"මා ආස කරන ගීත බොහොමයක් සංගීතවත් කර තිබෙන්නේ එච්.එම් ජයවර්ධන බව වැටහුනේ ඔහු නික්ම ගිය පසුවයි."
"සරල මිනිසුන් හිස උදුම්මවා ගන්නේ නැත. එවැනි මිනිසුන් බොහෝ කල් ජීවත්වන්නේද නැත. එච්.එම් ජයවර්ධන සංගීතවේදියාණනි ඔබට නිවන් සුව"
"ඉතිහාසය පුරා බොහෝ කතා එච්.එම් නමින් ලියැවී තිබේ. නමුත් ඒ බොහෝ තැන් වල ඔහු නිහඬ ය. ඔහු හෘද සාක්ෂ්යයට එකඟව භාරගත නොහැකි යැයි පවසමින් 1983 වසරේ හොඳම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය සඳහා වූ ජනාධිපති සම්මානය ප්‍රතික්ෂේප කළේ ය. ඒ තම "මුහුදු ලිහිණි" චිත්‍රපටයේ සංගීතය ට වඩා ප්‍රේමසිරි කේමදාසයන් ගේ "තුන්වැනි යාමය" සංගීතය විශිෂ්ඨ බව පවසමිනි. එහෙත් එය එක්තරා සරල සිදුවීමක් ලෙස සැලකූ එච්.එම් හැමදාටම එච්. එම් ලෙස ම ජීවත් විය."
ඉහත දැක්වෙන්නේ ශ්‍රී ලාංකීය හදවත් තුළ නොමැකෙන ගීත රාශියක තනු නිර්මාණය කළ මහා සංගීතඥයෙකුගේ නික්ම යාම පිළිබඳ සමාජ ජාල තුළ පළවී තිබූ අදහස්ය.
එච්.එම් ජයවර්ධනයන්ගේ නික්ම යාම පිළිබඳ කලාවට ලැදි පිරිස් සහ කලා ලෝකයේ පතාකයන් වෙතින් ද ශෝකය පළ වෙමින් පවතී.
ඔහු, සිය ආදරණීය බිරිඳ මාලනී බුලත්සිංහල මෙන් ම ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ගායන ශිල්පීන් රැසක් වෙනුවෙන් ගී තනු නිර්මාණය කළ සංගීතවේදියෙකි.
ඒ අතරින් නන්දා මාලිනී, සුනිල් ආරියරත්න සහ එච්.එම් සුසංයෝගයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.
"ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ... ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ.." නන්දා මාලිනිය එච්.එම් පිළිබඳ මතකය අවදි කළේ ලාංකීය සරල ගීතයේ සුවිශේෂී ලකුණක් වූ ගීතයකිනි.
"මම එච්.එම් ජයවර්ධන පළමුව දැක්කේ ගුවන් විදුලියේ. ඊට පස්සේ මම සහ සුනිල් ආරියරත්න සර් අලුත් තනු නිර්මාණය කරන අය පිළිබඳ විමසිල්ලෙන් හිටියා. ඒ අතරේ තමයි එච්.එම් ජයවර්ධන සංගීත අධ්‍යක්ෂකවරයා හමු වුණේ,"
"මොකද ඔහුගේ විශිෂ්ඨ ගණයේ ගීත නිර්මාණ කීපයක් ඒ වන විට අපට අසන්න ලැබුණා. විශේෂයෙන් ටී.එම් ජයරත්නයන්ගේ රත්තරන් ඇස් දෙකින්, ඔබ හා මෙමා වගේ ගීත,"
"ඊට පස්සේ මම සහ සුනිල් ආරියරත්න සර් ඔහු හමු වෙලා ගීතයක් හදලා දෙන්න කියලා කිව්වා. ඒ ගීතය තමයි ඔබයි රම්‍ය සඳ කිරණ කියන ගීතය, එහි ගද්‍ය කොටසක් තිබෙනවා. ඒ ගද්‍ය කොටසත් එක්ක තනුවක් නිර්මාණය කිරීමේ අභියෝගයට ඔහු මුහුණ දුන්නා "
අභියෝගාත්මක ගීතයක් වූ එය පසුව සුවිශේෂී නිර්මාණයක් ලෙස සාර්ථකත්වයට පත් වූ බව නන්දා මාලිනිය කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.
නන්දා මලිනියන් පවසන පරිදි එච්.එම් ජයවර්ධනයන් විසින් නිර්මාණය කරන ලද තනු අතරින් වැඩි සංඛ්‍යාවක් ගායනය කර ඇත්තේ ඇය විසිනි.
"ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ...
පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ....
කඩ මන්ඩියේ දොළ අයිනේ ඔබව පෙනේ...
විලක් වුනත් නිල් දිය පිරි විලක් නොවේ ...
ප්‍රේමය නම් සඳ එළිය සේ අචින්ත්‍යයි ...
මා හඬනා කඳුළු ගලා හැඩු කඳුළු සාගරේ..."
"මේ ගීත තනුවල ආකෘති හරි වෙනස්. ඒ ගීත තනුවල අනන්‍යතාව එච්. එම් ජයවර්ධනගේමයි. ඒවායේ වෙන ඡායාවක් නැහැ."
දශක පහකට එහා යන සිය සංගීත දිවියේ අදටත් ඉතා ශක්තිමත්ව රසිකයාගේ ආදරය ලැබීමට පදනම සැකසී ඇත්තේ විශිෂ්ඨ තනු නිර්මාණ සහ විශිෂ්ඨ ගේය පද නිර්මාණ නිසා යැයි නන්දා මලිනිය පවසන්නීය.
"මේ ණය ගෙවන්න අපට බැහැ. අප ජීවත් වන්නේ ඒ අය නිසා. එච්.එම් ජයවර්ධන කියන විශිෂ්ඨ ගණයේ ඉතාමත් නිහතමානී නිහඬ පුද්ගලයාගේ මේ වියෝව අපට දරා ගන්න බැහැ"
"මේ රික්තකය පුරවන්න කිසිවෙකුට බැරි වෙනවා. අමරදේව සර්ගේ ඉඳලා ගීත ශිල්පීන් ඔසවා තැබීමට එච්.එම් ජයවර්ධනගේ ගී තනු හුඟක් උපයෝගී වුනා," නන්දා මාලිනිය වැඩිදුරටත් පැවසීය.
සංගීත ශිල්පී කසුන් කල්හාරගේ පියා වන එච්.එම් ජයවර්ධන මෙලොවින් සමුගන්නා විට හැට නව වෙනි වියේ පසුවිය.
BBC සිංහල සේවය