කොරෝනා අන්ධකාරය ටිකින් ටික අඩුවෙලා යන්න පටන් අරන්. කොළඹ ගම්පහ අරුණු විට අනෙකුත් සෑම නගරයකම ඇඳිරි නීතිය දිවා කාලයේ ඉවත් කරලා. කොළඹ, ගම්පහත් ඇඳිරි නීතිය කිවුවට ඒකත් නිකන් නමට ඇඳිරි නීතියක් පමණයි. පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නැති එක, රෙස්ටුරන්ට්ස්, සිනමා සහ රංග ශාලා, ලොකු ෂොපින් මෝල් ඇරලා නැති එක හැරුනාම අනෙක් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වෙමින් පවතිනවා.
මේ සටහන ලියන අද දුර පළාත් වල වයින් ස්ටෝර්ස් ඇරලා. කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වල සුපර් මාර්කට් වල මධ්‍යසාර විකුනන්න අවසර ලැබිලා. ඊයේ පෙරේදා සුපර් මාර්කට් ඉදිරිපිට දකින්නට නොලැබුණු පිරිසක් ඒවා ඉදිරිපිට පෝලිම් ගැහිලා ඉන්නේ, මේ අත්‍යවශ්‍ය භාණ්ඩය මිලදී ගන්න.
ඒ අත්‍යවශ්‍ය භාණ්ඩය අධිපරිභෝජනය කරලා පාරේ වැටිලා ඉන්න මනුස්සයෙකුගේ විෂුවල් එකක්, ඒ මනුස්සයාගේ මූන වහන්නෙවත් නැතුව හිරු නිවුස් වල පෙන්නුවා. එය රූප ගත කල හිරු වීඩියෝ වාර්තා කරු ගේ ඇසට නොපෙනුණු, කනට නොඇසුණු කතාවක් ඒ වැටී සිටින මිනිසා ගේ දිරා ගිය සිරුර මට කිවුවා.
ඒ කතාවයි මේ.
ධර්මේ හැමදාම බීගෙන ඇවිත් රෑට නන්දා ට තඩි බානවා. නන්දා කියන්නේ තමන්ගේ බිරිඳ. ධර්මේට ම දාව උපන් දරුවන් තුන්දෙනෙකුගේ අම්මා. මේ පහර දීම ඉවරවෙලා ධර්මේ ඇඳට වැටෙන්නේ ඇඳගන ආව ඇඳුම් පිටින්මයි. ඒ ඇඳුම් ගලවලා ධර්මේ ගේ ඇඟට සරමක් දාලා ඔහුට සුව නින්දකට ඉඩ සලසන්නෙත් හොඳට ගුටි කාලා ඉන්න නන්දාමයි. ඒ රාත්‍රිය එහෙමම ගෙවිලා යනවා. අලුත් දවසකට ඉර පායනවා. වැඩට යන්න ලෑස්ති වෙලා ධර්මේ එලියට බහිනවා. ධර්මේ දකිනවා ගේ ඉස්සරහා මිදුලේ කොනේ තියෙන ලිඳේ නන්දා රෙදි හෝදනවා. ඒ රෙදි අතර තමන්ගේ ඇඳුම්, පොඩි එවුන් ගේ චූ රෙදි, ඒ ගෙදරම ඉන්න ධර්මේ ගේ වයසක අම්මා ගේ කැත කුණු රෙදිත් තියෙනවා. කලින් දා රෑ පහරදීමේ දී තුවාල වුනු නන්දා ගේ යටි තොලේ තාම නොවියලුනු ලේ බිංදු.
ධර්මේ නන්දා වෙතට හෙමින් ඇදෙනවා. කලින්දා රෑ වෙච්ච දේ ගැන ධර්මේ ලැජ්ජයි. වරදකාරී හැඟීමකින් ඔහුගේ සිත පෙලනවා. නන්දා ලඟට ගිහින් නවතිනවා. ඇය තමන් දෙස බලයි කියලා හිතනවා. ඒත් නන්දා ගණන් ගන්නේ නැහැ. ඇය දන්නවා ඔහු කියන්න හදන්නේ මොකක් ද කියලා.
‘ඊයේ රෑ වෙච්ච දේවල් ගණන් ගන්න එපා. මට සමා වෙන්න.’.
නන්දා ට ඒ වචන ටික කට පාඩම්. ඒක අහලා තමයි නන්දා ගේ දවස පටන් ගන්නේ. ඒත් එහෙම පටන් ගන්න දවස ගෙවෙන්නෙත් පරණ පුරුදු විදියට මයි. ඉවර වෙන්නෙත් ඒ විදියට මයි.
මාසෙකට සැරයක් පඩි දා උදේට සංවාදය ටිකක් වෙනස් වෙනවා. එදා ට ධර්මේ මෙහෙම කියනවා.
“ අද පඩි දවස. හවසට අපි ෆිල්ම් එකක් බලන්න යමු. අලුත් ෆිල්ම් එකක් ඇවිත්. කවුරුත් කියනවා හොඳයි කියලා. මම ටිකක් වේලාසනින් එන්නම්. ඔයා ඇඳගන ඉන්න. ළමයි ටිකත් ලෑස්ති කරගන්න. අපි ඔක්කොම යමු. රෑට කොහෙන් හරි කාල ම එමු. “
එහෙම කියපු දවස් ගෙවුනේ හැමදාම ගෙවෙනවට වඩා ටිකක් වෙනස් විදියකට. ඒත් ෆිල්ම් එකක් බලන්න යන ගමන යැවෙන්නේ නැහැ. පඩි ගත්ත ගමන් ණය තුරුස් ටික, මාසික බිල් ටික ගෙවලා ඉවර වුනාම අතේ ඉතුරුවෙන ගානක් නැහැ, පවුල පිටින් ගිහින් ෆිල්ම් බලන්න. රෑට පවුල පිටින් ගිහින් රෙස්ටුරන්ට් එකකින් කාලා එන්න. මැරෙනවා වෙනුවට කරන්න තියෙන්නේ එක දෙයයි. තමන් වගේම යාලුවෝ ටිකක් එක්ක ගිහින් හැම දෙයක්ම අමතක වෙන්න බොන එක. මානසික පීඩාවයි, තම ආදරණීයයන් ගේ සතුට වෙනුවෙන් මොකුත් කරන්න බැරි වෙන වේදනාවයි සෝඩා නැතිවම උගුර පහලට බහින මධු විතේ දියවෙලා යනවා. එදාට ධර්මේ ගෙදර එන්නේ යාලුවන්ගේ කරපිටින්. නන්දාගේ ගේ නෝක්කාඩු අහන්න වෙන්නේ නැහැ. ගෙදර එනකොටත් නින්ද ගිහිං.
එක දවසක් පඩි දවසේ උදේ ධර්මේ ගෙදරින් පිට වුනෙත් වෙනදා වගේම නන්දාට දහසක් පොරොන්දු දීලා. නන්දා ඒ පොරොන්දු ගණන්ගත්තෙ නැති වුණත්, අද වෙනස් දවසක් වෙන්න පුළුවන් කියලා හීනි බලාපොරොත්තුවක් ඇගේ හිතේ ඉතිරි වෙනවා. ඇය හවස් වෙනකල් පැය, විනාඩි, තත්පර ගැන ගැන ඉන්නවා. ඉර පුරුදු ගමන ගිහින්, වෙහෙසකර නින්දකට ඇදෙනවා. ඒත් වේලාසනින් එනවා කිවූ ධර්මේ නැහැ.
රාත්‍රිය මැද්දට වෙන්න, ධර්මේ ගෙදර එනවා. වෙනදා වගේම යාළුවන් ගේ කරපිටින්. වෙන පඩි දවස් වල වගේම නිදාගන. ඒත් ධර්මේ ඒ පාර නිදාගන තියෙන්නේ ආයේ නැගිටින්න නෙවෙයි.
එදා පඩි ගත්ත ගමන් ණය ට ගත්ත හැම සතයක්ම බේරුවට පස්සේ, ඉතුරු වුනු සොච්චමත් අරන් ධර්මේ ෆැක්ටෙරියේ වතුර ටැංකියට නැගලා. වතුර ටැංකිය උඩ ඉඳන්, තමන්ගේ මාසේ පඩියෙන් ඉතුරු වුනු සොච්චමෙන් මාසයක් ජීවත් වෙන හැටියි, පොඩි උන් ගේ ඉස්කෝලේ වුවමනාවල් පිරිමහන හැටියි, ගෑනියි ළමයිනුයි ෆිල්ම් එකකට එක්ක යන හැටියි කියල දෙන්න කියලා පහල තුෂ්නිම්භූත වෙලා තමන් දිහා බලා ඉන්න අයට අභියෝග කරලා. වරුවක් විතර කෑ ගහ ගහ ඉඳලා ටැංකියෙන් පහලට පැනලා. පැනලා ද වැටිලද කියලා දන්නේ නැහැ. මොක වුනත් ප්‍රතිඵලය එකයි. ධර්මේ මැරිලා.
ඒ තමයි බේබදු ධර්මේ ගේ කතාව. මේක ටිකක් පරණ කතාවක්. චන්ද කින්නරී ෆිල්ම් එකේ කතාව. හේමසිරි ලියනගේ ධර්මේ ලෙසත්, ස්වර්ණා මල්ලවාරච්චි නන්දා ලෙසත් රංග පෑවා.
හිරු එකේ පෙන්නපු පාරේ වැටිලා ඉන්න මනුස්සයා ගේ ජීවිතේ ගෙවෙන්නේත් ධර්මේ ගේ ජීවිතේ වගේ වෙන්න බැරි ද? මාස එක හමාරකට ආසන්න කාලයක්, ආදායමක් එන වැඩක් කරගන්න බැරිව ගෙවිලා, යන්තම් එහෙන් මෙහෙන් ගැට ගහ ගත්ත ජීවිතේ ආයේ පටන් ගත්තහම, පරණ පුරුදු ප්‍රශ්න ටික ඩබල් ට්‍රිබල් වෙලා ඔලුව උඩට කඩන් වැටුනම, වතුර ටැංකියක් උඩට නගින වා වෙනුවට ගල් කාලක් ගහන්න තීරණය කළා වෙන්න බැරි ද ? සමහර විට මාසයක් තිස්සේ යන්තම් කාලා ගැට ගහ ගත්ත සිරුරේ බඩගින්නට වේලිලා තිබුණු ලේ නහර වලට මේ සංග්‍රහය දරා ගන්න බැරි වුනා වෙන්න බැරි ද? ඒ නිසාම ඇදවැටුනා වෙන්න බැරිද? එහෙම හිතන්නට මේ මාධ්‍ය වේදියා ට පුරුදු කරලා නැහැ.
ඒත් හිරු මාධ්‍ය වේදියාට මේ වැටිලා ඉන්නේ මනුස්සයෙකු නෙවෙයි. ආත්මය ඉවත් කරන ලද ශරීරයක්. සාරය ඉවත් කරන ලද රොඩ්ඩක්. ඔහුට පුරුදු කරලා තියෙන්නේ මිනිස් ශරීරයක් තුලින් ‘සල්ලි’ දකින්න ට පමණයි. මාධ්‍ය වේදියා අවබෝධ කර නොගන්නා සත්‍යය නම්, වැටී සිටින පුද්ගලයා රූගත කර ඔහු ගේ මුහුණවත් ආවරණය නොකර මාධ්‍යයට මුදා හරින තමා ද ‘ජනමාධ්‍ය සාරධර්ම’ නම් සාරය ඉවත් කරන ලද රොඩ්ඩක් පමණක් බවයි.
මනුෂ්‍ය සාරය ඉවත් කල සිරුරු වලින් සමන්විත සමාජයක් කියන්නේ එක්තරා විදියකට සොම්බි ( zombie) සමාජයක්. ඇතැම් හොරර් සිනමා පටවල බහුල වශයෙන් හමුවන සොම්බීන් කියන්නේ, මල සිරුරක් නැවත සජීවීකරණය ( reanimating) කිරීමෙන් නිර්මාණය කරගන්නා මනඃකල්පිත නොමැරුණු ජීව විශේෂයකට. ඒ සොම්බි සමාජයේ අපට විටෙක ‘රණ විරුවන්’ ලෙස හමුවන අයම දුටු තැන රපොර්තු කල යුතු ‘භයංකර කොරෝනා කාරයින්’ ලෙස ද හමු වන්නට පුළුවන්.
වැටී සිටින පුද්ගලයාගේ මුහුණවත් ආවරණය නොකොට සදාචාර සම්පන්න සැදැහැවත් හිරු ප්රවෘත්ති නරඹන්නන්ට බලන්නට ඉඩ හරින්නේ මේ බේබද්දා පදිංචි ප්‍රදේශය ද හෙළිදරවු කරමින්. මේ පාරේ වැටී ඉන්න ‘ධර්මේ’ ගේ දරුවන් පාසල් යන්නේ නම් ඔවුන්ගේ ගේ ගුරුවරුන් ද, බිරිඳ රස්සාවක් කරනවා නම් ඇගේ වැඩ බිමේ මිතුරන් ද, යෙහෙලියන් සහ අසල් වැසියන් ද, හිරු ප්‍රේක්ෂකයින් වන්නට පුළුවන්. බිවුවේ ධර්මේ ය. වෙරි වී පාරේ වැටුනේ ඔහුය. එහෙත් ආත්ම ගෞරවය වැනසෙන්නේ, ඒ දරුවන් ගේ ය. බිරිඳ ගේ ය. ඒ ගැන කාටවත් වගේ වගක් නැත. ජනමාධ්‍ය කියා යමක් දැන් නැත. ඇත්තේ ජඩ මාධ්‍ය ය.
අශෝක හඳගම-(Face Book පිටුවෙන් උපුටාගන්නා ලදී)
( අනිද්දා (Anidda.lk ) පුවත් පතට ලියු වෘත්තය 50 කොලම. )