කාලවකවානුව 1955 නැත්තං 1956 වෙන්න ඕන.කල්කටාවට ගියපු දවසක මම සත්‍යජිත් රායි ගෙ චිත්‍රපටයක් දැක්ක මුල්ම වතාවට.ඒ සන්ධියෙ දී මම සිනමාවට තදින්ම ආදරය කරා විතරක් නෙමෙයි,මමත් චිත්රපටකාරයෙක් වෙන්න ඕන කියල හිතක් හිතාගෙන හිටියේ.
මගේ කඳබඩ මහත්වෙන කාලෙ මං ජීවත් උනේ හයිද්‍රාබාදයෙ.ඒ කාලෙ මම චිත්‍රපට දෙවර්ගයක් බලලා තිබුනා.ඇමරිකානු හා ඉන්දියානු චිත්‍රපට.මං දැකපු ඉන්දියානු චිත්‍රපට හදන්න මගේ කිසිම කැමැත්තක් තිබුනෙ නෑ.කොහොමටත් මට ඒ කාලෙ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න කිසිම කැමැත්තක් තිබුනෙ නැහැ.මගේ මාමාකෙනෙක් හිටියා කල්කටාවෙ.එයා කිවුව ගමේ යන්න ඉස්සෙල්ල.......චිත්‍රපටයක් පෙන්නනව.....ඒක බලන්න කියල.ඒක හදල තියෙන්නෙ දැන්වීම් ප්රචාරක ආයතනයක වැඩකරන වෙළෙඳ චිත්‍රශිල්පියෙක් ය....ඇත්තටම අදහන්න බැරිතරම් වැඩක් ය....චිත්‍රපටයෙ නම “පාතර්පංචලී”ය කියලත් කිවුව.
ඉතිං මම ඒ චිත්‍රපටය බැලුව.මගේ හිත ඇතුලෙ මහ පිපිරීමක් උනා.එකපාරට හැමදේම පැහැදිලිව පෙනුනා. චිත්‍රපට හදන්න මගේ තිබුනු ආසාව පවා.ඒ වගේ චිත්‍රපටයක් කවුරුවත් හදල තිබුනෙ නැති හන්ද,අලූත් සිනමා ලෝකෙකට යන්න අලුත්ම පාරක් කැපුනා.රායි ගෙ චිත්‍රපටයක්,ඔහුගේම පැරණි සමකාලීනයන් හැදූ ඉන්දියානු චිත්‍රපටත් අතර ළංවෙන්න බැරි වෙනසක් තිබුනා.ඒ වගේ චිත්‍රපට අතර ටිකක් වැදගැම්මකට ඇති චිත්‍රපටිත් තිබුනයි කියල මං කියන්න ඕන.මේ චිත්‍රපටවල පොදුවේ පිලිගත්ත චරිත ලක්ෂණ තිබුන. පට්ටගහපු සම්මතයක ඉරියව් තමයි ඒව.කතන්දරයක් කියනකොට ඒක එක්තරා විදියක් වෙන්න ඕන.වීරයා යුක්තිගරුක ධර්මිෂ්ඨයෙක් වෙන්න ඕන.දුෂ්ඨයා වට්ටෝරුගත කරපු නපුරුකම්වලින් පුරවන්න ඕන. මෙන්න මේ තත්වය තමයි රායි වෙනස් කලේ.
ඔහු සම්මතයෙන් ඈත්වුනා.ඒකාකාරී දරදඬුකම අත් ඇරිය.හොඳ මිණිහ-නරක මිණිහ-හැමදේම කැපකරන අම්ම-අතරමංවූ ගැහැනිය.මේ වට්ටෝරුවෙන් හදපු ඔක්කොම චිත්‍රපට නරකම නෑ.හොඳට හදල තිබුන නං ඒ චිත්‍රපට අපිට විඳගන්න පුලුවන් ආදරණීය අත්දැකීමක් වෙන්න ඕන.ඒත් ඒව සිද්ධවුනේ අපේ අත්දැකීම්වලට කිට්ටු,අපේ හැඟීම්වලට අයිති ලෝකෙක නෙවි.
බලාගෙන ඉන්න පුලුවන් හොඳ චිත්‍රපටයක් හදාගන්න ඔය කියන සම්මත වට්ටෝරුවම ඕන නෑ.”පාතර්පංචලී”බලනකොටම මුලින්ම තේරෙන්නේ අන්න ඒකයි.වීරයොත් නො වන,දුෂ්ඨයොත් නො වන සාමාන්‍ය මිණිස්සු.ඒ මිණිස්සු තමන් ජීවත්වෙන පරිසරයෙ ගොදුරු.එහෙම නැත්තං ඒ තත්වය එහෙම පිටින්ම වෙනස් කරන්න පුලුවන් අය.මේ හැම දේකටම වඩා වැදගත් කාරණය ඒ මිණිස්සු මානුෂිකත්වය ඉහවහ ගිය,නිර්මාණයක දී මැවිය යුතු මිණිස්සු.යහපත්කමින් පුරවපු හොඳ මිණිස්සුවත් ,දුෂ්ඨකමින් පුරවපු නරක මිණිස්සුවත් නෙවි.පරණ මාදිලියෙදි චරිත එනකොටම දන්නව එයා කොයිවගේ ද කියල.නරඹන්නන්ට ඒක පුරුදු කරලම තිබුනා.
අපි”පාතර්පංචලී”යෙදි මිණිස්සු අඳුනාගන්නෙ ඊට එහා මිම්මකිං.ඒකෙ හිටියෙ ඇත්ත ලෝකෙ අපිත් එක්ක ජීවත් වුනු මිණිස්සු.චිත්‍රපටය බලද්දී මගේ හිත පිපිරුනේ ඒ හින්දා.ඒත් රායි නිකංම යථාර්ථයේ නැවතුනේ නෑ.චිත්‍රපටය ගීතවත් කලා.යථාර්ථය කාව්‍යාත්මක කලා.චිත්‍රපටය නිර්මාණය කල මිණිහා ගෙ සියුම් සංවේදනාවන් සමග අපි කරපු ගනුදෙනුව හින්ද චිත්‍රපටය හරහා මෙම ගීතවත් බව හා කාව්‍යාත්මක බව ගලාගෙන ආවා.මට මේ තත්වය ඉතාමත් වැදගත්.මොකද.....මීටපෙර කවදාවත් ඒ වගේ චිත්‍රපටයක් මං දැකල තිබුනෙ නෑ.රායි ශ්‍රව්‍ය පාවිච්චි කලේ නිකංම නිකං දෘශ්‍යයට අලවපු ලේබලයක් වගේ නෙවෙයි.එකිනෙක මනාව ගොතා වියන ලද විසිතුරු තිරයක් වගේ.ශ්‍රව්‍ය හා ද්‍රෘශ්‍ය අතර කිසිම අඩුවක් තිබුනෙ නෑ.එතකොට සංගීතය පාවිච්චි කල විදිය- ශබ්ද ප්‍රයෝග ..........කුරුල්ලන්ගේ සද්දෙ අපිට ඇහුනෙ මීට ඉස්සෙල්ල කවදාවත් ඇහුන විදියට නෙවෙයි.චෛතසිකභාවය පිළිබඳ වර්ණ හා අඳුර භාවිතය අලුත්ම සිනමා අත්දැකීමක් වුනා.චිත්‍රපටයේ කතාකල භාෂාව මට ප්‍රශ්නයක් උනේ නැහැ.රායි දක්ෂයෙක් උනු තවත් පැත්තක් ඒක.භාෂාව දැන නො ගැනීම ප්‍රශ්නයක් නෙවිය කියල අපිට මුල් වතාවට ප්රත්යක්ෂ උනා.භාෂාව දැනගෙන හිටියත් ඒ දැනුම උවමනා වුනේ චිත්‍රපටයේ අත්දැකීමේ ප්‍රමාණයට පමණයි.
කල්කටාවට ගිය ගමනෙදි දවස් හතරකට මම “පාතර්පංචලී”හයසැරයක් බැලුව.ඒ චිත්‍රපටය ඒ තරම්ම බලවත් විදියට මට වැදුනා.ඊට පස්සෙ මම රායි ගෙ චිත්‍රපටවල භක්තිවන්ත උපාසකයෙක් උනා.එයා හදපු හැම චිත්‍රපටයක්ම මම බැලුව එකපාරකට වැඩිය. තුන්හතරපාරක් බලන කොට ඒවයෙ අහුමුළු වැඩියෙන් අහුවෙනවා.හැමතිස්සෙම අලුත්.
මම ආපහු ආවා හයිද්‍රාබාදයට.ඉස්කෝලෙ ගියා.එහේ සිනමා සංගමයක් පටන්ගත්තා.අපේ සංගමයේ මුලින්ම පෙන්නුවේ”පාතර්පංච්ලී”.ඊට පස්සෙ “ජල්සගාර්” “අපරාජිතෝ””අපූර්සංසාර්”අන්තිම චිත්‍රපටය පෙන්නනකොට මම බොම්බායේ.එහෙත් සිනමා සංගම් දෙකක් තිබුන.රායි ගෙ ඊලඟ චිත්‍රපටය පෙන්නන කං අපි හිටියෙ හරිම නො ඉවසිල්ලෙන්.
1963 දි මාත් චිත්‍රපට හදන්න පටන්ගත්තා.දැන්වීම් චිත්‍රපට...ඉඳලහිටල වාර්තා චිත්‍රපට එහෙම.දැං ඉතිං මට රායි මුණගැහෙන්න ඕන වුනා.කල්කටාවට ගිය ගමනකදී රායි ගෙ මස්සිනා කෙනෙක් මට එයාව අඳුන්නල දුන්න.මට ඔහු හමූ උනේ”නායක්”චිත්‍රපටයේ අවසාණ ජවනිකාව රූපගතකරන දර්ශන තලේදිමයි. රායි මට ගෙදර යන්න කතා කලා.අපි එහේ පැයකීපයක් කතාකරමින් සිටියා.මට හිතුන ඔහු හුඟක් ප්‍රායෝගික, තීක්ෂණ සංවේදනාවන් සහිත කෙලින් කතාකරන මිණිහෙක් කියල.ඔහුගේ කතාව තේරුම්ගන්න පහසුයි. සරළ යි.සමහර වෙලාවට රායි ඒ තරං සෘජුව කතානොකරන අවස්ථා තිබුනා.සමහරවිට රායි මෝඩයින්ගෙන් බැටකාපු වෙලාවලුත් තියෙන්න ඇති. කීයක් ඔට්ටු ද?රායි ඒ වගේ වෙලාවට හොඳටම තරහෙන් ඉන්න ඇති.ඔහු චිත්‍රපට හදන්න පටන් ගත්තේ බෙංගාලෙ-බටහිර බෙංගාලෙ.අනෙක් පලාත්වල ජනතාව ඔහුගේ නම දැනගත්තට චිත්‍රපට නං දැක්කෙ නැහැ.ඒක හරිම අවාසනාවන්ත සිද්ධියක්.මේ හිඩැස පුරවන්න පසුකලෙක දූර්දර්ශන් සේවාව නිතර නිතර රායි ගෙ චිත්‍රපට විකාශය කලා.
රායි ගෙ චිත්‍රපට විශේෂයෙන්ම මගේ සිත්ගත්තෙ මොකද දන්නව ද?අනෙකුත් බොහෝ චිත්රපටකාරයින්ගෙ වගේ නෙවෙයි,චිත්‍රපටය හැදුනු කාලවකවානුවෙත් බොහෝ කල්ගිහිල්ලත් ඒ චිත්‍රපටවල රසය විඳගන්න පුලුවන් උනා.”චාරුලතා” අද බැලුවත් ඒ චිත්‍රපටය හදපු හැටගණන්වල දි වගේම අලුත්,කාලෝචිත චිත්‍රපට හැටියට සමහරු වර්ගකරන චිත්‍රපට අතරට රායි ගෙ බොහෝ චිත්‍රපට වැටෙන්නෙ නෑ.කාලෝචිත චිත්‍රපට වැඩිකාලයක් යන්න ඉස්සෙල්ල පරණ වෙනව.හරියට ඊයෙ පත්තරේ වගේ.මට හිතෙන්නෙ රායි හදපු “ප්රතිචන්දි’ හා “සීමාබද්ධ”ඒ වගේ .ඒත්”පාතර්පංචලී”,”අපරාජිතෝ”,”අපූර්සංසාර්” “චාරුලතා”,’ජල්සඝාර්”කාලය දේශය ඉක්මවපු චිත්‍රපට. බොහොමයක් චිත්රපටකරුවන්ගෙන් රායි වෙන්කරල හඳුනාගන්න පුලුවන් විශේෂ කාරනා දෙකක් තියෙනව. එකක් තමයි ඔහුගේ මානවදයාව.නිර්මාණ ජීවිතයේ මුල් අවුරුදු 25 තුලම ඔහු විනිශ්චයක් දෙන්නෙ නැහැ. සුචරිතවාදී වෙන්නෙ නැහැ.යමක් පිළිබඳ විවේචනයක් කලා නම් එය සරදම මුල්කරගත් සදය සිණාවක් පමණයි.ඒ තමා ඔහුගේ වැදගත්ම ගුණාංගය.ඔහුගේ චිත්‍රපටවල සදාකාලික ගුණයට අනුග්‍රහය දැක්වුවෙත් එයමයි.
අනෙක තමයි රායි පක්ෂයක හෝ දෘෂ්ටිවාදයක ප්‍රචාරකයෙක් නො වෙයි.කඩඉමේ සමාජවාදී පැත්තෙන් නැවතිලා ඉන්න කෙනෙක් විදියට ඔහු ගැන විග්රහකර තිබුනත් රායි කිසිම බලකඳවුරක අවශ්‍යතාවයකට තම දක්ෂකම් පාවාදුන්නේ නැහැ.එහෙත් බෙංගාලියෙක්වන රිට්වික් ඝටක් නම් චිත්රපටකරුවා “බෙදාවෙන්කිරීමේ”ප්‍රශ්න ගැන තමන්ගේ චිත්‍රපටවලින් කතාකලා.ඝඨක් හා ඔහුගේ පවුලේ සාමාජිකයන් හා ඔහුවටා සිටි ජනතාව රට බෙදීමේ ප්රශ්නයේ අතිවේදනාත්මක ජවනිකාවලට මුහුණ දුන් අය නිසා එහෙම වෙන්නැති.
රායිට නම් එහෙම වුනේ නැහැ.චිරප්රසිදධ බෙංගාලි සාගතය ගැන රායි “අසානි සංකට්”නම් අනුවේදනීය චිත්‍රපටය නිර්මාණය කලා.සාගින්නෙන් පෙලෙන ගමේ පූජකයා ගේ බිරිඳ ලෙස රඟපෑ සුරූපී බබිතා නමැති නිළිය ගානට හැඩවැඩ කර ඇති ඇහිබැම සහිතව සිටියත් ජීවිතයේ අඳුරු අගාධයෙ හිරවූ,තමා වැටීසිටි අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩඑන්නට නො හැකි අසීරු තත්වයක සිටි ජනතාව පිළිබඳව හදසසල කරවන ජවනිකා පිරි චිත්‍රපටයක් විය.
මට පේන විදියට නං සත්‍යජිත් රායි තමයි බෙංගාල පුනරුදයෙ අවසාණ නියෝජනය.සැබැවින්ම ඔහු ඒ පුනරුදයෙ යුගපුරුෂයෙක්.ඔහු විවිධ ශිල්පයන්ට දස්කම් දැක්වූ සුධීමතෙක්.එක මිණිහෙක් තුල නිදන්ගතව තිබූ ලේඛකයෙක්,චිත්‍රශිල්පියෙක්,ග්රාෆිකසැලසුම්කරුවෙක්, මුද්රිතඅකුරුවිශාරදයෙක්,සංගීතවේදීයෙක්,සිනමාකරුවෙක් නිසා රායි අමතක නො වන විශිෂ්ඨ මිණිසෙක් වුනා.මෙම හැකියාවලින් කුමණ අංශයක් තෝරා ගත්තත් ඔහු විශිෂ්ඨයෙක්වීම නො වැලැක්විය හැකියි. සැබෑ සුධීමතෙක් කියන්නෙ අන්න ඒ වගේ කෙනෙකුට බෙංගාලිපුනරුදය ඉතාමත් සුවිශේෂී හා වරප්රසාදලත් පංතියට පමණක් සීමාවූවක් ලෙස පැවසීම සත්‍යයක් විය හැකි වුවත් එය ඒ තරං ගණන් ගත යුතු නෑ.මන්ද ? විද්‍යාව,සාහිත්‍යය හා ව්‍යාකරණය,සංගීතය මල්ඵල හටගත්තා.අද බෙංගාල තත්වය කොපමණ නරක්වුවත් හොඳවුවත් එය අර පුනරුදයෙ විශිෂ්ඨ ප්‍රතිඵලයක්.රායි සමගම එම ව්‍යාපාරය කෙලවරකට ඇවිත්.
බෙංගාලියෙක් හැටියට පමණක් හිතාගෙන ඔහුගැන කතාකිරීම ම්ට අමාරුයි.අනික් හැමෝම වගේ රායිත් ඉන්දීයන්කාරයෙක් ඊටත් වැඩිය ඔහු ලෝකපුරවැසියෙක්.ලෝකෙ කොයිමුල්ලක ඔහුගේ චිත්‍රපටයක් පෙන්නුවත් ඒ තුලින් හෙලිවන මානවදයාව සාධාරණයි.එහි ආමන්ත්‍රණය හා විෂය එතරම්ම විශ්ව්ව්යාප්තයි.
ඉන්දියානු චිත්‍රපටයේ දියුණුව සඳහා ඔහුගෙන් ලැබුනු අනුග්‍රහයට ප්රත්යක්ෂ සාධකයක් තමයි ඉන්දියානු චිත්‍රපට හා රූපවාහිනී ආයතනය.ඔහු නො ඉන්නට අපිට කවදාවත් ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරයක් ලැබෙන එකක් නෑ.ඉන්දියාවේ පවත්වන අන්තර්ජාතික චිත්‍රපට උළෙලවල් ගැන අපිට හිතන්නවත් ලැබෙන්නෙ නැහැ. ඔහු නො වන්නට ඉන්දියානු සිනමාව ඒ තරම් සීරියස් දෙයක් හැටියට ගණන් නො ගන්න තිබුනා.තමා අවට ඇති විෂයට බලපාන්න පුලුවන් රායි වගේ මිණිහෙක් නො හිටින්නට අපට කොහොම ලැබෙන්න ද ඒ වගේ පහසුකම් ?
මේ ටික නං මම කියන්නම් ඕන.මුල්ම වරට රායි ගෙ චිත්‍රපටවලට හුරුපුරුදු නො වූ කිසිවෙකුට චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ ශක්තිය නො ලැබෙන්න තිබුන. ඔහුගේ ශක්තිය තමයි අනාගතයේ බිහිවූ චිත්රපටකරුවන් පරම්පරාවකට මග පෙන්වීම.
බොහෝ කාලයක් යනකං රායි ගේ චිත්‍රපට කෙරෙහි වැඩිදෙනෙක්ගේ අවධානය යොමු නො වුනෙ ඔහුගේ චිත්‍රපටවල කතාකරන භාෂාව නොතේරීමයි.එහි ප්‍රතිඵලය වුනේ බෙංගාලයේ ජනතාවටත්,ඉංග්‍රිසියෙන් උප ශීර්ෂපාඨ කියවිය හැකී ඉන්දියානුවන්ටත් ඔහුගේ මුල්ම රසිකපිරිස සීමාවීම.ජාතික මට්ටමෙන් ඔහුගේ චිත්‍රපට රසවිඳීමට පුලුවන්කම ලැබුනේ රූපවාහිනිය ආපු නිසයි.රෝගීතත්වය නිසා කායිකව දුබලවූ,දිනකට වැඩකලහැකි සීමාව දොස්තරවරුන් පාලනය කරන, ගෘහස්ථ දර්ශනතලයන්ට පමණක් සීමාවූ චිත්‍රපට නිපදවන මිණිසෙකු ගේ නිර්මාණයන් බවට රායි ගේ අවසන් චිත්‍රපට තුන පත්වීම අවාසනාවක්.
එහෙත් “ආගන්තුක්” ඉතාමත් හොඳ චිත්‍රපටයක්.නමුත් “ඝනශතෘ” හා “ශාඛාප්රකාශක්” පිළිබඳව මට එලෙස කිව නො හැකියි.
රායි ගේ චිත්‍රපටවල තිබූ විශිෂ්ටතම ලක්ෂණය ඔහුවිසින් පාලනය කල අරපිරිමැස්මයි.නිෂ්පාදනය සඳහා ඔහු විසින් සකස්කරන ඇස්තමේන්තු සහ දළසේයාපට ප්‍රමාණය සැලසුම් කරනලද සීමාවෙන් ඔබ්බට යන්නෙම නෑ.තමා කරනදෙය හොඳින්ම දන්නා නිසා shot එකකට take දෙකතුනක් පමණයි ගන්නෙ. ඔහුගේ නලුනිළියන් හා කාර්මිකයන් ඔහුට අවශ්‍ය දෙය නියමාකාරයෙන් තේරුම්ගෙන තියෙනව.මෙම අත්දැකීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔහු නලුනිළියන් වෙනස්කලේ බොහොම හෙමින්.
සෞමිත්ර චැටර්ජි,මාධවී මුඛර්ජි එවැනි අයයි. “අපූර්සංසාර්” සඳහා ඔහු ශර්මිලා තාගෝර් තෝරාගන්නා විට ඇය ඉතාමත් යොවුන්,රංග තාක්ෂණයේ ආධුනිකයෙක්.එහෙත් ඇයගේ “තරු” දිවියේ හොඳම රඟපෑම උනේ”අපූර්සංසාර්”හි මටසිළුටු රංගනය.මට හොඳට මතකයි එහි තරුණයුවල ගේ මංගල රාත්‍රියෙන් පසු උදෑසණ දර්ශනය.එය ඒ තරම්ම සුන්දර යි.මට එය කවදාවත් අමතක වෙන්නෙ නෑ.
චැප්ලින් තමාගේ චිත්‍රපටකරනයේ දී චිත්‍රපටයේ හැම මුල්ලකම අධිපතිත්වය දැරුව.රායිත් ඒවගේ. “ෂට් රංජී කේ කිලාරි” හැදුවට පස්සෙ ඔහු හින්දිචිත්රපටයක් හැදුවෙ නැත්තෙ ඒ හින්ද.රායිට හින්දි භාෂාව තේරුනේ නැහැ.ඒ හින්ද චිත්‍රපටයත් හරියට කෙරුනෙ නෑ කොහොම උනත් රායි බහුශ්‍රැත සිනමාකරුවෙක් හැටියට නම්කරන්න මට බැහැ.සමහර වෙලාවට බහුශ්රැතයකුවෙන්න එක කලාරීතියක ඉඳල තවත් එකකට පිම්මක් පනින්න ඕන.ඔහුගේ විශිෂ්ඨ ශෛලිය නිසාම් ඔහු අනික් අයට වඩා ඉහළ තලයකට වැටෙනව. සිනමාශාලාවක් ළඟ නැවතිලා හඬපටයට විනාඩිකීපයක් කන්දීගෙන ඉඳල තීරණයකරත් රායි ගෙ චිත්‍රපටයක් තවත් කෙනෙකුගේ චිත්‍රපටයක් එක්ක පටලැවෙන්නෙ නෑ.මට තේරුනුලෙසට ඔහුගේ ෆැන්ටසි චිත්‍රපට විශේෂයෙන්ම රමණීය යි. “ගෝපිගයිනෙ බගාබයිනෙ” මම හරි කැමති යි. “සොනාර්කෙල්ල” හා “හිරක් රාජ්දේශ්” ප්‍රීතිය උපදවන චිත්‍රපට දෙකක්.
රායි ගෙ චිත්‍රපටවලින් මම වැඩියෙන්ම ආදරය කල චිත්‍රපටය මොකද්ද ?”චාරුලතා” හා “ඔපූ ත්‍රීත්වය” අතරින් තෝරාගැනීම හරිම අමාරුයි.අපර්නා සෙන් ගේ විශිෂ්ඨතම රඟපෑම් සහිත “තීන්කන්යා” තුන් ඈඳුත්තෙන් මුල් එකට හා අන්තිම එකට මම කැමතියි. ඔහුගේ චිත්‍රපට අතර මගේ කැමැත්තෙ ඉහළම තැනක තිබුනා “ආරණ්යදීන් රාත්‍රී” සහ “ප්‍රතිද්වන්දි”.ඒත් “ප්රතිද්වන්දී”යල් පැනල.තාගෝර් ගැන කල වාර්තා චිත්‍රපටය ඇරුනම අනික් වාර්තා චිත්‍රපටවලට මගේ කැමැත්තක් නෑ.
ඇයි”චාරුලතා” ඔයිතරං විශේෂ ?කතාවේ ඉන්න ගෑණි රායි වගේමයි.තමන්ටම විශේෂ වූ පුද්ගලයෙක්.එයා හැසිරීමෙන්ම එයාගෙ හැව අරිනවා.එහි ආරම්භක දර්ශනය මම මෙතෙක් දැකපු හොඳම දර්ශනයක්. හුදකලා වූ ගහැණියක්,කිසිම පිලිවෙලක් නැතුව තමන්ගේ ගෙයි සාලෙ පොත් අතරින් පොතක් තෝරාගන්න හදනව කියවන්න.ඒ එක්කම පාරෙ යන හඬකට හිත යොමුකරනවා.පොත තෝරන එක නවත්තල ඔපෙරාග්ලාස් එකකින් පාරදිහා බලාගෙන පහළවීදියෙ බකලගහමිං යන තරබාරු මිණිහෙක් දිහා බලමිං විනෝදවෙනව.
අරපරෙස්සම් විදියට අඩිකිහිපයක සේයාපටලවල මිනිත්තු කීපයක් තුල දිගෑරෙන එම ජවනිකාව වසනලද ගෙයක ජීවත්වෙන ඇය ගැන ලොකුකතාවක් කියනව.අරපිරිමැස්ම රායි ගේ පෞරුෂයේ එක ලකුණක්.කටවාචාලකමට ඔහුට ප්‍රසිද්ධියක් ලැබුනෙ නෑ.තෝරාගත් කිහිපදෙනෙක් එක්ක තමයි කතාබහක යෙදුනෙ.ආස්සරේ කලේ. තමාගේ පුරුෂ ධෛර්යය වඩාත් වැදගත් අත්දැකීම් සඳහා පාවිච්චි කිරීමට සංරක්ෂණය කරනබව ඔහු මට දැනෙන්න සැලැස්සුවා.ඔහු මට කිහිප වතාවක් මුණ ගැහිල තියෙනව.මම ඔහුගැන චිත්‍රපටයකුත් කරල තියෙනව එහිදී මට තේරුනා ආවේශවූ පරිත්‍යාගශීලි මනුස්සයෙක් ගෙ විවිධ පැතිකඩවල්.මට වතාවක් හමූඋනා ඉතාමත් දක්ෂ හොලිවුඩ් කැමරාකරුවෙක්. Neator Almendros ඔහුගේ නම.ෆ්රන්සුවා ටෘෆෝ ගෙ චිත්‍රපට කිහීපයකම කැමරාව මෙහෙයවලා තියෙනව.අරපිරිමැස්මෙන් වැඩකිරීම ඔහුගේ පුරුද්දක්. මම එයාගෙන් ඇහුව මේ විදියට වැඩකරන්න ඉගෙනගත්තෙ කොහෙන්ද කියල.මිනිහා කිවුව එයා ප්‍රංශ චිත්‍රපට ආයතනයේ ඉගෙනගත්ත....හැබැයි නියම අධ්‍යාපනය ලැබුවෙ”චාරුලතා” බැලුවට පස්සෙ කියල. රායිගෙන් සිනමාවට ලැබුනු උණුහුම අන්න ඒ වගෙයි. ඔහුගේ චිත්‍රපට පෙන්නුවේ වෙළෙඳාම මුල්කරගෙන නෙවි.ඔහුගේ සුධිමත් ශක්තිය ගැන අපේකාලෙ හිටිය-ඉන්න විශිෂ්ඨ චිත්‍රපටකාරයො ප්රශංසාත්මකව කතාකරල තියෙනව.ඒ අයගෙන් බොහෝදෙනෙක් දිනාගත්තට වැඩිය සම්මාන රායි දිනාගෙන තියෙනව.
Shyam Benegal ලියූ ලිපියක් සිංහලෙන් සකස්කලේ
W,Jayasiri