒ 'මෝහනිෂ්'ය. ඔහු චිත්‍රපට හා රූපවාහිනි රංගනයටත් පිවිසියේය. 1990 වෙද්දි නූටාන් පියයුරු පිළිකාවකින් පෙළුණු බව වාර්තා විය. එය සුව නොවන තත්ත්වයක තිබෙන බව පසුව ඇය වටහාගෙන තිබිණි. ප්‍රතිකාර කළත් සුව නොවූ තැන මුම්බායේ බ්රිචි කැන්ඩි රෝහලට ඇතුළත් කරද්දී ඇය 'ගර්ජනා' සහ 'ඉන්සාතියාන්' චිත්‍රපටවල රඟපාමින් උන්නාය. එහෙත් 1991 පෙබරවාරි රෝහලට ඇතුළු කළ නූටාන් 21 දින රාත්‍රි 12.07ට මෙලොවින් සමුගත්තාය. ඒ වන විට ඇගේ වයස අවුරුදු 54ක් විය.
මව්බිම