‘ළසඳ’ පුවත්පතේ විශේෂාංග ලේඛිකාවක් ලෙස 2001 වසරේදී ලේඛනයට එළැඹෙන සුරේකා නිල්මිණී ඉලංකෝන්ගේ පළමු නවකතාව හිරුනි යොවුන් පුවත්පතට ලියූ ‘කඳුළු වස්සානය’ යි. අනතුරුව මෙරට ප්‍රථම සූපශාස්ත්‍ර සඟරාව වන ‘රසසරණි’ හි සංස්කාරකවරිය බවට පත් වෙන ඇය පුවත්පත් කලාවේත් නිර්මාණ ක්ෂේත්රයේත් එකසේ සුරු ව සරන්නීය. ඇගේ නවකතා නිර්මාණ කෘති ලෙස ප්‍රකාශයට පත්වීමේ ආරම්භය සටහන් වෙන්නේ 2013 වසරේදී ‘සඳින් සඳට’ නම් නවකතාවෙනි. එය රිවිර පුවත්පතේ සෙනසුරාදා මියුලැසි අතිරේකයට ලියූවකි. එතැන් සිට ගත වූ දස වසර ඇතුළත නවකතා කෘති 17ක් ප්‍රකාශයට පත්කරනු ලැබූ ඇයගේ නව නිර්මාණ එළැඹුම වන දිය සිත්තම් හි ඇය වියමන් කරන්නේ ගැහැනු චරිතවල විවිධ ස්වභාව ගැන ය.
නවකතා කලාව යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
නවකතාවකදී මූලිකවම සිදුවෙන්නේ සිද්ධි දාමයකින් ගොඩනැඟෙන ප්‍රබන්ධයක් වුවත් මම හිතනවා නවකතාව හුදෙක් ප්‍රබන්ධය ඉක්මවා ගිය නිර්මාණාත්මක කාර්යයක් කියලා. ඒ නිසාම වෙන්නැති යම් නවකතාවක් කියවන පාඨකයාට මේ තමාගේ කතාව ද කියල හැඟෙන්නෙ. නවකතාව ගැන කුමන නිර්වචන තිබුණත්, කුමන ශානරයට අයත් වුවත් නවකතාවකට පාඨක හදවත මනාව ග්‍රහණය කර ගත හැකි ශක්තියක්, අපූර්වත්වයක් තිබෙන බව මගේ අදහසයි. ඒ වගේම මිනිසාට තමා සහ තමා ජීවත්වන සමාජයේ, යුගයේ හැඩරුව සහ ස්වභාවය මනසින් වගේම හදවතින් දැක ගැනීමට සලසන කැඩපතක් විදිහටත් නවකතාව හඳුන්වන්න පුළුවන්.
නවකතාව කියන්නේ කතන්දරයක් කීම පමණක්ද?
කිසිසේත්ම නැහැ. කතන්දරයක් හැම විටම නවකතාවක් වෙන්නෙ නැහැ. නවකතාවක් තුළ හුදෙක් කතන්දරය ඉක්මවා ගිය නිර්මාණශීලී බවක් තිබිය යුතුමයි. එහෙම නැති නවකතාවකට පාඨකයාගේ හදවතට සමීප වන්නට බැහැ. එහෙම පාඨක හදවතට සමීප නොවන නවකතාකරුවකුට දිගු කලක් පවතින්නටත් බැහැ.
නවකතාව යනු සමීප මිනිස් අත්දැකීම් විවරණය කෙරෙන දීර්ඝ ප්‍රබන්ධ ආඛ්‍යානයක් බවයි විචාරකයන් කියන්නේ. එවැනි නවකතා කලාවක් ගැන ඔබේ අදහස කවරාකාරද?
ඒ අදහසට මම මුළුමනින්ම එකඟයි. නවකතාකරුවෙක් විදිහට මම උත්සාහ කරමින් සිටින්නේ ඒ නවකතා කලාව තුළ රැඳී සිටීමටයි. මේ දක්වා ගත වූ දස වසර තුළ නවකතා කෘති 17ක් ප්‍රකාශයට පත් කිරීමට මට අවස්ථාව ලැබුණේ පාඨකයා මගේ නිර්මාණ වැලඳගත් නිසයි. මගේ නවකතාවක් කියැවූ පාඨකයකුට ඒ කතාව ඔහුගේ හෝ ඇයගේ හදවත තුළ භාවමය කම්පනයක් ඇති කළ බවට ප්‍රතිචාර දක්වන විට මට මගේ නිර්මාණය ගැන සතුටක් දැනෙනවා. නවකතා රචනයේදී මිනිස් අත්දැකීම් විවරණය රසවත්ව සහ නිරවුල්ව කිරීමට යම් තරමකට හෝ මට හැකියාව ලැබීමේ ආත්ම අභිමානය මම ඉතා නිහතමානීව අත්විඳිනවා.
නවකතා කලාවේ විවිධ ප්‍රවර්ග තිබෙනවා. ඒ අතරෙන් ඔබ ස්පර්ශ කරන්නේ ජනප්‍රිය ප්‍රවර්ගයද, විදග්ධ ප්‍රවර්ගයද?
මම නවකතා කලාවට ප්‍රවිෂ්ට වුණේ ඇතැමුන් නිර්දය ලෙස විවේචනය කරන “මල් පත්තර” ලෙස හඳුන්වන යොවුන් පුවත්පත් කලාවෙන්. 2003 වසරේ මම මුල්ම නවකතාව ‘කඳුළු වස්සානය’රචනා කළේ යොවුන් පුවත්පතකට.
ඉන් දස වසරකට පසුව 2013 වසරේදී මගේ නවකතාවක් පළමුවරට කෘතියක් ලෙස එළිදුටුවා. එතැන් සිට මේ දක්වා ගතවූ දස වසර තුළ මවිසින් ප්‍රකාශයට පත්කළ නවකතා කෘති 17න් අවසන් වරට පළකළ නවකතා පහ, හය ලියැවුණේ එකිනෙකට වෙනස් සහ සංකීර්ණ වස්තු බීජ යටතේයි. ඒ නිසාම නවකතාවේදී මම ස්පර්ශ කරන මූලික ප්‍රවර්ගය ජනප්‍රිය ප්‍රවර්ගය වුවත් ඒ රාමුවටම සීමා වී නිර්මාණ කිරීම මගේ කැමැත්ත නොවන බව කිව යුතුයි. විවිධ ප්‍රවර්ග අත්හදා බැලීම් කරන්න මම කැමතියි.
ජනප්‍රිය නවකතා කලාවක් සමාජයට අවැසි ඇයි?
වර්තමානයේ අපි ජීවත් වෙන්නෙ බොහෝම සංකීර්ණ අභියෝගාත්මක සමාජයක.
මුලින් කිව්වා වගේ මම මෙතෙක් ස්පර්ශ කොට තිබෙන්නේ ජනප්‍රිය නවකතා ප්‍රවර්ගය. මගේ පාඨකයන් බහුතරයත් ජනප්‍රිය නවකතාවට ඇලුම් කරන්නන්. ඔවුන් බොහෝ දෙනෙකුගේ අදහස ජීවිතයේ දහසක් දුක් දොම්නස්, ප්‍රශ්නවලින් පීඩා විඳින මනස තවත් අමතර බරකින් පුරවා ගැනීමට අවශ්‍ය නැති බවයි. නිර්මාණයකින් පාඨකයා ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යෑම ඕනෑම නිර්මාණකරුවකුගේ වගකීමක්.
ජනප්‍රිය නවකතා කලාවෙන් වුවත් ඒ සමාජ වගකීම ඉටු කළ හැකි බව මම විශ්වාස කරනවා වගේම අපේ ප්‍රවීණ නවකතාකරුවන් සිය නිර්මාණ මඟින් ඒ බව සනාථ කර තිබෙනවා.
නවකතාවකට ඔබ වස්තුබීජය තෝරා ගන්නේ කවර ආකාරයකටද?
එය විවිධාකාරයෙන් සිදුවෙනවා. ඇතැම් විට මම අහන දකින යම් සිදුවීමක් ප්‍රතිනිර්මාණය කිරීමෙන් හෝ තවත් කෙනකුගේ අත්දැකීමක් නවකතාවකට වස්තු බීජය විය හැකියි. වස්තුබීජය කුමන ආකාරයට තෝරා ගත්තත් නවකතාව ගොඩනඟන්න පරිකල්පන ශක්තිය සහ නිර්මාණාත්මක හැකියාව අත්‍යවශ්‍යයි.
සාමාන්‍යයෙන් වස්තු බීජයක් වැඩී එය නිර්මාණ කෘතියක් දක්වා වර්ධනය වීමට කොයිතරම් කාලයක් ඔබ ගන්නවාද?
නවකතාවක් ලිවීමට පෙර සිදු වන්නේ අදාළ වස්තුබීජය මනසේ ගොඩනැඟීමයි. චරිත සහ සිද්ධි, අවස්ථා කළමනාකරණය කරගත් විට නවකතාවේ මුල, මැද සහ අග ගළපා ගැනීම ඉතා පහසුයි. ඒ වස්තුබීජය නිර්මාණයක් බවට පත්වන තුරු මම ජීවත් වන්නේ ඒ චරිත සහ සිදුවීම් සමඟයි. ඇත්තටම නවකතාවක් ලියනවාට වඩා වැඩි කාලයක් ගතවන්නේ ඒ සඳහායි.
නවකතාවේ භාෂාව ගැන ඔබේ අදහස කුමක්ද?
නවකතාවේ ජීව ගුණය සහ අපූර්වත්වය රැඳී ඇත්තේ භාෂාවේයි. ඒ වගේම ව්‍යාකරණ රීති රැකීමටත් මම බොහෝ විට සැලකිලිමත් වෙනවා.
ඔබ නවකතා 17ක් ලියා තිබෙනවා. ඒ සඳහා ඔබ භාවිත ක්‍රමවේදය සහ හැදෑරීම කෙබඳුද?
මූලිකව මම ලියන්න පෙලඹුණේ කුඩා වියේ සිට කියැවීමට මා තුළ තිබුණු අසීමිත කැමැත්ත නිසයි. කියැවීම තුළින් ලිවීමේ ආශාවත් උනන්දුවත් ඇතිවුණා.
ඒ සඳහා ලේඛනය සඳහා මා තුළ තිබූ සහජ හැකියාව උපකාරී වුණා. ප්‍රවීණ ලේඛකයන්ගේ උසස් කෘති පරිශීලනය කිරීම ලේඛනය පිළිබඳ හොඳ හැදෑරීමක් බව මම විශ්වාස කරනවා. ඒ වගේම හොඳම අභ්‍යාසය අඛණ්ඩව ලේඛනයේ යෙදීම බවත් මගේ විශ්වාසයි. මගේම කෘති නැවත නැවත කියැවීමෙන් අඩුපාඩු හඳුනා ගැනීමෙන් මම ම මා හදාරනවා.
මගේ පළමු විවේචකයා මම වීම වගේම මගේ නිර්මාණ පිළිබඳ අන් අයගේ අදහස් පිළිගැනීමත් ඊළඟ නිර්මාණයේදී ඒ අඩුපාඩුවලින් බැහැර වීමත් නිර්මාණ ජීවිතයේ සාර්ථකත්වයට රුකුලක්.
පුවත්පත් සඳහා සතියෙන් සතිය ලියන නවකතා සහ එකවර ග්රන්ථ වශයෙන් ලියන නවකතා අතර ඔබ දකින වෙනස් කවරාකාරද?
සතිපතා ලියන නවකතාවකට පාඨක ප්‍රතිචාර ක්ෂණිකව ලැබෙනවා. නමුත් කෘතියක් ලෙස ලියන නවකතාවකට පාඨක ප්‍රතිචාර ඒ තරම්ම ඉක්මනින්ම ලැබෙන්නෙ නැහැ. කාර්ය බහුලත්වය මත පෞද්ගලිකව මට සතිපතා නවකතා ලිවීමට විවේකයක් නැහැ වගේම මගේ වැඩි කැමැත්තත් එකවර ග්රන්ථයක් ලෙස ලියන නවකතාවලටයි.
ඔබ පටන් ගන්නේ ‘ළසඳ’ පුවත්පතෙන්. මාධ්‍යකරණයේ එදා සිට අද දක්වා ආ ගමන ගැන කතා කළොත්?
පාසල් වියේ සිටම මම ළමා සහ යොවුන් පුවත්පත් සඳහා නිර්මාණ සැපයුවා. 2001 වසරේදී මම පළමුවරට ‘ළසඳ’ පුවත්පතෙන් විශේෂාංග ලේඛිකාවක් බවට පත්වුණා. මගේ පළමු නවකතාව ‘කඳුළු වස්සානය’ පළවෙන්නේ 2003 වසරේදී හිරුනි යොවුන් පුවත්පතේ.
2006 වසරේදී මම මෙරට පළමු සූපශාස්ත්‍ර සඟරාව ‘රසසරණි’ හි සංස්කාරකවරිය බවට පත්වීමත් සමඟ මගේ ලේඛන කලාව වෙනස් ක්ෂේත්රයකට යොමු වුණා.
2011 වසරේදී දිනපතා ‘රිවිර’ ජාතික පුවත්පතට සම්බන්ධ වීමත් සමඟ ප්රවෘත්ති, විශේෂාංගවලට අමතරව පාර්ලිමේන්තු වාර්තාකරණය ඇතුළු පුවත්පත් කලාව පිළිබඳ අත්දැකීම් සම්භාරයක් ලැබුවා.
යටපත් වූ නවකතාකරණයට මම යළි පිවිසෙන්නෙත් 2012 වසරේදී රිවිර සෙනසුරාදා මියුලැසි අතිරේකයට ‘සඳින් සඳට’ නවකතාව රචනා කිරීමෙන්. 2013 වසරේදී එය කෘතියක් ලෙස ප්‍රකාශයට පත්වුණා.
එතැන් සිට ගතවූ දස වසර තුළ මම නවකතා කෘති 17ක් ප්‍රකාශයට පත්කරනු ලැබුවා. 2018 වසරේ සිට ලේක්හවුස් ආයතනයේ මාධ්‍යෙව්දිනියක ලෙස සේවය කරනවා.
පුවත්පත් කලාවේදියකු වීම නිර්මාණ සාහිත්‍යයට පහසුවක් වුණාද?
ඔව්, පුවත්පත් කලාවේදිනියක ලෙස විවිධාකාර සිදුවීම් විශාල ප්‍රමාණයක් දිනපතා අසන්නට, දකින්නට ලැබෙනවා. ඒ වගේම විවිධ ක්ෂේත්‍ර පිළිබඳ නිපුණතාව සහිත පුද්ගලයන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙනවා. බොහෝ විට නිර්මාණ කාර්යය සඳහා ඒ අත්දැකීම් විශේෂයෙන් ප්‍රයෝජනවත් වනවා.
ඔබේ නවතම නිර්මාණ කාර්යය ‘දිය සිත්තම්’. ගැහැනු හදවත් ගැන ඔබ එහිදී කතා කරනවා?
අප එකිනෙකා ජීවිත කාලය තුළදී මුහුණ දෙන ප්‍රශ්න සහ අභියෝග එකිනෙකට වෙනස් වගේම ඒ සඳහා මුහුණ දෙන ආකාරයත් විවිධාකාරයි.
බොහෝ වෙලාවට අපි දකිනවා ඇතැම් කාන්තාවන් ප්‍රශ්න නිසාම ජීවිතය දිය කරගන්නවා. කාන්තාවක් එතරම්ම දුර්වල විය යුතු නැහැ කියල මම හිතනවා.
ඒ නිසාම මම මගේ නවකතා ඔස්සේ පරාජිත සහ දිය වූ කාන්තා චරිත ඉස්මතු කරන්නට කැමැති නැහැ.
මට අවශ්‍ය කාන්තාවකට තමන්ගේ ජීවිතයේ එක් පියවරක් හෝ ඉහළට ඔසවා තබන්නට කුඩා උත්තේජනයක් හෝ මගේ නිර්මාණයකින් ලබාදීමටයි. ‘දිය සිත්තම්’ තුළින් එකිනෙකට වෙනස් කාන්තා චරිත දෙකක් හමුවෙනවා. ඒ අතරෙන් මව පරාජිත චරිතයක්. නමුත් ඇයගේ දියණිය බොහොම දිරිමත් යුවතියක්.
කාන්තාවක් ප්‍රශ්න හමුවේ ජයග්‍රහණය කරා යා යුත්තේ ඉවසීමෙන්, කැපවීමෙන් සහ දරාගැනීමෙන් වගේම කාන්තාවට ආවේණික මෘදු ගැහැනු බව විනාශ කර නොගෙනයි.
කාන්තාවක් තවත් කෙනෙකුගේ ජීවිතයක් විනාශයට ඇද දමන කුරිරු චරිතයක් නොවිය යුතු බවත් මම දිය සිත්තම් ඔස්සේ කියන්නට උත්සාහ කළා. මේ ග්රන්ථ පිළිබඳ වැඩිදුර විස්තර දුරකතන අංක 077 7204836 විමසිය හැකිය.
සුමුදු චතුරාණී ජයවර්ධන, ඡායාරූපය- ශාන් රූපස්සර - සිළුමිණ