ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් රේඛාව චිත්‍රපටය නිර්මාණය කොට පසුගිය දෙසැම්බර් 28 වැනිදාට හැට වසරක් පිරිණ. එහි නිල උත්සවය (29) සවස කොළඹ රීගල් සිනමා ශාලාවේ දී පැවැත්වීමට නියමිතය. හැට වසරකට පසුව වුව ද එම යුගයේ සෙසු සිංහල චිත්‍රපට අභිබවා රේඛාව ස්මරණය කළ යුත්තේ කවර කාරණයක් නිසාවෙන් ද යන්න විමසා බැලීම සුදුසුය. 1956 වසර වූ කලී ලාංකීය දේශපාලන ක්ෂේත්රයේ පමණක් නොව කලා ක්ෂේත්රයේ ද විප්ලවීය වසරක් විය.
2500 වැනි සම්බුද්ධ ජයන්තිය යෙදුණේ එම වසරේ බැවින් එය මෙරට මුළු මහත් සමාජය කෙරෙහිම වැදගත් වර්ෂයක් විය. 56 බිහි වූ සංස්කෘතික විප්ලවයේ මහා නිර්මාණ ගොන්නේ අවසානය සනිටුහන් කරනුයේ රේඛාව බිහිවීමෙනි. මනමේ, විරාගය, කුඩ හොරා, මස් ලේ නැති ඇට ආදී නිර්මාණ සියල්ල 56 දී එළි දුටුවද ඒ කාරණා සියල්ලටම පේවෙන්නට පටන් ගත්තේ අවුරුදු ගණනාවකට උඩදීය. රේඛාව ද එබන්දකි. රේඛාව බිහිවීම විමසා බලන්නට කලින් සමකාලීන ලාංකීක සිනමාව විමසා බැලිය යුතුය. ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය තිරගත කොට දස වසර සපිරුණේ රේඛාව සමඟය. එයට පෙර බිහි වූ බොහෝ චිත්‍රපට සිංහලෙන් කතා කළා පමණි.
ඒවායේ අංග ලක්ෂණ රූප රාමු නළු නිළියන්ගේ රංගන විලාශය නෑකම් කීවේ දකුණු ඉන්දියානු සිනමාවටය. පුරෝගාමී සිනමාකරුවකු ලෙස වඩා මෙහෙවරක් කළ සිරිසේන විමලවීරයන්ගේ චිත්‍රපට විමසූ කල්හිද මෙම තත්ත්වය හොඳින් පැහැදිලි වේ. විමලවීරයන්ගේ සිනමා රටාව වේදිකා නාට්‍ය ස්වරූපයෙන් ද දකුණු ඉන්දියානු චිත්‍රපට ඇසුරෙන් ද ඇති දැඩි වූ ඒවාය. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන් ජනප්‍රිය සිංහල නවකතාවක් වූ කැලෑහඳ නිර්මාණය කරන්නේ ද එවකට පැවති දකුණු ඉන්දියානු සිනමාවේ සියලු අංග සිහියේ තබාගෙනය. පියදාස සිරිසේනයන්ගේ ඩිංගිරි මැණිකා සිනමාවට නැඟෙන්නේද එහෙමය. මුල්ම කතානාද චිත්‍රපටය තිරගත වන්නට පෙරාතුව සිටම දකුණු ඉන්දියානු සිනමාවේ සම්ප්‍රදායන් සියල්ල අප රටට ඇබ්බැහි කොට අවසන්ය.
එයටත් බොහෝ කලකට පෙර චින්තාමනී නම් දෙමළ චිත්‍රපටය නැරැඹූ සිංහල ප්‍රේක්ෂකයන් එහි රඟපෑ අස්වත්තම්මා නමැති නිළියට වහ වැටුණු අන්දම අදට ද ජනප්‍රිය කතාවකි. අනෙක් අතට මුල්ම සිංහල කතානාද චිත්‍රපටය කඩවුණු පොරොන්දුව බිහි වන විටත් ලෝකයේ ශ්‍රේෂ්ඨතම චිත්‍රපටය වූ සිටිසන් කේන් එළි දැක තිබිණි. එපමණක් ද නොව එය මෙරට ප්‍රේක්ෂකයන් දැකගෙන අවසන්ය. 1956 වන විට ඉතාලි නව තාත්ත්වික වාදයෙහි රුව ගුණ තේජස මෙරට සිනමාකරුවන් ද ඇතැම් සිනමා රසිකයන් ද හඳුනාගෙන අවසන්ය.
ඉන්දියාවේ එයින් මත් වූ බිමල් රෝයි, රිටිවික් ඝටක්, සත්‍යජිත් රේ, රාජ් කපූර් වැනි සිනමාකරුවන් තම නිර්මාණ හැඩ වැඩ කොට තිබිණි. බිමල් රෝයිගේ හා රාජ් කපූර්ගේ චිත්‍රපට මෙරට ජනප්‍රියව තිබිණ. එහෙත් ලාංකික සිනමාව නිෂ්පාදනය අතින් ලෝකය මැද හුදෙකලා කර තිබිණි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ප්රමුඛ ටයිටස් තොටවත්ත, විලී බ්ලේක් රජතුන් කට්ටුව රේඛාවට අත ගසන්නේ සිනමාව ඉගෙන ගෙනය. සිනමා කැමරාව මිනිස් ජීවිත විවරණය කරන අයුරු කැඩපතක් ලෙස ඔවුන් හඳුනාගත්තේ වාර්තා සිනමාකරණය හරහාය. රේඛාව නරඹන්නකුට වාර්තා සිනමාකරුවකු ලෙස ආචාර්ය ලෙස්ටර් ලත් ශික්ෂණය මනාව ඉස්මතු කොට ගත හැකිය..
ඔහු යොදා ගන්නා නළු නිළියන් බහුතරය සිනමා කැමරාවට ආධුනිකය. කිහිප දෙනකු පමණක් සිරිසේන විමලවීරයන්ගේ කණ්ඩායමේ සාමාජිකයන්ය. එහෙත් මේ සියල්ල එකම රංගන රීතියක සකසන්නට ලෙස්ටර් සමත් විය. රේඛාව සිංහල ගම නියෝජනය කරන චිත්‍රපටයක් වුව ද එහි එකදු රූප රාමුවක හෝ පන්සලක් දැකගත නොහැක. එසේ නම් රේඛාව සැබෑ ගම නිරූපණය කළේ කෙසේද. එය නිරුපණය කරන ලද්දේ වාර්තා චිත්‍රපටයක එන පරිද්දෙන් පරිසරයේ එන සියලු සිදුවීම් උකහා ගනිමිනි. එමෙන්ම එහි එන පාත්‍ර වර්ගයා වේදිකා රංග රීතියෙන් ඉවත් කොට සිනමා රංග රීතියෙහි සීමාවේ තබා ගැනිණ. එහි චරිත ඇට මස් ලේ ඇති මිනිසුන් විනා හිතළුවන් නොවීය.
එහෙත් සමකාලීන ඉන්දියානු විලාසයෙන් බැහැර වන්නට ලෙස්ටර්ට වුවද හැකි වන්නේ නැත. එසේ වූවා නම් රේඛාව සඳහා අතිශය මියුරු ගීත හයක් එක්වන්නට ඉඩ නොතිබිණ. රේඛාව චිත්‍රපටයේ එන ගී සමකාලින සිංහල චිත්‍රපට ගීතයෙන් වි්යුක්ත කොට ගත හැකි මියුරු ගීතයන්ය. එමෙන්ම එහි එක් ගීතයක් හැර සියලු ගීත චිත්‍රපටයෙන් වි්යුක්ත කොට නරඹන්නට ද හැකිය. චිත්‍රපටයේ එන ගීතාවලිය රේඛාවට එක්වන්නට ඇත්තේ සමහර විට එවකට චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොලැබෙනු ඇතැයි යන ආකල්පයෙන් විය හැකිය. මේ විශිෂ්ට චිත්‍රපටයට නොගැළපෙන්නේ සංගීතය පමණි. එය කාන් චිත්‍රපට උළෙලේ ප්‍රදර්ශනය කරනුයේ චිත්‍රපටයේ ගීත ඉවත් කොටය.
වාර්තා සිනමාකරුවකු ලෙස ආචාර්ය ලෙස්ටර් ලැබූ පරිචය චරිත සොයා යෑමේදී හසුරුවන සිනමා රූපරාමු පෙළ 56 දී ලාංකික සිනමාව මත රේඛාව කවර විප්ලවයක් කරන්න ඇතිදැයි අපට පසක් කර දෙයි. බොහෝ ප්‍රේක්ෂකයන් එකල රේඛාව වැලඳ ගත්තේ නැත. එවකට අධ්‍යාපන ඇමතිව සිටි ආචාර්ය විජයානන්ද දහනායක රේඛාව තහනම් කළ යුතු යැයි කියා සිටියේය. එහෙත් රේඛාව බිහි නොවන්නට සන්දේශය බිහි නොවන්නට ඉඩ තිබිණ. සන්දේශය බිහි නොවන්නට ගම්පෙරළිය බිහි නොවන්නට ඉඩ තිබිණ.
රේඛාව දලු ලා වැඩෙනුයේ තවත් දශකයක් ගෙවුණු තැනය. එයින් පසු බිහිවන සිනමාකරුවන් හොඳට හෝ නරකට පූර්වාදර්ශය කොට ගන්නේ රේඛාවය. ආචාර්ය ලෙස්ටර් රේඛාව අභිබවා ඉදිරියට ගිය ද රේඛාව ගුරු කොට ගත් සිනමාකරුවනට බොහෝ දුර තිබුණේ නැත. එමෙන්ම රේඛාව හරහා බිහි වුණ සිනමා පරම්පරාව ලාංකික සිනමාවේ ඊළඟ මුහුණුවර වෙනස් කිරීමෙහිලා කටයුතු කළහ. ටයිටස් තොටවත්ත, ගාමිණී ෆොන්සේකා, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා ආදීන් පවා සිනමාවේ විවිධ ෂානරයන් ඔස්සේ මෙලෙස උදාහරණ කොට පෙන්වන්නට කැමැත්තෙමු.
එක අතකින් රේඛාව තිරගත කරන්නට සිලෝන් තියටර් සමාගම එකඟවීම අද මට්ටමෙන් බලන විට ද හාස්කමකි. නැතිනම් අහම්බයකි. සැඩ සුළං චිත්‍රපටය මෙතෙක් දුටු හොඳම චිත්‍රපටය ලෙස සමාගමේ අධිපති ශ්‍රිමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් පවසා තිබුණේ ලෙස්ටර්ගේ මුහුණටමය. වසර හැටකට පසු සන්දේශය හා රේඛාව එක තරාදියක ලා සලකන කළ සන්දේශයත් රේඛාවත් ඇත්තේ කොතැනකදැයි අපට වටහා ගත හැකිය. එය කාන් සිනමා උළෙලට සහභාගි වන්නේ ද හාස්කමක් හැටියටය.
මාරියා ෂෙල් නැමති ලෝක ප්‍රසිද්ධ සිනමා විචාරිකාව නිවාඩුවක් ගත කරන්නට ලංකාවට පැමිණි අවස්ථාවක හොඳ සිනමා චිත්‍රපටයක් නරඹන්න ඇයට තිබූ ආසාව ඉෂ්ට කරදෙනුයේ ගල්කිස්ස හෝටලය ඉදිරිපිට සිටි ටැක්සි රියදුරෙකි. එම සුද්දියට ගැළපෙන හොඳ චිත්‍රපටය සැඩ සුළං හෝ සුරතලී නොව රේඛාව යැයි වටහා ගන්නට විඥාණයක් ටැක්සි රියදුරාට තිබුණේ දෛවෝපගත කාරණයක් හැටියටය. චිත්‍රපටයෙන් වසඟ වන ඇය යළි ප්‍රංශයට ගොස් ආචාර්ය ලෙස්ටර් සොයා ලියුමක් එවන්නේ කාන් උලෙළට රේඛාව එවන ලෙසටය. තවමත් සිහිනයක් වන කාන් උලෙළට යන රේඛාව අවම වශයෙන් ලෝකයේ කුඩා රටක මෙහෙම සිනමාවක් තිබෙනවා යැයි හඳුන්වා දෙන්නට උත්සාහ කළේය. හැට වසරකට පසු රේඛාව ඔප මට්ටම් සහිතව පෙන්වන්නේ ලාංකික සිනමා කලාවේ සමස්ත විපර්යාසය රේඛාව හරහා ඇඳුණු වගය.
සරසවිය කර්තෘ අරුණ ගුණරත්න සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි.
ප්‍රසාද් සමරතුංග