තවත් අලුත් අවුරුද්දක් උදාවෙමින් ඇත. මෙවර අවුරුදු සමය ගතට මෙන්ම සිතටත් පීඩාකාරීව ගතවෙමින් ඇත. බොහෝ කාලයකට පසු පරිසරයේ උෂ්ණත්වය ඉහළ ගොස් තිබේ. වැව් පතස් පොකුණු පමණක් නොව ළිං ද හිඳී යමින් ඇත.
බක් මාසේ මධ්‍යයම සමයේ නොහොත් අප්‍රියෙල් මාසයේ පස්වැනිදා වනවිට ලංකාවට හිරු මුදුන් වීම ආරම්භ වන නිසා අව් රශ්මිය එන්න එන්නම වැඩි වෙමින් පවතී. මේ තත්ත්වය යම් තරමකින් හෝ පහව යන්නේ වෙසක් මාසයේ ආරම්භයේ සිදුවන වැහි කෝඩ නිසාය. පත්තිනි මෑණියන්ට පූජා පවත්වා ගම්මඩු නටා සොබා දහම සතුටු කරනුයේ මේ වැහි බලාපොරොත්තුවෙනි. කෙසේ වෙතත් නව සංවර්ධන ක්‍රියාදාමයන් ඔස්සේ කරන අධික පරිසර විනාශය මත ගහකොළ හීනව යමින් මිනිසාට සතා සරුපයාට උන් හිටි තැන් අහිමි වෙමින් පවතින විට උදාවන අවුරුද්ද ගැන නැණ නුවණින් සලකා බැලීම වටනේය.
අලුත් අවුරුදු උත්සවය ඇරඹෙන්නේ බක් මාසයේ වෙසෙසි අවස්ථාවකදීය. එහෙත් එය හුදෙක් වසන්ත උත්සවයක් නොවේ. එබැවින් එය බක්මහ උළෙල යනුවෙන් හැඳින්වීම ද නිවැරදි නොවේ. සූර්යයා හෙළ රාශියට නොහොත් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් අවුරුදු චාරිත්‍ර ආරම්භ වුව ද අවුරුදු උත්සවය සූර්ය මංගල්ල්‍යයක් පමණක් ද නොවේ. එය වසර දහස් ගණනක් තිස්සේ විවිධ චාරිත්‍ර මත සංවර්ධනය වූ ජාතික උත්සවයක් වී අවසන්ය. ජාතික නිෂ්පාදනයන් පිළිබඳ අභිලාෂයන් ද නිවැරදි පරිභෝජනය ඇති කරවන හුරුපුරුදු මෙන්ම සෞඛ්‍ය සංරක්ෂණය හා බැඳි සාරධර්ම මෙහිදී පුරුෂාර්ථ ලෙසට ඉස්මතු වේ. සිංහල ජාතිකත්වයට අවුරුදු කාලය ඉතා වැදගත්ය. වත්මන් දෙමළ සහ අනෙකුත් ජන වර්ගයන් ද සොබාදහමේ පැවැත්මට එකතු වන්නේ නම් අලුත් අවුරුද්ද තුළින් සිංහල සංස්කෘතියට අනුගත විය හැකිය. එය අපගේ පැරණි සිරිතයි. නමුත් වර්තමාන සිංහල අලුත් අවුරුද්ද කෙරෙන් මේ උතුම් පරමාර්ථ බැහැරව යමින් පවතී. එයට හේතුව ජනේරුව විසින් ඇති කරන ලද රංචු ගැසීම හා විනෝද වීමේ සංස්කෘතිය මේ අවුරුදු සමයට ද ආදේශ වීමයි. යුරෝපීය වාණිජ පරමාර්ථ විසින් අලුත් අවුරුද්ද දූෂණය කර තිබේ. එය ජාතියක පරිහානි ලක්ෂණයකි. බක්මහ සැණකෙළිය නමින් එය වර්තමානයට උචිත ලෙසින් නාමකරණය වී ඇත්තේ එ නිසාය.
අලුත් අවුරුද්දේ සෑම දෙයම අලුත් වනවා යෑයි හැඟීමක් ජනිත වේ. ගෙදර දොර පිරිසිදු කර ගනිමින් ඇතැම් විට නවකම් කරමින් සායම් තවරමින් අලුත් වන අතර අලුත් හට්ටි මුට්ටි වළන් කළගෙඩි ගෙදරට ළං වේ. නැවුම් මුට්ටියක කිරි ඉතිර වීම මෙන්ම නැවුම් මුට්ටියක කිරිබතක් පිළියෙල කර ගැනීම අපගේ චාරිත්රයකි. නැවුම් කළෙන් ගන්නා වතුර පිපාසය සංසිඳුවයි. එමෙන්ම නැවුම් කළේ තබා පානය කරන සිසිල් ජලයෙන් මුත්‍රා රෝග සුව වෙයි. අතීත මැටි භාණ්ඩ තාක්ෂණය දෙස බලන කල්හි ඉතා කාර්යක්ෂම ලෙස පිසිය හැකි උපකරණය බවට මැටි වළං පත් වේ. තාපය ඉතා ඉක්මනින් ඉහළ නොගිය ද ලබාගන්නා තාපය වැඩි වේලාවක් දරා සිටීමට ද මැටි වළංවලට හැකියාවක් ඇත. අතීතයේදී සිංහල ජනතාව ජලය පානය කරලීමට භාවිත කළේ මැටි කොතලයයි. එයට පූකුරව යෑයි ද කියති. හේනට යන ගොවියා ලබු ගෙඩිය භාවිත කරන්නේ දිගු වේලාවක් සිසිල් ජලය එහි පවතින බැවිනි. එසේම කිරිමැටි මිශ්‍රව හදන මැටි කොතලයෙන් ද ඒ කාර්යය සිදුවන බව සිතිය හැකිය. කෝට්ටේ යුගයේ පුරාවස්තු අතර පස්යට හමුවන මැටි භාණ්ඩ අතර මේ කොතල බහුලය.
රජරට සිංහලයෝ ළිඳෙන් නොව වැවෙන්ම ජලය පානය කළහ. එයට හේතුව වැවේ මතුපිට ජලය පිරිසිදු බැවිනි. වෙසෙසින්ම කුඹුක් ගස් මණ්ඩියකට එක් රැස්වන ජලය සිසිල් බවෙන් යුක්තය. ඒ ස්ථානයට පෙයිය තොට යයි කීහ. අලුත් අවුරුද්දේ වැවත් සමඟ ගනුදෙනු කළ මේ ජනතාව නැවුම් මැටි කළේකට වැවේ වතුර ගෙදර ගෙන ආහ. උතුරේ වන්නිකරය ගැන වාර්තාවක් සපයන සිවිල් නිලධාරියකු වූ ඡේ. පී. ලුවිස් මහතා පවසන්නේ සිංහලයෝ වැවෙන්ම වතුර පානය කළ අතර ආගන්තුක දෙමළ ජනතාව ළිං කපාගෙන ජලය පානය කළ බවයි. (මැනුවල් ඔµa ද වන්නි දිස්ත්‍රික්) නූතන වකුගඩු රෝගයට මූලික හේතුව නම් කිවුල් පස් ඇති රජරට නුවර කලාවියේ ළිං වලින් (නළ ළිං ද ඇතුළුව) ජලය පානය කිරීමයි.
අලුත් අවුරුද්දේ අලුත් වන ඇඳුම් පැළඳුම් සේම අලුත් අවුරුදු රසකැවිල්ලේ විවිධත්වයක් ද පවතී. ඒ මඟින් නිෂ්පාදනයට අවශ්‍ය කාරණා මතක් කර දෙන ගමන් සෞඛ්‍ය සංරක්ෂණය ගැන ද ඉඟි සපයයි. මෙවර අලුත් අවුරුද්දේ අප්‍රියෙල් දාහතර වැනිදා අපර භාගයේ ආහාර අනුභවයට නැකැත් ලබාදී තිබේ. හකුරු මිශ්‍ර කිරිබතක් සමඟ ඉඟුරු ගම්මිරිස් තිප්පිලි වලින් සෑදූ අග්ගලා සහ කැවුම් පරිභෝජනය කළ යුතු බව දක්වා තිබේ. අග්ගලා නොහොත් අත්වට කැවුම නැති නම් පූප අපගේ රස කැවිලි අතර ඉහළ තැනක වැජඹේ. ශ්‍රී පාද වන්දනා සමයට ගම්මිරිස් මිශ්‍ර අග්ගලා සාදා දෙන්නේ සීතල මකා ගන්නටත් ශක්තිය වඩවා ගන්නටත්ය. බටකිරිල්ලා ගසේ කොළ වලින් සාදන බටකිරිල්ලා අග්ගලාව කුඩා දරුවන්ගේ පණු අමාරුව සුවකර ගන්නට දෙන ඖෂධයකි. මේවාට යහමින් පොල් පැණි එකතු කර ගැනීමේ භාවිතාවක් ද තිබේ. අග්ගලාවලට ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි (ත්‍රිකටුක) මිශ්‍ර වනවිට එය සෙම නසන ඖෂධයක් බවට පත් වේ. අවුරුදු කාලේ කෑමෙන් බීමෙන් සන්තර්පණය වන සැමට සෙම අහක් කරගන්නට එය පෑහෙන බව කිව යුතුය. මේ ත්‍රිකටුක කැවුමට එක් වනවිට සෙම පමණක් නොව වාතය ද සමනය වේ. මේ උෂ්ණ සමයේ මේ ආහාරය මඳක් උෂ්ණ නමුත් කිතුල් පැණිත් සමඟ සෞම්‍ය වන පූපය අවුරුදු කෑම මේසය තුළින් රසවත් ගුණවත් ශක්තිජනකම ආහාරය බවට පත් වේ. කිතුල් පැණි සහ දොඩම් එකට මිශ්‍ර කරගත් විට එය පිපාසය සන්සිඳවන ශක්ති ජනක පානයක් බවට පත් වේ.
අවුරුදු කෑම මේසයේ කිරිබතට ඇති තැන කැවිල්ලටත් ඇත. සිංහල හාලේ බත්වලින් තැනූ කිරිබතට මෙවර කිතුල්හකුරු එක් වේ. එම සුසංයෝගයෙන් පිත් සෙම් දෙක සමනය වේ යයි කියති. අවුරුදු කෑම මේසයට නැතිවම බැරි කැවුම් අතිරස ගැන සැම දෙන අතර දැනුම් තේරුම් ඇතත් හාල් පිටියෙන් මුං පිටියෙන් හදන නොයෙකුත් කැවිලි රටේ පැවති බවට මහනුවර රජ ගෙදර සූප ශාස්ත්‍ර ග්‍රන්ථය ඉඟි පළ කරයි. ඉන් එකක් නම් ලාලූ වේ. මේ අතරින් මුලින්ම සඳහන් කළ යුත්තේ පෙනගම් නම් ලාලූ විශේෂයයි. මේවා සාදන්නේ කිරෙහි ලාගත් සහල් මුං පිටි, තල හා මුසු කොටයි. මේ මුසුව වඩවාලා තෙලේ ලා බැදගත් විට එය පෙන ගම් නම් ලාලූ වෙයි. තවත් එකක් නම් කොළ ලාලූය. මේ ගැන ලියූ කවක් මෙසේය.
කුඩු දවුලා කොළ යුසයෙන් අඹරාලු - සහල් සුන්න අරගෙන එහි තවරාලු
කොස් කොළයේ ගොටුවේ මෙය දවටාලු - හීන් සැරේ කඩ පිම්මේ තම්බාලු
කඩ උන්නෙන් බිමට දමා වියළාලු - ඒ හැලපය කොස් කොළයෙන් ගලවාලු
වඩදිය දා තෙලේ දමා බැද්දාලු - කන්න කන්න රසය වැඩෙයි කොළ ලාලු
දවුල් කුරුඳුත් සහල් පිටිත් එක්කාසු කොට කොස් කොළයේ දවටා තම්බා ගන්නා හැලපය තෙලේ දමා බැදගැනීමෙන් නිමවන මේ කැවිල්ල බෙහෙවින්ම රසවත්ය. දවුල්කරුඳු නානුවත් කොස් කොළයේ ඖෂධීය ගුණයත් එයට එක් වේ. ඊළඟ ලාලූ විශේෂය සාදන්නේ මුං පිටිත් සහල් පිටිත් මීකිරිත් සමඟ අනා උයාගත් මුසුවට හකුරු එක්කර තෙලේ ලා බැද ගැනීමෙනි. මේ මුතු ලාලූවයි. තල පිටිත් කිරිත් වූ මුසුවක තපමින් කඩ පිම්මේ ලා උයාගත් කල එය තවත් රසවත් වේ. එසේම මේලාලූවට පැණි එකතු කරන්නේ පසුව බැද ගන්නේ මරද නම් වේ. පෙර මඟුල් නමින් තවත් කැවිල්ලක් ඇත. එය සාදා ගන්නේ උඳු පිටි අත්සුනු හා හකුරු මිශ්‍රණයකිනි. ඒවා එනසාල් කුරුඳු පොතු වලින් සුවඳ කොට වඩවා තෙලේ බැදගත් කල රසවත් වේ. මේ ලෙසට තිබූ කැවිල්ලේ විවිධත්වය දැන් අතුරුදන්ව ඇත. කැවුමට අතිරසයට එය සීමාව ඇත. අතිරස වුව ද විවිධය. ඒ අතර කඩ පිම්මේ තම්බා ගන්නේ වඩන අතිරසයි. පොල්සුණු අනා කලතා ගත් කල රස අතිරසයි. කඩ පිම්මේ නොතම්බා තෙලේ ලා බැදගත් විට තුනු අතිරසය.
කැවුම් ඉඳි කොට ලා - පිටි වසුනුදු ඊ නොලා - පිසුවොත් පදම ලා - තුනු අතිරස මෙය බලා
පිටි බැද පැණි අනා තෙලේ ලා බැද ගත් විට ගන අතිරසයි.
කැවුම නොහාත් පූපය රස කැවිල්ලකි. එසේම ඖෂධයකි. මාතුක කැවුම් ගැන අප අසා නැතිය. ඒ ගැන ඇති කවිය එහි විස්තරය පවසයි.
තල එළ කොට ලා - පොල් සුණු කබලු තුන ලා - වනලා කොටාලා - තනා තලියක් අත්සුණුත් ලා
වියළා කැපුම් වේ - දුරු මිරිස් සුණු ලුවේ - පලු පලු සෙ බැදි වේ - මේ කැවුම් මාතුක වේ
වික්කිත සාඩම්බර යනුවෙන් තවත් කැවුම් වෙසෙසකි. කැවුම් සවුදමේ තිබූ කවියකින්. කැවුම රසයට පදරුත් රසයක් ද එකතු වේ ඒ මෙසේය.
ගම්හාලේ පිටියෙන්ද - කිතුල්සකුරු පැණියෙන්ද - දෙදුරු සමඟ ගනිමින්ද - දමන පමණ දැනලා
හොඳ හැටි සියලු දෙයින්ද - එකතුව ගැලපීමෙන් ද - පොල්තෙල් වළඳ ලමින්ද -ළිප ගිනි මොලවාලා
විට විට කරකවමින්ද - බුරියට තෙල් ඉසිමින්ද - වට වට රන් පැහැයෙන්ද - සිතු සේ රැගෙන බාලා
තකි රඟති රඟකිරෙන්ද - දෙමිකිටි කිටි තක කුන්ද - කිටි තක තක්කිට කින්ද - ජෙන කිට ගුදිත ගුඳන්
දේශීය රස කැවිල්ලේ විවිධත්වයට හේතුව ලංකාවේ තිබූ ධාන්‍ය සංස්කෘතියයි. උඳු මුං තල වී මෑ යන පස් ඇට ඇටි ජාතිත් තණ කුරහන් මෙනේරි බඩ ඉරිඟු මෙන්ම අමුත් ගොවි ගෙදරක වරදින්නේ නැත. අග්ගලා ගෙඩියක් නිතිපතා නොසෑදූ සිංහල ගෘහණියක් නොසිටි තරම්ය. ඒ රසයට කැවිල්ලට මෙන්ම පෝෂණයටයි. අතීසාරයට දුන් කැවුම් විශේෂයක් ද ඇත. මේ සියල්ලටම කිතුල් පැණි හෝ පොල් පැණි එකතු වීමෙන් දනවන රසය මෙන්ම ගුණය දිව මුලට පමණක් නොව තල්ලට ද දැනේ. සීනි මිශ්‍ර බිස්කට් කේක් හෝ පුඩින්වලින් අවුරුදු මේසය සංකර නොකර සිංහල කෑම වලින් පුරවා ගෙන සිංහල අවුරුද්දේ නිෂ්පාදන ක්‍රියාදාමය පණ ගන්වන්නේ නම් අපේ රට කෙතරම් වාසනාවන්ත දැයි කල්පනාවට නැඟේ.
මතුගම සෙනෙවිරුවන්
උපුටාගැනීම දිවයින