පාසල් වේදිකාවෙන් ලැබූ ශක්තියෙන්, ප්‍රසිද්ධ වේදිකාවෙන් ලැබූ පන්නරයෙන් දශක පහක් පුරාවට රිදී තිරයේද, පුංචි තිරයේද, වේදිකාවේද තම නිර්මාණ ප්‍රතිභාව ප්රතිරාව නැංවූ කුසලතා පූර්ණ කලාකරුවකු
ලෙස ප්‍රවීණ රංගන ශිල්පී කිංස්ලි ලෝස් හදුන්වා දිය හැක. අප බොහෝ දෙනා කිංස්ලි ලෝස් හඳුන්වා දෙන්නෙ රංගන ශිල්පියකු ලෙසයි. එහෙත්, ඔහු රංගන ශිල්පියකු පමණක් නොව තවත් බොහෝ ක්ෂේත්‍ර හරහා තම නිර්මාණ කුසලතාවයන් රටටම සනාථ කළ කලාකරුවෙකි. කිංස්ලි හඩකැවීම් ශිල්පියෙකි, තිර පිටපත් රචකයෙකි, නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකි, පුවත්පත් ලිපි පරිවර්තකයෙකි, ඒ වගේම ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකි. වේදිකාවෙන්ද, පුංචි තිරයෙන්ද, රිදී තිරයෙන්ද ප්‍රේක්ෂක සිත් සතන් පිනවූ මේ කලාකරුවා තම රංගන දිවියේ අවුරුදු පනහ පසු කළේ මේ නොබෝදාය. එහෙත් පුදුමයට කරුණ නම් ඔහුට කිසිදු සම්මානයක් නොලැබීමයි. ‘දෙයක් වේ නම් යම්, එය සුදුස්සාටම අයිති වෙයි.’ මෙය ලොව සනාතන දහමකි. එහෙත් නිසි ඇගැයීමකට ලක් නොවූ කලාකරුවන් බොහො දෙනා සිටී. සරසවියෙන් කිංස්ලි ලෝස් සමඟ ඔහුගේ දශක පහක රංගන දිවියේ රස මුසු මතක මාවත දිගේ ඇවිද ගියේ එම කලාකරුවන්ට හිමි විය යුතු නිසි ඇගැයීමක්, වටිනාකමක් ලැබෙනුයේ කවදාද යන්න ප්‍රශ්නාර්ථය ද අප සිත් තුළ දරාගෙනය.
* ඉතිං කොහොමද මේ දිනවල නිර්මාණ කටයුතු එහෙම ?
මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙනවා. කියා දෙන්න ආදරේ තරම්, අළුපාට දේදුනු, රෝස සුදුයි ආදරේ. තවම විකාශය නොවූ ටෙලි නාට්‍ය කිහිපයකුත් තියෙනව. ඒව ඉදිරියේ දී විකාශය වෙයි.
* ඔබේ රංගන දිවියට වසර පනහයි. පාසල් වේදිකාවෙන් රිදී තිරයට ආ මග ගැන කතා කරොත් ?
මම අධ්‍යාපනය ලබන කාලෙ පාසල් ශිෂ්‍ය භට කණ්ඩායමේ එක සාමාජිකයෙක්. ඒ කාලේ දිත් මං පාසල් වේදිකාවේ නාට්‍යවලට සම්බන්ධ වුණා. නාට්‍ය වලට අමතරව සංගීතයත් කළා. ඒ ලැබුණ අවස්ථාවකින් තමයි ගුවන් විදුලියේ ‘ළමා මණ්ඩපයට’ අපිව ගෙන්නුවේ. ඉතිං සෞන්දර්ය විෂයයන්වලට ළැදියාවක් ඇල්මක් තිබුණා. මං සාමාන්‍ය පෙළ විභාගය කරල ඉවර වෙනකොට වයස 19. ඒ කාලේදි තමයි ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවට බැදුණේ. එහෙදි අපි නාට්‍ය ඉගෙන ගත්තා, රංගනය, චරිත නිරූපණය ප්රායෝගිකවම ඉගෙනගත්තා. එදා ඉඳන් තමයි වේදිකාවේ රඟපාන්නෙ. එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයාගේ මනමේ, සිංහභාහු, බන්දුල විතානගේගෙ වැනීසියේ වෙළෙන්දා, ඩග්ලස් සිරිවර්ධනගේ සුභ සන්ධ්‍යාවක්, ඒ වගේ නාට්‍ය 60කට එහා මං රඟපාල තියෙනව. චිත්‍රපට ගත්තොත්, ලේ කිරි කඳුළු, ශ්‍රී වික්‍රම, ගිරි වැසි පුර, වගේ චිත්‍රපට 10කට වගේ මං රංගනයෙන් දායක වුනා. ටෙලි නාට්‍යවල රඟපාන්න පටන් ගත්තේ ලංකාවට රූපවාහිනීය හඳුන්වා දුන්න මුල් කාලේදිමයි. 1983 දී වගේ.
* කිංස්ලි ලෝස් කියන්නෙ නළුවෙක් විතරක් නෙමෙයි?
රංගනයට අමතරව හඬකැවීම් කරල තියෙනවා. උදාහරණයක් විදියට, ගාමිණි ෆොන්සේකා මහත්තයාගේ අන්තිම රැය චිත්‍රපටය, ශාන්ති වගේ නිර්මාණ. ඒ කාලේ තිබුණ පත්තරයක් සමුදුර කියලා. ඒ පත්තරයේ ලිපි පරිවර්තන කටයුතු කරල තියෙනවා. මං අධ්‍යක්ෂණය කරපු ටෙලි නාට්‍ය තියෙනවා. ප්රතිරාව, ජීවන ගඟ ගලා යයි. මං තිරපිටපත් ලියලා තියෙනවා, ඒව වෙන අය අධ්‍යක්ෂණය කරල තියෙනවා. ක්‍රිස්ටි ෂෙල්ටන් අධ්‍යක්ෂණය කරපු නිම් වළල්ල, මිල්ටන් ජයවර්ධන ගේ රඟ මඬල සමුගනී, ප්‍රේම කුමාර අධ්‍යක්ෂණය කළ බැද්දට සඳ, වගේ නාට්‍ය නම් කරන්න පුළුවන්. මං අධ්‍යක්ෂණය කර වේදිකා නාට්‍යත් තියෙනව, තෘෂ්ණා, පර සන්තක කුමාරි, හංසයින් ගේ නවාතැන, කෆීලා සාරා.
* ගාමිණි ෆොන්සේකා මහතා සමඟ තිබුණ ඇසුර මොන වගේද?
එතුමා සමඟ රගපාන්න අවස්ථාවක් ලැබුණා. මං රඟපෑවේ භික්ෂුවකගේ චරිතයක්. ඒත් ඒ කොටස් නියාමනයකට ලක් වෙල ඉවත් කළා. එතුමාගෙම ‘අන්තිම රැය’ චිත්‍රපටයටත් මං දායක වුණා.
* රංගනයේ දී සීමාවකට කොටු වුණාද වූවාද?
නැහැ. අපි රංග ශිල්ප ශාලිකාවෙ දි රංගනය ප්‍රධාන කොටස් දෙහෙකට බෙදලා ඉගෙනගත්තේ. තාත්වික නාට්‍ය, ශෛලීගත නාට්‍ය කියලා. ඊට අමතරවත් බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ රංගන ශිල්ප ක්‍රමයත් අපි ප්‍රගුණ කළා. විජිත ගුණරත්න ගේ දැති නාට්‍ය ඒ රංගන ශෛලියට අනුව නිර්මාණ කල එකක්.
* රංගනයේදි වෙනත් රංගන ශිල්පීන් ගේ බලපෑම ලැබුවද?
නැහැ. මං පුද්ගලයන් අනුකරණයක් කළෙත් නැහැ, ඉදිරියේ දි කරන්නෙත් නැහැ. මට ආවේණික ස්වීයත්වයක් තියෙනව. මං ඒක තමයි මතු කරන්නේ.
* රංගනයේදී දේශිය විදේශීය නිර්මාණ හැදැරීමක් කළාද?
ඔව්. ලෝක නාට්‍ය කලාව ගැන සාහිත්‍ය ගැන පුළුල් හැදෑරීමක් කළයුතුමයි. ඒ දැනුම නැතිව රඟපාන්න බැහැ. රංගනය කියන්නෙ දෙබස් ටිකක් කියෝන එක නෙමෙයිනෙ.
* අපේ රටේ කලාවේ ප්රබෝධයක් ඇති වුනේ කොයි කාලයේද?
1970 දි වගේ ගුණාත්මක බවින් ඉහළ නිර්මාණ බිහි වුණා. පස්සේ 80 දි වගේ ක්රමානුකූල පිරිහීමකට ලක් වුණා. ඒකට දේශපාලනය, ආර්ථික ක්‍රමවේදය, සමාජ පරිහානිය බලපානව.
* දැන් කලාව තියෙන්නෙ කොහෙද?
දැන් කලාවක් තියෙනව ද ? අද කලාව කර්මාන්තයට පරිවර්තනය කරගෙන කලාව කාල ජීවත් වෙනවා. අද රටම අර්බූදයක තියෙන්නෙ. මිනිස්සුන්ට කන්න නැහැ, අඳින්න නැහැ, ගුණධර්ම පිරිහිලා. ඉතිං මිනිස්සු බලන්නෙ මොකක් හරි කරල කීයක් හරි හොයාගන්න එතකොට හොඳ කලාවක් බලාපොරොත්තු වෙන්න බැහැ.
* වර්තමාන කලාව ගොඩගන්න වැඩපිළිවෙළක් තියෙනවද?
අපි කිහිප විටක්ම සංවිධානගත වුණා. අපේ රටේ නැහැ රංගනයටම වෙන් වුණ ඇකැඩමි එකක්. රංග පුහුණු පාසල් අපේ රටේ නැහැ. තිබුණත් ඒව අවරගණයේ එවා. ඒවයින් මිනිස්සු නොමඟ යනවා. ඉන්දියාවේ එහෙම නැහැ. කලාව පොඩි කාලේ ඉදල දරුවන්ට ලං කරල දෙනවා. අනික් එක රියැලටි තරග. මේ තරග ප්‍රමිතියකින් පවත්වන්න ඕන. අදාල ක්ෂේත්රයේ ප්‍රවීණයන් සිටිය යුතුමයි ඒ වගේ තරග වල. අද එහෙම නෑ. සින්දු කියලා ගෙදර යන්න ඕන මිනිහා අනෙක් දවසේ ටෙලි නාට්‍යක රඟපානවා. මේ ක්‍රමය වැරැදි.
* වර්තමාන සමාජය ගැන ඔබට ඇති මතයක්?
අද තරුණ දරුවන් අසංවේදී වෙලා. ජංගම දුරකථන වලට ඇබ්බැහි වෙලා. අපි ඉස්සර සෞන්දර්යාත්මක දේවල්වලට යොමු වුණා. වලාකුළුවල රිද්මයක් තියෙනව, අපිට ඒක දැනුණා. ගහකොළවල රිද්මයක් තියෙනව, අපි ඒ රිද්මෙට ආදරේ කරා, මල්වල සුන්දරත්වයක් තියෙනවා, අපිට ඒ සුන්දරත්ව දකින්න තරම් මානසික නිදහසක් තිබුනා. අද ළමයින්ට එහෙම මනසක් නැහැ.
* ඒ අසංවේදීතාවයට වග කියන්න ඕන කවුද?
දරුවන් හැදෙන්නෙ නිවසේ. ඒ නිසා දෙමව්පියන් වග කියන්න ඕන.
සමාජ ක්‍රමය, තරගකාරි අධ්‍යාපන ක්‍රමය, දේශපාලනය වගකිවයුතුයි. අපි ඒ පාසල් කාලේ දි සෞන්දර්ය විෂයන්වලට නැඹුරු වුණා ඒ නිසා සංවේදීතාවයක් තිබුණා. අද ළමයින්ට ඒ සංවේදීතාවය නැත්තේ සෞන්දර්යාත්මක විශයන් වලින් ඈත් වුණ නිසා.
* ‘සම්මාන ලැබිය යුතු අයට සම්මාන ලැබිලා නැහැ.’ ඔබ එකඟද?
ඔව්. මගේ රංගන දිවියට අවුරුදු පනහයි. මෙතෙක් කිසිදු සම්මානයක් ලැබිලා නැහැ. මට ඒ ගැන දුකක් නැහැ.
* ජීවිතය ගැන මොකද හිතෙන්නෙ?
වෘකයින් මැද ඉන්න බැටළුවෙක් වගේ මං ජීවත් වුණා. මං ප්‍රාර්ථනා කරන්නෙත් මිනිස් වෘකයින්ගෙන් මේ රට මිදේවා කියලයි.
* රංගන ක්ෂේත්රයට එන නවකයින්ට දෙන පණිවිඩය?
උපතින්ම හැකියාවක්, කුසලතාවයක් තියෙනවනම් විතරක් මේ ක්ෂේත්රයට එන්න. රඟපාන්න හැකියාවක් ඕන, සින්දු කියන්න, වයන්න, නටන්න හැකියාවක් එක්ක මිනිස්සු ඉපදෙනවා. ඒ හැකියාව තියෙන අයව තව හදලා ඔපමට්ටම් කරල ගන්න පුළුවන්. දැන් මැණිකක් ඔපමට්ටම් කරන්න පුළුවන් උණාට, කළු ගලක් ඔපමට්ටම් කරන්න බැහැනේ. ඒ නිසා හැකියාව තියෙන අය විතරක් එන්න, හොඳ නිර්මාණ කරන්න. එතකොට නොදැනීම ජනප්‍රියත්ව කලාකරුවකු බවට පත් වෙනවා.
සාකච්චාව : ඉසුරු තඹවිට
සරසවිය පුවත්පත