සිනමාව මෙන්ම බොහෝ නිර්මාණ කාර්ය්යන් සඳහා ප්රතිනිර්මාණ (Remake) කලාව සමීප බවක් දැකගත හැකිය. ඇතැමුන් මෙය සියයට සියයක් මුල් නිර්මාණයම ඡායා පිටපතක් සේ නැවත එළිදක්වන බැවින් සමාජය තුළ මේ ගණයේ නිර්මාණ පිළිබඳ හෙළන දෘෂ්ටිය එතරම් සුබවාදී නැත.
එනමුත් යළි නිමැවුම් කලාව තුළ ද පෙරට පැමිණි අපූර්ව නිර්මාණකරුවන් මෙන්ම එසේ අසාර්ථක වූ නිර්මාණ තුළ ඇතැම් විටෙක දක්ෂ රංගකාරිකයෙක් හෝ කාර්මික ශිල්පියෙක් සිටිනු දැකගත හැකිය. එනිසා කුමන චිත්‍රපටයක් වුවද එය නොබලා විනිශ්චයන්ට එළඹීමත්, සම්පුර්ණ චිත්‍රපටයම නොසලකා හැරීමත් නුවණට තරම් නොවේ. කෙසේ වෙතත් මේ සටහන තුළ උක්ත කෙරෙන සිනමා නිර්මාණය නම් ලාංකේය ප්රතිනිර්මාණ සිනමා කලාවේ කූටප්‍රාප්තිය ලෙස හැඳින්වීමේ වරදක් නැති තරම් ය. අපට අහිමි වෙමින් යන සිනමා සභ්‍යත්වයේ යම් යම් ස්ථාන ද නැවත ස්පර්ශ කරමින් මේ අපූර්ව සලරූ අද්දැකීමක හෙළවුඩයට තිළිණ කරනුයේ කලක පටන් නමක් දිනූ කැමරා අධ්‍යක්ෂවරයෙකු වන චන්න දේශප්‍රියයි.
කවදත් සිනමාකරුවන්ගේ නවමු කර්තව්‍යයන් සඳහා සවියක් වන "M Entertainments" සාඩම්බර ඉදිරිපත් කිරීමක් ලෙසින් චන්න දේශප්‍රිය කුළුඳුල් සිනමා නිර්මාණය වන "U TURN" ප්‍රේක්ෂකාගාරය වෙත තිළිණ කළේය. 2019 සිනමා වර්ෂය ඇරඹෙන්නේම අනුරුද්ධ ජයසිංහගේ "ගින්නෙන් උපන් සීතල" හරහා මෙරට ප්‍රේක්ෂකාගාරය ඉහළ වින්දන සහ චින්තන පරසයක රඳවමිනි. ඉන්පසු තිරගත වූ මලිත් හෑගොඩගේ "දැකලා පුරුදු කෙනෙක්", අශෝක හඳගමගේ "අසන්ධිමිත්තා", ප්‍රසන්න ජයකොඩිගේ "සංසාරේ දඩයක්කාරයා" වැනි චිත්‍රපට කිහිපයක් වාර්ෂික සිනමා භාවිතාවේ නිර්මාණනීය අගය තර කරන කළ අතර මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ "විජයබා කොල්ලය", මහේෂ් මුණසිංහගේ "රෂ්", නුවන් ජයතිලකගේ "සුළඟ අප රැගෙන යාවි", පාලිත පෙරේරාගේ "තාල" වැනි චිත්‍රපට රසික සහෘදයා හට සිනමා ශාලා වෙත පියනැගීමට අවැසි මංමාවත් තැනුවෝය. මේ සියල්ල සමගින් වර්ෂාවසානයේ තිරගත වන "U TURN" වාණිජ සිනමාව මත ස්ථානගතව කලාත්මක අන්තයක නිර්මාණ අගයක් ප්‍රදර්ශනය කරන්නකි. එනමුදු එය සාම්ප්‍රදායික ලෙස අනුකාරක චිත්‍රපටයක් යැයි සුපුරුදු ලේබලයෙන් බැහැර කිරීම බුද්ධිගෝචර රසිකයාට තරම් නොවටී. "U TURN" චිත්‍රපටය සුවිශේෂී වන්නේ මන්දැයි මෙන්ම එහිලා සාකච්ඡා කළ යුතු අඩු ලුහුඬුකම් කවරේදැයි මෙසේ විවරණය කරමි.
ඕනෑම වයසක රසිකයෙක්ගේ නෙත් සිත් චිත්‍රපටයක පළමුව දිනාගන්නේ කතා තේමාවයි. අද්භූත රසය මැද සාධාරණ අසාධාරණ විනිශ්චයක් වෙනුවෙන් ආධ්‍යාත්මිකව අඳුරේ සිදු කෙරෙන ගණුදෙණුවක අනුවේදනීය පිළිබිඹුවක් මින් දිගහැරෙන අතර වයස් භේදයකින් තොරව පවුලේ සැමට එය නැරඹීමේ අවස්ථාව අධ්යක්ෂ විසින් අවස්ථාව උදාකර දී ඇත. මෙතෙක් ලංකාවේ අද්භූත ගණයේ ලේබලයෙන් තැනුන හාස්‍යජනක චිත්‍රපට වෙනුවට සත්‍ය වශයෙන්ම භීතියක් ගෙනෙන කුතුහලය උපරිමය ගැබ් වූ චිත්‍රපටයක් ලෙස "U TURN" හැඳින්වීමේ වරදක් නැත. මහා මාර්ගයේ නිතර දක්නට ලැබෙන නීති කැඩීමක් වන අවිධිමත් U හැරවුම් පිළිබඳව ද වෙනදාට වඩා උනන්දුවන්නට කතාවේ හරය නිමවා තිබුණි. කතාවේ කුතුහලය මෙන්ම භීතිය රැඳුණේ ද මෙකී ගුවන් පාලම් යූ හැරවුම තුළ ය. කතා තේමාවට පසුව තිර රචනය ගැන සිතුවහොත් තිර රචනය සමතුලිතව ප්‍රේක්ෂකාගාරයේ සෑම දෙනෙකුගේම රස ප්‍රමාණයන් වටහාගෙන සැකසුණු බව පෙණුනි. මෙම කතා පුවතේ මුල් නිර්මාණ වූ දමිළ, කන්නඩ හා තෙළිඟු චිත්‍රපට කතාවන්හි නිර්මාපක පවන් කුමාර් විසින්ම සිංහල තිර පිටපත නිර්මාණය කිරීම තුළ කතාවේ හැඩය නිසි ලෙස සැකසීමට හේතු විණි. එනමුත් චන්න දේශප්‍රියගේ වසර ගණනක පළපුරුද්ද මත ඔහු එයට ලාංකේය හැඩ සුවඳ මුසු කර තිබුණි. මෙහිලා ඇගයිය යුතුම සාධනීය කොටස රංගනය බවට සැක නැත.
චානු දිසානායක මින් හඳුන්වාදෙන සිනමා නිළියයි. සම්මානනීය තුරුණු නිවේදිකාවක් ලෙස අප දැන සිටි චානු විසින් රවීනා නැමැති මාධ්‍යවේදිනියකගේ චරිතයක් සිත්ගන්නාසුළු අයුරින් අප වෙත සමීප කළාය. 2018 වසරේ "ඝර්සරප" තුළින් අප එලෙස පුදුමයට පත් කළ කාවින්ද්‍යා අධිකාරි මෙන්ම 2019 වසරේ කිසිඳු ආධුනිකත්වයක් නොපෙන්වා සිය රංගනයෙහි උපරිමය චිත්‍රපටය වෙනුවෙන් වැය කළ චානු දිසානායක ද සිංහල සිනමාවට අවතීර්ණ වන්නේ නොමැකෙන මතක අතරින් බව කිව යුතුමය. පෙනෙන මානයේ යතාර්ථය අංක එකෙහිලා සලකන, සිතෙහි ඇතිවන කුකුසක් ප්‍රාණසමව විසඳාගැනීමට වෙර දරන මාධ්යාවේදිණියකගේ රූපකාය චානුගේ නිර්මාණාත්මක ප්රපංචයේ සාධනීය අතුරු ඵලය විය. චානු මේ මාර්ගයේම රංගනය ප්‍රගුණ කරමින් අභ්‍යාසගත වීම සිය පැවරුම සේ සැලකුවහොත් කළුනික මෙන් දුලබ ප්‍රතිභාන්විත නිළි කුලකයේ ඇයට ද ඉඩක් ලැබෙනු නොඅනුමානය. රූප රාජිනියක, නිවේදිකාවක ලෙස මගේ නෙත් මානයේ සුදිලුන ගම්‍යා විජේදාස මෙහිලා කැපීපෙනෙන ස්ත්‍රී භූමිකාව වූ මායා හරහා අප හමුවෙයි. එනමුත් ඇය සාර්ථක නොවූ බව පවසමින් ම ඒ මන්දැයි පැවසීම සාධාරණ යැයි හැඟේ. චිත්‍රපට ආරම්භයේ ගීතමය ජවනිකාව තුළ වන පූර්ව කතාව තුළ ඇගේ දෙබස් රහිත වූ රංගනය ඇය දෙස සුබවාදීව බැලීමට අප පෙළඹුවද, චිත්‍රපටය තුළ ඇගේ රැඟුමන්, විස්සයි විස්ස තරඟයක අවසන් පන්දුවාරයේ පන්දු නිදැල්ලේ යැවූවා මෙනි. චිත්‍රපටයේ ඇය රවීනා අභිමුවට පැමිණෙන මොහොතේ මෙන්ම අවසන් ජවනිකාව තුළ ද ඇයට මෙරට සලරූ ස්ත්‍රී භූමිකා අතර ඉහළ මතකයක රැඳෙන්නට නිර්මාණයේ සලස්වා දී තිබූ අවකාශය එසේ අපතේ යන විට චන්න දේශප්‍රියට හෝ නිර්මාණයේ නළු නිළි වරණය කළ අයට මේ සඳහා වෙනත් නිළියෙක් ගැනීමට නොසිතුණේ මන්දැයි සිතුණි. ඒ තරමට ගම්‍යාගේ නීරස සහිත රංගනය කතාවේ කඩතොලු මතු කළාය. මව් ස්නේහයේ ඇති ආත්මීය ප්‍රබලත්වය අන්ධකාරය තුළ කෙලෙස නම් ක්‍රියාකර ස්වකීය සාධාරණය ලඟාකරගන්නේ දැයි පෙන්වීම වෙනුවෙන් ගම්‍යා විජේදාස අසමත් වූ බව අවසන නිගමනය කළ හැකි විය. මෙහි ප්රමුඛ පුරුෂ චරිතයක් සේ ම කතා අවසානයේ සියල්ලට කේන්ද්‍රගත වන ප්‍රසාද්ගේ චරිතයට පණ දුන් බිමල් ජයකොඩි නැමැති අද්විතීය නූතන රංගන ශිල්පියා ගෙන් අප කෙසේ නම් මෙතෙක් ප්රයෝජා නොගත්තේ දැයි සිතාගත නොහැකි තරම් ය. ඒ තරමට ඔහු තමාට ලැබෙන ධාවන කාලයන්හි සිය උපරිමය චිත්‍රපටය වෙනුවෙන් ලබා දුන්නේය. අප සිනමා රසික පර්ෂදය බොහෝ විට ප්‍රතිනිර්මාණයක හෝ අනුකාරක නිර්මාණයකදී විදෙස් රංගකාරිකයන්ගේ රංගනය අප ශිල්පීන් සමග සැසඳීම සිදු කරයි. නමුත් විය යුත්තේ සංසන්දනයට වඩා අප ශිල්පීන් කොතෙක් දුරට කතාව වෙනුවෙන් සාධාරණයක් කර ඇත්දැයි විමසීම ය. බිමල් පිළිබඳව වුවද සිතෙන්නේ එවැනි සිතීමකි. අප නිසිලෙස තවමත් ඔහු දැක නැත. පීතෘ ස්නේහය තුළ ද ඔහුගේ රැඟුම් වත ප්‍රේමයෙහි අනිර්වචනීය ස්වභාවය කැඩපත් කොට දක්වන්නකි. විටෙක මනෝ මූලික සිතුවිලි ගොන්නක අගක් මුලක් සොයාගත නොහැකිව අතරමං වූ අයෙක් මෙන්ම තවත් විටෙක තමාට අහිමි වූ අත්‍යුදාර බන්ධනය වෙනුවෙන් දිවි පුදා හෝ සාධාරණයක් පතන පුරුෂයෙක් බිමල් විසින් තාත්ත්වික ලෙස ඉදිරිපත් කළේය. එනිසා බිමල් චිත්‍රපටයේ රසික නෙත මත පැසසුම් ලබන ශිල්පියෙක් යැයි පැවසීමට හැකිය. තුමිඳු පිළිබඳව පැවසිය යුතුම දෙයක් ඇත. ආදිත්‍ය නම් මාධ්‍ය ආයතනය කටයුතු කරන ආදිත්‍ය නැමැති මාධ්‍ය විශ්ලේෂකයෙකුගේ චරිතයට තුමිඳු දොඩන්තැන්න නම් අප සිත් දිනාගත් නළුවා සීරුමාරුවට ඇතුළු වූ නමුදු එම චරිතය තුළින් ප්‍රේක්ෂකාගාරය ඉදිරියේ රවීනාට ප්‍රේමයක් හෝ කැමැත්තක් ඇති බව පෙන්වීමට තරම් ඔහුගේ භාවයන් සමත් නොවූ බව සිතේ. මින් මතු මා හුවාදක්වන පොලිස් පරීක්ෂකවරයාගේ චරිතය සමග රවීනා ගණුදෙණු කරන අවස්ථාවල දුටු තරමේ හෝ රෝමාන්තික බවක් ආදිත්‍ය සහ රවීනා අතර නොවීය. එනමුත් කතාවට අනුව රවීනාගේ සිතට ආකර්ෂණයක් ගෙනා පෙම්වතා ආදිත්යයයි. එනිසාම තුමිඳු යම්තාක් දුරට එම අවස්ථාවල පමණක් පියවරක් පසුපසින් සිටි බව පෙණුනද කතාවේ බොහෝ අවස්ථාවල ඔහු ද තම සුපුරුදු සරල සුන්දර රංග රටාවෙන් කතාවට ජව රුකුල් සැපයීය.
"U TURN" චිත්‍රපටයේ හදවත වන්නේ රංග නැමැති පොලිස් නිළධාරියාය. චිත්‍රපටයේ නිර්මාණනීය අගය තර කිරීමටත්, ඊට වාණිජමය සහයක් එක්කර ගැනීමටත් චන්න දේශප්‍රිය විසින් හේමාල් රණසිංහ, රංග ලෙස නම් කර තිබුණි. එය ඇත්තෙන්ම කදිම යෙදුමකි. "සුපර් සික්ස්" වැනි වැඩි වියදම් යොදා නිර්මාණය කළ අඩු ආදායම් ලැබූ චිත්‍රපටයකින් සිනමාවතීර්ණ වන හේමාල් සිනමා නළුවෙක් ලෙස උපත ලබන්නේ "ප්‍රවේගය" තුළින් බව නොරහසකි. ඉන්පසුව ඔහු තම මුදුන්පත් වීම "ආදරණීය කතාවක්" හරහා ප්‍රකට කළ අතර මා හැඟි පරිදි ඉන්පසු ඔහුට යමක් කළ හැකි චිත්‍රපට ලැබුණේ නැති තරම් ය. ප්‍රසිද්ධ වීමට වෙර දරන නළු ප්‍රජාවක ජනප්‍රියත්වය රජයන ඔහුට නියත වශයෙන් මේ සිනමාපට වෙනුවෙන් ආලෝකයක් වීමට් හැකි වුවද එම කිසිඳු චිත්‍රපටයකින් ඔහුට වූ සෙතක් නොමැත. "U TURN" මා හඳුන්වන්නේ හේමාල් සිනමාව මත තැබූ තෙවන සාර්ථක පියවර ලෙස ය. එතරම් ඔහු මෙම චිත්‍රපටය ජයගෙන තිබුණි. හේමාල්ගේ හඬ හාත්පසින් අනෙක් නළුවන්ට වඩා තිරයට ඉතා ඖචිත්‍ය හඬකි. එය පොලිස් නිළධාරියෙකුගේ චරිතයට කිරුළක් තරම් වටින හඬකි. එමෙන්ම තත්කාලීන ලාංකේය විනෝදාත්මක සිනමාවේ කැපීපෙනෙන සුලබ සලකුණක් වූ පොලිස් නිලධාරියා විකටයෙක් නොකොට එහිලා ගාම්භීරත්වය මෙන්ම අපක්ෂපාතී සාධාරණත්වය හුවා දැක්වීමට ගත් හේමාල්ගේ වෙහෙස අපතේ ගොස් නැත. ඉරියව් සහ ඉංගිත මනා සංයමයකින් පාලිතව තිරයේ අවැසි තැන පමණක් තැන්පත් කරන හේමාල්, රංග නැමැති චරිතය තුළ තැති ගැනීම, උනන්දුව, කාර්යශූරත්වය මෙන්ම එඩිතර බව ගැබ් කළේය. සිර මැදිරිය තුළ වූ ගැටුම ආශ්රිත අවස්ථාවේ, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් U හැඩය සහ මරණයන් අතර සමානකම හඳුනාගන්නා අවස්ථාවේ මෙන්ම කළුපහණ නැමැති නීතිඥයා හමුව පැමිණෙන අවස්ථාවේ හේමාල් සිය චිත්‍රපට රංගනය නැමැති පරීක්ෂණයේ "A" සාමාර්ථ දිනාගත්තේය. ඇතැම් විටෙක බොලිවුඩය, කොලිවුඩය හා කරට කර සම කළ හැකි තරමේ පොලිස් භූමිකාවක් කලකට පසු ලාංකේය තිරය මත හේමාල් දිග හැරියේය. විජය කුමාරණතුංග, සනත් ගුණතිලක, රවින්ද්‍ර රන්දෙණිය සහ ජීවන් කුමාරණතුංග වැනි ස්වර්ණමය සිංහල සිනමා සලරූකාරිකයන් ගෙනා සිනමා පුරුෂත්වයේ ගාම්භීරත්වය කලකට පසු යළි සිනමාව මත ගිගුම් දෙන්නේ රංග නැමැති චරිතය හරහා බව පැහැදිලිය. මේ සටහන තුළ ඇතැම් විටෙක මෙතරම් ඔහුගේ චරිතය වණන්නට තරම් දෙයක් කළා දැයි සිතන පිරිසක් වෙතොත් ඔවුන් නිසැකව ම චිත්‍රපටය නොනැරඹූ අය විය හැක. චිත්‍රපටයේ කතාව හා බද්ධ වූ ප්‍රධාන භූමිකාවන් මෙසේ විමසිය හැකි අතර චිත්‍රපටයේ නිර්මාණ අගයට බලපෑම් කළ විශිෂ්ට රංගන ශිල්පීන් පිරිසක් මෙහි සෙසු චරිත නිරූපණය කිරීම සුවිශේෂී වේ. ඒ අතරින් බොහෝ දෙනෙකු තම සිනමාවතීර්ණයේම මෙවන් රංගනයකින් ගත් යෝධ පියවර හෙට දවසේ සිනමාව වෙනුවෙන් බලාපොරොත්තු දල්වන්නකි. බොහෝ විට මෙය අතීත සිනමාවේ සිය මෑතකාලීන පූර්ව නූතන සිනමා යුගය දක්වා දක්නට ලැබුණු ප්රවණතාවකි. සෙසු මෙන්ම අවශේෂ චරිත සඳහා දක්ෂ රංගන ශිල්ප ශිල්පිණියන් යොදාගැනීමෙන් එම සිනමාපටයටත්, කතා අන්තර්ගතයටත් ලැබෙන ආලෝකය බොහෝ අධ්‍යක්ෂවරුන්ට නොතේරුණත්, චන්න දේශප්‍රිය සිය අද්දැකීම් බාහුල්‍යත්වය තුළ එය වටහාගෙන තිබූ අයුරු අපුරු ය. "කොටි වළිගය" චිත්‍රපටයේ සතිශ්චන්ද්‍ර එදිරිසිංහයන් කළ පැවිදි චරිතය මෙන්ම "සාගරයක් මැද" චිත්‍රපටයේ අයිරාංගනී සේරසිංහ කළ චරිතය මෙරට සිනමාලෝලීන්ගේ මතකයෙන් කිසි දින නොමියෙන ඇගයුම් ලද චරිත නිරූපණයන් ය. එවැනිම ප්‍රවණතාවක ආරම්භය "U TURN" ඔස්සේ ඇරඹෙන්නේ මෙසේ ය.
දයාදේව එදිරිසිංහ මෙහිලා කැපීපෙනෙන වැඩිහිටි චරිතයයි. ගජනායකගේ චරිතය හරහා තමා රසිකයන් හමුවේ විහිළුවක් නොවී කතාවේ රස පදමට ඔහු අවශ්‍ය හාස්‍ය සැපයූවේ උපහාසාත්මක ප්රකාශයන්ගෙනි. එය ඉතා සිනමාත්මක ශිල්පීය උපක්රමයකි. සමකාලීන නිර්මාණයන්ගේ හාස්යෝත්පාදනය යැයි කියමින් අනේකාර්ථ පද භාවිතා කොට අසැබි අදහස් ප්‍රකාශ කිරීම හෝ සෘජුවම අසැබි දේ කතාබහ වීම වෙනුවෙට මෙවැනි රංග භාවිතාවන් සිත්ගන්නාසුළුය. වීණා ජයකොඩි සම්බන්ධ වන්නේ ජවනිකා දෙකක පමණි. ඉන් ඇය රූපමය වශයෙන් පෙනෙනා රංගනයට වඩා ඇගේ හඬ මූලිකව ගෙනෙන දුරකථන ඇමතුම මා සිත් ගත්තේය. රවීනාගේ මව වන ඇය කන්ද උඩරට කාන්තාවක් බව සඵත කළ හැකි සියල්ල ඇගේ මුවගින් පිට වූ දෙබස් හි අන්තර්ගත වීය. රවීනා විසින් ආදිත්‍ය පිළිබඳ සිය මවට පැවසීමට සැරසෙන කළ ඇය සාම්ප්‍රදායික උඩරට කුල කතක් මෙන් පළමුව විමසුවේ ආගම, දහම සහ වාසගම ආදිය පිළිබඳව ය. ඉතා සුළු දෙබස් කාණ්ඩයකින් පවා කතාවට එක්ව තිබු වයනය අපූරු බවට එය නිදසුනකි. අතුල ජයසිංහ ද මෙහි මවන්නේ කේන්ද්‍රීය චරිතයකි. කතා දාමයට මුල්වන පළමු මරණය සිදුවන්නේ කපිල සිරිමාන්න නැමැති අතුල රංගනය කරන චරිතයෙනි. වේදිකාව, ටෙලිනාට්‍ය මෙන්ම් හඬ නළුවෙහි ද කැපීපෙනෙන චරිතයක් වූ අතුලගේ "U TURN" රැඟුම ද කතාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. අනිසි ලෙස නොසිතා ගත් "U" හැරවුමක එකොළොස් වන බිල්ල වන කපිලගේ බිරිඳ ලෙස රංගනය කරන සුරංගා රණවක ද රංගනයට වෙන්වූ ජවනිකා ද්විත්වයේ උපරිම සාධාරණයක් ඉටු කළාය. කපිල ජීවත්වන තට්ටු නිවාස සංකීර්ණයේ මුරකරු ලෙස රඟන කීර්ති රංජිත් පීරිස් දිගු කලක් රංගනයේ නියළෙන සිනමා නළුවෙකි. එනමුත් බොහෝ විට අපට මෙතෙක් දක්නට ලැබුණේ එවැනි චරිතාංග නළුවන්ගෙන් නිසි ඵල නොගන්නා සිනමාවකි. එහෙත් මෙම චිත්‍රපටයේ එම නළුවාට පවා දැනෙන අවස්ථාවක් ලබා දී තිබුණි. එය සතුටකි. නිවේදකයෙක්, වැඩසටහන් නිෂ්පාදකයෙක් මෙන්ම ගායකයෙක් ලෙස අප දුටු ප්‍රියන්ත විජේසිංහ අප මුල්වරට රිදී තිරයේ දකින්නේ ද මෙම චිත්‍රපටය හරහා ය. ඔහු රංගනය කළ RD නිලධාරියාගේ සුළු චරිතය වුවද කතාවේ එතෙක් රැකගෙන ආ ප්‍රමිතියට හානි නොකිරීම වටිනේය. ඇතැමෙක් මෙහි අර්ථ පතීත්වය සිරස නාලිකාව ප්රමුඛ මහාරාජා ආයතනය දරන බැවින් එහි පිරිස් මෙම චිත්‍රපටයට ඇතුල් කිරීමට ගත් උත්සාහයක් ලෙස මෙවැනි චරිත දැකීමට හැක. එහෙත් මගේ අදහස නම් එවැනි බලපෑමකින් හෝ මෙවැනි ශිල්පීන්ගේ දස්කම් තිරයට හඳුන්වාදීම කාලෝචිතව ඉතා වටිනා බව ය. ත්‍රී රෝද රථ රියැදුරෙකු ප්‍රදීප් රාමවික්රමගේ රංගනය පිළිවඳව එතරම් සතුටක් නැත්තේ ඔහු වැනි අති දක්ෂයෙක් මෙවැනි සුළු චරිත සඳහාම සීමා වේ දැයි ඇති බිය නිසාවෙනි.
මෙහි කතා කළ යුතුම ආධුනික නළුවන් සතර දෙනෙකි. නලින් ලුසේනා යනු අප කලක පටන් දැන හඳුනාගත් නළුවෙක් වුවත් ඔහු සිනමාරූපයට කෙතරම් උචිත ද යන්න පිළිබඳ අපට අදහසක් නොවීය. වේදිකාව මත මෙන්ම රබර් හා සම මෑත යුගයේ ටෙලි නාටකයක ද නලින් ලුසේන සිය අනන්‍යතාව එක ලෙස ආරක්ෂා කරගෙන නාට්‍ය රචකයෙක් ලෙස ද සම්මානිත ගමනක් ඇරඹි අයෙකි. මේ සියල්ල සමගින් චන්න දේශප්‍රියගේ තෙවැනි ඇසට නතු වන ඔහුගේ සිනමා ප්‍රවේශය ද ඔහු මෙන්ම අතිශය දැකුම් කලු ය. හේමාල් සේ ම ප්‍රාණයට හැඩයක් දුන් ජවසම්පන්න, කාර්යශූර තරුණ පොලිස් නිළධාරියෙක් නලින් තුළින් ද ඉස්මතු විය. රන්දික ගුණතිලක යනු නුදුරු වසරේ තිරගත වන "පාංශු" තුළින් සිනමා ප්‍රවිශ්ටයට මග බලා සිටි, "අඩෝ" ටෙලිනාට්‍යයේ දිනී ලෙස කාගේත් අවධානය සොරා ගත් ප්‍රතිභාන්විත තරුණයෙකි. "U TURN" නරඹන ඕනෑම අයෙක් පුදුම වන්නේ මේ ආධුනික නළුවාගේ ආධුනික නොවන හිඩැසක් නැති රංගනය දැකුමෙනි. ඔහු චිත්‍රපටයේ උද්වේගකාරී දර්ශනයේ පෙනී සිටින නළුවන් දෙදෙනාගෙන් කෙනෙකි. එහිලා ද රන්දික තම චරිතයේ කෙළ පැමිණෙනුයේ තම රංග ශක්තියෙහි විස්මය පලටමාන කරමිනි. රන්දිකගේ සහය චරිතය රංගනය කරන ප්‍රසන්න දැකුම්පිටිය පිළිබඳව ද කිව හැක්කේ එවන්නක්ම ය. ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනා හා තරඟවැදි නමුත් එකිනෙකා පරයා නොයන ලෙස පාලිතව නෙත්කලු රංගනයක් තිළිණ කළහ. විශේෂයෙන් සිර මැදිරිය තුළ දර්ශනය ඔවුන්ගේ පැහැබර ඉදිරි අනාගතය වෙනුවෙන් ලියු මනරම් පෙරවදනකි. චන්න දේශ්ප්‍රිය අනෙක් සිනමාකරුවන් අතර විෂමාකාර වන්නේ ඔහුගේ වෘත්තිමය පළපුරුද්ද නිසාවෙන් බවට මා පුන පුනා මතු කරන ප්රස්තුතය සප්රමාණ කරන තවත් කදිම නිදර්ශනයක් වන්නේ මෙහි රාජු නම් විදී මිනිසෙකුගේ චරිතය රංගනය කරන තැනැත්තාය. ඔහු පවා ප්‍රකට කළේ පුදුමාකාර භාව අනුගත වීමකි. පොදුවේ මෙහි නළු නිළියන් සෘජුව අනෙක් සිනමා පිටපත්හි නළු නිළියන් අනුකරණය නොකළ අතර භාවානුකරණය මනාව පැවරුම් කොට උගෙන තිබුණි. නාලක කළුපහණ නම් නීතිඥයෙකුගේ චරිතයට පණ පොවන රණා මාධව් ද තිරයට ආධුනික වූ නමුදු ඔහුගේ සිනමා භාවිතාවේ පළමූ "U" හැරවුම නිවැරදිව ගත් අයෙකි. බොහෝ නළුවන් අති රංගන පරාසයක අතරමං වන රංගනයක් ඔහු මනා ශික්ෂණයක් ප්‍රගුණ කරමින් කළේය. මායාගේ දුවණිය ලෙස රංගනය කරන සනුමි නිම්නාදී පවා ඇගේ වයසට තරම් නොවන ලෙස රසික හදවත් මත රැඟුම් පියවර තැබීය. මේ සියලු දෙනා තම දක්ෂතාවය සේ ම ප්‍රකට කළ තවත් එක් දෙයකි. එනම් අධ්යක්ෂවරයාගෙන් ලැබුණු ඉහළ සහයයි; පෝෂණයයි.
රංගනය, අධ්‍යක්ෂණය, තිර රචනය සහ දෙබස් මෙන්ම චිත්‍රපටයේ බොහෝ දෙනෙක් කතා නොකරන මුත් වැදගත් අංගයක් වන්නේ ශබ්ද පරිපාලනය හෙවත් නාද තුලනයයි. ජගත් කීර්තිධර ශබ්ද පරිපාලකවරයෙක් වූ සසික රුවන් මාරසිංහ සුපුරුදු ලෙස තම වගකීම වෙනුවෙන් වගවන්නට මෙහිද කැපවී තිබුණි. වර්ෂාව ආශ්රිත අවසාන කොටසේ පමණක් ශබ්දය පිළිබඳ යම් අසමතුලිත බවක් සවනට අවබෝධ වුවද එතෙක් මුළු චිත්‍රපට කතාවේ ම අලංකාරය රැකීමට නාද තුලනයෙන් ගෙනා ජීවය ද වටිනේය. රන්දික සහ දැකුම්පිටිය සිර මැදිරිය තුළ පොර බදින දර්ශනය නාමාවලිය දැකුමට පෙර මෙය ඔසඳ සමන් බණ්ඩාරගේ බව සිහිගැන්වීය. එයට හේතුව ඔහු කලකට පසුව නැටුම් හෝ ජිම්නාස්ටික් නොවන සටන් තිරයට ගෙනා සටන් අධ්යක්ෂවරයා වූ බැවිනි. සුනිල් ප්‍රේමරත්නයන්ගේ කලා අධ්‍යක්ෂණයේ ද කියන්නට තරම් වරදක් නොවූවත් රවීනා සහ ආදිත්‍ය අතර සිදුවන දුරකථන කෙටි පණිවුඩ (SMS) හුවමාරුවේ එම කෙටි පණිවුඩයට පෙර සඳහන් පණිවුඩය දුරකථන දෙකෙහි සමාන නොවීන එය අවධානයෙන් බලන චිත්‍රපටය විසින් නතු කරගත් ප්‍රේක්ෂක දෑසට හසුවිය හැකිය. මල්කි විජේමාන්නගේ ඇඳුම් නිර්මාණය ද විසල් වෙනසක් නැතත් චිත්‍රපටය වෙනුවෙන් ලංකාරයක් එක්කළ අතර විකුම් ප්‍රනාන්දුගේ දෘෂ්‍ය ප්‍රයෝග ද නරක නැත. ඩ්‍රෝන කැමරාව යොදාගෙන රංග පාලම මත සිටින දර්ශනය ද පැහැදිලිව දක්නට ලැබීම සතුටක් වන අතර එය භාරව සිටි කාර්මික ශිල්පියා හට එහි ගෞරවය හිමි විය යුතුය.
කවදත් හද සසල කරන නිසල රූපය සෙහාන් කාවින්දගෙනි. සුනිල් ආරියරත්නයන්ගේ අප ප්‍රබලයැයි සිතා සිටි "විජයබා කොල්ලය" වැනි සිනමාපටයක චන්න දේශප්රියගේම චල රූපයට වඩා සෙහාන්ගේ නිශ්චල රූප සිත්ගන්නාසුළු වූ බව අසත්‍යයක් නොවේ. "u TURN" වෙනුවෙන් ද ඔහු එමෙන්ම නිශ්චල ඡායාරූප ඔස්සේ මනරම් සවියක් වී තිබුණි. චින්තක ජයකොඩි නම් කවදත් එකිනෙකට වෙනස් අලුත් නද සමගින් සලරූ අවකාශය පිනවන සංගීතඥයා මෙයට ද අසා සිටිය හැකි නද රටා එක්කර තිබුණත් මේ වන විට ජනගත වූ ඔහුගේ අනෙක් නිර්මාණ තරමට මෙහි මතකයේ රැඳෙන්නට තරම් දෙයක් තිබුණාදැයි සැක සහිතය. මෙහි ආරම්භයේ ඇතුළත් චිත්‍රපට තේමා ගීතය වන "ඉර හඳටත් රහසේ........" නම් සුනිලුන් ලියූ ගීතය භාරද්වාජ් නැමැති ඉන්දියානු සංගීතඥයෙක් විසින් තනු නිමවන ලද්දකි. එය තිරයට උචිත ලෙසම රහට ගයමින් උමාරා සිංහවංශ සිංහල සිනමාවේ මා දකිනා අයුරින් ඇයට හිමි නියම ස්ථානය වෙන්කර ගත්තේ මේ ගීතයෙනි. එම ගීතමය දර්ශනය තිසර ඉඹුලාන විසින් අධ්‍යක්ෂණය කර තිබූ අතර තිසර මංගල බණ්ඩාර සහය අධ්‍යක්ෂණයෙන් එක්ව තිබුණි. ලොකු තිසරගේ සහ පොඩි තිසරගේ වැඩි නැති අඩු නැති වැඩවල කවදත් මෙන් මෙහිද කීමට තරම් අඩුවක් නොදැක්කෙමි. සමරසිරි කඳනගේ අංග රචනය ද සුවිශේෂී දස්කමක් ප්‍රකට කළ අතර එයට කදිම නිදසුන රාජුගේ චරිත ප්‍රතිරූපයයි. එමෙන්ම තිස්ස සුරේන්ද්‍රගේ සංස්කරණයක්, දමින්ද ඩී. මඩවලගේ සහය අධ්‍යක්ෂණයත් චන්න දේශප්‍රියට දුන් ජවය ශක්තිය චිත්‍රපටය නරඹන්නාට රහසක් නොවීය. ස්ට්රයිනර් මැක්ලේන් ඇඩම්ස් යනු ටෙලි තිරයේ මෙන්ම සිනමාවේ ද අප හඳුනාගත් නවමු කෝණයක් හිමි කැමරා අධ්යක්ෂවරයෙකි. ඔහුට දිය හැකි කෙටිම නිර්වචනය. ඔහු "චන්න අංකුරයක" පරාසය ඉක්මවන තරම් කැමරාවෙන් ශිල්ප දක්වන බව ස්ඵුට කළේය. විශේෂයෙන් රංග පොලිසීයේ පිරිසට රාත්‍රියේ වැඩ රාජකාරී පවරන දාර්ශනය ඔහුගේ ප්‍රායෝගික භාවිතාවේ ඉහළත්වය පෙන්නුම් කරයි. මෙසේ කලකට පසු මගේ චිත්‍රපට විමසුමකට මග එළිපෙහෙළි කරන්නේ "යූ ටර්න්" මා ප්‍රේක්ෂකයෙක් ලෙස ඇඳ බැඳ තබා ගත් සිනමාපටයක් නිසාවෙනි.
සෑම චිත්‍රපටයක් වෙනුවෙන්ම මෙලෙසින් විමසුමක් නැතිනම් ගුණදොස් සටහනක් තබන්නේ එහි නිර්මාණ සපිරිවරගේ බුද්ධිමය දියුණුව වෙනුවෙනි. එනමුත් ඉඳ හිට හෝ මෙවැනි රස සහිතව විමසිය හැකි චිත්‍රපටයක් තිරගත වීම පිළිබඳ අවංකව සතුටු වෙමි. එනිසාම සිනමාව කලාවක් සේ ම කර්මාන්තයක් ලෙස දියුණු වනු දැකුමට කැමති ඔබ සැම අනිවාර්යයෙන්ම චන්න දේශප්‍රියගේ කුළුඳුල් සිනමා ව්‍යායාමය වන "U TURN" නැරඹීම වැදගත් බවට මම සහතික කරමි.
සටහන Akash Tharuka Perera
සේයා Sehan Kavinda