රාජ් කපූර් හින්දි සිනමාවේ අසහාය චරිතයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඉන්දීය සිනමාවේ ”රංගන ශිල්පියා” ”ද ෂෝමන්” වශයෙන් විරුදාවලි ලත් මොහු ජනප්‍රිය හින්දි සිනමා නළුවෙකු, චිත්‍රපට නිෂ්පාදකවරයකු හා අධ්යක්ෂවරයකුද වෙයි.
රාජ් කපූර් ෆිල්ම් ෆෙයාර් සම්මාන 9 කින් පිදුම් ලබා ඇති අතර 19 වතාවක් සම්මානයන් සඳහා ඔහුගේ නම නිර්දේශ වී තිබේ. ඔහු රඟපෑමට පිවිසියේ අවුරුදු 10දීය. රාජ් කපූර් ගේ සිනමා ජීවිතය ගැන කතා කරන විට නාර්ගීස් ගැන කතා නොකරම බැරිය.
ඔවුන් දෙදෙනා අතර පැවතියේ සුවිශේෂී සම්බන්ධයකි. වරෙක රාජ් කපූර් පවසා තිබුණේ තමන්ගේ බිරිඳ සිය දරුවන්ගේ මව වුවත් සිනමාපටවල මව වන්නේ නාර්ගීස් බවයි. මේ දෙදෙනා එක්ව මුලින්ම චිත්‍රපටයක රඟපෑවේ 1948 දීය. ඒ ආග් චිත්‍රපටයේය. මොවුන් මුලින්ම හමුවී ඇත්තේ 1945දීය. එවිටත් නාර්ගීස් ප්‍රකට නිළියක් වූ අතර ඇගේ වයස 20 කි. රාජ් ඇයට වඩා වසර දෙකක් වැඩිමහලූය.
1948 න් පසුව නාර්ගිස් සිය ජීවිතයම රාජ් වෙනුවෙන් කැප කළාය. හදවත ආත්මය මෙන්ම සිය මුදල් පවා රාජ්ගේ නිර්මාණවලට ලබා දීමට නොමසුරු විය. රාජ් කපූර් ද නාර්ගීස්ට බෙහෙවින් ආදරය කළ අතර මේ වන විට ඔහු දරුවන් ඇති විවාහකයකු වුවත් බොහෝ අවස්ථාවල ප්‍රකාශ කළේ තමන් නාර්ගීස් විවාහ කරගැනීමට සූදානම් බවයි. ඇත්තෙන්ම නාර්ගීස් රාජ්ට පේ‍්‍රම කළේ උමතුවෙන් මෙනි. ඒ නිසා සිනමා ක්ෂේත්රයේ තුළ නාර්ගීස්ට ”මිසිස් රාජ් කපූර්” නාමය පටබැඳුණි.
මේ සම්බන්ධයට වසර 9 ක් ගතවන විට නාර්ගිස්ගේ සිතේ යම් කලකිරීමක් ඇති විය. විශේෂයෙන්ම රාජ් තමා මගහැරීමට උත්සාහ කරන බවක් ඇයට හැඟී ගියේය. තමා තනිවී ඇති බවත් රාජ්ගේ සිනමා පටවල තමන්ට ලැබෙන චරිතවලින් ද සාධාරණය ඉටු නොවන බව ඇය අවබෝධ කර ගත්තාය. මේ නිසාම ඇය 1957 දී රාජ් කපූර්ට නොදන්වා මදර් ඉන්දියා චිත්‍රපටයේ රඟපෑමට ගිවිසුම් අත්සන් කළාය. මේ රාජ් කපූර්ට දැරිය නොහැක්කක් විය. මදර් ඉන්දියා චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර එම දර්ශන තලයේ ගින්නක් හටගත් අතර ඒ ගින්නට බිලිවීමෙන් නාර්ගීස් ගැලවුණේ සුනිල් දත් නිසාය.
සුනිල් දත් මේ චිත්‍රපටයේ නාර්ගීස් සමග එක්ව රඟපෑවේය. නාර්ගීස් බේරාගැනීමට කටයුතු කිරීමේදී සුනිල් පිළිස්සුම් තුවාලවලට ලක්වීම නිසා රෝහල් ගත කිරීමටත් සිදුවිය. මේ සිද්ධියෙන් පසුව දෙදෙනා අතර පේ‍්‍රම සම්බන්ධයක් හට ගැනිණි. නාර්ගීස් - සුනිල් යුවල 1958 දී විවාහ වූ අතර මෙය රාජ් කපූර්ට බලවත් චිත්ත පීඩාවක් ඇති කළ පුවතක් විය. රාජ් කපූර්ගේ චිත්ත පීඩාව ඔහුගේ බිරියටත් රහසක් නොවීය. ඇය ක්‍රිෂ්ණා කපූර් ය. ඇය මෙසේ පවසා තිබුණාය.
”නාර්ගීස්ගේ විවාහයෙන් පස්සේ රාජ් හැමදාම බීලා ඇවිත් නාන කාමරේ ටබ් එකේ වැටිලා අඬන එකමයි කළේ.” රාජ් සැමවිටම ප්‍රකාශ කළේ නාර්ගීස් තමාට විශාල ආත්ම වංචාවක් සිදු කළ බවයි.
1986 දී පැවැත්වූ සම්මුඛ සාකච්ඡුාවකදී රාජ් ප්‍රකාශ කර තිබුණේ නාර්ගීස්, 'මදර් ඉන්දියා' චිත්‍රපටයේ රඟපෑමට ගිවිසුම් අත්සන් කිරීම තමාට එරෙහිව සිදු කළ බලවත්ම වංචාව බවත් ඒ නිසා ඇයට කිසි දිනක සමාව නොදෙන බවත්ය.
නාර්ගීස්ගේ අවසන් කටයුතු දිනයේද රාජ් කපුර් පිටස්තර පුද්ගලයින් සමග ඈතට වී සිටි අතර ඇගේ දේහය අසලටවත් පැමිණියේ නැත. පවුලේ පිරිස ඔහුට දේහය අසලට එන ලෙස කීවද ඔහු එය ප්‍රතික්ෂේප කළේය. අග්න්‍යාශයේ පිළිකාවක් හේතුවෙන් නාර්ගිස් මරණයට පත්වූයේ 1981 දීය. ඒ වන විට ඇගේ පුතා එනම් සන්ජේ දත් සිය පළමු සිනමාපටය වෙනුවෙන් රූගත කිරීම්වලට සහභාගිවෙමින් සිටියේය. රොකි නම් එම චිත්‍රපටය 1982 දී තිරගත විය.
රාජ් මරණයට පත්වන්නේ 1988දීය. දශක හතරකට අධික කාලයක් හින්දි සිනමාවට චිත්‍රපට නිෂ්පාදනය, අධ්‍යක්ෂණයෙන් හා රඟපෑමෙන් දායකත්වය සැපයූ රාජ් 1988 වසරේ ජුලි 2 වැනිදා හිටපු ඉන්දීය ජනාධිපති ආර්. වෙන්කට්රාමන් අතින් ඩඩා සහෙබ් පල්කේ නමැති උසස් සම්මානය පිළිගැනීම සඳහා වේදිකාවට ගමන් කරමින් සිටියදී හුස්ම ගැනීමට අපහසුව බිම ඇදවැටීමෙන් රෝහල් ගත කෙරිණි. දිල්ලියේ ඕල් ඉන්ඩියා ඉන්ස්ටිටියුට් මෙඩිකල් සයන්ස් රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණු රාජ්ව බේරා ගැනීමට ඉන්දියාවේ සිටි දක්ෂතම හෘද රෝග විශේෂඥයින් උත්සාහ දැරුව ද එම සියලූ උත්සාහයන් ව්‍යර්ථ කරලමින් ඔහු එදිනම මිය ගියේය. රාජ් කලක සිටම ඇඳුම රෝගයෙන් පීඩා විඳ තිබුණු අතර ඔහු මිය ගොස් ඇත්තේද එම රෝගයෙහි සංකූලතාවන් හේතුවෙනි. මියයන විට ඔහු 63 වැනි වියේ පසුවිය. ෆාතිමා රෂිඞ් හෙවත් නාර්ගීස් දත් මියයන විට 51 වැනි වියේ පසු විය.
දිවයින පුවත්පතෙන් උපුටාගන්නා ලදී
චතුර පමුණුව