සිංහලයා තිරිසනකු ගෙන් පැවත එන බව සහ සිංහබාහුගේ පියා තිරිසන් සිංහයකු බව කියන බරපතල ප්‍රශ්නයට සිනමා පිළිතුරක් ප්‍රතිනිර්මාණය කිරීමේ ප්රයත්නය
ශ්‍රී ලංකාවේ ඉතිහාස චිත්‍රපටයේ ඉතිහාසය විමසද්දී සෝමරත්න දිසානායක විසින් ජැක්සන් ඇන්තනී සිංහයකුට වෙස් ගන්වා අරඹන ලද 'සිංහබාහු’ චිත්‍රපටය කිහිපාකාරයකින්ම සුවිශේෂී වෙයි. සිනමා මායා රූපය තුළ සිංහයකු වන්නට ගිය ජැක්සන් ඇන්තනීට සත්‍ය ලෝකයේදී අලියකු මුණගැසීමෙන් ඇති වූ හදිසි අනතුර අහඹු සිදුවීමක් ලෙස සළකා පසෙක තැබිම උචිතය.නමුත් ඔහු රගපාන්නට සැරසුණු සිංහයාගේ චරිතය නම් බරපතල අවස්ථාවකි.මෙම සටහන සමග අප අමුණන මෙම ග්‍රාපිත රූපය අපගේ මෙම විචාරයෙහි ව්‍යංගාර්ථවත් සමස්ථාර්ථය හකුළුවා පෙන්වයි.මෙම අසන්ධීය රූපයෙහි සිටිනුයේ ආචාර්ය සෝමරත්නගේ 'සිංහබාහු’ චිත්‍රපටයට වෙස්ගැන්වෙමින් සිටි සිංහයා සහ මහාචාර්ය සරච්චන්ද්‍රගේ 'සිංහබාහු’ නාටකයෙහි රගපාමින් සිටි සිංහයා යග සිංහයන් දෙදෙනාම මෙලෙස එකම රූපයක තබන විට අපට වැටෙහන්නේ ඉතිහාස මිත්‍යාව සහ ඉතිහාස චිත්‍රපටයේ ප්‍රබන්ධය යන දෙකොණ විලක්කුවේ දෙපසම දෙස සැබවින් බැලිය යුතු බවය.
ඉතිහාසය නමැති විෂය ඉතිහාසයේ පටන් ම සිනමාකරුවන්ට ද අයිති ක්ෂේත්රයක්ව පැවතිණි. ඉතිහාසය යනු ඉතිහාසඥයින් පමණක් නොව සිනමාකරුවන් වැනි විවිධ සමාජීය කණ්ඩායම් විසින් ද අයිති කරගනු ලැබ ඇත. එය ඉතිහාසය විවිධ දෘෂ්ටීන්ගෙන් නිර්මාණය වීමට හා ප්‍රතිඅර්ථකථනය වීමට බලපාන තත්ත්වයකි. සිනමාකරුවා ද ඉතිහාසයේ නිර්මාපකයකු මෙන්ම තීරකයකු ද වන්නේ එකී හිමිකම අනුවය.
ඉතිහාසඥයා සහ නිර්මාණකරුවා යන එකිනෙකට වෙනස් සමාජීය තීරකයින් විසින් 'ඉතිහාසය' සහ 'විවිධ ඉතිහාස' ස්වාභිමත පරිදි ප්රතිනිර්මාණයටත් ප්රතිඅර්ථකථනයටත් ලක්කොට ඇත. සිංහල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ පළමු සිංහලයා වන ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ සිට සිංහලයාගේ උපත පිළිබඳ පුරාවෘත්තයට මෙවෙලෙහි චිත්රපටමය අර්ථකථනයක් සොයන සෝමරත්න දිසානායක දක්වා වූ සියවසක් දිගු ලාංකික සිනමා ඉතිහාසයේ ඓතිහාසික සිනමාකරුවන් විසින් විවිධ ඉතිහාස අර්ථකථන සපයා ඇත.එකී අර්ථකථන සත්‍යයටත් වඩා එහි ප්‍රබන්ධ දාර්ශනික ස්වරූපයකට අදාළ වියග එබැවින් ඉතිහාසඥයාගේත් සිනමාකරුවාගේත් ඉතිහාස ඇසුර එකිනෙක සැසඳුණේවත් සබැඳුණේවත් නැත.
ඓතිහාසික පුවතක් රැගත් පළමු චිත්‍රපටය වන 'අශෝකමාලා' (1947)සිට 'සිංහබාහු' නමැති මේ අවසන් චිත්‍රපටය දක්වා වූ ඉතිහාස චිත්‍රපට සියල්ලම මුහුණ දුන් උභතෝකෝටික අර්බුදයක් වෙයි. එනම් සිනමාකරුවා හෙවත් කවියා තම කාර්යය තුළ පරිකල්පනීය දාර්ශනිකයෙක් වෙනවාද, එසේත් නැතිනම් වාර්තාකාරී ඉතිහාසඥයෙකු වෙනවාද යන ගැටලුවයි. මේ දෙදෙනාම ඉතිහාස විෂය තුළ ඇසුරු කළ යුතු වූ පොදු භාවිතය වනුයේ සත්‍යය යි. එම සත්‍යය තුළ ද 'සිදු වූ දෑ' සහ 'සිදු විය හැකි දෑ' යනුවෙන් කොටසක් දෙකකි. එනම්'ඉතිහාසය' සහ 'ප්‍රබන්ධය' යනුවෙනි. නිර්මාණකරුවා දාර්ශනිකයකු වන්නේ සිදුවූ දෑ පුනරුච්චාරණය කිරීමෙන් නොව සිදු විය හැකි දෑ අනුමාන කිරීමෙනි.එය හැඳින්වෙන්නේ 'සාර්වත්රික සත්‍යය' ප්‍රකාශ කිරීමක් වශයෙනි. එය ඉතිහාසය නමැති නියත සත්‍යය, එනම් සිදු වූ දෑ ප්‍රකාශ කිරීමටත් වඩා අභියෝගාත්මක වගකීමකි. මන්ද යත් දාර්ශනිකයා (කවියා) සිදු විය හැකි දෑ ප්‍රකාශ කළ යුත්තේ ද සිදු වූ සත්‍යය මත සිටිමිනි. සිදු වූ දෑ ද සත්‍යය මැයි කාට නම් කිව හැකිද? නිර්මාණකරුවා එවිට ප්‍රබන්ධ කරන්නේ වුවද ප්‍රබන්ධයක් මත සිටිමිනි. මෙම සාර්වත්රික සත්‍යය (universal truth) පිළිබඳ කෙටි හැඳින්වීමක් ඒ.වී. සුරවීරගේ'සාහිත්‍ය විචාර ප්‍රදීපිකා'නමැති විචාර වචන කෝෂයෙහි වේ. (1991, ප්‍රදීප ප්‍රකාශකයෝ, පිටුව 148)
1940 දශකයේදී සාලිය අශෝකමාලා ඉතිහාස කතාව චිත්‍රපට ගත කරන ශාන්ති කුමාර්ගේ සිට 2020 දශකයේදී සිංහලයාගේ උප්පත්ති කතාව චිත්‍රපට ගත කරන සෝමරත්න දිසානායක දක්වා වූ මෙරට ඉතිහාස පුරාවෘත්ත චිත්‍රපට බවට ප්‍රතිනිර්මාණය කළ චිත්රපටකරුවන් රැසකි. ඒ සියල්ලෝම අතින් සිදුවූ පොදු කාර්යයක් වේ. එනම් ඉතිහාසය යනු මතභෝදාත්මක විෂයයක් බව දැන දැනම එය නැවත නැවතත් මඩේ දමා සේදීමයි. මෙරට තැනුණු ඉතිහාස පුරාවෘත්ත කේන්ද්‍රකොට ගත් චිත්‍රපට වලින් සිදුව ඇත්තේ ඉතිහාසය පිළිබඳ ගැටලුකාරී මතභේදාත්මක කතිකා යළි යළි උලුප්පමින් සිය අභිමතාර්ථ ඉටු කර ගැනීමෙහිලා භාවිතයට ගැනීමයි.
සිනමාකරුවා, එනම් ප්රබන්ධකරුවා (කවියා සහ දාර්ශනික ප්‍රකාශකයා) ශාස්ත්රාලීය ඉතිහාසඥයකු නොවේ. ඔහු ශාස්ත්‍රීය ශික්ෂණයකින් කටයුතු නොකරයි. එසේ කළ යුතුද නැත. ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රකාශන අවසර පත්‍රය සිනමාකරුවා සතුයග නමුත් ගැටලුව වන්නේ 'සිංහබාහු' කතාව චිත්‍රපටගත කරන සෝමරත්න දිසානායකත්, ඊට පෙර 'සිංහබාහු' නමින්ම චිත්‍රපටයක් (1980 දී)ප්‍රතිනිර්මාණය කළ පතිරාජ එල්.එස් දයානන්ද දුටුගැමුණු රජුගේ පුත්, සාලිය කුමරා රොඩී තරුණියකට පෙම්බඳින ඉතිහාස පුවත චිත්‍රපට ගත කරන ශාන්ති කුමාර් සෙනෙවිරත්නත්, ඒ අතරතුර එවැනි ඉතිහාස කතා චිත්‍රපට කතා බවට පෙරළන සිනමාකරුවනුත් යෙදූ උපාය භාවිතයක් වෙයි. එම උපක්‍රමය වනාහී ඉතිහාසය නමැති නියත සිද්ධි දාමයෙන් සිනමාව නමැති ප්‍රබන්ධකරණ පුනරූපන කලාවට උරුම වන එක්තරා වරප්රසාදයකි. එනම් එකී ප්‍රබන්ධ කිරීම සඳහා යෝජිත සැක මුසු සත්‍යයම පාදක කර ගැනීමයි.
මෙම මවාපෑම සඳහා අතීතයේ සිදුවූවායැයි අප විශ්වාස කළ යුතු ඉතිහාස පුවත් නිදහසේ භාවිතයට ගැනීමට නිර්මාණකරුවාට අවසර ඇත. එම ,ඉතිහාස අවුල්, ලිහා ගැනීම සඳහා එකී ඉතිහාසයේ උරුමකරුවන් වන ජනතාව පොළඹවාලීම යනු එම ජනතාව ප්‍රේක්ෂකයින් බවට පෙරළා සිනමාශාලා වෙත යොමු කරවීමයි. සිනමාශාලාව ගැටලු නිරාකරණය මධ්‍යස්ථානයකි. එම ගැටලු යනු ඉතිහාස ගැටලු ද, පුද්ගලික ගැටලු ද, වෙනත් ගැටලු ද යනුවෙන් විවිධාකාර විය හැක. 'අබා' චිත්‍රපටයෙන් එහි නිර්මාතෘ ජැක්සන් ඇන්තනී ද වරක් එබඳු ඉතිහාස ගැටලුවක් යළි පාදා මතු කොට ජනතා ජනතා වේදිකාව මත තැබීය. ජනතාව වැල නොකැඩී පඬු අබාගේ ලේ ධාතුව සෙවීම සඳහා සිනමාහල් කරා එක්රොක් වූහ. තිරිසන් සතකු හා මිනිස් දුවක ගේ එක්වීමෙන් උපදින දුවක හා පුතකු සහවාස වීමෙන් සිංහලයාගේ උපත සිදුවූ බවට ඇති ඉතිහාස මිත්‍යා පුවත ද ඊටත් වඩා ආකර්ශනීය ගැටලුවකි. මිල අධික කැළඹීමකි. උණුසුම් පුවතකි.
සුප්පාදේවී සහ සිංහයාගේ එක්වීමත්, සිය දරුවන් වූ සිංහබාහු සහ සිංහ සීවලීගේ එක්වීමත්, එම සංවාසයෙන් උපදින විජය කුමරු නමැති විෂමාචාර ඇත්තාගෙන් සිංහලයාගේ ආරම්භය සිදුවීමත් ගැන මහවංශයෙහි සඳහන් වේ. එකී පුරාවෘත්තයට අභියෝග කිරීම මෙම සිනමාකරුවාගේ මෙවර කාර්යභාරය වී තිබේ.
මෙම පුරාවෘත්තය මීට පෙර ද විවිධ නිර්මාණ වලට විවිධ අයුරින් පාදක වී තිබේ. 'සිංහබාහු' යන නමින්ම චිත්‍රපටයක් පවා නිපදවා තිබේ. නාට්‍ය,නාඩගම්, කතා කාව්‍ය,නූර්ති ආදී විවිධ මාධ්‍ය තුළින් මෙම ඉතිහාස ගැටලුව ඈත ඉතිහාසයේ පටන් ම බහුලව කතිකාවට ගැනී ඇත, එසේ නම් තවදුරටත් සෝමරත්න දිසානායක නමැති සිනමාකරුවා මෙම මිත්‍යා කතාව මත මතු කරන මායා රූප හරඹය කුමක් ද?
මහා වංශයේ එන විජයරජුගේ මිත්තණිය වූ සුප්පාදේවී සමඟ සංවාසයෙහි යෙදුණු 'සිංහයාට'අභියෝග කිරීම සුළුපටු ප්රබන්ධකරණයක් නොවේ. පුරාවෘත්තයක් මත කෙරෙන මෙම ප්රබන්ධකරන අභියෝගය චිත්‍රපටයක ස්වරූපයෙන් අප හමුවෙහි නුදුරේදීම තැබෙනු ඇත. නිර්මාණකරුට පහසු වන පරිදි ඉතිහාස වාර්තාකරණය සහ ප්රබන්ධකරණය විසින් ම උභතෝකෝටිකයන් ගොඩනංවනු ලැබ ඇත. මීට පෙර 1961 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් නිර්මාණය කෙරුණු 'සිංහබාහු'වේදිකා නාට්‍යය ද, ඊටත් වසර 140කට උඩදී එනම් 1820 දී කිරම ධම්මානන්ද හිමි රචනා කළ 'සියබස් මල් දම' නමැති කතා කාව්‍යය ද, ඊට අවුරුදු 30 - 40 කට පසුව පිලිප්පු සිංඤෝ රචනා කළ'සිංහවල්ලී'නාඩගම ද, ඇතුළුව තවත් නාටක නාඩගම් කිහිපයක් ම මෙම පුරාවෘත්තය අළලා සමාජගත වී ඇත. ධර්මජිත් පුනර්ජීව සහ නාමෙල් වීරමුනි විසින් සිංහබාහු නාට්‍යය ඉංග්‍රීසි බසින් දෙවරකදී නිෂ්පාදනය කොට තිබේ. මෙම සිනමාකරුවා ඉන් ඔබ්බට යන ආකාරය අපි විමසන්නෙමු.
ශාස්ත්රාලීය ඉතිහාසඥයකු සහ සිනමාකරුවකු ඉතිහාස පුරාවෘත්ත හා මිත්‍යා ප්‍රබන්ධ කතා ඇසුරු කරන ආකාරය එකිනෙකට වෙනස්ය. සිනමාකරුවා සිදුකරන්නේ එතෙක් ඉතිහාසඥයන් විසින් ශාස්ත්රාලීය ශික්ෂණයකින් යුතුව සාක්ෂාත් කරනු ලැබ ඇති විශ්වාසයන් හිතුවක්කාරී ලෙස කඩා බිඳ දැමීමයි. මෙවිට සිදුවිය හැක්කේ එතෙක් අභියෝගයකට හා ප්‍රතික්ෂේප කිරීමකට ලක් නොකොට යටපත් කොට පැවති ගිනි පුපුරු ක්ෂණිකව මහ පොළොවෙන් වහා අහසට පැන දීප්තිමත්ව බැබළෙන්නට පටන් ගැනීමයි. එම රශ්මිය දින සියයක් ඉක්මවා පැවතියහොත් එය ඉතිහාසයෙන් ආයෝජන අවස්ථා සොයන සිනමා කර්මාන්තකරුවන්ගේ සතුටට හේතුවනු ඇත.
ඉතිහාසය යනු ඉන් චිත්‍රපට තැනෙන්නටත් පෙර සිටම මතභේදාත්මක සංකල්පයකි.එබැවින් එය තවදුරටත් ප්‍රබන්ධකරණ ඉල්ලා සිටී.ඒ බව දන්නා යුගයේ ස්ථානෝචිත ප්‍රාඥයා සිනමාකරුවා යග ඉතිහාසය නමැති වාද පිටියෙහි ශාස්ත්රඥයින් ද, ඉතිහාසඥයින් ද,දේශපාලනඥයින් ද, නිර්මාණකරුවන් ද, ආගම් හා ජාතිවාදීන් ද සදාකාලිකවම සටන් කරමින් සිටිනු පෙනේ.සිංහලයාගේ සම්භවය පිළිබඳ විවාදාත්මක පුරාවෘත්තයක් සිනමා කෘතියක් බවට පත්වී ගිනිපුපුරක් සේ පැන නැඟීම එම සියලු ජන කොටස් වහා ප්‍රේක්ෂකයින් බවට පත්කොට ළඟම ඇති සිනමාශාලා වෙත ඒකරාශී කරන්නකි.එබඳු අළු යට ඇති ගිනි පුපුරු සමූහයකින් ඉතිහාසය උභතෝකෝටික විෂයයක් බවට පත්ව ඇත. එම දෙකොන විලක්කුව සිනමාකරුවා විසින් වහා දල්වනු ලබනු ඇත. ජනතාව ද වහා ඇවිලෙන සුළු, සංවේදී හා තාර්කික මැදිහත්කරුවන් ය. සිංහල ජාතියේ නිවැරදි ඓතිහාසික කතාව ලෙස පිළිගනු ලබන්නේ මහාවංශයයි. ඉතිහාස වෘත්තාන්ත හා පුරාවෘත්ත ඇසුරු කරන සිනමාකරුවන් අභියෝග කරන්නේ ද එතරම් වූ මහාවංශයටයි.ඔව්හු මහාවංශයේ මිත්‍යාවන්ට අභියෝග කිරීමට ප්‍රබන්ධ ගොඩනඟති. මෙම සිනමාකරුවා විසින් සිය ප්‍රකාශන මාධ්‍යයෙන් පිළිතුරු සොයන ඉතිහාස ප්රශ්නයේ එන 'සිංහයා' යනු කවරක්ද? එහි ඇත්ත නැත්ත කුමක්ද?
ඉතා රූපත්, කාමයෙන් ගිජුවූ කුමරිය දැක සිත් ඇල වූ සිංහයා කන් හෙලාගෙන නගුට සලමින් සමීපයට ආ බවත්, ඇය සිංහයාගේ අවයවයන් පිරිමැදි කල ඇයගේ පහසින් ඇලී පිට නගාගෙන වහා සිය ගුහාවට ගෙන ගොස් ඇය හා සහවාසයෙහි හැසිරුණු බවත් මහාවංශයෙහි සඳහන් ය. (මහාවංශය සිංහල සංස්කරණය, 2008, පිටුව 31)
තමා සිංහයා නිරූපණය කරන්නේ මධ්‍යම පන්තියේ පියෙකු ලෙස බව 'සිංහබාහු' නාටකයෙහි පිටපත මුද්‍රණය කෙරුණු 1962 දී එහි පෙරවදනෙහි මහාචාර්ය සරච්චන්ද්‍ර සඳහන් කරයි. මෙම කතාවට සම්බන්ධ 'සිංහ' සහ 'යක්ෂ'යන වචන අද අප ඒ වචන වලින් ගන්නා අර්ථ ම නොදක්වන බව පුරා විද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි 'සිංහළේ මහා රාජ වංශෙ'නමැති ග්රන්ථයෙහි විජය රජතුමා ගැන ලියන පරිච්ඡේදයෙහි සඳහන් කරති.(පිටුව 25, ප්රකාශනය දයාවංශ ජයකොඩි සහ සමාගම, 2006)
සිංහයකුගෙන් ජාතක වූ දරුවන් දෙදෙනෙකුගෙන් අපේ ජාතිය ආරම්භ වූ බවට ඇති මතය බහුතරයකගේ හිතට කා වැදී ඇත. එය තම හිතට ද විශාල වදයක් ව පැවති බව 'සිංහබාහු'චිත්‍රපටය තනන සෝමරත්න දිසානායක පවසයි. සිංහයා තිරිසනෙක් වන බැවින් අප පැවත එන්නේ තිරිසන් ජාතියකින් ද යන ප්රශ්නය තම සිත තමාගෙන් ම විමසන බව පවසන මෙම සිනමාකරුවා ඉතිහාසඥයකු නොව කවියෙකි. එසේ ප්‍රබන්ධකයකු වෙමින් ඔහුම පවසන්නේ එම කතාව ගොතන ලද සුරංගනා කතාවක් විය හැකි බවයි. ඉතිහාසග ගත වන මෙම නිර්මාණකරුවා තවදුරටත් පවසනුයේ තිරිසන් සතකුගෙන් මනුෂ්‍ය දරුවෙක් බිහි විය නොහැකි බවයි. අප තිරිසනුන්ගෙන් පැවත එන ජාතියක් බවට ඇති මතය බිඳ දැමීමට තමා 'සිංහබාහු' චිත්‍රපටය තනන බවයි. (පිනි පලස 2022.6.12, පිටුව 8)
මහාචාර්ය සරච්චන්ද්‍රයන්ටත්, පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමිටත්, මහාවංශය ලියන මහානාම මහතෙරුන්ටත් සිංහලයාගේ උප්පත්තියට හේතු වූ එම සිංහයාගේ තිරිසන් භාවය ගැටලුවක් වී නැත. ඔවුන්ගේ ප්රකාශනය අනෙකකි. සිනමාකරුවා චිත්රපටමය විසඳුමක් යෝජනා කරනුයේ එම ගැටලුවක් නොවූ ගැටලුවටය. මිත්‍යා කතාවට සත්‍ය වූ දාර්ශනික පිළිතුරු සෙවීම කවියකු නොව ඉතිහාසඥයකුට අයිති කාර්යයකි. සිනමාකරුවකුට අයත් වන්නේ සිදු වූ දේ මත සිදුවිය හැකි දෑ ඉඟි කිරීමය. එවිට මත්යාවට උචිත අරුත් පාදා ගැනීම රසිකයා සිය වගකීම බවට පෙරළා ගනී.
"ඓතිහාසික චිත්‍රපටය" යනු ඉහත කරුණු විග්‍රහය මත කවරාකාර ද? ඓතිහාසික පසුබිමක එනම් නිශ්චිත අතීත යුගයක පිහිටුවා නිර්මාණය කරන චිත්‍රපටය ඓතිහාසික චිත්‍රපටයකැයි සරලව හැඳින්විය හැකිය. ඓතිහාසික චිත්‍රපටයක එම ඓතිහාසිකත්වයට වලංගුතාවක් ලැබෙනුයේ එම චිත්‍රපට කතාව සම්පාදනය කෙරුණු කාලයට අනුකූලවය. 'සිංහබාහු' කතාව ලංකාවෙ පළමු රජුටත් එහා පරම්පරා කිහිපයක් අතීතයට අපව ගෙන යයි. එසේ දුරාතීත ගත වන තරමට ම ඒ හා බැඳුණු කතා සහ මිත්‍යා කතා නිරාකරණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි මූලාශ්‍ර සොයා ගැනීමට නොහැකි වෙයි.සෝමරත්න දිසානායකට හෝ සරච්චන්ද්‍රට එකී ඉතිහාසය පිළිබඳව සිය අර්ථකථන දීම පහසුවන්නේ ද එබඳු පසුබිමකය.
ඓතිහාසික කතාවක් ගොඩනැඟීමේදී එම ප්‍රබන්ධකරුවාට අතීතයේ වාසය කළා යැයි පැවසෙන ප්‍රකට චරිත ද, අප්‍රකට චරිත ද මෙන් ම කල්පිත චරිත ද යොදාගත හැකි අවසරය ඇත. මහානාම හිමි මහාවංශය ලිවීමේදී සිංහයකු සිය ප්රකාශනය සඳහා යොදා ගන්නේ එම අවසරයෙනි. ඇතැම් තැනකදී මහානාම හිමි ද ප්‍රබන්ධකරුවෙකි.එබඳු කල්පිතයක් සත්‍යයැයි විශ්වාස කිරීමට නොව ඉන් ජනිත කෙරෙන අර්ථය විවරණය කිරීමට අප වෙහෙසිය යුතුය. ඓතිහාසික කතා වස්තු සහ මෙරට ඉතිහාස චිත්‍රපට ඉතිහාසය විවරණය කළ යුතු වන්නේ එම ඉතිහාස විෂය නොව සිනමා විෂය මත තබා ය.
සිංහබාහුගේ තිරිසන් පියා සහ පුතා පිළිබඳ මිත්‍යා කතාව දීපවංශයට, මහාවංශයට සහ නාට්‍යයකට මෙන්ම චිත්‍රපටයකට ප්රස්තුත වූ ආකාරය සහ 'කඩුවුණු පොරොන්දුව' ටත් පෙර ලංකාවේ තනන්නට ගිය චිත්‍රපටවල ඉතිහාස කතා යොදා ගත් ආකාරය පිළිබඳව මතු ලිපියක විමසා බැලේ.
(මතු සම්බන්ධයි)
ඉතිහාසය සහ එහි ප්‍රබන්ධය යනු කුමක්ද?
සිංහයකු දමනය කිරීම නිසා ලංකාදීපයට සිංහල යන නාමය ව්‍යවහාර වූ බවත් වගුග රජුගේ දියණිය මහ වනය අරක්ගෙන සිටියා වූ සිංහයකු සමඟ සංවාස කොට නිවුන් දරුවන් දෙදෙනෙකු බිහි කළ බවත් 'සිංහල දීප වංශයෙහි' සඳහන් වෙයි. සිංහබාහු සහ සිංහ සීවලී යන එම දරුවන්ගේ මව් සුසීමා ද පියා සිහ ද යනුවෙන් දිප වංශයෙහි වේ. සිංහ සීවලී සීහවල්ලී ලෙස ද, සුසීමා සුප්පා දේවී ලෙස ද හැඳින්වෙයි. මහා වංශය 'සීහ' නමැති සිංහබාහුගේ පියා හඳුන්වා ඇත්තේ වනයෙහි විසූ තිරිසන් සිංහයකු ලෙසටය. දීපවංහයෙහි එලෙස නොදක්වයි. සෝමරත්න ද සරච්චන්ද්‍ර ද සිය ප්‍රේක්ෂක ජනතාව ද ස්ව ජාතියේ සම්භවය ලෙස විශ්වාස කරනුයේ මහාවංශයෙහි ලේඛනාරූඩ වූ මූලාශ්‍ර තොරතුරු වේ.
ඉතිහාසය සහ සිංහලයාගේ සම්භවය ලියැවී ඇති ආකාරයෙහි අතිශයෝක්තිමය ආකාරය සිනමාකරුවා සිය මවාපැම්වලට අනුබල කොට ගන්නා අවසර පත්රයයි. නිර්මාණකරුවාගේ අභිමතාර්ථ මත එකී අවසර පත්‍රයෙහි අගය විනිශ්චය වෙයි. සෝමරත්නගේ අරමුණ සිංහලයාගේ උපත නිරවුල් කිරීම ය.
'මහාවංශය'තුළ සිංහයා තිරිසන් සතකු ලෙස විස්තර වීම මහා අවුලකට මඟපාදයි.
මනුෂ්‍යයා සහ තිරිසනා අතර සංසන්දනාත්මක විග්‍රහයක් 'චන්දකින්නර ජාතකයෙහි' වේ.තිරිසන් සත්වයකුට ආකර්ශනය වූ මනුෂ්‍යයා තිරිසනකුටත් වඩා පහත් සත්ත්වයකු ලෙස එහි අරුත් නැඟෙයි. තිරිසනා යනු මනුෂ්‍ය වාසයෙන් දුරස්ව ජීවත් විය යුතු බවත් එවිට සතුටින් විසිය හැකි බවත් එහි තැනක සඳහන්ය. බරනැස්නුවර බ්‍රහ්මදත්ත රජු සහ හිමාල වනයේ කිඳුරංගනාව යන මනුෂ්‍ය තිරිසන් චරිත යුගල ඇසුරෙන් ජාතක කතාකරුවා උක්ත උපකල්පනය ගෙනෙයි. රජතුමා කිඳුරිය කෙරෙහි සිත් ඇතිව එම කිඳුරංගනාව සමඟ සතුටින් දිවිගෙවන කිඳුරාව මරා දමයි. කිඳුරංගනාව අගමෙහෙසිය කර ගන්නට යෝජනා ගෙනෙයි. කිඳුරිය රජතුමාට දොස් නඟන අන්දම සාහසිකයග තම ස්වාමියා විඳී මරණ දුක පාපිෂ්ට වූ තා හට ද අත් විය යුතු යැයි කිඳුරිය විලාප නඟයි. දුෂ්ට වූ මහ රජ, අවලක්ෂණ වූ තොප සමඟ නොයන බවත් තම සැමියා කෙරෙහි ස්නේහයෙන් ම හඬා මියෙන බවත් කිඳුරිය රජුට දොස් කියයි. තිරිසන් වූ තිට රජ සැප විඳීමට භාග්‍යයක් නැතැයි බැනවැද රජු නික්ම යයි. කිඳුරිය ලෝක පාල දෙවියන්ට තම දුක කියා හඬද්දී බමුණු වෙසින් එතැනට පැමිණි සක් දෙව් රජු කිඳුරාව නැගිටුවා දෙදෙනාට ම පවසන්නේ මනුෂ්‍ය පථයෙන් තොරව චන්දගිරි පවර්තයට ගොස් වාසය කරන ලෙසයි. සිනමාකරුවකු එකී ගැඹුරු අරුත අතික්‍රමණය කළ යුතුය.
මෙරට වංශකතා ඉතිහාසයේ පැරණිතම වංශකතාව ලෙස සැලකෙන 'දීපවංශය'යනු ඓතිහාසික සත්‍ය තොරතුරු ඇතුළත් කොට මනංකල්පිතයන්ටත් වඩා සත්‍යයට වඩාත් අනුගතව ලියැවුණක් බව උගතුන්ගේ පිළිගැනීමයි. දීපවංශයට පෙර ලියැවුණු වංශකතාවල මූලාශ්‍ර ඇසුරෙන් මෙය ලියැවී තිබීම ඊට එක් හේතුවකි. දීපවංශයේ එන ඇතැම් අන්තර්ගතයන්ට මහාවංශකරු ජනප්‍රවාද එක්කොට ඇති බවට ද මතයකි. දීපවංශයේ සංස්කරණයක් ලෙසට ද පිළිගැනෙන මහාවංශයේ එබඳු ජනප්‍රවාද එක් කරන්නට යොමු වීමෙන් විද්‍යාත්මක ඓතිහාසික පදනමට හානි සිදුව ඇත.
'සිංහබාහු' නරේන්ද්‍රයා සිංහයෙක් බඳු ශක්තිමත් අයකු බවත්, ඔහුගෙන් පැවතෙන්නන්ට සිංහලයෝ යැයි කියන බව දීපවංශ කතුවරයා ලියන අතර මහාවංශ කතුවරයා එය ලියන්නේ වනයේ විසූ තිරිසන්ගත සිංහයකු සමඟ සුප්පාදේවිය සම්බන්ධ වූ බවකි. මෙය යථාර්ථය, සත්‍යය හා විද්‍යාත්මක පසුබිම විකෘති කිරීමකි.තත්වාකාරයෙන් හා තාර්කික ඥාණයෙන් නිරවද්‍ය ලෙස අර්ථකථනය කිරීමෙන් දීපවංශ කතුවරයා ජාතික අනන්‍යතාව සුරකිමින් කටයුතු කළ බව මින් හැඟෙයි.
'සිංහබාහු'චිත්‍රපට මාධ්‍යයට ගෙනෙන සෝමරත්න දිසානායක හමුවෙහි ඇති අභියෝගය කෙතරම් ද?
ඓතිහාසික මූලාශ්‍ර වස්තු විෂය කර ගන්නා සිනමාකරුවා එම සම්ප්‍රදායික කතා පුවත අතික්‍රමණය කළ යුතුය. එම ඓතිහාසික කතා පුවතම යළිත් හුවා දැක්වීම නිර්මාණකරුවාගේ කාර්යභාරය නොවේ. මුල් කතාවේ එන සිද්ධි දාමයන් සමතික්‍රමණය කොට මිනිස් සිත හා ලෝක ස්වභාවය පිළිබඳ නව කතිකා හුවා දැක්වීමට සිනමාකරුවා සමත් විය යුතුය.නිර්මාණකරුවා තමා වස්තු විෂය කර ගන්නා ඉතිහාස කතාව විවරණය කළ යුතු වෙයි. නිර්මාණකරුවා මුල් ඓතිහාසික කතා පුවත අතික්‍රමණය නොකළේ නම් ඔහු පසුවන්නේ එකී අතීත පුවත පුනරුච්චාරණය කරන වාර්තාකරුවකු පසුවන තැනකයග කිරම ධම්මානන්ද හිමි (සියබස් මල්දම) පිලිප්පු සංඤෝ (සිංහවල්ලී නාඩගම) සී. දොන් බස්තියන් ජයවීර බණ්ඩාරගේ (සිංහබාහු නූර්තිය) වැන්නෝ මහාවංශයේ එන 'සිංහබාහු' කතා පුවත යළිත් හුවා දක්වනු විනා මුල්කතාව විවරණය කිරීමට හෝ ඉන් මනුෂ්‍යත්වයට පොදු වූ දෘෂ්ඨියක් උපුටා දැක්වීමටවත් තැත් නොකළ බව මහාචාර්ය සරච්චන්ද්‍ර 'සිංහබාහු' නාට්‍යය එළිදැක්වූ විට කියා තිබේ.
(සිංහබාහු, නාට්‍ය පිටපත, ප්රස්ථාවනාව)
මහාවංශය ලියන මහානාම හිමි, සරච්චන්ද්‍ර සහ සෝමරත්න දිසානායක වැනි විවිධ ප්‍රකාශකයින් මෙම මිථ්‍යා සිංහයාව සිය මැවීම් සඳහා භාවිතා කරනුයේ වෙනස් අරමුණු ඇතිවය.සිංහල වංශයේ ආරම්භකයා ලෙස ජන ප්රවාදගත විජය කුමරු පැවත එන්නාවූ සිංහයා සිය පුතු වූ සිංහබාහු හෙවත් විජයගේ පියා අතින් මැරුම් කෑ සිදුවීම ග්‍රීසිය, බැබිලෝනියාව හා සුළු ආසියාවේ අනෙකුත් රටවල ප්‍රචලිතව පැවති ජන ප්රවාදයන්ට සමාන බව කියැවේ. නාලිනී ද ලැනරෝල් ලියූ "A Reign of Ten Kings"නමැති කෘතියෙහි සිංහල අනුවාදය වූ 'දස රජ පුවත', 'ශ්‍රී ලංකාව සහ ලෝකය' නම් ග්රන්ථයන්හි දැක්වෙන පරිදි එම රටවල ඇති ජනප්‍රවාදවලට අනුව බිහිසුණු තිරිසනකු හෝ තිරිසන් වෙස්ගත් පූජකයකු සමඟ සටන් වැද පරාජය කිරීම රජකුගේ මෞලි මංගල චාරිත්‍රවලින් එකකි. ග්‍රීක මිථ්‍යා කතාවල එන හෙරක්ලීස් නමැති වීරයා නෙමියන් නම් සිංහයා මරා දමා උගේ සම පැළඳ ගනී. ගිල්ගමේෂ් නම් වූ බැබිලෝනියානු මහා කාව්‍යයේ එන වීරයා විසින් මරා දමනු ලබන්නේ ද සිංහයෙකි. සශ්‍රීකත්වයට අධිපති බැබිලෝනියානු දේවතාවිය වන ඉෂ්ටාර්ගේ ලාංඡනය ද සිංහයෙකි. හේරා නම් සිංහ දේවතාවිය හෝ හිටයිට් දේතාවිය සිංහයකු වැළඳ ගෙන සිටින ප්‍රතිමාවක් ගැන රොබට් ග්‍රේව්ස් විස්තර කරයි.
සිංහ බාහුගේ පුත් විජයගේ කතාව සහ ග්‍රීක ජනප්‍රවාද අතර සමානතා දක්නට ලැබේ. විජයගේ මාලිගයෙන් බැහැර කෙරෙන කුවේනි සහ ඇගේ දරුවන්ගේ කතාව ජේසන් විසින් පලවා හැරෙන මීඩියා සහ ඇගේ දරුවන්ගේ කතාවට සමානය.
සෝමරත්න දිසානායක සහ එදිරිවීර සරච්චන්ද්‍ර සිය ආත්ම ප්රකාශනය සඳහා සිංහයා යොදා ගැනීම ඉහත දැක්වූ ඉතිහාස සිංහ නිරූපණ සමඟ සැසඳීමට රසිකයා පෙළඹෙනු ඇත. 'සිංහබාහු'චිත්‍රපටය නුදුරු දිනයක අප විනිශ්චයට ලක්කරනුයේ එකී සිංහබාහු පුවත හා බැඳුණු ඉතිහාස කතාවල සත්‍යය හා ප්‍රබන්ධය අතර තබා සංසන්දනය කරමිනි.
සිංහලයා තිරිසනකු ගෙන් පැවත එන බව සහ සිංහබාහුගේ පියා තිරිසන් සිංහයකු බව කියන බරපතල ප්‍රශ්නයට සිනමා පිළිතුරක් ප්‍රතිනිර්මාණය කිරීම බෙහෙවින් අභියෝගාත්මක ප්රයත්නයක් බව මේ වන විට සිනමාකරුවා සහ රංගනවේදියා ඇතුළු අප සියළු දෙනා වටහා ගනිමින් සිටිති.
අජිත් ගලප්පත්ති