ප්‍රවීන චිත්‍රපටි අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ අධක්ෂණය කළ එච්.ඩි. පේ‍්‍රමසිරි, සන්ධ්‍යා සල්ගාදු සම නිෂ්පදනයෙන් දායක වුන ගාඩි සිංහල චිත්‍රපටය 1815 ආසන්න කාලවකවානුවේ ශී‍්‍ර ලංකාවේ සිදු වූ යැයි කියන සිදුවීම් පෙළක් තේමා කර ගත්තකි. කන්ද උඩරට කිරුළ හිමිකරගෙන සිටි ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජුට එරෙහිව කුමන්ත්‍රණ කරන්නා වු කන්ද උඩරට රඳළ නායකයින් හා ඔවුන් අතර සිටි බුලත්ගම සදිසාවේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් වටා ගෙතුන සාමාන්‍ය කථාවක් මෙහි අන්තර්ගත තේමාව ලෙස සඳහන් කළ හැකිය.
සිනමා පටයේ එන පරිදි රාජසිංහ රජු එළවා දමන්නට උත්සාහ කරමින් කුමන්ත්‍රණ කරනා දිසාවේලා අතර මූලිකත්වය ගන්නේ ඇහැළේපොළ මහ අධිකාරම බවද එතුමන්ට වඩාත් සමීප දිසාවේ කෙනෙක් ලෙස බුලත්ගම දිසාවේද මතුකර ඇත. ඉංග්‍රීසි ආණ්ඩුකාර ඩොයිලිගේ උපකාරයෙන් කන්ද උඩරට ආක්‍රමණය කර රාජසිංහ රජු පළවා හරින්නට උත්සාහ කළ කුමන්ත්‍රණයක් අසාර්ථක වීමත් ඊට සහාය දැක්වු බුලත්ගම දිසාවේ ඇතුළු දිසාවේලා ජීවිත බේරාගෙන පළා යාමක් සිදුවේ. ඉන් අනතුරව සිදුවන්නේ රජුට ද්රෝහිවීමෙන් වරදකරුවන් අතරින් කෙනෙකු වූ බුලත්ගම දිසාවේ වෙනුවෙන් ඔහුගේ පවුලේ ඥාතීන් රාජ උදහසට ලක්වීමත්, දඩුවම් පැමිණවීමත් ය. රාජ අණ පරිදි ඒ අනුව පවුලේ සම්ප ඥාතී කාන්තාවන් මහවැලි ගගේ ගිල්වා මැරීමට නියම කෙරෙන අතර ගෙලෙහි ගලක් බැඳගෙන ගඟට පැන දිවි නසා ගැනීමට නියම වේ. එම දඩුවමට අකමැති වන කාන්තාවන් ගාඩි රැහේ පිරිමින්ට හෙවත් රොඞී කුලයේ පිරිමින්ට විවාහ කර දීමට නියම වේ.
රජුට එරෙහිව කුමන්ත්‍රණය කර රාජ උදහසට ලක්ව සැඟව සිටි බුලත්ගම දිසාවගේ නැන්දණිය, මව, සොයුරිය සහ බිරිඳ දඩුවමට ලක් ව මරණයට කැපව දියේ ගිල්වීම සඳහා සුදු අන්දවා ගඟ අසලට රැගෙන යාමත්, වයස් පිළිවෙළට නැන්දණිය, මව, සොයුරිය ගඟට පැන දිවි නසා ගැනීමත් සිදුවේ. දිවිනසා ගැනීම සඳහා ගඟට පැණීමට ඊළඟට වාරය හිමිවන්නේ බුලත්ගම දිසාවේගේ අලූතගෙනා බිරිඳ ටිකිරි මැණිකේට ය. ටිකිරි මැණිකේ ගඟට පැන දිවි නසා ගැනීමට සූදානම් ව සුදුවතින් සැරසී, රතු මල් මාලා දමා, කලූ ගලක්ද ගෙලේ බැඳ, පැමිණ සිටියද පිළිවෙළින් අත්තම්මා, අම්මා, නැන්දණිය දිවිනසා ගැනීමෙන් අනතුරුව තමාගේ වාරය පැමිණි පසුව මරණය ප්‍රතික්ෂේප කරමින් බිය වී පසෙකට වෙයි.
ශ්‍රී ලාංකීය කුලකතුන්ගේ වීරත්වය, විශේෂයෙන් ම කන්ද උඩරට කුල කාන්තාවන් මව්වරුන්, දියණිවරුන්, බිරින්ඳෑවරුන් පමණක් නොව කුඩා දරුවන් පවා රට, ජාතිය, ආගම, යුක්තිය, කුල ගර්වය, ඥාති සබඳතා වෙනුවෙන් ජීවිත පූජා කළ ඉතිහාසයක් ඇති කන්ද උඩරට වංශකථා ඉතිහාසයට ප්‍රශ්නාර්ථයක් කෝපයක්, මෙන් ම ලජ්ජාවක් ද එක් කරන මේ අවස්ථාව සිනමාපටයේ දිගහැරෙනුයේ කිසියම් කුතුහලයක් ද සමඟිනි.
මරණ බයෙන් ඇය මරණය ප්‍රතික්ෂේප කළ ද රට වෙනුවෙන් හෝ කුල පරම්පරාව වෙනුවෙන් කිසියම් සුවිශේෂ රහසක් වැනි දෙයක් රැුකගැනීමට අපමණ නින්දා අපහාස මැද වුවද ජීවත් වීමට තීරණය කළා ද යන කුතුහලය සිනමා පටයේ අවසානය දක්වාම පවතියි. රාජ නීතියට අනුව බුලත්ගම දිසාවේගේ තරුණ බිරිඳ ගඟට පැන දිවිනසා ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා සෙනඟ ඉදිරියේ ප්‍රසිද්ධියේ ම උඩුකය වස්ත්‍ර ඇතුළු වස්ත්රාභරණ ඉරා ගලවා දමා රොඞී කාන්තාවන්ගේ ඇ`දුම වන උඩුකය නිරාවරණය ව දණහිස ළඟට කෙටි රෙදි කඩක් පමණක් අන්දවා ගඟ ළග එකත්පසව සිටි රොඞී පිරිමින් අතරින් තරඟයට ගඟ තරණය කරමින් පීනා පළමුව මෙගොඩට පැමිණ තරුණියගේ මුහුණේ බුලත් හපය ගෑ විජයා නැමති රොඞී තරුණයාට අත අල්ලා භාරදෙයි. එය සිදුවන්නේ ද සතුන්ට සේ බැන වදිමින් අපහාස කරමින් වන අතර තරුණයාගේ අත අල්ලා ගත් විගස බැනවදිමින් ගල් ගසමින් තිරිසන් සතුන් එළවා දමන්නා සේ ගං ඉවුරෙන් පන්නා දමයි.
රොඞී රැහේ පිරිමින්ගේ ආරක්ෂාවෙන් පිහිටෙන් රාජ සේවකයින් කුලවතුන් විසින් දමා ගසන ගල් පහරවලින් බේරි ටිකිරි මැණිකේ ගෙඟන් එගොඩව රොඞී රැහැට එකතු වේ. රොඞීන් සමඟ එක්ව ජීවත්වීමට සිදුවුවද සෑම විටම ඇය රොඞී රැහේ අයවලූන්ගෙන් ඈත්ව ඔවුන්ගේ ගතිසිරිත්, හිතවත්කම් ප්‍රතික්ෂේප කරමින් සිටීමට උත්සාහ කරන බවක් ද මතු කරයි. එතැන් සිට සිනමාපටය පවත්වාගෙන යාමට මෙන් මතු කරන විවිධ සිදුවීම් කීපයක් දිගහැරෙන අතර එම සිදුවීම් කිසිවක් කථා තේමාවට සුවිශේෂ වටිනාකමක් එක් කරන්නේ ද නැත. එමෙන් ම ප්‍රබල රංගන පෞරෂයක් ඇති රවින්ද්‍ර රන්දෙණිය, නෙතලි නානයක්කාර වැනි ප්‍රවීන ශිල්පීන්ගේ මෙන් ම සජිත ඇන්තනී වැනි තරුණ ජවයෙන් හා රංගන පෞරෂයන්ගේන් යුතු ශිල්පීන්ගේ හැකියාවන්ගෙන් පවා සාධාරණ ප්‍රයෝජනයක් ගන්නා බව පෙනෙන්නට ද නැත.
රොඞී රැහැට විවාහ කර දුන්නද ටිකිරි රොඩියන් සමඟ හිතවත්වීම හා ඔවුන්ට ගැලපී ජීවත්වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇය සාමාන්‍ය තත්වයට එනම් රොඩියන් සමඟ එක් වී විසීමට කැමති කරවා ගැනීම වැනි දේ සළකා ටික කලකට රොඞී රැහෙන් වෙන් ව ජීවත් වීමට ටිකිරිට හා විජයාට අවස්ථාව ලැබේ. අනතුරුව ඔවුන් රැහෙන් වෙන් ව යන අතරතුර ගඟ ඉවුරකින් සොරාගත් ඇදුම් වලින් සැරසී සාමාන්‍ය මිනිසුන් මෙන් ගමකට යාම, කුළු මීමුන් අල්ලමින්, වනාන්තරයේ ජීවත්වීම, වනාන්තරයේදී විවිධ මිනිසුන් හමුවීම, උඩරටට පළායන දිසාවේ පවුලකට උපකාර කිරීම, අවසානයේ පුරුදු රොඞී රැළ නැවත මුණගැසීම ඔවුන් සමඟ ඩොයිලි, ඇහැළේපොළ අධිකාරම, බුලත්ගම දිසාව ඇතුළු කුලවතුන් ඉදිරියේ නැටුම් රඟදැක්වීම, ටිකිරි උඩුකය වසා සිටිමින් ඔවුන් ඉදිරියේ නැගී සිටීම නිසා කුලවතුන්ගේ, විශේෂයෙන් ම ටිකිරිගේ ලැබීම නිසා තමාට ඉහළ නිලතල ලැබෙන බව කියමින් සිටි කලින් සැමියා වූ බුලත්ගම දිසාවේගේ උදහසට ලක්වීම, ටිකිරි සහ විජයා රොඞී රැන අතහැර පළායාම, එමනිසා රොඞී රැන සමූල ඝාතනය වීම, සිදුවීම් කීපයක් සිනමාපටය පුරා දිගහැරේ. අවසානයේ තමාගේ පළායාම නිසා රොඞී රැන ඝාතනය වී ඇති බව දකින විජයා හඩා වැලපෙන අතර එය දකින ටිකිරි තම උඩුකය දවටා සිටි රෙදිකඩ ඉවතට දමමින් රැුහේ නායකයාගේ අපේක්ෂාව රැහැ පවත්වාගෙන් යාම වැනි අදහසක් ප්‍රකාශ කරමින් තමා රොඩි රැහැට එකතු වු බව අගවයි. එම කි‍්‍රයාවත් සමඟ සිනමා පටයේ අවසානය ද සිදුවේ.
ඓතිහාසික සිදුවීම් තේමාකර ගෙන නිර්මාණය කළ ඇහැළේපොළ කුමාරිහාමි, මද්දුම බණ්ඩාර වැනි සිනමා නිර්මාණයන් මෙන් ම සාමාන්‍ය එදිනෙදා ජනවහරේ කථාන්තර තුළත් ගැබ් වුන ලාංකේය කුල කාන්තාවන්ගේ, බිරින්දෑවරුන්ගේ පමණක් නොව කුඩා දරුවන්ගේ පවා වීරත්වය, කුල ගර්වය ස්වාමියා, දරුවන්, රට, ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කළ කාන්තාවන් පිළිබඳ ව අසා ඇති පසුබිමක ගාඩි සිනමා නිර්මාණයෙන් ලාංකේය කුල කතුන්ගේ අභිමානය, ගර්වය වීරත්වය සියල්ල ඉතා පහසුවෙන් හෑල්ලූවට ලක්කර ඇත.
ටිකිරි මරණය ප්‍රතික්ෂේප කළේ ඇයගේ කුසේ දරුවකු සිටීම නැතහොත් වෙනත් රට ජාතිය සම්බන්ධ කිසියම් සුවිශේෂ රහසක් හෝ අරමුණක් වෙනුවෙන් වැනි කිසිදු ප්‍රබල හේතුවකින් තොරව මරණ බිය මුල් කර ගෙන පමණක්ය යන අදහස ඇය කිසිදු අපහසුවකින් තොරව තමා විසින් ම උඩුකය රෙදි කඩ නිරාවරණය කර රොඞී කාන්තාවක වීමට එකඟත්වයක ප්‍රකාශ කිරීමත් සමඟ හෙළිවේ.
එසේ ම එතෙක් රොඞී රැන හා ටිකිරාව ප්‍රතික්ෂේප කරමින් ජීවත් වෙන්නට ගත් උත්සාහයන් ද මේ සමඟ විහිළුවක් බවට පත් වේ. මෙහිදී සිදුවන්නේ කුල කාන්තාවක් මරණ බියෙන් මරණය ප්‍රතික්ෂේප කිරීම මහ සෙනඟ ඉදිරියේ ඇඳුම් ගලවා රොඞී රැනට පාවා දීම නිසා ඇගේ වීරත්වයත් දෙවනුව ඇය කැලයේදී සියතින් ම උඩුකය රෙදි කඩ ගලවා අතහැර දැමීම නිසා කුල ගර්වයත් කාන්තවක ලෙස තිබු ලජ්ජාභය සියල්ලම අතහැර දැමීම ය.
මේ අනුව කිවහැක්කේ ගාඩි සිනමා නිර්මාණයෙන් උඩරට කුල කාන්තාවන්ගේ වීරත්වය හා කුල ගර්වය ගං ඉවුරක විසි කර කුල ගෞරවය පිළිබඳ තිබූ අවසන් බලාපොරොත්තුව ද ලදු කැලෑවක අතහැර දැමු බව ය.
මහචාර්ය නාමලී කුමාරී හඳගම, පේරාදෙණිය විශ්වවිද්‍යාලය