ඔබ ලොව ප්‍රකට කලා කරුවන්ගේ ඇසුර ලැබූ අයෙක් නොවේ. ඇතැම් තැනකදී එවැනි අයෙක් දැක ඇතත් ඔවුන් සමග දිගු කතා බහකට එළබෙන්නට ඔබට අවස්ථාව ලැබී නොමැත. එහෙත් දැන් ඔබ රෝමාන් පොලොන්ස්කි ඉදිරියේ වාඩි ගෙන සිටියි. ඔහු කුඩා මිනිසෙකි. බැලූ බැල්මට සිරුරින් දුර්වල මිනිසෙක් යැයි සිතේ. ඒත් මේ මිනිසා ලෝක සිනමාවේ පාතාක යෝධයන් අතර ඉහළින්ම සිටිනා අයෙකි. මේසය මත ඇති තේ කෝප්පය හෙමින් සීරුවේ තොල ගාමින් ඔහු ඔබ සමග සංවාදයකට පැටලී සිටියි. සත්‍ය වශයෙන්ම ඔහු කතා කරන්නේ ඔහු කැමති දේය. එහෙත් මිනිසා සුහදශීලි අයෙකි. අදහා ගත නොහැකි තරමට සරළ මිනිසෙකි. මෙතරම් ඉහල සිනමා නිර්මාණ බිහි කළ , ආන්දෝලනාත්මක කලා කෘති දායාද කළ අයෙක් මෙතරම් සුහදශීලි වීම තරම් නොවේ යැයි ඔබට සිතේ.
රෝමන් (Roman ) යන වචනයේ ප්‍රංශ තේරුම නවකතාව නම් වෙයි . සත්‍ය වශයෙන්ම පොලොන්ස්කිගේ දිවිය සංකීර්ණ නවකතාවකි . වර්ෂ 1933 දී පැරිස් නගරයේ උපත ලබන පොලොන්ස්කි වයස අවුරුදු 02 දී තම යුදෙව් -පෝලන්ත ජාතික දෙමාපියන් සමග මව් රටට , එනම් පෝලන්තයට යයි. සිදු වූයේ නාසි හමුදාවන් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමේ ප්රතිවිපාකය හේතුවෙන් ඔහුට දෙමාපියන් අහිමි වීමයි. (යුද්ධයෙන් පසුව ඔහුට පියා යලි හමු විය) ගෑස් කඳවුරෙන් ජීවිතය බේරා ගැනීමට නාදුනන පවුල් අතරේ සැරි සරමින් කල් ගෙවූ පොලොන්ස්කි සිනමා ආශාව ඉතාම කුඩා අවදියකදී ඇති වූවකි. එහි ප්‍රතිඑලය වූයේ 1962 වසරේදී ඔහුගේ මුල්ම සිනමා පටය Knife in the water ලෙසින් බිහි වීමයි. එතැන් පටන් සිනමා රසිකයන දකින්නේ ප්‍රතිභාව අතින් , විචාරක ප්‍රශංසාව , ගැරහුම් මැදින් ඉහළ පහළ ගිය , එහෙත් ඇති පොහොසත් සිනමා ගමනකි .
Repulsion (1965) Rosemary's Baby (1968) , Chinatown (1974), The Tenent (1976), Tess (1988) , The Pianist (2002), Venus in Fur (2013) පොලොන්ස්කිගේ සාර්ථක සිනමා නිර්මාණ අතර වෙති.
ඒ අතරම මේ මිනිසා ගේ පෞද්ගලික ජිවිතයද විටින් විට දියසුළි , ව්‍යසන වලට ලක් වූවකි .පෞද්ගලික් දිවියේ අතිමහත් කම්කටොලු බාධක වලට මුහුණ දුන් ඔහු නීතිමය ගැටළු ගණනාවක් මැද වාසය කළ අයෙකි. ඔහුට ඇමරිකාවට පය තබන්නට නොහැකිය. මේ නීති විරෝධී කාරණා නිසා ඔහු සිරගතව සිටි වාර ගණනද බොහොමයකි. එහෙත් ලෝකයා කතා කරන්නේ රෝමාන් පොළොන්ස්කි නැමැති සිනමාකරුවා ගැන පමණි. අන්තර්ජාතික සිනමා උළෙල ගණනාවකදීම චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා සම්මාන දිනා ගෙන ඇති ඔහු 85 වන වියේ පසු වෙමින් D'après une histoire vraie නම් ප්‍රංශ චිත්‍ර පටයේ තිරගත කිරීම් සඳහා සුදානමින් සිටියි.
2014 වසරේ එවකට කැපී පෙනෙන සිනමා සඟරාවක (Studio/ Cine live) විචාරකයෙක් වුණු Mathieu Carttier අහම්බෙන් හඳුනා ගෙන දුරස්ථ මිතුදමක් ඇති කර ගත් මම , ලාංකීය පුවත් පතකට සාකච්ඡාවක් වෙනුවෙන් කැපී පෙනෙන සිනමා තරුවක් සමග වෙලාවක් සකස් කර දෙන මෙන් ඉල්ලා සිටියෙමි. එහෙත් ඔහු සම්බන්ධකම් පැවැත්වූයේ ප්‍රංශ සිනමා තරු සහ සිනමාවේදීන් සමග පමණි. අපේ ලාංකික සිනමා ලැදියෝ ඔවුන් ගැන වැඩි යමක් අසා නැති නිසා ඉඩ ලැබුණු මොහොතක ප්‍රකට නමක් ඇති අයෙක් සොයා දෙන්නැයි බැගෑපත් උනෙමි. පැරිස් 08 ප්‍රදේශයේ කැපී පෙනෙන එහෙත් වැඩියෙන් සෙනග නො ගැවසෙන අවන්හලකට සෑම උදෑසනකම කෝපි කෝප්පය පානය කර පුවත් පත් කියවීමට රෝමාන් පොලොන්ස්කි පැමිණෙන බවත් , ඔහු කා සමග හෝ දොඩමළු වීමට කැමති අයෙක් බවත් Mathieu Carttier මට කිවේය. සාකච්ඡාවක් සඳහා මා පැමිණෙන බව කිව හැකිය. එහෙත් එය සම්ප්‍රදායික පුවත් පත් කතාබහක් වශයෙන් නොකළ යුතුයි. පොලොන්ස්කි සමග සාමාන්‍ය කතා බහේ යෙදී හෙමින් සීරුවේ ප්‍රශ්න ඇසිය යුතුය. එමෙන්ම කිසිදු විටක පෞද්ගලික ප්‍රශ්න නෑසිය යුතුය.
පොලොන්ස්කි ගේ තෙවන බිරිඳ ප්‍රංශ ජාතික නිළියක් වන Emmanuelle Seigner, යි. දශක හතරක් සිට පැරිස් නගරයේ වාසය කරන ඔහු තමන්ගේ සිනමා පට බොහෝ විට රූ ගත කරන්නේ ප්‍රංශයේ ය.
මේ කියනා අවන් හල ඉදිරියේ නියමිත දිනයේ එනම් 2014 වසරේ මැයි 21 වැනිදා උදේ අටේ සිට අටයි හතළිහ දක්වා රැදී සිටියෙමි. මහා සිනමා වේදියා හෙමින් සීරුවේ ඇවිද ඇවිත් එහි ගොඩවැදී විනාඩි කීපයක් ගතව ගියද මට එහි යන්නට සිත් නොවිණ . මෙවැනි දැවැන්තයෙකු සමග කතා කරන්නට තරම් ධෛර්යක් සොයා ගන්නට මට නොහැකි විය. පොලොන්ස්කිට "කණුවක් " තබා ආපසු හැරී යන්නට සිතුණි . එහෙත් එය නරක වැඩකි. විශේෂයෙන් මේ අවස්ථාව මට ලබා දෙන්නට Mathieu Carttier වෙහෙස ගත් බව දැන සිටි නිසාම අවසානයේදී අවන්හළට ඇතුල් වුනෙමි.
ලෝකයාගේ ආදරය දිනා ගත් , ප්‍රකට පුද්ගලයන් කොතරම් සරළ , සුහදශීලි පුද්ගලයන්ද යන්න මා හඳුනා ගත්තේ ප්‍රංශ ජීවිතය තුළිනි . රෝමාන් පොලොන්ස්කි ගේ සරළ බව , නිහතමානි බව , දොඩමළු බව නිසා ඔබ දැඩි අපහසු තත්වයට පත් වනු නො අනුමානය. මෙහි දැක්වෙන්නේ මහා සිනමාවේදියා සමග පැය දෙකක් පුරා කළ කතා බහෙන් උපුටා ගත් කොටස් යොදා සකස් කළ (ඔහු වැඩි කාලයක් පුරා කතා කළේ තමා නැරඹු චිත්‍රපට ගැනයි) ලිපියකි. මේ ලිපිය 2014 වසරේ "සරසවිය " පුවත් පතේ පළවිය . එහි කර්තෘ , මා මිත්‍ර අරුණ ගුණරත්නට ස්තුතියි.
ඔබ ලොව දක්ෂතම හා ජනප්‍රියතම නළු නිළියන් මෙහෙයවූ අධ්‍යක්ෂකවරයෙක් . එහෙත් ඔබ වරක් ප්‍රකාශ කළා චිත්‍රපටයක නළු නිළියන් ගැන ඔබ දක්වන්නේ අඩු අවධානයක් කියා.
ඇතැම් අධ්‍යක්ෂකවරු සිටිනවා තිර රචනය ලියනා මොහොතේ පටන් තමන්ගේ නළු නිළියන් ගැන රුප සිතේ ඇද ගන්නවා. තවත් අය නළු නිලියන් වෙනුවෙන්ම තිර රචනා ලියනවා. ඒත් සිනමා පටයක් කියන්නේ නළු නිළියෝ නෙමෙයි. නළු නිළියන් නොමැතිව චිත්‍රපටයක් බිහි වෙන්නේ නැහැ. ඒක පැහැදිලියි. ඒත් සිනමා පටයක් කියන්නේ මුලික් වශයෙන්ම තිර රචනය. කැමරා ශිල්පියා. සංකරණ ශිල්පියා. සංගීතය. පසුතල සැකසීම.මේ දේවල් නිවැරදිව පැහැදිලිව නොතිබුනොත් ලෝකයේ හොදම නළු නිළියන්ගෙන් පවා ඇති ප්‍රථිපලය කුමක්ද..? නළු නිළියන්ගේ ප්‍රසිද්ධිය මතින් නිර්මාණ අලෙවි කර ගන්නා අධ්‍යක්ෂකවරු සිටිනවා. නමුත් මම කිසි දිනක මගේ නළු නිළියන් මත යැපිලා නැහැ. නළුවෙක් අද දවසේ මගේ චිත්‍රපටයෙන් ඉවත් වෙලා ගියොත් හෙට දවසේ වෙනත් අයෙක් හොයා ගන්න පුළුවන්. ඒත් මගේ කැමරා අධ්‍යක්ෂක පිට වෙලා ගියොත් ඒ පාඩුව දිගු කාලයක් යනතුරු දරා ගන්න මට බැරි වෙනවා. සිනමා ඉතිහාසය පුරාම ඉදිරියෙන් සිටියේ නළු නිළියෝ . මොකද අපි ඔවුන්ව තිරයේ දකින නිසා. ඒත් තේරුම් ගත යුතුයි නළුවා හෝ නිළිය කරන්නේ ඉතා සුළු කාර්යයක් බව.
මේ හේතුව නිසාද බොහෝ අවස්ථාවල ඔබ ඔබේ නළු නිළියෝ සමග අඬ දබර ඇති කර ගත්තේ...? ප්‍රකට කතාවක් තියනවා Chinatown රූපගත කිරීම් අතරේදී ඔබ Faye Dunway ට වැසිකිලි යන්න අවසර දුන්නේ නැහැයි කියලා. ( සත්‍ය සිදුවීම නම් වැසිකිළියට යන්නට ඉඩ නොදුන් නිසා වීදුරුවකට මුත්‍රා කරනා Faye Dunway එය පොලොන්ස්කි ගේ මුහුණට විසි කිරීමයි. එහෙත් මේ ගැන නො ඇසුවෙමි.)
(සිනහවෙමින් ) ඒක දිග කතාවක්. ඒ වගේම හැමෝම දන්න කතාවක්. මගේ චිත්‍රපට බොහොමයක්ම විශාල ලෙසින් මුදල් වැය කර නිපදවූ ඒවා නොවෙයි. දෙක තුනක් හැරුණු විට. අඩු මුදලකින් සිමිත දින කීපයක් ඇතුළත රූපගත කරනා විට අධ්‍යක්ෂකවරයා වශයෙන් ඔබ සිටින්නේ දැඩි මානසික පිඩනයක. ඔබට කේන්ති යනවා. ඔබ පිස්සෙක් වගේ හැසිරෙනවා. මේ සියල්ල ඔබ කරන්නේ නිර්මාණය වෙනුවෙන්. ඔබේ නිර්මාණය අසාර්ථක වුනොත්, විචාරකයෝ බැන්නොත් ඔබේ මුළු නිර්මාණ දිවියම විනාශ වෙන්න ඉඩ තියනවා. නළු නිළියෝ මේ බව තේරුම් ගන්නේ නැහැ. මගේ නිර්මාණ වලට නළු නිළියෝ තෝරා ගෙන පුහුණුවීම් සඳහා කතා කළාම ඒ අයගේ පෞද්ගලික ලේකම්වරු කියනවා ඔහු හෝ ඇය පුහුණුවීම් සඳහා සහභාගී වෙන්නේ නැහැයි කියලා. කෙලින්ම දර්ශන තලයට ඇවිත් රඟපානවා කියලා. මම කැමති නැහැ ඒ කාර්යයට. ලෝකයේ මහා නළුවා උනත් මගේ චිත්‍රපටයේ පුහුණුවීම කළ යුතුයි. සිනෙමා ක්ෂේත්‍රයෙදී හෝ වෙනත් ඕනෑම ක්ෂේත්රයකදී තමන්ට හිමිවන ස්ථානයක් තියනවා. අපිට සීමාවන් තිබෙනවා. ඒවායින් පිට නොපැන සිටින්නට අපි උත්සාහ කළ යුතුයි. අවාසනාවකට වැඩියෙන්ම මේ සිනමා නීති රීති වලට ගරු කරන්නේ නැත්තේ නළු නිළියෝ . එසේ උනාම ඔවුන්ව පාලනය කර ගන්න ඔවුන්ව නිසි තැන් වල තබන්න අධ්යක්ෂවරයා දැන ගත යුතුයි.
එහෙත් අද දවසේ චිත්‍රපට ආදායම් සොයන්නේ හුදෙක්ම නළු නිළියන්ගේ ජනප්‍රියත්වය නිසා නේද....?
ඔබ කියන කතාව බහුතර හොලිවුඩ් චිත්‍රපට වලට ගැලපෙන්න පුළුවන් ඒත් යුරෝපිය සිනමාව වෙනස් එකක්. ලෝක සිනමාව කියන්නේ හොලිවුඩ්පුරය නොවෙයි. ප්‍රංශ සිනමාවේ තරු නැහැ. සිටින්නේ නළු නිලියෝ විතරයි. කැතරින් දොනිව් (ප්‍රංශ සිනමාවේ කැපී පෙනෙන නිළියකි) මේ වෙලාවේ මේ අවන් හලට ඇතුල් වුනොත් කිසිම කෙනෙක් ගණන් ගන්නේ නැහැ. ඒත් ඇයව සිනමා පටයකින් දකින්න ප්‍රේක්ෂකයෝ කැමතියි. ලෝකයේ වඩාත් සාර්ථක සිනමා නිර්මාණ බිහි වෙන්නේ හොලිවුඩ්පුරයෙන් නොවෙයි. අද දවසේ ඉරානය, මැක්සිකෝව, ජපානය ,චීනය වගේ රටවල් වලින් මහා නිර්මාණ බිහිවෙනවා. පසුගියදා ඉතාලියෙන් බිහි වුණු Great Beauty චිත්‍රපටය ( ඒ වසරේ හොඳම විදේශීය චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සම්මානය හිමිකර ගත් නිර්මාණය) කොයි තරම් ලස්සනද.. ජපානයෙන් ආපු Like Father , Like Son චිත්‍රපටය ( 2013 වසරේ කාන් සිනමා උළෙලේදී ජූරි සම්මානය දිනා ගත් චිත්‍රපටය ) කොයි තරම් ලස්සනද ..... මම අවුරුදු කීපයකට කළින් ඉන්දීය සිනමාපටයක් බැලුවා. මට නම හරියට මතක් නැහැ. නාදුනන තරුණයෙක් සහ තරුණියක් බසයක්දී මුණ ගැහෙනවා. වෙනස් ආගම් දෙකකට අයිති. අතරමගදී කඩා වදින කළහකාරී ආගම්වාදීන් ගෙන් බේරෙන්නට මේ දෙන්නට සිද්ධ වෙනවා සැමියා සහ බිරිඳ විදිහට හැසිරෙන්න . ( මේ චිත්‍රපටය නම් Mr & Mrs Iyer යැයි මම මතක් කර දුනිමි.) මේ කිසිම චිත්‍රපටයක තරු නැහැ . මේ හැම එකක්ම වාගේ ආදායම් අතින් සාර්ථකයි. අනෙක් අතට හොලිවුඩ් පුරයේ ඉන්නවා තමන්ගේ නම රැක ගත් අධ්‍යක්ෂකවරු . මාර්ටින් ස්කොර්සේසි ගේ චිත්‍රපට බලන්න ප්‍රේක්ෂකයා යන්නේ නළු නිලියෝ නිසා නොවෙයි. ටැරෙන්ටිනෝ , ස්පිල්බර්ග් වගේ අය සාර්ථක උනේ තරු නිසා නොවෙයි.
ඔබ උපතින් පෝලන්ත ජාතිකයෙක් . පෝලන්තය, මහා බ්‍රිතාන්‍ය , ඇමරිකාව, සහ ප්‍රංශය යන රටවල ඔබ චිත්‍රපට නිපදවා තිබෙනවා. මේ රටවල් අතුරින් සිනමාකරණය සඳහා ඔබ වඩාත් ප්‍රිය කරන රට කුමක්ද...?
අනෙක් රටවල් සමග සංසන්දනය කර බලනා විට පොලන්ත සිනමාව දියුණු නැහැ. දශක ගණනාවකින් මම ඇමරිකාවේ චිත්‍රපටක් හැදුවේ නැහැ. ඇමරිකාවට පය ගැහුවෙත් නැහැ. මගේ සිනමා ගමන් වෙනස් උනේ Chinatown චිත්‍රපටයෙන් උනත් එය ඉතා කටුක අත්දැකීමක් උනා. ඇති විශාල පිඩනයකින් තමයි මම එහි කාර්යයන්හි නිරත උනේ. බ්‍රිතාන්‍ය සිනමාව නිදහස් තැනක්. මම කැමතියි එහි චිත්‍රපට තනන්න . ඒත් ප්‍රංශය සුවිශේෂයි. ඇතැම් අවස්ථා වලදී මුළු ලෝකයේම මගේ චිත්‍රපට අසාර්ථක වන විට ප්‍රංශ සිනමා රසිකයන් මගේ චිත්‍රපට භාර ගත්තා. ඒ වගේම ප්‍රංශ නිෂ්පාදකයෝ මගේ නිර්මාණ වලට මුදල් යෙදෙව්වා. සිනමාකරුවෙකුට ප්‍රංශයේ තිබෙන නිදහස ලෝකයේ කොහෙවත් නැහැයි කියලයි මම හිතන්නේ. නිර්මාණයේ කාර්යයන් සඳහා නිෂ්පාදකයා අත නොගසන අපුරු තැනක් තමයි ප්‍රංශය.
දශක කීපයක්ම සිනමාකරණයේ නියැළි සිටිමින් එකිනෙකට වෙනස් විෂයන් නිර්මාණ සඳහා උපයෝගී කර ගත් ඔබ සිනමා කරණයේදී මුහුණ දුන් බාධක මොනවාද...?
අවුරුදු හතළිහක් පුරාම මම මුහුණ දුන්නේ බාධක වලට විතරයි. මා අධ්‍යක්ෂණය කළ කිසිම චිත්‍රපටයක් බාධාවකින් තොරව ගලා ගෙන ගිය ඒවා නොවෙයි. ඒත් මුල් චිත්‍රපට කීපයෙන් මා ලබා ගත අවධානය නිසා නිෂ්පාදකයන් මා වෙනුවෙන් මුදල් යෙදෙව්වා. නිෂ්පාදකයින් සොයා ගැනීම අදටත් අපහසු කරුණක් නොවෙයි. මගේ චිත්‍රපට වැඩි ආදායමක් උපයා ගන්න චිත්‍රපට නොවෙයි. ඒ වගේම වැඩි මුදලක් වැය වන චිත්‍රපටත් නොවෙයි. බාධක පැමිණෙන්නේ නිෂ්පාදනයේ විවිධ අවදි වලදි . බොහෝ අවස්ථාවලදී බෙදා හරින්නන් වෙතින් ගැටළු මතු වෙනවා. ඔවුන් මගේ මතයට විරුද්ධව ක්‍රියා කරන අවස්ථා තියනවා. විශේෂයෙන්ම විදෙස් රටවල ප්‍රදර්ශනයේදී. ඇතැම් රටවල බෙදාහැරිම භාරව කටයුතු කරන පුද්ගලයන් තමන්ගේ උවමනාවට චිත්‍රපටය සංස්කරණය කරන අවස්ථා තියනවා. විශේෂයෙන් ඇමරිකාවේ ප්‍රදර්ශනය වෙන්නේ මා නිපදවූ චිත්‍රපටය නොවෙයි. ඉතිං බාධක සිත් කැඩීම් නිතරම තියනවා. මගේ ජිවිතයේ කිසි දිනක මා ප්‍රීතියෙන් ජිවත් වූවා යැයි කිව නොහැකියි. සිනමාව විසින් මා ලෝකයේ ඉහලම තැනට ගෙන් ගියා. ඒ වගේම ලෝකයේ නරකම තැනට ඇද දැමූ අවස්ථාත් තියනවා.
අද යුරෝපයේ වැඩ වශයෙන්ම ඩිජිටල් තාක්ෂණය සිනමාව සඳහා යොදා ගන්නවා. ඔබ මේ නව තාක්ෂණය ගැන සිතන්නේ කුමක්ද....?
එදා අපි පොත් වලින් කතා කියෙව්වා. අද අතේ ගෙන යා හැකි කුඩා E -Book වලට පොත් සිය ගණනක් ගබඩා කර ගත හැකියි. පුස්තකාලයක් උවමනා වන්නේ නැහැ. තාක්ෂණය නිසා නොයෙක් පහසුකම් සැළසෙන බව සැබෑව . ඒත් මගේ පරම්පරාවේ බොහෝ දෙනෙක් වගේ මමත් තවමත් ජිවත් වන්නේ අතීතයේ . කුවින්ටන් ටැරෙන්ටිනෝ පැරිසියේදී මුණ ගැහුණාම මට කියා හිටියා ඔහු සිනමා හල් කීපයක්ම මිලදී ගන්න උත්සාහ කරනා බව. ඔහුගේ උත්සාහය නියාමාකාරයේ මි .මි 35 චිත්‍රපට ඒ ශාලාවල ප්‍රදර්ශනය කිරීමයි. ඔහු මේ ඩිජිටල් තාක්ෂණය හඳුන්වන්නේ TV IN PUBLIC යන නමින්. ඒක සත්‍යයක්. සිනමාව කියන්නේ ජිවිතයට වඩා විශාල කලාවක්. එය එසේ වී ඇත්තේ අතීතයේ සිට උපයෝගී කර ගත් තාක්ෂනය නිසා. රුපයේ අපි දකින ගැඹුර නිසා තමයි සිනමාවේ මිත්‍යාව ඇති උනේ. සිනමා කෘතියක් නිපදවන්නට එක්තරා කාල වකවානුවක් උවමනායි. මානසිකව මෙන්ම කායිකවද විශාල වෙහෙසක් දැරිය යුතුයි. එහෙත් අද දවසේ ජංගම දුරකතනයෙන් පවා චිත්‍රපට නිපදවිය හැකි තත්වයක් උදා වෙලා තියනවා. මේ තත්වය හොඳ වෙන්න පුළුවන්. හෙට දවසේදී චිත්‍රපටයක් දවසින් රූපගත කරළා , තවත් දවසකින් සංස්කරණය කරළා අනෙක් වැඩ තවත් දවසකින් නිම කරළා සතියකින් සිනමා හල් වලට යොමු කරන්න හැකියාව ලැබේවි. එහෙත් මේ සියල්ල නිසා සිදු වන්නේ සිනමාව නැමැති මහා කලාවේ මිත්‍යාව විනාශ වීමයි. කෙටියෙන් කියනවා නම් මේ කියනා ඩිජිටල් තාක්ෂණයේ ලෝලයෙක් නෙමෙයි මම .
ඔබේ සිනමාකරණය ලෝකයේ ඇතැම් සිනමා පාසල් වල අධ්‍යනයට ලක් වෙනවා. සිනමාව හදාරන , එසේත් නැතිනම් අධ්‍යක්ෂණය සඳහා සිහින මවන අයට ඔබ දෙන උපදෙස කුමක්ද....?
( සිනා සෙමින්) හැමෝම සතුටු කිරීමේ හැකියාව ඇති කර ගැනීම. මට ඒ හැකියාව තිබුණේ නැහැ. මොකක්ද මට දෙන්න පුළුවන් උපදෙස...? මං හිතනවා පොතක් ලියන්නට උවමනා නම් පොත් කියවිය යුතුයි. හොඳ පොත් ලියන්නට උවමනා නම් හොඳ පොත් කියවිය යුතුයි. සිනමා අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න නම් මුලින්ම චිත්‍රපට බැලිය යුතුයි. හොඳ චිත්‍රපට බැලිය යුතුයි. ඒවා අධ්‍යනයට ලක් කළ යුතුයි. විශ්ලේෂණයට ලක් කළ යුතුයි. ඇතැම් විට මගේ දේශන අසනා අයට මම කියනවා අඩුම තරමින් දවසකට එක චිත්‍රපටයක් නරඹන්න කියා. අද දවසේ ඒක බොහොම පහසු කාර්යයක්. ඒත් හැම චිත්‍රපටයක්ම නොවෙයි. හොලිවුඩ් හි බිහිවෙන ජනප්‍රිය තාලයේ හාස්‍ය චිත්‍රපට හැකිතාක් දුරට මග හැරිය යුතුයි. යුරෝපිය සිනමාව හැකිතාක් දුරට නැරඹිය යුතුයි. මගේ සිනමා ගමන ඇරඹුණේ චිත්‍රපට නැරඹීම තුළින් . ජේම්ස් කැමරූන් වැනි අයෙක් ගත්තාම ඔහු ලෝක සිනමාවේ වඩාත් සාර්ථකම චිත්‍රපට දෙක (Titanic / Avatar) අධ්‍යක්ෂණය කළා . එහෙත් මා දන්නවා ඔහු අදටත් වැඩියෙන්ම කරන්නේ චිත්‍රපට බලන එක. මාර්ටින් ස්කොර්සේසි වගේ අයෙක් සිනමාව ගැන නොදන්නා දෙයක් නැහැ. ඔහු නොබලපු චිත්‍රපටයක් නැහැ. සමහර විට ඔබලාගේ රටේ චිත්‍රපටත් ඔහු නරඹලා ඇති.
යම් ආකාරයකින් ඔබේ චිත්‍රපට උළෙලක් ශ්‍රී ලංකාවේ සංවිධානය කලොත් ඔබ එයට සහභාගී වන්නට කැමතිද....?
අද දවසේ මගේ ජීවිතය ගෙවෙන්නේ පැරිසියේ. මම ඇමරිකාවේ හෝ එංගලන්තයේ සිදුවන කතා රුපගත් කරන්නේ පැරිසියේ ඉඳන් . පහුගිය කාලයේ මා මුහුණ දුන් නීතිමය ගැටලු නිසා හැකිතාක් දුරට විදෙස් ගමන් අඩු කරලයි තියෙන්නේ. ඒ නිසා ඔබේ ආරාධනාව අකමැත්තෙන් උනත් ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වෙනවා. ඒත් මම කැමතියි හැකි ඉක්මනින් ඔබේ රටේ චිත්‍රපටයක් නරඹන්න .
මංජුල සේනාරත්න
06/03/2019
පැරිස්