මාර්තු 08වන දිනට යෙදී තිබුන ජාත්‍යන්තර කාන්තා දිනය දා මෙරට නවකතා සාහිත්‍යට නවතම කෘතියක් එළිදැක්වූවා. ඒ වෛද්‍ය නෙඔමාල් ගේ 'දඩ ඉම' නැමැති නවකතාව. එදින ප්‍රදාන දේශන කිහිපයක් පවත්වනු ලැබුවා. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ට කථිකාචාර්ය ආචාර්ය හංසමාලා රිටිගහපොල විසින් කරන ලද සම්පූර්න කතාව මෙතැන් සිට කියවන්න... එය සිනමාවේ ඉතිහාසයත් දේශපාලනය සහ සමාජ ඉතිහාසයත් මැනෙවින් සඳහන් කරන ලද අතිශය වැදගත් කතාවකි.
"ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ සිංහල කතානාද චිත්‍රපට නාමාවලියේ 546 වැනි සිනමාපටය ලෙස තිරගත වූයේ දඩයම චිත්‍රපටය යි.
1959 වසරේ මාර්තු 16 වැනිදා දිනමිණ පුවත්පතේ අටවැනි පිටුවේ පළ වූ එක්තරා මනුෂ්‍ය ඝාතනයක් තමයි මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ. මේ ඝාතනය සිදුවන්නේ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ තිඹිරිවැව අසල දී. පසු කලෙකදී විල්පත්තු ඝාතනය ලෙස ප්‍රකට වූයේත් මෙන්න මේ ඛේදවාචකයග
මේ අභිරහස් ඝාතනයට පාදක වූ තරුණිය ඇඩ්ලින් විතාරණග 21 හැවිරිදි වියේ පසු වූ ඇය මරණයට පත් වන විට එක්දරු මවක්. ඒ වගේම ගැබිනියක්. අවිවාහක ඇය මරා දමන්නේ ඇගේ ම පෙම්වතා වූ ජයලාල් ආනන්දගොඩ නමැති පාසල් ගුරුවරයෙක්.පුවත්පතේ මේ ඝාතනය ගැන පළ වූ ඇගේ ඡායාරූපය සහිත ප්‍රවෘත්තිය දැකලා ඒ ඉන්නේ තමන්ගේ නංගි බව සැක කරලා මෘත දේහය හඳුනාගන්නට එන්නේ ඇඩ්ලින්ගේ වැඩිමහල් සොයුරිය ඇග්නස් විතාරණ සහ පුංචි මැණිකා නම් වූ ඔවුන්ගේ අම්මා.
මෙරට කැලඹු ඛේදවාචකයක් වූ මේ අමානුෂික ඝාතනය අමතක නොකරන්න විල්පත්තු අභය භූමියට පිවිසෙන ස්ථානය අසල ඇඩ්ලින් විතාරණ නමින් ස්මාරකයක් ද පිහිටුවලා තියෙනවා.ජයලාල් ඇඩ්ලින්ව මරා දමන්නේ ඇගේ ගැබ්බර සිරුර මතින් කාර් රථය කිහිප විටක් ම ධාවනය කරවමින්. එතෙක් තමන් ආදරයෙන් වැළඳගත්ත, ඒ් වගේම තමන්ගෙම ලෙයින් උපන් දැරියකට ජීවිතය දුන්නු සහ තමන්ගෙම තවත් දරුවෙක් කුසේ දරාගත්ත මේ පෙම්වතියගේ සිරුරයි ඔහු මේ විදියට තමන් පදවපු කාර් එකෙන් යටකර මරා දමන්නේ.
දඩයම චිත්‍රපටය අවසන් වන්නේත් මෙන්න මේ රූප රාමුවෙන්. ඇඩ්ලීන් - ජයලාල් වෙනුවට චිත්‍රපටයේදී අපට හමුවෙන්නේ රත්මලී හා ජයනාත්. රත්මලී මරා දමා ජයනාත් පිටවයාමෙන් චිත්‍රපටය අවසන් වුණත් ඇත්ත කතාවේදි ජයලාල් ආනන්දගොඩට මරණීය දණ්ඩනය හිමිවෙනවා.
ඇඩ්ලීන්-ජයලාල් කතාව එසේ අවසන් වුණත් නිර්මාණකරුවාගේ පරිකල්පනයෙන් උපන් දඩයම චිත්‍රපටය එසේ අවසන් වූයේ නෑ. දඩයක්කරුවාගේ දඩයම අවසන් වීමෙන් නිමා වූ මේ සිනමා නිර්මාණය ම තවත් නැවුම් පරිකල්පනයකට තිඹිරිගෙය සකසනවා.'දඩ-ඉම’ චිත්‍රපටය හා නවකතාව ශල්‍ය වෛද්‍ය නෙඔමාල් පෙරේරාගේ අතින් නිර්මාණය වෙන්නේ අන්න ඒ අනුවයි.
නවකතාවක්, කෙටිකතාවක්, චිත්රකතාවක් වගේ කතාවක් චිත්‍රපටයට නැගීම තමයි සාමාන්‍යයෙන් සිද්ද වෙන්නේ. ඒත් ඒ් අතර මුලින් චිත්‍රපටයකට නැගිලා පස්සේ දි නවකතාවක් බවට පත් වූ අවස්ථාත් එකක් දෙකක් දකින්න ලැබෙනවා. විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කරලා 1976 වසරේදී තිරගත වුණ 'දුහුළු මලක්’ චිත්‍රපටය, හීලි විජේතුංග විසින් නවකතාවක් විදියට පස්සේ කාලෙදි එළි දක්වනවා. 1979 වර්ෂයේ දී ටී. අර්ජුනගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වුණු 'වසන්තයේ දවසක්' චිත්‍රපටයේ කතාව රචනය හා දෙබස් කුමාර කරුණාරත්නගේ. ඔහු මේ චිත්‍රපට කතාව පස්සේ කාලකෙදි ඒ් නමින් ම නවකතාවක් විදියට රචනා කරනවා. වෛද්‍ය නෙඔමාල් ප්‍රවේශ වෙලා තියෙන්නේ අන්න ඒ විදියේ දුර්ලභ කටයුත්තකට.
ඇත්තම කියනවා නම් මං දඩයම චිත්‍රපටය බලලා තිබ්බට 'දඩ ඉම' චිත්‍රපටය බලල තිබ්බෙ නෑ. ඒ හින්දා මට පුළුවන් වුණා චිත්‍රපටයක් බලනවා වගේ මේ නවකතාව නරඹන්න. මං එහෙම කියන්නේ ඇත්තටම මේ නවකතාව ම චිත්‍රපටයක් වගේ නරඹන්න පුළුවන් කතාවක් හින්දා. රචකයා දඩයම චිත්‍රපටය අවසන් වූ තැනින් සිය පරිකල්පනය ආරම්භ කර තිබෙනවා.අධිකරණයට සාක්ෂිකරුවො කැඳවනවා වගේ ඔහු අප ඉදිරියට මේ එක් එක් චරිතය රැගෙන එනවා. ඒ හැම චරිතයක් වගේ ම ඒ් චරිත හැසිරෙන වටපිටාවත් නෙඔමාල් විස්තර කරලා තියෙන්නේ සංකල්ප රූප ජනනය කරන ආකාරයෙන්. කොටින්ම කිව්වොත් පාඨකයන්ව සම්පූර්ණයෙන්ම ඒ් අවස්ථාවට සහභාගි කරවගන්න විදියට තමයි නෙඔමාල් මේ නවකතාව රචනා කරල තියෙන්නේ.
එක් අවස්ථාවක දී අලුත් කඩේ උසාවි සංකීර්ණයේ නීතිඥයින් විත්තිකරුවන් අතර පාඨකයාව රඳවා තබන ඔහු තවත් අවස්ථාවක දී නෙළුම් පොකුණ ප්‍රේක්ෂකාගාරයේ නරඹන්නෙක් බවට පාඨකයාව පත් කරවනවා.ග මං ඒ්කයි කිව්වේ මේ නවකතාව නරඹන්න පුළුවන් කියලා.ග පිළිකා ශල්‍ය වෛද්‍යවරයෙක් වුණු නෙඔමාල්ට මේ තරම් බුහුටි විදියට නිර්මාණශීලි විදියට ප්රබන්ධකරණයේ නිරත වෙන්න පුළුවන් ද කියන විස්මය ඔහු ලියූ හැම අකුරකම රැඳිලා තියෙන බව කියන්නම ඔ්නි. ඔහු මේ සැත්කම කරන්නේ පෑනෙන්. ඔහුට ම අනන්‍ය වූ මනරම් බසකින් කැටයම් කරමින් නෙඔමාල් මිනිස්සුන්ගේ හදවතයි මේ විදියට සැත්කමට ලක් කරන්නේ.
අනෙක් වැදගත් කාරණාව තමයි මේ නවකතාවේ ආකෘතිය. ඒක මේ නවකතාව විචිත්‍රත්වයට පත් කරපු වෙනස්කමක්. නෙඔමාල් මං අර කලින් කිව්ව වගේ එක් එක් චරිතයට තමන්ගේ කතාව කියන්න අවකාශ සලසලා දීලා තියෙනවා. ඒ හින්දා පාඨකයාට බාධාවක් නැතිව නවකතාව විඳින්න හැකිවෙලා .අනෙක් අතට කතාකරුවාට පුළුවන් වෙනවා.'මම’ විදියට අඳුන්වන මේ හැම කෙනෙක්ම තමන්ව ගොඩ නගාගන්න කරන අරගලය, තමන්ව අර්ථකථනය කරගන්න දරන වෑයම, තමන්ගේ ප්‍රතිරූපයට හානියක් සිදුවන විට දක්වන ප්‍රතික්‍රියාව, මමත්වය, ආත්මාර්ථකාමීත්වය කියන මේ සියල්ල එකම අවස්ථාවක දී අවලෝකනය කරගන්න ප්‍රේක්ෂකයාට අවස්ථාව සලසා දෙන්න. සරලව කිව්වොත් ආනන්දයෙන් ප්‍රඥාවට එහෙමත් නැත්නම රසඥතාවෙන් ජීවිත පරිඥානයට.
ඇත්තටම කිව්වොත් .'දඩ ඉමේ' දී අපට අතිශය ළඟින් ම කියවන්න හම්බවෙන්නේ ජයනාත්ව. ගැහැනියකට කිසිදා අනුමාන කළ නොහැකි පිරිමි සිතක ඉසියුම් සංවේදනා ඉතා සමීපව ග්‍රහණය කරගනිමින් අප ඉදිරියේ දිග හරින්නට නෙඔමාල් සමත් වෙනවා.පිරිමින් විවාහයට පෙර ගැහැනුන් සමඟ ශාරීරික සබඳතාවක් පැවැත්වීම දකින්නේ ශාරීරිකව යම් කටයුත්තක යෙදීමක් විදියට. ඒහෙත් ගැහැනුන් ඒ වගේ නෙවෙයි. ඔවුන්ට එබඳු සම්බන්ධයක් කියන්නේ ශාරීරික සම්බන්ධයක් විතරක් නෙවෙයි, චිත්තවේගික අවස්ථාවක්. ආදරණීය මොහොතක්. විඳින මතකයක්. ඇයට ඒ සඳහා කැමති වීමට තමන්ගේ සහකරුවා ගැන සෑහෙන පමණ විශ්වාසයක් ආදරයක් දැනීමක් අවශ්‍ය වෙනව. පිරිමින්ගෙන් පැත්තෙන් නම් මේ කියන එකක්වත් අවශ්‍ය වෙන්නේ නෑ කියලයි කොලරාඩෝ සහ ටෙක්සාස් විශ්වවිද්‍යාලවලින් කරපු පර්යේෂණ වාර්තාවලින් කියවෙන්නේ. ඒ් ශාරීරක සබඳතාව බලහත්කාරකමක්, දූෂණයක් නො වුණොත් අවසානයේ දී ගැහැනියට විඳවන්න සිද්ද වෙන්නෙත් ඒ් තරම් ආශාවෙන් විඳපු මතකයේ තබාගත්ත ඒ් සුන්දර අවස්ථාවම යි. බලන්න මේ කියන්නෙත් ඒකම නේද?
‘’වනචර කම? කිසිවිටෙකත් මේ පවසන ආකාරයට මා එවන් අශිෂ්ට චරිතයක් ඇති පුද්ගලයෙක් නොවිණ. මගේ පෞරුෂයට මුලාවී ස්ත්‍රීන් මගේ පහස ලද්දේ නම් එය මගේ වනචර කමක් සේ හංවඩු ගසන්නේ කෙසේද? මම කිසිදිනෙක රත්මලීව දූෂණය කළේ ද නැත. හෝටල් කාමරයකට බලහත්කාරයෙන් ඇදන් ගියේද නැත. එම කාමර තුළදී ඇයද පහස වින්දා මිස මා අතවර කරනවා කියා කෑමොර දුන්නේ ද නැත. එසේ නම් මා වනචරයකුයැයි මේ කියන බණ සාවද්‍යය. රත්මලීගේ කල්කිරියාවත් සලකා බැලිය යුතු අතර මේ අකරතැබ්බයට ඇය වගකිව යුතු ය.”
නෙඔමාල් ඉතා පැහැදිලි ව පිරිමි සිත ක්‍රියා කරන ආකාරය සමීපස්ථව කියවා තිබෙන්නේ අන්න ඒ විදියට,මේ තවත් නිදසුනක්.
‘’අනුන් දුටු දෘෂ්ටිකෝණය කෙසේ වෙතත් එදා මා දුටුවේ ගිනිගත් අන්ධකාරයයි. තමා දඩයම් වනවිට සෑම දඩයක්කාරයෙක් ම දකින්නේද ඒ ගිනිගත් අන්ධකාරයයි. දඩයක්කරුවකුගේ සිහිවටන ඇත්තේ මට පමණද?මම සටහන අවසාන කළේ මුසාවකින් නොවේය. මෙලොව සිටින බොහෝ පුරුෂයෝ දඩයමේ යෙදෙති. ඔවුන්ගේ කුරුමානම් එකිනෙකට වෙනස්වුවත් අභිප්‍රාය හෝ ඉලක්කය එකම යග එනම්, පිපාසය සංසිඳවා ගැනීමයි. එනමුත් සමහර අවස්ථාවන්හිදී දඩයම විසින් ආපසු දඩයක්කරුවාව ලුහු බඳිනු ලබයි. එවිට නැවතත් දඩයක්කරු ජයලබන්නේ ස්වල්ප අවස්ථාවකදී පමණි.නමුත්, මම ජය ලද්දෙක්මි.”
මේ උපුටා ගැනීමත් එක්ක මං කැමතියි ආචාර්ය ඩෙස්මන් මොරිස්ගේ 'නිරුවත් වානරයා' කෘතියෙන් ගත් අදහස් කීපයක් ඒකතු කරගන්න.
"දඩයම් යුගයේ පිරිමින්ගේ කාර්ය වූණේ දඩයමේ යෑම. ඒ දඩයම පළතුරු බුදින්නකුගේ සිට ලිංගික දඩයක්කාරයෙක් දක්වා දීර්ඝ කාලයක් තිස්සේ සිද්ද වෙච්ච පරිවර්තනයක්. දඩයම් කිරීම හේතුවෙන් පිරිමින් සතුව බයානක ආයුධ තිබුණු හින්දා ඔවුනොවුන් අතර ලිංගික කරුණු හේතුවෙන් ගැටුම් ඇතිවීම වැළැක්වීම අවශ්‍ය වුණා. දඩයම් කටයුතුවලදී දුර්වල පිරිමින්ගේ සහයෝගය ලබා ගැනීමට නම් ඔවුන්ට ද සමාන ලිංගික අයිතිවාසිකම් ලබාදිය යුතුවුණා. ස්ත්‍රීන් බෙදාගෙන ලිංගික සංවිධානය වඩාත් ප්රජාතන්ත්රවාදී ලෙස පවත්වා ගැනීම වැදගත් වුණේ ඒ් හින්දා. ඊට යොදාගත හැකි හොඳම ක්‍රමය වුණේ එක් පිරිමියෙක් එක් ගැහැනියකගෙන් තෘප්තිමත් වීම. ඒ වුණත් භයානක දඩයම්කාරී ජීවන රටාවක් හේතුකොට ගෙන පිරිමියකු ගැහැනුන් කීපදෙනෙකු සමඟ යුගල බන්ධන ඇතිකරගැනීම සිද්දවුණා. නමුත් ස්ත්‍රීන් තුළ ඇති අයිතිකර ගැනීමේ ආශාව නිසා මෙවැන්නක් සිදුවීම පහසු කටයුත්තක් වුණේ නැහැ."
නෙඔමාල් ජයනාත්ගෙන් ගෙනහැර පාන්නේ දඩයක්කාරයෙක් විදියට පරිණාමය වුණ පිරිමියාගේ ස්වරූපය.වනාන්තරගත සතෙකු දඩයක්කරුවකු බවට පත් වී ක්‍රම ක්‍රමයෙන් ශිෂ්ටාචාරගත වූ බව පෙනුනත් එය රැවටිල්ලක් බවයි ආාචර්ය අඩෙස්මන් මොරිස් සඳහන් කරන්නේ. පිරිමියාගේ මේ වෙස් මුහුණ යටින් ඉන්නේ පැරණි නිරුවත් වානරයා ම බව ආචාර්ය මොරිස් කියනවා. ඔහු පවසනවා වෙනස් වී ඇත්තේ නම් පමණක් බව. ඒ අනුව දඩයම් කිරීම වැඩකිරීම විදිහටත් දඩයම් බිම ව්‍යාපාරික ස්ථානය විදිහටත් යුගල බන්ධනය විවාහය විදිහටත් වෙනස් වෙලා තියෙන බවයි ඔහුගේ අදහස. මේ හැම දේකින්ම අපට පැහැදිලි වෙන්නේ මොන විදියෙන් පෙනුණත් මේ ඉන්නේ පරණ හිටපු දඩයක්කාරයම බව.
ඒ වගේ දඩයක්කාරයන්ගේ ගොදුරු බවට පත්වෙන ඇඩ්ලින්ලා එදා විතරක් නෙවෙයි එදාටත් වැඩිය අද සමාජයේ ඉන්නවා. ලොව පුරා මිය යන කාන්තාවන්ගෙන් අඩකට වඩා මිය ගිහිල්ලා තියෙන්නේ තමන්ගේ සහකරුවකුගේ අතින්, පවුලේ සාමාජිකයකුගේ අතින්, ඒහෙමත් නැත්නම් සමීපතම හිතවතකුගේ අතින්. තමන්ගේ සහකරුවගේ අතින් ඝාතනය වන සෑම පුද්ගලයන් දස දෙනෙක්ගෙන් අට දෙනෙක්ම කාන්තාවන් බවයි සමීක්ෂණ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙන්නේ.ඇත්තටම මේ විදියට ඝාතනය වෙන්නේ විස්මයජනක යෝග්‍ය සකස්වීම්වලින් හා ඔපවැටීම්වලින් අවුරුදු මිලියන ගණනක් පුරා පරිණාමයේ විශිෂ්ට ප්‍රතිඵලයක් ලෙස විචිත්‍රත්වයට පත් වූ මනුෂ්‍ය ස්ත්‍රී ලිංගිකයා යි.
ගෙදර බුදුන් අම්මා ලෙස සලකන මාතෘත්වයට ඉහළ පිළිගැනීමක් ඇති ලංකාව වගේ රටක පවා මේ තත්ත්වය එන්න එන්නම දරුණු වී තිබෙන බව පෙනෙනවා. මෑතකදී ගෙල කපා මරා දැමූ විශ්වවිද්‍යාල තරුණිය වගේම හිස කඳෙන් වෙන් කර ට්‍රැවලින් බෑගයේ දැමූ තරුණියත් වර්තමානයේ අපට හමුවෙන ඇඩ්ලින්ලා එහෙමත් නැත්නම් රත්මලීලා..
අද මාර්තු අට වැනිදා. ජාත්‍යන්තර කාන්තා දිනය. හැම අවුරුද්දකදීම මාර්තු අට වැනිදා කාන්තාවන් ගැන කතා කරන අපි අනෙක් හැම දවසකම ගැහැනියක් මිය යන හැටි, දූෂණයට ලක්වෙන හැටි, හිංසනයට, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට, ලිංගික තාඩනපීඩනවලට ලක්වෙන හැටිල මරාදමන හැටි නිහඬව බලන් ඉන්නවා. ඒ කාන්තාවන් අතර කුඩා දැරියෝ, යුවතියෝ, තරුණියෝ, අවිවාහක විවාහක ගැහැනු, භාර්යාවෝ, අම්මාවරුන් ආදී විවිධ භූමිකාවලට අයත් කාන්තාවෝ සිටිනවා. ඔවුන් යුක්තිය සොයා යන සෑම තැනකදී ම මානසිකව වගේ ම වාචිකවත් හිංසනයට ලක්වෙනවා. තමන්ගේ නිදොස් බව ඔප්පු කරන්න ගිහින් සමාජය ඉදිරියේ කිහිපවාරයක්ම නිරුවත් වෙනවා. ලිංගික අපහරණයට ලක්වෙනවා.
සමාජ මාධ්‍ය ජාලවල වෛරී ප්රකාශනවලට ලක්වෙන කාන්තාවන් කෙතරම් සිටිනවාද? සයිබර් අවකාශයේ හිරිහැරවලට තාඩන පීඩනවලට අවමානයට ලක්වෙන්න කාන්තාවන් කෙතරම්ද? අප ඇඩ්ලින්ලා රත්මලීලා ගැන ශෝක වන තරමට ඒ අය ගැන සොයා බලනවාද? ඒ අය වෙනුවෙන් පෙනී සිටිනවාද? ඔවුන් වෙනුවෙන් නීතියේ රැකවරණය ඇත්තටම ප්‍රමාණවත් ද? ඔවුන් විඳින මානසික පීඩාව අවසන් විය යුත්තේ මරණයෙන් පමණක්මද?
මේ මොහොතේත් ප්‍රේමය පාවිච්චි කරලා ඇඩ්ලින්ලාව මරණය වෙතට රැගෙන යන ජයලාල්ලා ඔ්නෑ තරම් මේ සමාජයේ ඉන්නවාග ඇත්තටම ඒ් ගැන ඇඩ්ලින්ලා දැනුවත් ද? ජයලාල්ලාගේ අතින් ඝාතනය වන්නට පෙර ඒ ඇඩ්ලින්ලව රැක ගැනීමට සමාජයක් විදිහට අපට හැකියාවක් තියෙනවද?
මං හිතන්නේ වෛද්‍ය නෙඔමාල් තමන්ගේ කෘතිය ජාත්‍යන්තර කාන්තා දිනය දාම එළි දක්වන්න හිතන්න ඇත්තේත් රත්මලීලාගේ ජීවිත ගැන මීට වඩා ගැඹුරු සාකච්ඡාවක් ගොඩ නගන්න අවශ්‍ය වුණු හින්දා කියලා. රත්මලී එහෙමත් නැත්නම් ඇඩ්ලින්ට මේ ඛේදනීය ඉරණමට මුහුණ දෙන්න සිදුවෙන්නෙත් කවුරුහරි අම්මාකෙනෙක්ගේ පුතෙක්ගෙන්. පිටසක්වල ජීවියෙක්ගෙන් නෙවෙයි. ඒ් හින්දා ගැහැනු වශයෙන් අපටත් වගකීමක් තියෙනවා. කරුණාකර තමන්ගේ පුතාට පුංචිකාලෙදිම කියලා දෙන්න ගැහැනියකට ගෞරව කරන්න. ඇයට මිනිසකු සේ සලකන්නග .ඇය තමන්ගේම සහෝදරියක් මවක් සේ සිතන්න. ඇගේ සුන්දර සිනාව වරදවා වටහාගන්නෙපා. ඒ සිනාවයි මේ ලෝකය ජීවත් කරවන්නේ.
මේ අවසන් උපුටනය
‘’මගේ සිහින සියල්ලක්ම විනාශ වූයේ රත්මලීගේ තිබූ දඟකාර සිනාවට වශී වූ හෙයිනි. එම උගුලට හසු වූ මගේ ගෙල ක්‍රමක්‍රමයෙන් සිර වී එහි ඇමට යොදා තිබූ ශෘංගාරය නැමැති තොණ්ඩුවෙන් මිදීමට නොහැකි විය. එලෙස විග්රහ කළ විට දඩයම වූයේ මා මිසක් ඇය නොවිණ.
මතක තබාගන්න රත්මලී එහෙමත් නැත්නම් ඇඩ්ලින් කියන්නේ මරා දැමුවත් නිහඬ කරන්න බැරි වුණු ගැහැනියක්. ඇයව ඝාතනය කරලා අද වෙනකොට අවුරුදු 64ක් ගෙවිලා ගියත් තවමත් ඇය ගැහැනුන් වෙනුවෙන් මේ කරන්නේ නිහඬ අරගලයක්. ඉපදෙමින් මැරෙමින් නැවත නැවතත් ඉපදෙමින් ඇය ඇගේ හඬ නගනවා. ඒ වගේ ගැහැනු තවත් ඉන්නවා. හමුදා බැරැක්කයක හිටපු සෙබළුන් අතින් දූෂණය වුණු යාපනයේ කයිතඩි ප්‍රදේශයේ උපන් උසස්පෙළ පාසල් සිසුවියක් වුණ ක්‍රිශාන්ති කුමාරස්වාමි ඒ වගේ එක්කෙනෙක්. විසිදෙහැවිරිදි කතරගම රූමතිය ප්‍රේමවතී මනම්පේරි තවත් ඒ වගේ කාන්තාවක්. උතුරු දකුණු බේදයක් නැතිව ම මේ ගැහැනු මරාදැමෙනවා..මේ මරණවලින් කියවෙන්නේ මනුෂ්‍යත්වයේ මියයාම මිසක් වෙන කිසිවක් නෙවෙයි.ග මේ ප්රශ්නය ගැහැනුන්ගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි.
ඉතින් කාන්තා දිනයේ දී අප කළ යුත්තේ ඔවුන් ස්මරණය කිරීම පමණක් ම ද?
ඒ ප්රශ්නය ඔබට ඉතිරි කරමින් මගේ මේ කෙටි දේශනය අවසන් කරන්නට මත්තෙන් මං කැමැතියි අනුරාධා නිල්මිණිගේ නාරිසූත්රය කවි පොතෙන් ප්‍රේමවතී මනම්පේරි ගැන ලියූ කවිය උපුටා ගන්නට
‘පාන්දර තුන හතර වෙනකොටත්
පණපිටින් ඔව් කතරගම රූමතිය
ඇවිදපන් ටවුම මැද හෙළුවෙන්
ඇහුණේය යන්තමට පණ අදින කන්වලට
ලුතිනන්ගේ අණ
පහර පිට පහර වැදෙන - නිරුවත් සිරුර ඔසවන්
ඇවිද්දෙ හිතේ හුරුවට
අන්තිම නැවතුම තැපැල් කන්තෝරුව - එතනයි ටයර් චිතකය
වළලපන් මේ බොඩි එක
ගිනි මැද මනස් සක්මන - මං ඇඳිනුව
සොහොන්පල්ලා ඇලඩින්ගේ මූණ
මේක නංගිට - අරුංගල් ගැලෙව්වේ කෝමද
මතකයක් නෑ මට - ඒත් ඒක මගේ අන්තිම කැමැත්ත
ඇලඩින්ගේ මූණ - ඇස්වල තෙත - තමයි අවසන් මතක
එතකොටත් හුස්ම අල්ලන් හිටපු - කළු අඟුරක් වුණු සිරුර
කීතු ඉර ඉර පත්තු වුණා පතොරම
පනහකට පස්සෙත් - කියන්නට කැමති නෑ මම
නැවත නැවතත් එකම කතාව
ඒ්ත් - මතක තියාගන්න
ඉතිහාසය ලියන්නට සිද්ධ වෙයි - අනාගතයෙ දි වුණත්
මෙහෙම - විසි තිස් වතාව
ස්තුතියි
හංසමාලා රිටිගහපොළ