ඕ ස්වර්ණා මල්ලවාරච්චිය. දශක හයක පමණ කාලයක් (1967 - 2016) සත් සමුදුරේ සිට ඇගේ ඇස අග දක්වා චිත්‍රපට හතළිහකට අඩු තිහකට වැඩි නිර්මාණ සංඛ්‍යාවකදී තම රංගනයෙන්, ප්‍රේක්ෂක ආදරය දිනාගත් එතෙර මෙතෙර සිනමා හා කලා විචාරක සම්භාවනාවට පාත්‍ර වූ සැබෑ ගැහැනිය ස්වර්ණා ය.
ඈ රඟපෑ බොහෝ චිත්‍රපට අතරින් තෝරාගත් ඇගේ රංගන පෙළහර, දැකගත හැකි හරස්කඩක් සේ සැලකෙන චිත්‍රපට දහයකින් සැදි චිත්‍රපට උළෙලක් අවසන, ස්වර්ණා මල්ලවාරච්චි පනස් වසරක සිනමා අභිමානය -උපහාර උළෙල පැවැත්වීම ස්වර්ණාගේ සිනමා රංගන චාරිකාව දෙස අතීතාවර්ජනයක යෙදීමට මා පෙළඹවූ මූලික හේතුව වේ. 22 වන ඉරිදාවෙන් ඇරැඹෙන ස්වර්ණාගේ රංගන ප්රාතිහාර්යය අද පරපුරට මෙන්ම පෙර පරපුරට ද දැකගැනීමේ දුලබ අවස්ථාවට ඇතුළත් වන සිනමා නිර්මාණ වන්නේ බවදුක, බවකර්ම, සත්සමුදුර, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, දඩයම, අනන්ත රාත්‍රිය, සුද්දිලාගේ කතාව, කැඩපතක ඡායා, හංස විලක්, චන්න කින්නරී ආදී චිත්‍රපට කිහිපයක් පමණි.
මෙම චිත්‍රපට සියල්ල නිසැක වශයෙන්ම හැත්තෑ වසරට පා තබන ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම නිර්මාණ පොකුරකි. පෙර පරපුරේ ප්‍රවීණ අධ්යක්ෂවරුන් වන ආචාර්ය සිරි ගුනසිංහ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, සුමිත්‍රා පීරිස් වැනි දැවැන්ත චරිත ද නව පරපුර නියෝජනය කරමින් මෙරට සිනමාව ජාත්‍යන්තරයට රැගෙන ගිය සිනමාකරුවන් වන ප්‍රසන්න විතානගේ හා අශෝක හඳගම ද ස්වර්ණාගේ රංගනය, චිත්‍රපට මාධ්‍යය මඟින් ප්රේක්ෂකයනට ළංකිරීමෙහිලා දායකත්වය පළකළ විශිෂ්ටයන් වේ. නළුවකු හෝ නිළියකගේ රංගන කෞශල්‍යය, තම නිර්මාණයකට උපරිම ලෙස උකහා ගැනීමේ ව්‍යායාමයකදී, අධ්‍යක්ෂක භූමිකාව කෙතරම් බලගතු ද යන්න මෙකී අධ්යක්ෂවරුන් ස්වර්ණා මල්ලවාරච්චි නම් සිනමා තාරකාවක් නොවූ සැබෑ ගැහැනිය, නිළිය ප්‍රේක්ෂකයන් හමුවේ ප්‍රතිනිර්මාණය කොට ඇති විලාසය තහවුරු කරයි.
ස්වර්ණා තම පාසල් වියේදී සාහිත්‍යයට ලැදි යුවතියක වූවාය. සිරි ගුනසිංහගේ හෙවනැල්ල වැනි නවකතාවක් කියවීමෙන් හෝ ඔහුගේ කාව්‍ය සංග්‍රහයක් කියවීමෙන් මඬනා ලද ආසා ඇත්තී, කෙදිනක හෝ එවැනි යුග පුරුෂයකු හමු වී කතාබහ කිරීමේ සිහිනයක ජීවත්වන්නීය. ඇගේ සිහිනය සැබෑ වන්නේ 1966 වර්ෂයේ දවසක පුවත්පතක පළවී තිබූ දැන්වීමක් දැකීමෙන් පසුවය. චිත්‍රපටයක රඟපෑම සඳහා නවක නිළියක් අවශ්‍ය බවත් චිත්‍රපටය ආචාර්ය සිරි ගුනසිංහගේ බවත් දැනගත් ස්වර්ණා තම මිතුරියකගේ මවකගෙන් ඉල්ලා ගත් සාරියක් ද පටලවාගෙන, මිතුරියගේ මව ද සමඟ දෙමාපියනට හොරෙන් වෝඩ් පෙදෙසේ ලිපිනයකට යන්නී සිරි ගුනසිංහ නම් වූ මහා සාහිත්‍යකරුවා දැක හැඳින ගැනීමේ අටියෙනි. සම්මුඛ පරීක්ෂණයට පැමිණ සිටි රූමත් ලලනාවන් දුටු ස්වර්ණා තැති ගත්තාය. නොයෙක් විලාසිතාවන්ගෙන් හා හැඩවැඩවීමෙන් සැරසී සිටි ළඳුන් අතරේ මුහුණේ වත්සුණු හෝ දෙතොල් ආලේප ගල්වා නොසිටි ස්වර්ණා සම්මුඛ පරීක්ෂණයේදී ආචාර්ය සිරි ගුනසිංහට මෙසේ පිළිතුරු දෙන්නීය. ප්රශ්නය ආචාර්ය ගුනසිංහගේ ය. “ඔබ තාම පාසල් යන ශිෂ්‍යාවක්, ඇයි නිළියක් වෙන්න හිතුවෙ...?” මේ ස්වර්ණාගේ පිළිතුරයි. “නෑ මට නිළියක් වෙන්න ඕනකමක් නෑ, මට ඕන වුණේ ඔබව දකින්න, හමුවෙන්න, කතාබහ කරන්න...” ස්වර්ණා ආචාර්ය සිරි ගුනසිංහගේ සත් සමුදුරෙහි ප්‍රධාන නිළි භූමිකාවට තෝරා ගැනෙන්නේ ඉන් පසුවයි.
වේදිකාවේ විශිෂ්ට රංගධරයන් වූ සිරිල් වික්‍රමගේ, එඩ්මන්ඩ් විජේසිංහ (මනමෙ ප්‍රථම වැදි රජු) හා දෙනවක හාමිනේ වැනි නළු නිළියන් සමඟ තම ප්‍රථම රංගනයෙන්ම ප්‍රේක්ෂක ආදරය දිනාගත් ස්වර්ණා සත්සමුදුරෙහි රඟපෑ චරිතයට හාත්පසින්ම වෙනස් වූ සරසවි මානවිකාවකගේ චරිතයට එක්වන්නී, සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයෙනි. ස්වර්ණාගේ නිසඟ රංගන පෞරුෂය, වඩාත් ඔප් නැංවෙන්නේ, ප්‍රතිභාන්විත තරුණ හා ප්‍රවීණ කලාකරුවන්ගේ අධ්‍යක්ෂණයෙනි. මහගම සේකර කලාකරුවකු ලෙස ප්‍රවීණයෙකු වුවද සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස තම ප්‍රථම හා එකම චිත්‍රපටය තුං මං හන්දිය සඳහා ස්වර්ණා තෝරා ගන්නේය.
නිම් වළල්ල ද රංජිත් ලාල්ගේ ප්‍රථම චිත්‍රපටයයි. ඉන්පසු 1974 ධර්මසේන පතිරාජගේ අහස් ගව්වෙහි ස්වර්ණා යළි යෞවනියකගේ භූමිකාවට එක්වන්නීය. අහස් ගව්වෙහි රඟපෑම් හන්තාන කතාවේ මානවිකාවගේ චරිතයෙහි දිගුවක් වී දැයි සිතේ. ඡවි වර්ණය අක් බඹරු කෙහෙරැළි, පිරුණු අඟ පසඟආදී වූ එදවස නිළි තාරකාවක් වීමට අවශ්‍ය වූ කිසිදු සුදුසුකමකින් තොර වූ කෙට්ටු කෙසඟ, කෙල්ලක්, ගැහැනියක් 1980 දී ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් හි ‘මිරැන්ඩා’ ගේ චරිතය තුළ ජීවත්වන්නී ඇගේ රංගන චාරිකාවේ නව මඟකට පිවිසෙමිනි. විවාහ සංස්ථාව තුළ අසම්මත ප්‍රේමයකට මැදි වන බිරිඳකගේ චර්යාවන් තම අභිනය කටහඬ භාවිත කරමින් ප්‍රතිනිර්මාණය කළ‘යුරු ප්‍රේක්ෂක මතකයේ වේ.
විවාහක සැමියා අසම්මත ප්‍රේමයේ හිමිකරුවා, නීතියේ මුර බල්ලන්, සමාජය ආදී වූ චරිත හා අවස්ථා අතර දෝලනය වූ චරිතයක සංකීර්ණත්වය ඕ හොඳින් වටහා ගත්තීය. චරිතාංග නිළියක සේ ස්වර්ණා තම රංගන චාරිකාවට අවතීර්ණ වන්නී හංස විලක් මගින් යයි හැඟුණ ද, ඈ සිනමාවේ සැබෑ ගැහැනිය බවට පත්වන්නී 1982 දී වසන්ත ඔබේසේකර ගේ අධ්‍යක්ෂණය දඩයම චිත්‍රපටයේ රත්මලීගේ භූමිකාව තුළ, ස්වර්ණා පළකළ රංගන ප්‍රතිභාව අති විශිෂ්ටය. සිංහල සිනමා ඉතිහාසයේ හැත්තෑ වසරක් පුරා අපට දකින්නට ලැබුණු ස්ත්‍රී භූමිකා අතර, අන් කවර හෝ නිළියකට ළංවන්නට අසීරු සැබෑ ගැහැනු භූමිකාවට ස්වර්ණා හිමිකම් කියන්නී දඩයමෙහි රත්මලීගේ චරිතයට ආවේශ වීමෙනි. සැබෑ කතා පුවත තුළින් අප දුටු රන්මලී නම් දඩයමෙහි ස්වර්ණාම නොවන්නී ද යන තරමට තමා අසරණ කොට පලා යන්නට නොයෙක් කුමන්ත්‍රණයන්හි යෙදෙන ජයනාත්ගේ දෙබිඩි ජීවිතයට අභියෝග කරන රංගනය අපට පසක් කොට දෙයි. ජයනාත් වැනි ද්විත්ව චරිත ගති සොබා සතු පුරුෂාධිපත්‍යය හමුවේ රත්මලී නම් ගැමි ස්ත්‍රිය හුදෙකලාව සටන් වදින්නී සැබෑ ජීවිතයේ අප අසා ඇති, අප දැක ඇති, අගතියට ලක්වූ ගැහැනුන් සියල්ලගේ චරිත ස්වභාව මූර්තිමත් කරමිනි.
නගරයෙන් පැමිණෙන බොරුකාරයෙකු ගේ ව්‍යාජ ප්‍රේමයට රැවැටී, ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවන අවස්ථාවක ජීවිතයත්, මරණයත් අතර බිහිසුණු අත්දැකීමක් හමුවේ නොසැලී, ජයනාත්ගේ නවීන පන්නයේ මෝටර් රථයේ වින්ඩ්ස්ක්‍රීනයට එල්ල කරන පහර පුරුෂාධිපත්‍යය දෙදරා හැරීමට ගැහැනියක විසින් එල්ල කළ මාරාන්තික ප්‍රහාරයක් වැන්න. ඇයගේ අනන්‍ය සංවාද මුදාහැරීමේ නිරායාස බව, මුහුණින් මතුකෙරෙන සියුම් භාව ප්‍රකාශන, ස්වර්ණාගේ රූපණයෙහි විශිෂ්ට හා අගනා සම්පත් වේ. නව පරම්පරාවේ රංගන ශිල්පීන්ගෙන්, විශේෂයෙන් ශිල්පිනියන්ගෙන් බහුතරයක් වර්තමාන චිත්‍රපටවල පෙනී සිටිනවා විනා චරිතයක ගති සොබා, අභ්‍යන්තර ලක්ෂණ, සියුම් හැඟුම් දනවන අවස්ථා පිළිබඳ අවබෝධයකින් යුක්තව රඟපානු දක්නට නොලැබේ. එබඳු නිළියන් චිත්‍රපටයක රංගනය යනු කුමක්දැයි ඉගෙන ගැන්මට රිසිවන්නේ නම්, ස්වර්ණාගේ දඩයම රන්මලීගේ චරිතය රඟනු නැරඹිය යුතු යයි යෝජනා කරමි.
ස්වර්ණා රංගනය යනු කුමක්දැයි අතැ‘ඹුලක් සේ දන්නියකැයි මට සිතේ. ඇගේ විශිෂ්ට රංගන ඇතුළත් උළෙලෙහි ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට දෙස බැලුවහොත්, ඇගේ රංගනයේ අසීමිත පරාස හඳුනා ගැනීමට හැකි වේ. හන්තානේ කතාවේ යුවතිය, අහස්ගව්වෙහි යුවතිය හෝ හාත්පසින්ම වෙනස් වූ සමාජ පසුබිමක හැදුණු ස්ත්‍රියක් ලෙස ඈ රන්මලීට ප්රවිශ්ට වන්නීය. සුද්දිලාගේ කතාවෙහි සුද්දී ම හංසවිලක් හි නාගරික මධ්‍යම පාංතික බිරිඳක බවට පත්වන්නීය. සුද්දිලාගේ කතාවේ සුද්දීට වඩා, ජීවිතය හා අරගල කරන, දරු ස්නේහයෙන් යුත් මවක ලෙස සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා හි හීන්කෙලීගේ චරිතය ප්‍රතිනිර්මාණය කරන්නීය. ස්වර්ණා මේ රංගන වෙනස හඳුනාගන්නී කෙසේද? කුමන රංග පාසලක පුහුණු ආයතනයක පුහුණුවක් ලබා ද? අප දන්නා තරමට ස්වර්ණාට රංගනය ඉගෙනුමට සුදුසු වූ පාසලක් නොවීය. ධම්ම ජාගොඩ 70 දශකයේ මැද භාගයේදී ඇරැඹු රංග ශිල්ප ශාලිකාවෙහි මුල්කාලීන සිසුවියක ලෙස වේදිකා නාට්‍ය රංගනය පිළිබඳ දැනුමක් ලබාගත්තද, එහි පර්යේෂණාත්මක නාට්‍යය වූ මූදු පුත්තු හි රඟපෑව ද ඈ තම රංගන ප්‍රකාශන මාධ්‍යය ලෙස චිත්‍රපට රංගනයම තෝරා ගත්තීය. එසේ නම් ස්වර්ණාගේ රංගනයෙහි සැඟැවුණු රහසක් වේද? ඈ රංගනය වෘත්තීය කොටගත් නිළියක ලෙස විචාර බුද්ධියෙන්, පොතපත කියවීමෙන්, සාහිත්‍යය හැදෑරීමෙන්, වේදිකා රංගනයක් නැරැඹීමෙන්, හොඳ ගීයකට සවන් දීමෙන් ජීවිතයට නව දැනුම එක්කර ගැනීමට කැමැති ස්ත්‍රී චරිතයක් බව මම දනිමි. ඈ අපගේ බොහෝ නිළි චරිතවලින් වෙසෙසි කොට සැලකීමට හැකිවන්නේ ඈ සතු ඉහත කී චර්යාවන් නිසාය. රංගනය යනු අධ්‍යක්ෂකගේ විධානයට අනුව, අධ්‍යක්ෂකට අවශ්‍ය දේ ලබාදීම වුවත්, තමා අත පත්වන තිර පිටපතෙහි ලියැවුණු චරිතය නිරූපණය කිරීමෙහිලා එකී චරිතයෙහි සියුම් චරිත ලක්ෂණ, චරිතයට අදාළ සමාජ පසුබිම, අධ්යක්ෂ අවසානයේදී චරිතය තුළින් ප්‍රේක්ෂක මනසට සමීප වන්නට උත්සාහ දරන්නේ කෙබඳු ජීවනාභූතියක් රැගෙන ද යන්න පිළිබඳ බැහැර දැනුම බොහෝ අවස්ථාහිදී සාර්ථක පරිසමාප්ත, නිර්මාණ කාර්යයකට වැදගත් වේ. ස්වර්ණා අන් බොහෝ නිළියන් මෙන් නොව, ඈ සතු බාහිර දැනුම, ඥානය භාවිත කොටගෙන, තිරනාටකයේ රචනා වූ චරිතයේ යටිපෙළ ප්රක්ෂේපණයෙහිලා අසීමිත දස්කමක් දක්වන්නීය.
ප්‍රසන්න විතානගේ අධ්යක්ෂවරයාගේ අනන්ත රාත්‍රියෙහි දී ස්වර්ණාගේ භූමිකාව පෙර සඳහන් වූ චිත්‍රපට තුළ අප නොදුටු ගැහැනියක පිළිබඳ ජීවිත විවරණයකි. සිරුර අලෙවිකොට ජීවත්වීම සොයාගන්නා ස්ත්‍රියක බවට ඈ පත්කළ සමාජ බලවේග මෙන්ම එවන් මොහොතකදී ඇගේ ගනුදෙනුකරුවකුට අත්වන ඉරණමත්, සාක්ෂිකාරියක ලෙස අධිකරණය හමුවේ දී ඈ මුහුණපාන සංකීර්ණ ගැටලුත් අතර දෝලනය වූ ස්ත්‍රී භූමිකාව, මා පෙර සඳහන් කළ පරිදි ස්වර්ණාගේ රංගනයෙන් ප්‍රතිනිර්මාණය වන්නේ ප්‍රේක්ෂකයන් තුළ ඇගේ රංගන පරාසය පිළිබඳ විස්මයක් දනවමිනි. වසර විස්සකට ආසන්න නිහැඬියාවකින් පසු අශෝක හඳගමගේ ඇගේ ඇස අග චිත්‍රපටයේ වයෝවෘද්ධ මහැදුරු බිරිඳ ලෙස රඟපාන ස්වර්ණා ඉතා අපූරුවට එකී සමාජ පංතියේ බිරිඳකගේ හැසිරීම් විලාස මනාව අධ්‍යයනය කොට තම සැමියා හා පෙමින් බැඳුණු සරසවි ශිෂ්‍යාව කෙරෙහි ඈ සිත උපන් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය හෝ විරෝධය යටපත් කරගනිමින්, කුටුම්භය රැකගන්නට වෙහෙසෙන්නීය. එහෙත් ඇගේ ඉවසීම අවසන් වූ තැන, ඇගේ මුවඟින් පිටවන වාග් ප්‍රහාරය අපට ඈ මහාචාර්ය බිරිඳක සේ නොසිතුණ ද එය සැබෑ ගැහැනියගේ යටි සිත ඉස්මතු වූ රංගනයක් සේ විශ්වාස කරන්නට සිදුවේ. ස්වර්ණා යනු අපේ කාලයේ නිළියයි. ජීවිතයේ හැලහැප්පීම් මැද නොබියව, නොසැලී මුහුණ දෙමින් දඩයමෙහි රන්මලී මෙන් ජීවිතය හා අරගල කරන ස්ත්‍රියයි. ඈ සිනමාවේ ගැහැනිය මෙන් ම, ජීවිතයේ දී ද අපට හමුවූ සැබෑ ගැහැනියයි.
බුද්ධදාස ගලප්පත්ති
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.