ලාංකේය ටෙලිනාට්‍ය කලාව එහි ආරම්භක යුගයේ දී දේශීය ප්‍රේක්ෂකාගාරය ඉතා සමීපව සිය ජීවිතයට ඈඳා ගත් කලා මාධ්‍යයකි. බොහෝ විට 90 දශකාවසාන සමයේ ඇතැමෙක් සිනමාවටත් වඩා ටෙලිවිෂන් නිර්මාණ වෙත ආශක්ත වූවෝය.
එහෙත් නව සහස්රකයේ පළමු දශක අවසානය සමගින් මෙගා ටෙලි නාට්‍ය රැල්ලක් නිර්මාණය වී ඉන් ගුණාත්මක ප්‍රමිතිගත ටෙලිනාට්‍ය කලාව යටපත් වීම මත යළිත් රූපවාහිනී ප්‍රේක්ෂකාගාරයේ කැපීපෙනෙන හිස්තැන් මතු වූ බව පෙනේ. එහෙත් මේ සියලු කාලයන්හි ටෙලිවිෂනයෙන් රසිකාදරයෙහි කිමිඳුම් වරම් ලත් දේශීය පුංචි තිර රූපණයේ විරාජිත මිථුන රූප රාශියකි. අමරසිරි කලංසූරිය සහ දේවිකා මිහිරානි එහි ආරම්භක සනිටුහනයි. ඉන්පසුව ඇතැම් යුවල ටෙලි යුග නිර්මාණය නොකළත් කලක් එක පෙළට ටෙලි කතාවන්හි පෙම්වතුන් ලෙස සුදිලුණි. ඇතැම් යුවළ රංගනය කළේ එක් ටෙලි සිතුවමක් වුවද තවමත් ඔවුන් කෙරෙහි අප හදෙහි ඉපිලෙන ආදරය නොවෙනස් ය. ලක්ෂ්මන් විජේසේකර - චම්පා ශ්‍රියානි, රොජර් සෙනෙවිරත්න - නයනා කුමාරි, කමල් අද්දරආරච්චි - වන්දනා ලියනාරච්චි, පාලිත සිල්වා - චම්පා ශ්‍රියානි, නිල්මිණී තෙන්නකෝන් - කැලුම් විජේසූරිය වැනි ටෙලියේ අතිරමණීය මිථුන සටහන් මැද චන්න පෙරේරා සහ යශෝධා විමලධර්ම එහි මුදුන්පත් සදාතන ටෙලි පෙම්වතුන් වූහ. චන්න - යශෝධා යනු මෙරට පුංචි තිරයේ බොහෝ දෙනෙක් නේත්රප්රිය කළ සංකලනයකි. අදත් ඔවුන් එක්ව සිටින ඡායාරූපයක් සයිබර් අවකාශයේ සැරිසරන කල එය අපට සඵත වන්නේය. මින්පසු මෙම මිථුන රූප පෙළට එක්වන්නට රොෂාන් පිලපිටිය - චතුරිකා පීරිස්, මංජුලා කුමාරි - සුරාජ් මාපා, බිමල් ජයකොඩි - සුජානි මේනකා, මේනක රාජපක්ෂ - නෙහාරා පීරිස් වැනි පිරිස් විටින් විට පෙළගැසුණි. නමුත් මෙම සටහනට මා උක්ත කරනුයේ මේ සියල්ලෙහි වත්මන් පරිසමාප්තිය සටහන් කෙරෙන ප්‍රතිභාන්විත මිථුන රූපයකි. සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් එම ජනාදර ටෙලි යුවලයි. ඒ අතරින් ද ඔවුන්ගේ ටෙලි බන්ධනයට පෙර දිනක්ෂි පිළිබඳ යමක් මා මෙහි හුවදක්වමින් මෙහි සටහන් කේන්ද්‍රයට ඇය සමීප කරමි.
දිනක්ෂි යනු කලාවේ නම් ලත් "ප්‍රියසාද්" පවුලේ දෙටු දියණියයි. තම පියාගේ සලරූ මාවතේ ළමා නිරූපණයක් ඇගේ පළමු සිනමා පෙනී සිටීම වෙනුවෙන් භාග්‍ය උදාකර දුණි. ඒ දිනේෂ් ප්‍රියසාද් නිර්මාණය කළ "අපායේ තත්පර අසූහාරදහසක්" චිත්‍රපටයයි. ඒ අනූව දශකයේ මුල්ම වකවානුවේ දී ය. මා නිවැරදි නම් ඒ වන විට දිනක්ෂි තෙවැනි වියට හෝ පා තබා නොමැති කාලයකි. එසේ සිනමාවට රූපාවතීර්ණය වූ ඇය ඊට වසර කිහිපයකට පසු සිනමාවේ මතු බලාපොරොත්තු තැබිය හැකි යොවුන් රංගන ශිල්පිණිය ලෙස අබිසෙස් ලැබීම කෙතරම් නම් දෛවෝපගත මෙන්ම ආශ්චර්යමත් සිදුවීමක් ද ?
චන්ද්‍රම් රත්නම්ගේ "මේ වගේ ආදරයක්" චිත්‍රපටයේ සෙලීනා යනු චිත්‍රපට රසික සමුහයා කම්පනයකට ලක් කළ එක්තරා අනුවේදනීය රංගනයකි. මා මුල්වරට දිනක්ෂි ප්‍රියසාද් සිනමාපටයකින් නැරඹූ අවස්ථාව එය වීම මත ඇතැම් විටෙක එම චරිතය හරහා ඇය මගේ සිත් තුළ අවක්ෂේප වූවා විය හැකිය. සෙලීනාගේ භූමිකාව දිගහැරෙන්නේ යෞවනයේ ප්රසාදජනක කාලයෙනි. ප්‍රේමයෙහි මුලකුරු ඊට ආධුනික දෙසිතක කුරුටු ගෑවෙමින් සතරැස එකට හමුවන පුදුම සිදුවීම් මාලාවකින් දිනක්ෂි සහ එම චිත්‍රපටයෙන්ම අප හඳුනාගත් අනුජ් රණසිංහ තිරයේ අපූරු ප්‍රේමාන්දරයක් මැවූහ. ඇතැම් භාවාතිශය ජවනිකාවන්හි යම් ආධුනික ලක්ෂණ දිනක්ෂි තුළින් ඉස්මතු වුවත් සෙලීනා විසින් දිනක්ෂිට වෙන්කර තිබූ ඉඩහසර මත දිනක්ෂි බොහෝ විට නිදහසේ ඇවිද යනු දක්නට ලැබුණි. චිත්‍රපටයේ ප්‍රීති ප්‍රමෝදය හෝ ප්‍රේමාලිංගන අසුරු සැණිකින් සුණු විසුණුව යන මොහොතේ ප්‍රේක්ෂකාගාරයෙහි චිත්තාර්ද්රතාව නෙතඟ රඳවන්නට තරම් දිනක්ෂි විසින් සෙලීනා තුළ ගොනු කළ භාව රංගනය සමත් වූ බව කිව යුතුම ය. බොහෝ සිනමා උළෙලන්හි ඇය කුසලතා සහ හෙට දින සිනමා බලාපොරොත්තුව ලෙසින් ඇගයෙන්නට හේතුව ලෙසින් මා දකින්නේ ද චිත්‍රපටයේ අවසන් කොටස් තුළ ඇගේ අනුවේදනීය රංහ ශෛලියයි. නමුත් විටෙක අධ්‍යක්ෂක විසින් නිසි ලෙස ඇය රාමුවට හසුකර නොගත් කොටස් කිහිපයකින් මෙන්ම අනුජ් රණසිංහගේ තරමක දුර්වල වූ ආධුනික රංගනය දිනක්ෂිගේ රංග රාමුවෙහිද කඩොතොලු නොපෙන්නුවා ම නොවේ. නමුත් සමස්තයක් සේ ගත් කළ පිරිසකට දැනුන , පිරිසකට නොදැනුන සමතුලිත ප්‍රේක්ෂක ඛණ්ඩණයන් සහිත චිත්‍රපටයකින් දිනක්ෂි තම උපරිම ආරම්භයක් සිනමාවේ සලකුණු කළාය.
එනමුත් ඉන්පසු ඇය රංගනය කළ සිනමාපට තුළ ඇය වෙනුවෙන් අප තැබූ මතු දින බලාපොරොත්තු ක්‍රමිකව දැල්වෙනු වෙනුවට දැවී ගියේය. "ඩබල් ට්‍රබල්" සහ "රන් දේදුන්නක්" වැනි චිත්‍රපට දිනක්ෂි හට කළ අසාධාරණය සුළුපටු නැත. ඇගේ සුපසන් රංගනය පිළිබඳ ජනතා බලාපොරොත්තු ඉඳහිට සිනමාවට එබිකම් කරන දිනක්ෂිගේ මෙම නොදුලන චරිත ඔස්සේ වියැකීය. එහෙත් මේ සමගින් තිරගත වූ "සූම්" දිනක්ෂි හට තවත් එක් අවස්ථාවක් ලබා දෙන්නට විය. බොහෝ දෙනෙක් එහි ද දුටු පරිදි දිනක්ෂි බලාපොරොත්තු වු තරම් දෙයක් සිදු කළේ දැයි සිතුණත් චිත්‍රපටයේ සනුලි නම් චරිතය කළ ඇගේ දෙටු සහෝදරිය ශේෂාද්‍රිගේ මුදුන්පත් වීම සිදුවූයේ දිනක්ෂිගේ රංගන සහාය මත බව කිව යුතුම ය. දිනක්ෂි ඉතා කදිම රංග සහායිකාවක බව ඉන් සමාජගත වීම වටිනේය. භීතියෙහි අඳුරු ප්‍රතිරූපයක් තිරයට තාත්ත්වික කිරීම එතරම් අපහසු වැඩක් නොවේයැයි තිරයට අභිමුඛ ප්‍රේක්ෂකාගාරයට පෙනුනද එහි ඇති බොහෝ අසීරු අවස්ථා ජයගන්නට දිනක්ෂිගේ තියුණු වෙමින් පැවැති ඉංගිත සමත් විය. නමුත් ඇතැම් අවස්ථා තුළ ඇය අධිරංගනයක තැන්පත් නොවන්නට සනුලි අභිඹවා දිනක්ෂි පණ දුන් ප්‍රාණ නිරුද්ධ නදුලි ඉස්මතු වන්නට ඉඩ තිබුණි.
නව දශකයක ආරම්භයත් සමගින් මේ වසරේ ආදරවන්තයන්ගේ දිනයේ තිරගත වීම ඇරඹුණු "සුපර්ණා" මා දකින පරිදි දිනක්ෂිගේ හැරවුමකි. කලක් නිහඬව සිට තම පරිවාස කාලය ටෙලි නාට්‍ය සහ වේදිකාව මත ගෙවා දමමින් ඇය උගත් සියල්ල එක මිටට ගොනු කර තැනු ප්‍රතිරූපය, "සුපර්ණා" ඔස්සේ දිනක්ෂිව යළි සිටි මට්ටමට වඩා ඉහළට සිනමාවේ එසවීය. චිත්‍රපටයේ "දෝ දස අම්බරී......." ගීතයෙහි දුල්ෂාරා ද අල්විසිගේ මනහර ගැයුමට දිනක්ෂිගේ සම්භෝග ශෘංගාරයට සමීප මනකලු භාවයෝ එකිනෙක ක්‍රමිකව ගැළපුණහ. වන වදුලේ තම පෙම්වතා සමග දිව යන දසුනේ සහ චිත්‍රපට ආරම්භක දර්ශනයක පමණක් දුටු දිනක්ෂිගේ රංග ඉරියව් පාලනයේ කැළඹීම නොවන්නට චිත්‍රපටය පුරාවටම ඇගේ රංගනය පෙරට වඩා ඉහළින් රැඳවීමට අප සිත් නොපැකිළෙනු ඇත. එනිසා දිනක්ෂි විසින් සිනමාව මත තැබූ මෙම සාර්ථක හැරවුම් ලක්ෂයේ සිට හෙට දින යළිත් පහතට නොබසිනු ඇතැයි අපි විශ්වාස කරමු.
මා සටහන ඇරඹුමේ තැබූ අකුරු සාක්ෂි කොට මගේ අදහසක් මෙසේ ප්‍රකාශ කරමි. දිනක්ෂි යනු නූතන යුගයේ අපට සිටිනා වටිනාම ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියකි. ඒ පිළිබඳ සාක්ෂි සාධක මේ වන විට ඇය ඉදිරිපත් කර හමාරය. එනිසාම දිනක්ෂිගේ පුංචි තිර හැසිරීම ද මෙසේ විවරණය කිරීම වටින්නේ යැයි සිතමි.
ඇගේ ටෙලිනාට්‍ය ආගමනය සිදු වන්නේ "වස්සාන සිහිනය" හි චාපා තුළිනි. එදා පටන් වත්මන විකාශය වන "ලංසුපතිනියෝ" හි දිලිනි කවිසිත දක්වාම ටෙලි වපසරියේ ඇගේ රංගනයෙහි ගලා යෑම කියවිය හැකිය."සම්භාවනා" ටෙලිනාට්‍යයේ දුවණියගේ චරිතය ද දිනක්ෂි රංගනයෙහි හදාරන්නියක බව සඵත කරන සාධකයක් වුවත් "සඳගිරි පව්ව" හි අනුලාගේ චරිතය දිනක්ෂිගේ ටෙලි කූටප්රාප්තියකි. ඇය අනුලා වෙනුවෙන් සුමති සම්මාන උළලේ වසරේ නැගී එන ටෙලිනාට්‍ය නිළිය ලෙසින් කිරුළු දැරුවාය. "හිතට වහල් වීමි" හි නිම්මි, "පියවි" හි තරුෂා, "අම්මාවරුනේ" හි සොනාලි, "කළු සෙවණැල්ල" හි ආතර්ගේ සහෝදරිය, "රෑන" හි සමාධි, "මුහුණුපොත" හි ටානියා සහ "මිණි ගං දෑල" හි වික්ටෝරියා වැනි චරිතාවලියක් දිනක්ෂිගේ රංගන පියගැටපෙළෙහි පියවර සාධනය කළාය. යශෝධා - චන්න යුවළෙන් ඇරඹි ටෙලි සංකලනයන්ගේ වත්මන් කොමාව අසල රැඳෙන්නේ දිනක්ෂි සහ සාරංග බව මින් පෙර ද මා සටහන් කළෙමි. ඔවුන් දෙපළ් මුල්වරට ටෙලිනාට්‍යයකින් එකට දක්නට ලැබුණේ "යාය 04" ටෙලිනාට්‍ය හරහා ය. ඒ 2012 වසරේ විකාශය වූ ජන ප්‍රසාදිත ටෙලි සිතුවමකිනි. එහි පාරමී ලෙසින් දිනක්ෂි කළ රංගනය ද මතකයේ රැඳෙන අතර එතැන් පටන් සාරංග - දිනක්ෂි සංයෝගයේ රස කළණ සටහන් ටෙලි තිරයේ දිගහැරුණි. සාරංග - දිනක්ෂි රසෝගයේ ඔබේ ප්‍රියත්වය රැඳුණු ටෙලිනාට්‍ය කොතෙක් ඇති දැයි සිතිය නොහැකි බැවින් මේ සටහන පරිශීලනය කරන ඔබට එම ටෙලිනාට්‍ය අනෙක් පිරිස් සමග බෙදාගන්නට අවස්ථාව උදා කරමි. නමුත් මේ දිනවල විකාශය වන "ලංසුපතිනියෝ" ටෙලිනාට්‍යයේ දිනක්ෂි පණ දෙන දිලිනි කවිසිතගේ චරිතය පිළිබඳ මට ඇත්තේ වෙනස් කියැවීමකි. මා එය දකින්නේ දිනක්ෂි තමන්වම ස්වයං පරීක්ෂණයකට ලක්කර ගන්නා ලෙසකටය. බිරිඳක්, මවක් ආදී සාමාන්‍ය භූමිකාවන්ගේ සිට ඇය ආත්ම විඳවවන්නියක්, රැවටින්නියක් සහ සිහින දකින්නියක ලෙස චිත්ත භූමිකාවන් රැසක නිම්වළලු සොයා යන්නට ගන්නා වෙහෙසක් දිලිනි තුළින් දිනක්ෂි පෙන්වා දෙන්නේය. එය නවක ආධුනික ලෙසින් නිති හැඳින්වෙන නූත නිළි පරපුරෙන් දුලභ ලෙස දැකිය හැකි අභ්‍යාසගත වීමකි. එනිසාම එය ඇගේ මතු දිනෙක ඉහළතාවයට තුඩු දෙන ප්රමුඛ සාධකයක් වනු ඇත. "පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්" සමග ඇය වේදිකාවට ද පිවිසි ඇති මුත් එය තවම දැකගැනීම නොලැබි හෙයින් දුටු විගස ඒ පිළිබඳ ද මගේ අදහස මෙලෙසින්ම අකුරු කරන්නට බලාපොරොත්තු වෙමි.
මේ සියල්ල සලකාබලමින් නූතනයේ රංගකාරිකාවක් ලෙස දිනක්ෂිගේ බුද්ධිමය දියුණුව පතන අයෙක් ලෙසින් ඇය හමුවේ පැවසිය හැක්කේ මෙවැන්නකි. මේ වන විට ඇය ගොඩනගා ගත් අද්විතීයත්වයට සමීප ස්ථානය රැකගනිමින් දිනෙන් දින ඔබ සෙමින් පැමිණි ගමනේ අන්තය සොයාගන්නා ලෙසින් ය. මා දක්නා ලෙසින් ටෙලි නාට්‍ය කලාවේ නම් ඇගේ ගමන කිසිවෙකුට නවතාලිය නොහැකිය. එය මේ වන විටම මට ඉඳුරා කිව හැකිය. ඊට රුකුල් සපයන්නේ ඇගේ "සාරංගවත් රංගනයයි" මා ප්‍රකාශ කරන්නට හේතු සාධක නොබෝ දිනකින් මේ අවකාශයේ අප සවනත වැකෙනු ඇත. ඉඳින් මේ සියල්ල අවසන පතන්නේ ඔබට රංගනයෙහි ප්‍රසිද්ධිය නොව ජනාදර හෙටකට විජයග්‍රාහි ආසිරිය.
සටහන Akash Tharuka Perera