වේදිකාව මත තැන් තැන්වල අසුන් ගෙන සතුටු සාමීචියේ යෙදෙන පිරිසකගේ දර්ශනයක් සිහියට නගන්න. ඒ අතර මෑතකදී හඳුනාගත් කාන්තාවක් සමග 'කොටුවක් පැනීමට' ගොස් අකරතැබ්බයට ලක් වූ රූපවාහිනී නිවේදකයෙක්, එම රූපවාහිනී නිවේදකයා අතටම අල්ලා ගැනීමට ඔහු සිටින හෝටලය කරා පැමිණි ඔහුගේ බිරිඳ, නිවේදකයාගේ පෙම්වතිය අල්ලා ගැනීමට පැමිණි ඇයගේ විවාහක පුරුෂයා වන පාසැල් විදුහල්පතිවරයෙක්, හෝටලයට කොටු පැනීමට පැමිණ තවත් අකරතැබ්බයකට මුහුණ පෑ තරුණ යුවලක්, හෝටලයේ හිමිකරු සහ සපුරාම වෙනස් ගති පැවතුම් ඇති ඔහුගේ සේවකයන් දෙදෙනා, මංගල උත්සවය මොහොතේදී එයින් පැන දුවන මනාළියක් සහ තවත් කිහිප දෙනෙක් ඔබට දැක ගත හැකිය.
මේ හැම චරිතයකටම මතුපිටින් පෙනෙන ඔවුනගේ සංකේතීය මුහුණට යටින් අශ්ශීල, අසම්මත ජීවිතයක් තිබෙන බව අප සුළු මොහොතකට පෙර වේදිකාව මතදී දුටුවා යැයි සිතන්න. එය කොතරම් සරදම්ජනකද යත්, රූපවාහිනීයේ 'කොටුවෙන් එළියට' යන නමින් නිවේදකයා (ජගත්) විසින් ඉදිරිපත් කරනු ලබන වැඩ සටහනේ අරමුණ වන්නේ සැබවින්ම විවාහය නමැති කොටුව උත්කර්ෂයට නැංවීමයි. ඔහුගේ ජීවිතයේ අශ්ශීල අර්ධය තුළ එම කොටුවෙන් එළියට පනින ඔහු පස්වරු හතරට පෙර යළිත් එම වැඩ සටහනේ පෙනී සිටීම සඳහා පිටත්ව යා යුතුය. ඔහුව සොයා එන ඔහුගේ බිරිඳටද අසම්මත සබඳතාවක් තිබෙන බව නාට්‍යය අපට ඉඟි කරයි. සෙසු චරිතවල තත්ත්වයද එයින් වෙනස් නැත. ඇතැම් විට මේ සියළු චරිත අතුරින් වඩාත්ම අශ්ශීල ජීවිතයක් තිබෙන බවක් පෙනෙන්නේ (අපේක්ෂා කළ හැකි පරිදිම) විදුහල්පතිවරයා හටය.
නිවේදකයාගේ බිරිඳට ඇල්ම බැල්ම දමන පිරිමි චරිත කිහිපයක්ම නාට්‍යය තුළ මුණ ගැසේ. හෝටල් හිමියා ඇය වෙත ප්‍රවේශ වන්නට තැත් කරන්නේ ලිංගික ශ්‍රමිකයෙකු වෙත ධනවත් ව්‍යාපාරිකයෙකු ප්‍රවේශ වන සාමාන්‍ය අධිපති ආකෘතියට අනුවය. එය නිසැකවම අසාර්ථක වන්නට නියමිත ප්රයත්නයකි. හෝටල් සේවකයින් දෙදෙනා අතුරින් සංකේත නීතියෙහි මායාත්මක බව දන්නා (සහ එබැවින් වඩා මානුෂික. හා ප්‍රායෝගික යැයිද කිව හැකි) තැනැත්තා බීමත්ව ඇයට වල් බැලුම් හෙලන්නේ වැඩේ හරියන බවට විශ්වාසයක් නැතිවය. සදාචාරවාදයේ කරවටක් ගිලුණු අනෙක් හෝටල් සේවකයා ඇයගේ සිත දිනා ගන්නට තැත් කරන්නේ ඔවුන් දෙදෙනා හැර සමස්ත මිනිස් වර්ගයාම වල් හා දූෂිත වූවන් යැයි හැඟෙන කතා තෙපළමිනි. (නාටකය තුළ වඩාත්ම හාස්‍යයට ලක් වන්නේ විවාහය සහ ලිංගික සදාචාරය පිළිබඳ සංකේතීය නීතිය වචනාර්ථයෙන්ම පිළිගන්නා එම චරිතයයි. මංගල උත්සවයෙන් පැන දුවන අසරණ තරුණිය සම්බන්ධයෙන් වඩාත්ම අකාරුණික වන්නේද ඔහුය). මේ පිරිමින් තිදෙනාටම වඩා සියුම් ලෙස නිවේදකයාගේ බිරිඳව වසඟ කර ගැනීමට විදුහල්පතිවරයා උත්සාහ දරන්නේ ඇයව හඳුනාගන්නට ඔහු සැබවින්ම උනන්දුවක් දක්වන බවක් හඟවමිනි. මේ පිරිමින් සිව් දෙනා එකම ඉලක්කයක් සඳහා ප්රයත්න දරන ආකාර සතර විසින් අපට සමකාලීන සමාජයේ අශ්ශීල නීතිය සමග මිනිසුන් ගණුදෙණු කරන සංකීර්ණ ස්වභාවය හෙළිදරව් කරනු ලබයි.
මා ලිපියේ ආරම්භයේදී විස්තර කළ දර්ශනය යළිත් සිහිපත් කරන්නට ඉඩ දෙන්න. නාට්‍යයේ අවසන් ජවනිකාව වන එහිදී මේ සියලුම චරිත එකිනෙකා සමග පිළිසඳරෙහි යෙදී සිටින්නේ අප සමස්ත නාට්‍යය පුරාම දුටු අලකලංචි කිසිවක් ඔවුන් අතර සිදු නොවූවාක් සේය. ඒ සංකේතීය යථාර්තය තුළ අප සාමාන්‍යයෙන් දකින, ඇසුරු කරන ලෝකයයි.එම ලෝකයේ පිළිවෙළ හා සාමය ආරක්ෂා වී පවතින්නේ එම චරිත විසින්ම පවත්වාගෙන යන අප්රකාශිත අශ්ශීල නීතියක්ද පවතින බැවිනි. එය "මිනිසා ඒක පුරුෂ/ඒක භාර්යා විවාහය සොයා ගැනීමට සමගාමීව ගණිකා වෘත්තීයද සොයා ගත්තාය" යන ෆ්රෙඩ්රික් එංගල්ස්ගේ ප්‍රකාශය සිහි ගන්වයි. මෙහි අදහස අප සියලුම දෙනා සායා පෙන්වන තරම් දුරට අශ්ශීල ජීවිත ගත කරන බව නොවේ. නමුත්, තමන් සංකේතීය යථාර්තය තුළ වික්ටෝරියානු සදාචාර පිළිවෙළ ආරක්ෂා කරන අතර රහසිගතව අශ්ශීල ෆැන්ටසීන් පවත්වාගෙන යන්නේ නැතැයි පැවසිය හැක්කේ කා හටද?
ඇතැම් විට, සමකාලීන යුගය තුළ මේ කාසියේ අනෙක් පැත්ත නියෝජනය කරන චරිතද සිටිනවා නොවේදැයි සායාගේ 'කොටු'ගැන කල්පනා කරන විට මට හැඟිණ. සංකේතීය ලෝකය තුළ ලිංගික නිදහස සහ අශ්ශීලත්වය ගැන පොත්පත් පවා රචනා කරන අතර තම'රහසිගත' ජීවිතය තුළ ගතානුගතිකවාදී, වික්ටෝරියානු,පීතෘමූලික පවුල් ජීවිත ගත කරන අයවලුන් වත්මන් යුගය තුළ සිටිනවා නොවේද? විශේෂයෙන්ම බටහිර සමාජයන් සම්බන්ධයෙන් ස්ලේවෝයී ශිෂෙක් පවසන පරිදි අද දිනයේ නිදහස් ලිංගිකත්වය සංකේතීයකරණය වීමට සමගාමීව සමාජයේ ඓන්ද්‍රීය බැඳීම තහවුරු කරන්නා වූ අශ්ශීල නීතියේ තැනට ගතානුගතිකවාදය ආදේශ වෙමින් තිබේ. යුරෝපයේ අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයේ මනෝ ලිංගික පදනම් සැකසෙන්නේ එම ගතානුගතිකවාදී ෆැන්ටසියෙනි. කෙසේ වුවත්අප සමාජයක් ලෙස එවන් පශ්චාත් නූතන තත්ත්වයකට පත්ව නොමැති බැවින් කාසියේ ඒ පැත්ත තවමත් දෘෂ්‍යමාන වන්නේ මද වශයෙනි. එබැවින්, සායාගේ නාට්‍යය තුළ එවන් 'රහසිගත සදාචාරවාදියෙකු' නොසිටීමේ අඩුවක් මට නොදැනේ.
අවසන් වශයෙන්, වික්ටෝරියානු පවුල මූලික කොටගත් සදාචාර පිළිවෙළේ අශ්ශීල අනෙක් පැත්ත වේදිකාවට ගෙනෙන සායා'කොටු'නාට්‍යය නිමා කරන්නේ එම අශ්ශීල පැත්ත හෙළිදරවු නොවූයේ නම් (සංකේතීය නීතිය වචනාර්ථයෙන් පිළිගන්නා හෝටල් සේවකයා එය හෙළිදරව් නොකළේ නම්) ඒ සියලු චරිත ඔවුනගේ දෛනික ජීවිතය තුළ එකිනෙකාව ඇසුරු කරන්නට ඉඩ තිබූ ආකාරය මදකට අප හමුවේ ප්‍රදර්ශනය කරමින්ය. මෙය මා මෑතකදී දුටු ඉතාම ප්‍රබල හා තියුණු පරිසමාචාරයකි (curtain call). එවැන්නක් මා මින් පෙර දුටුවේ 'තට්ට ගායිකාව'නාට්‍යය තුළය. අපගේ සමාජ පිළිවෙළේ සහ තේරුම්වල අබූතරූපී බව රංගගත කරන 'තට්ට ගායිකාව'නාට්‍යයේ චරිත අවසානයේදී ප්‍රේක්ෂකයින් අතරට පැමිණ ඔවුන් හා මිශ්‍ර වේ. ඔවුන් හා එක්ව අප අත්පොළසන් දෙන්නේ හිස් වේදිකාවක් දෙස බලාගෙන ය. මේ නාට්‍ය දෙකම අවසන් වන්නේ අප එතෙක් දුටුවේ අපගේම දෛනික ජීවිතයේ රංගය බව අපට පසක් කරමින්ය.
සුමිත් චාමින්ද