වල්ලී - ස්කන්ධ කුමරු අපූර්ව ප්‍රේම වෘත්තාන්තයයි. එය වරෙක ඓතිහාසිකය. තවත් විටෙක සත්‍යයත්, මායාවත් අතර දෝලනය වන විචිත්‍ර මනෝ කල්පනාවකි.
එමෙන්ම සිංහල සිනමා ඉතිහාසයෙහි දේව කතාවක් සිනමාවට නැඟුණ ප්‍රථම අවස්ථාවයි.
පත්තිනි, කුස පබා, යසෝදරා, විජයබා කොල්ලය ආදී සාර්ථක අන්දමේ ඉතිහාස කතා සිනමාපට ලෙස ඔබ හමුවට සමීප කළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් පුරා වසර 7ක් තිස්සේ මහත් පරිශ්‍රමයක් යොදා ජනවහර සහ ජනකතා ආශ්රිත ග්රන්ථ 40ක් පමණ පර්යේෂණයට ලක් කර තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ සිනමාපටයක්. දෙව් මිනිස් ප්‍රේම වෘත්තාන්තය කදිර දිව්‍ය රාජ චිත්‍රපටය රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතාගේ නිෂ්පාදනයකි.
කාලය ක්‍රිස්තු පූර්ව 02 වන සියවසයි. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වනගත ජීවිතයක් ගත කරන මිනිස් ප්‍රජාව අතර සිටින සුද්දහාමි සහ උක්කුඑ. තනි දරුවෙකු පිළිබඳ ආසාවෙන් කතරගම බෝධියට භාරහාර වෙමින් සිටිති. මුවැත්තියකගේ මඟ පෙන්වීම අනුව ඔවුන්ට කතරගම කැලයෙන් බිලිදියක හමුවේ. වනයෙන් හමුවූ නිසා ඔවුහු ඇයට “වල්ලී“ යැයි නම් තබති. කාලයාගේ ඇවෑමෙන් රූමතියක වූ වල්ලී නොදුටු රුවකට ආලය කරන්නට පටන් ගනී. ඒ ආලය කොතරම් වීද යත් ඇය සිතින් පමණක් දුටු ඒ පෙම්වතාගේ පිළිමයක් නිර්මාණය කර යෙහෙළියන් සමඟ පිළිරුවට පූජා කරන්නට පටන් ගනී.
දිනක් එතැනට පැමිණෙන නාරද ඍෂි පවසන්නේ ඇය ආලය කරන්නේ ස්කන්ධ නම් මහා බලසම්පන්න දෙවියන්ට බවයි. එයින් මවිතයට පත්වන වල්ලී, ස්කන්ධ ගැන නාරද ඍෂිගෙන් තොරතුරු විමසා දැන ගනියි. එතැන් පටන් නාරද ඍෂි, ස්කන්ධ කුමාරෝප්පත්තිය විස්තර කරන්නට පටන් ගනී.
එක්තරා කාලයක් දිව්‍යලෝකය, දෙවියන්ගේ පරම සතුරා වූ නාරද නම් අසුරයාගේ අනසකට යටත් වේ. ඔහු දෙවිවරුන් පීඩාවට පත් කරයි. ලෝක පාලක මහා බ්‍රහ්ම පවසන්නේ තාරකගෙන් දෙව්ලොව ගලවා ගත හැකි වන්නේ ශිව - පාර්වතී දෙදෙනාට දාව උපදින දරුවකුට පමණක් බවයි. කාමදේව සහ ඔහුගේ භාර්යාව රතී ශිව - පාර්වතී දෙදෙනා අතර ප්‍රේමයක් ඇති කරයි. ශිව - පාර්වතී දෙදෙනාට උපන් දරුවා වූ ස්කන්ධ තාරක වනසයි. ඒ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්ද්‍ර දෙවියෝ සිය දියණිය වූ දේවයානී ස්කන්ධට විවාහ කර දෙයි.
තමා ආලය කරන්නේ විවාහක, මහේශාක්‍ය දෙවියෙකුට බව නාරද ඍෂි වෙතින් දැන ගන්නා වල්ලී මහත් සේ දුකට පත්වෙයි. මේ අතර දෙව් ලොවට යන නාරද ඍෂි වල්ලී පිළිබඳ ආරංචිය ස්කන්ධට දන්වයි. ඉන් පසු සිදු වන්නේ කුමක්ද? වල්ලී - ස්කන්ධ කුමරු අපූර්ව ප්‍රේම වෘත්තාන්තය ප්‍රේක්ෂක ඔබ සැමට ‘කදිර දිව්‍යරාජ‘ සිනමාපටය නැරඹීමෙන් දැක ගත හැකිය.
දිව්‍ය සෙනෙහසක සිනමා සිත්තම කදිර දිව්‍යරාජ එළැබෙන අගෝස්තු මස 03වනදා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීමට නියමිතය.
මෙම සිනමා පටය වෙනුවෙන් සමර් වීර්මානි සමඟ සොනාක්ෂි සිං රාවන් යන භාරතීය රංගන ශිල්පීන් දෙදෙනා ප්‍රධාන චරිතයන්ට පණ පොවන අතර රොෂාන් පිලපිටිය, නිල්මිණි තෙන්නකෝන්, ජගත් චමිල, චරිත් අබේසිංහ, වසන්ත විට්ටච්චි, නදීපා රණසිංහ, සරත් කොතලාවල, ධනංජය සිරිවර්ධන, විනූ උදාරි සිරිවර්ධන, හරිනි උත්පලා, අජිත් නිශාන්ත, සමුදි ජයසිංහ, වසන්ත කුමාරවිල, ෂෙල්ටන් කැකුණාවල, රජිත රොද්‍රිගු, රංගී රාජපක්ෂ, සම්පත් තෙන්නකෝන් යන අයත් රංගනයෙන් දායක වී තිබෙනවා.
කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම අවසානයේ මාධ්‍යය අමතමින් කළ කතාවේ දී මෙම සිනමාපටයේ කණ්ඩුල ඇතාට සිටින්නේ කතරගම මහා දේවාලයේ වාසනා හස්තියා බව දැනගැනීමට ඇත. වාසනා චිත්‍රපටය සඳහා සම්බන්ධ කර ගැනීමට අවසර දී තිබුණේ එවකට සිටි කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ වන දිල්රුවන් රාජපක්ෂයි.
කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්රියත්, කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුවවත්ත, නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධීරත්, සංස්කරණය තිස්ස සුරේන්ද්‍රත්, සටන් අධ්‍යක්ෂණය සුමුදු අමල්කත්, දෘශ්‍ය ප්‍රයෝග චමත් පරණවිදානත්, නර්තන අධ්‍යක්ෂණය සංඛ අබේසිංහත්, සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහත්, ගායනය නිරෝෂා විරාජිනී හා රවීන් කණිෂ්කත්, සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්රියත්, නිශ්චල ඡායාරූපකරණය ධම්මික පතිරත්නත්, නිෂ්පාදන සම්බන්ධීකරණය ඒ. ඩී. රංජිත් කුමාරත් සිදු කර තිබෙනවා.
වල්ලී - ස්කන්ධ කුමරු අපූර්ව ප්‍රේම වෘත්තාන්තය, ශිව පාර්වතී මංගල්‍යය, කඳ කුමරුන්ගේ ඉපදීම, අසුර පරාජය, දුටුගැමුණු කඳ සුරිඳු මිත්‍රත්වය, කතරගම දෙවොලේ මූලාරම්භය හා ගණ දෙවියන්ගේ හමුව ඇතුළු ඇසූ නොඇසූ කථා කදිර දිව්‍යරාජ සිනමාපටය තුළින් නැරඹිය හැකිය.
(රසඳුන - අනුෂා රණසිංහ)