ජෝර්ජ් කුමරුගේ දසවැනි උපන්දිනය සැමරුවේ ඊයේ පෙරේදාය. කවදත් බ්‍රිතාන්‍ය රජ පවුල ගැන ඕපාදූප ඇසීමට කැමැති ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඒ ගැන පසු වූයේ දැඩි උනන්දුවකිනි. ඇරත් බ්‍රිතාන්‍ය ඔටුන්නට හිමිකම් කියන ලැයිස්තුවේ දෙවැන්නා නිසා මේ හුරුබුහුරුටි රජ කුමරුට කාගෙත් ආදරය සහ අවධානය ඉහළින්ම තිබේ. වේල්සයේ ජෝර්ජ් කුමරු නොඑසේ නම් ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුයිස් විලියම් කුමරුගේ හා කේට් කුමරියගේ වැඩිමල් පුත්‍රයාය. තුන්වැනි චාල්ස් රජුගේ ආදරය වැඩිපුරම දිනා ගත් මුනුපුරා ය. එබැවින් ජොර්ජ් කුමරු රාජකීය පවුලේ සෙසු දරුවන්ට වඩා ඉහළින්ම වැජඹෙන අතර, ගත කරන්නේ ද අතිසුඛෝපභෝගී ජීවන රටාවකි.
ජෝර්ජ් කුමරු උපන්නේ 2013 ජූලියේදීය. එලිසබෙත් මහ රැජනගේ රජ සමයේදීය. එබැවින් කුඩා වියේ සිටම ඔහුට සිය මී මිත්තණියගේ ආදරය හා කරුණාව ද, පිලිප් මී මුත්තාගේ ආදරය හා කරුණාව ද නොඅඩුව ලැබී තිබිණි. කාගෙත් ආදරයට හා සුරතලයට ලක්වෙමින් මේ දඟකාරයා ගෙවමින් සිටින්නේ සිය ළමා වියේ හොඳම කාලපරිච්ඡේදය බව අමුතුවෙන් කිව යුතු ද නැත. රාජකීය පවුලට ළැදි බ්‍රිතාන්‍ය ජනතාව ඔහු හඳුන්වන්නේ ‘ඔටුන්න අතේ අරන් උපන් රජ පවුලේ දඟකාරයා‘ ලෙසටය. කුඩා වියේ සිටම දෙස් විදෙස් රාජ්‍ය නායකයන්ගේ පවා සුරතලයට පාත්‍ර වූ ජෝර්ජ් කුමරුගේ දසවැනි උපන්දිනය දා ලැබුණු තෑගි බෝග අඩුවක් නැත. ඒවායේ වටිනාකම ද එසේමය. කොහොමත් සිය පළමු උපන් දිනයේ සිටම ඔහුට මෙවැනි ඉස්තරම් තෑගි බෝග ලැබෙන බැවින් දැන් ඔහුට එහි එතරම් විශේෂත්වයක් නැත. එහෙත් වසරින් වසර මේ රජ කුමරුට ලැබෙන තෑගි බෝග නිසාම ඔහුගේ වත්කම ද ඉහළ යන්නේ බලා සිටියදීමය.
ඊයේ පෙරේදා දසවැනි උපන්දිනයෙන් පසු වාර්තා වූ ආකාරයට ජෝර්ජ් කුමරුගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 3කි. එය සාමාන්‍ය මිනිසකුට නම් සිය ජීවිත කාලයේදී කිසි දිනෙක අත්පත් කරගත නොහැකි තරම්ය. ඇරත් රජ පවුලේ සෙසු සාමාජිකයන්ටත් එවැනි වත්කමක් නැති බව නොකියාම බැරිය. එය තුන්වැනි චාල්ස් රජුගේ වත්කමටත් වඩා වැඩිය. කොටින්ම එලිසබෙත් මහ රැජනගේ වත්කමත් පරදවන සුලු එකකි. එලිසබෙත් මහ රැජනගේ වත්කම් මීට පෙර ඇස්තමේන්තු කළ ආකාරයට ඩොලර් මිලියන 550කි. රජ පවුලෙන් නික්ම ගිය හැරී කුමරු හා මේගන් කුමරියගේ වත්කම ඩොලර් මිලියන 100ක් වත් නැත.
කුඩා වුව ද රජ පවුලේ ‘පොඩි අයගේ‘ දේපළ උරුමයන් ඇතුළු සියලු වත්කම් ගැන බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පත් රජ පවුලට වඩා වද වෙන බැවින් මේ තොරතුරු දිනෙන් දින හෝ මාසිකව යාවත්කාලීන වේ. ඒ අනුව මෑතකදී ‘මිරර්‘ පුවත්පත සඳහන් කර ඇත්තේ රජ පවුලේ වැඩියෙන්ම පොහොසත් ජෝර්ජ් කුමරු නොව ඇගේ නැඟණිය චාලට් කුමරිය බවය. ඔවුන් කියන්නේ මේ හුරුබුහුටි කුමරියගේ වත්කම මේ වන විට ඩොලර් බිලියන 5කට ආසන්න බවය. ඒ අතින් බැලූ විට රජ පවුලේ පොහොසත්ම කුමරිය ඇය ය.
ජෝර්ජ් කුමරුට වඩා වත්කමක් චාලට් කුමරිය සතු වුව ද ඇය සම්ප්‍රදායට අනුව ඔටුන්නට හිමිකම් කියන ලැයිස්තුවේ සිටින්නේ ‘අයියාට‘ පසුවය. බොහෝ වෙබ් අඩවි අධ්‍යයනය කිරීමෙන් පසු බ්‍රිතාන්‍ය ඔටුන්නට හිමිකම් කියන 24 දෙනකු ගැන තොරතුරු සොයා ගැනීමට ලියුම්කරුට හැකි විය. මේ දුසිම් දෙකම රජ පවුලේ ලේ ඥාතීන් වන අතර, ඉන් බොහෝ දෙනකුට කිසි දිනෙක ඔටුන්න නම් නොලැබෙන බව ඒකාන්තය.
එම ලැයිස්තුවේ විලියම් කුමරුට, ජෝර්ජ් කුමරුට හා චාලට් කුමරියට පසුව සිවුවැනි තැන සිටින්නේ ද විලියම් හා කේට් යුවළගේ බාල පුතු ලුයිස් කුමරුය. රජ පවුලේ අකීකරු කුමාරයා හැරී ඊළඟට ය. හැරීගේ සහ මේගන්ගේ පුතු වන ආචි කුමරු ලැයිස්තුවේ 6 වැන්නා ය. ඔහුගේ බාල සොහොයුරිය ලිලිබෙට් කුමරිය 7 වැන තැන සිටින අතර, විලියම් රජුගේ බාල සොහොයුරු ඇන්ඩෘ කුමරු සිට්න්නේ 8 වැනි තැනය. චාල්ස්ලා කුඩා වියේදී නම් ඇන්ඩෘ කුමරු සිටියේ සිහසුනේ උරුමක්කාරයන් අතර දෙවැනි තැනය. එහෙත් චාල්ස්ගේ වැඩිමල් පුතා, පුතාගේ වැඩිමල් පුතා වශයෙන් දරුවන් වැඩි වෙද්දී ඇන්ඩෘ කුමරු පෝලිමේ පසුපසට තල්ලු වෙමින් සිටී. ඇන්ඩෘ කුමරුගේ සහ සාරා කුමරියගේ වැඩිමලා බියට්‍රිස් කුමරිය සිටින්නේ 9 වැනි තැනය. මේ ලැයිස්තුව එතරම්ම දීර්ඝ එකකි. එය ඉතා හොඳින් අධ්‍යයනය කිරීමේදී පෙනී යන විශේෂිතම කාරණාව වන්නේ ජෝර්ජ් කුමරු අනාගතයේදී විවාහ වීමෙන් පසු ඔහුගේ වැඩිමලා මිස නැඟණිය චාලට් කුමරියට නම් ඔටුන්න පෙනෙන තෙක් මායිමක නැති බවය. අනිත් අතට ජෝර්ජ් කුමරුගේ පළමු දරුවා දියණියක වන්නේ නම් පමණක් එලිසබෙත් මහ රැජනගෙන් පසු බ්‍රිතාන්‍ය සිහසුනට පත්වන මීළඟ කුමරිය වීමට වැඩි ඉඩකඩක් පවතින බවත් නොකියාම බැරිය. රජ පවුලේ සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර ගලා යන්නේ එලෙසටය.
ජෝර්ජ් කුමරු ගැන කියන්නේ නම් ඔහුට තරම් රජ පවුලේ කිසිදු දරුවකුට ජනතා ආකර්ෂණය හෝ මාධ්‍ය අවධානය යොමු වී නැති බව පෙනේ. එය දෙවැනි වන්නේ ඩයනා කුමරියගෙන් පසු වැඩිම මාධ්‍ය ඇස එල්ල වූ හැරී කුමරුට පමණි. ඒ අනුව බලද්දී ඩයනා, හැරී සහ ජොර්ජ් යනු එක හා සමාන ආකර්ෂණයකට ලක් වූ රජ පවුලේ සාමාජිකයෝ වෙති. ඩයනා තරම් නොවූවත් හැරී කුමරුට ලැබුණු මාධ්‍ය අවධානය ඉතා ඉහළ මට්ටමක තිබුණු අතර, ජෝර්ජ් කුමරුට ලැබෙමින් පවතින මාධ්‍ය අවධානය ‘වෙනම එකකි‘.
එය ලැබෙන්න පටන් ගත්තේ ජෝර්ජ් කුමරුගේ පළමු උපන් දිනයේ සිටමය. විලියම් සහ කේට් යුවළ පළමු අත්දැකීමෙන්ම බොහෝ දේ වටහා ගන්නට ඇත. පසුගියදා ජොර්ජ් කුමරුගේ දසවැනි උපන්දිනය වන විට මාධ්‍ය අවධානය තවත් ඉහළ ගොස් තිබිණි. කුඩා වියේ පසු වුව ද සිහසුනට හිමිකම් කියන දෙවැන්නා බැවින් හා විලියම් පවුලේ වැඩිමලා බැවින් ජොර්ජ් කුමරුට පැවරී ඇත්තේ සුළුපටු රාජකාරියක් නොවන බවත් බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පත් වාර්තා කර තිබිණි. ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල මෙන් නොව යුරෝපය ඇතුළු බටහිර රටවල අවුරුදු 10ක කොලු ගැටයන් පවා සමාජයේ මෙන්ම සිය පවුලේ සාමාජිකයන් අතරේ ද අවධානයට ලක්වූවෝ වෙති. අපේ රටේ නම් අවුරුදු 10ක කොලු ගැටයන්ට වැඩිහිටියන්ගේ කතාබහට ‘හොට දැමීමට‘ ඉඩක් ලැබෙන්නේම නැත. බලහත්කාරයෙන් වැඩිහිටියන්ගේ කතාවට කඩා පනින කොල්ලෝ කුරුට්ටෝ වැඩිහිටියන්ගෙන් මදි නොකියන්නට අසා ගනිති. කෝටු පාරවල් කිහිපයකින් දඬුවම් ලබති. එහෙත් බ්‍රිතාන්‍ය රජ පවුලේ නම් තත්ත්වය අහසට පොළොව මෙනි. විලියම් කුමරු සහ කේට් කුමරිය සිය පවුලේ සාකච්ඡාවලට බොහෝ විට ජෝර්ජ් කුමරු ද එකතු කරගන්නා බව කියැවේ. පවුලේ කතා පමණක් නොව සමාජයේ වැදගත් සිදු වීම් හෝ රාජකීය පවුලේ සෙසු සාමාජිකයන් සම්බන්ධ කතාබහට ජොර්ජ් කුමරු එක්කාසු වන්නේ නිතැතින්මය. කුඩා වුව ද ඔහුගේ අදහස්වලට විලියම් සහ කේට් හොඳින් ඇහුම්කන් දෙති. පිළිනොගත්ත ද, අනුමත නොකළ ද, ඒවාට ගරු කරති. රාජකීය පවුලේ පමණක් නොව යුරෝපය ඇතුළු බටහිර රටවල දරුවන්ට සලකන්නේ උසේ මට්ටමට හෝ වයසේ තරමට නොවන බව ඇසූ විට ශ්‍රී ලංකාව වැනි රටවල මාපියන් ඇහි බැම උස් කරමින් විමතිය පළ කරනු සහතිකය. එහෙත් කතාව සැබෑය.
තම අදහස් හා යෝජනාවලට මාපියන්ගේ අවධානය නිතැතින්ම ලැබෙන බැවින් දැන් ජෝර්ජ් කුමරු සිතින් වැඩිහිටියෙකි. ඔහු නිතර නිතර සිය හැරී බාප්පා ගැනත් සිතන බව කියැවේ. හැරී කුමරුගේ වැඩිම ආදරය දිනාගත් මේ හුරතල් පුත් කුමරුට බාප්පා රජ පවුලෙන් නික්ම යෑම හද කම්පා කළ සිදුවීමක් බව පසුව වාර්තා වී තිබිණි. අනිත් අතට කුඩා වියේදීම රජ පවුලේ බොහෝ හැලහැප්පීම්වල අත්දැකීම් ඇති බැවින් දැන් ජෝර්ජ් අත්දැකීම් සම්භාරයක් ඇති ‘පොඩිහිටියෙකි.‘ පිලිප් මී මුත්තා සහ එලිසබෙත් මී මිත්තණියගේ වියෝව, හැරී බාප්පාගේ නික්ම යෑම, චාල්ස් මුත්තා රජකමට පත් වීම ඇතුළු විශේෂිත සිදු වීම් රැසක් ඇසින් දුටු ජෝර්ජ් සිය මාපියන්ට උදව් කිරීම තම වගකීමක් බව වටහා ගෙන ඇතැයි බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පත් වාර්තා කර තිබිණි. ඇතැමුන් කියන්නේ චාල්ස්ගේ රාජභිෂේකයේදී ජෝර්ජ් හැසිරුණේ වැඩිහිටියකු ආකාරයෙන් බවය. තවත් සමහරුන්ට අනුව එදින චාල්ස් රජුගෙන් පසු වැඩිම අවධානය දිනාගත් රාජකීය පවුලේ සාමාජිකයා ජෝර්ජ් කුමරු බවය.
අනිත් අතට උසේ පිළිවෙළට බැලුවත් ජොර්ජ් කුමරු ඉදිරියෙන් සිටී. දැනටමත් ඔහුගේ උස අඩි පහකුත් අඟල් 3කි. එය බොහෝ දෙනකු විමතියට පත්වන ආකාරයේ උසකි. එය කතාවට කියන්නේ නම් ඇත්තෙන්ම ‘රාජකීය‘ උසකි. ඔහුගේ උස ගැන රාජකීය රසික රසිකාවියන් මවිතයට පත්ව සිටිති.
පසුගියදාක විලියම් පවුලම වින්ඩ්සර් මාලිගාවේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දේව මෙහෙයකට සහභාගි වූ මොහොතේදී ජෝර්ජ් කුමරුගේ උස වැඩි වී ඇති අයුරු කාටත් විශ්වාස කළ නොහැකි විය. මේ උස ජෝර්ජ් කුමරුට ඔහුගේ මාපියන්ගෙන් උරුම දෙයකි. විලියම් කුමරුගේ උස අඩි 6කුත්, අඟල් 3කි. කේට් කුමරිය අඩි පහකුත්, අඟල් 9ක් උසය. රාජකීය පවුලේ හෝ වංශාධිපතිවරුන් අතර උස් වූ පුද්ගලයන් ගැන කියන්නේ නම් එය ස්පෙන්සර් පවුලට උරුමකම් කියන්නකි. ස්පෙන්සර් වංශාධිපතිවරු කවදත් උසැති පුද්ගලයෝ වෙති. එය ඩයනා කුමරියගේ පරම්පරාවය. බ්‍රිතාන්‍ය රෝස කුසුම ලෙස අදටත් කවුරුත් ආදරය කරන ඩයනා කුමරියගේ උස අඩි පහකුත්, අඟල් 10කි. ඇගේ හිටපු සැමියා වන චාල්ස් රජු ද අඩි පහකුත්, අඟල් 10ක් උසය. එලිසබෙත් මහ රැජනගේ උස යන්තම් අඩි පහකුත්, අඟල් 3ක් පමණි. එහෙත් ඇගේ සැමියා එනම්, චාල්ස් රජුගේ පියා වූ පිලිප් කුමරු අඩි 6ක උසකින් යුතු විය.
එහෙත් ජෝර්ජ් අවුරුදු 10ක් වැනි කුඩා වියේදී එවැනි උසකට හිමිකම් කියන්නේ නම් වැඩිහිටියකු වූ පසු ජොර්ජ් කුමරුගේ උස ගැන සිතාගත හැකි යැයි බොහෝ දෙනා කියති. රජවීමට ඉඩකඩ ලැබෙන්නේ නම් බොහෝ විට ඔහු එතෙක් මෙතෙක් බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයේ උසම රජු බවට ද පත් වනු ඇතැයි දැනටමත් අනාවැකි පිට අනාවැකි පළ වී හමාරය.
මීට පෙර බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයේ උසම රජු ලෙස වාර්තා පොතට එක් වී සිටින්නේ සිවුවැනි එඩ්වඩ් රජුය. ඔහුගේ උස අඩි හයකුත්, අඟල් හතරහමාරකි.
කුඩා ජෝර්ජ් කුමරුගේ සුඛෝපභෝගී ජීවිතය හා අතිවිශාල වත්කම ගැන කතා කිරීමට වඩා අනාගතයේදී ඔහු කෙබඳු පුද්ගලයකු වේදැයි අවධානය යොමු කිරීම වඩා වැදගත් බව විලියම් කුමරුගේ සමීපතම මිතුරකු ප්‍රකාශ කර තිබිණි. ජෝර්ජ් කුමරුට ඔහුගේම ඉරණම සොයා ගැනීමට විලියම් සහ කේට් බාධා නොකරනු ඇතැයි මිතුරා වැඩිදුරටත් කියා තිබිණි.
දැනටමත් ජෝර්ජ් කුමරු සිය නිදහස භුක්ති විඳිමින් සිටින අතර, තවත් වසර කිහිපයක් ගතවන විට ඔහුගේ ජීවිතයට තවත් දේවල් එකතු වනු ඇත. ජෝර්ජ් කුමරුට ගගනගාමියකු වීමේ ආසාවක් හා කැමැත්තක් ඇති බව ද කියැවේ. එවැනි කැමැත්තකට විලියම් පිය කුමරු බාධා නොකරනු ඇතැයි ද වාර්තා පළ වේ.
සාමාන්‍ය පරිදි බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායට අනුව සියලු පුත් කුමරුවෝ හමුදා සේවයට එක් වෙති. එහෙත් දැන් ඒවා වෙනස් වී තිබේ. අලුත් පරම්පරාව එවැනි සම්ප්‍රදායික ක්‍රමවේදයන්ට කොහෙත්ම කැමැති නැති බව විලියම් හා කේට් යුවළත් අවබෝධ කරගෙන සිටිනු නිසැකය. කෙසේ වුවත් මේ කුඩා දඟකාර පුත් කුමරු ගැන හොඳම දේ තව ඉදිරියට කතා කළ හැකි බව නම් ඉඳුරාම කිව හැකිය.
උපුටා ගැනීම සිළුමිණ