විශේෂාංග
අකල්හි අහිමි වූ නිර්මාණ නිධානය - කරුණාරත්න අමරසිංහයන් විසිනි
අකල්හි අහිමිවූ නිර්මාණ නිධානය
දශක දශකයෙන් පස්වන දශකය හැඳින්වෙන්නේ ප්‍රඥා දශකය වශයෙනි. එයින් ගම්‍යමාන වන්නේ මිනිසෙකුගේ බුද්ධි පරිපාකය හට ගන්නා අවධිය උදා වන්නේ පනස් විය එළඹීමත් සමග බවය. විශිෂ්ට ගණයේ ප්‍රංශ නවකතා කරුවෙකු වන වික්ටර් හියුගෝගේ ප්රශස්ත ප්‍රකාශයක් මෙසේය.
"Forty is the old age of youth. Fifty is the youth of old age."
(හතළිහ තාරුණ්‍යයේ මහලු වියයි. පනහ මහලු වියේ තාරුණ්‍යයයි.)
බෞද්ධ සාහිත්‍යයේ මන්ද , ඛිඩ්ඩා,
වණ්ණ , බල , ප්‍රඥා , හායන, පබ්භාර , පවංක , මෝමූහ , සයන යනුවෙන් දැක්වෙන දශක දශකය පිළිබඳ විග්රහයත් වික්ටර් හියුගෝ ලේඛකයාණන්ගේ පූර්වෝක්ත ආප්ත වාක්‍යයත් සාරාර්ථ වශයෙන් දෙකක් නොව එකක් යැයි සිතමි. එසේ නම් මිනිසාගේ ප්‍රඥා දශකය සේ සැලකිය යුතු අවධිය නැතහොත් මහලු වියේ තාරුණ්‍යය ලෙසින් ගත යුතු සමය ඔහු විශ්‍රාම ගැන්විය යුතු කාලය වශයෙන් නිර්ණය කිරීමට පුරෝගාමී වූ මානව භ්‍රෂ්ටයා කවරෙක්ද?
මේ චින්තාවලිය මගේ සිතෙහි රැවු දුන්නේ මගේ උපකාරක ,සමාන සුඛ දුක්ඛ ,අත්ථක්ඛායී , අනුකම්පක මිත්‍ර සේම මගේ දෙවන මනමාලයාද වූ අසෝක කොළඹගේ සහෘදයාණන්ගේ අට වන අභාව සංවත්සරය සිහියට නැගීමේ පල වසයෙනි. මෙලොව තමා හට දුන් සුසුම් රොද යළි මෙලොවටම දී ඔහු හදිසිව අදිසිව ගියේ මින් පුරා අට වසකට පෙර වප් මසෙක අද වන් එකුන් විසි වන දිනකය.ඔහු දුස්සාධ්‍ය ලෙස රෝග ග්රස්තව මංච පරායණ වූයේ ඔහුගේ ප්‍රඥා දශකයේදීය. එනම් මහලු වියේ තාරුණ්‍යයේදීය. එය සිතින් සිතන්නටත් බැරි තරම් විපතකි. ඔහුගේ බහුවිධ ජන්ම කුසලතාත් පෙර අපර දෙදිග භාෂා ඥානයත් නිසර්ග සිද්ධ ප්‍රතිභානයත් ප්රත්යක්ෂ ලෙස දැන සිටි අපි එසේ ඔහු මත අනපේක්ෂිත පරිදි පතිත ඒ දෛවෝපගත විපත නිසා මහත් වූ සංවේගයටත් කම්පනයටත්
පත්වීමු. එහෙත් අසෝකයන් නම් එපත විපත අබියස සංවේගයට හා කම්පනයට පත් වන්නට ඇතැයි නොසිතමු. මක්නිසාද යත් ඔහු තම කටින් කියමින් අන් අතකින් ලියවමින් වුවද තම නිර්මාණ කාරියෙහි නොනැවත නිරත වීමට දිරියෙන් විරියෙන් යුතුව යැතූ පැතූ හෙයිනි.
ගුවන් විදුලි ඉතිහාසයේ පළමු නිවේදකයා මෙන්ම විචක්ෂණ මාධ්‍ය ප්‍රාඥයෙක් , ශූර කෙටි කතා කරුවෙක් , වේදිකා හා චිත්‍රපටි නළුවෙක් වූද ඩී .එම් . කොළඹගේ සූරීන්ගේ ජ්‍යේෂ්ඨ පුත්‍ර රත්නය වූ අසෝක කොළඹගේ ලේඛකයාණන්ගේ කුසලතා නන් අත විහිදුණි. කෙටි කතාව ,නාට්‍යය , නව කතාව , කවිය හා ගීතය යන පංචවිධ සාහිත්‍ය මාධ්‍ය මගින්ම ඔහුගේ බහුවිධ කුසලතා දෘශ්‍යමාන විය. අසෝකයන්ගේ නිර්මාණ පරිකල්පනය තීව්ර වීමෙහි ලා ඔහු ලත් අධ්‍යාපන ශික්ෂණයද මහත් සේ පිටු බල වූ බැව් නිසැකය. විශ්ව විද්‍යාලයේදී ඔහුගේ විෂය ධාරා වූයේ දර්ශනවාදය හා සංස්කෘත භාෂා සාහිත්‍යයයි.
අසෝකයන්ගේ සාහිත්‍ය පරිකල්පන ගිනි සිළේ නෑඹුල් දැල්වීම ඇරැඹුණේ පාසල් වියේ සිටය. "අර්ධ ආත්ම චරිත කතාවක පළමු කොටස" වශයෙන් ඔහු පළ කළ "අසමත් වූවෙකුගේ චර්යා සටහන" කෘතියෙහි ලා ඔහු මෙසේ පවසයි.
"මේ කාලයේ විද්‍යාලය මගින් පළ කළ සඟරාවට මම කෙටි කතාවක් ලිව්වෙමි. එය ළමා මනස පිළිබඳ කතාවකි. එය කියවූ කිහිප දෙනෙක් මට ප්‍රශංසා කළහ. මෙම සඟරාව පිළිබඳව පුවත් පතකට විචාරයක් ලියූ එක් සෝපහාස ලේඛකයෙක් පුස් ගඳ හමන සඟරාව තුළ වූ එකම ජීවමාන අංගය නම් මගේ කෙටි කතාව බව කීවේ තවත් අයටද එමගින් පහර දෙමිනි.
"මම වනිතා විත්ති පුවත් පත ඇතුළු වෙනත් පුවත් පත්වලට කෙටිකතා හා කවි ලිව්වෙමි. එක් කෙටිකතාවක මැය වූයේ"ලණු ඇඹරීම" ය. ඉන් කියැවුණේ රෝගී දරුවකුට බෙහෙත් අරන් දීම සඳහා ඔහු ගැන නොතකා ලණු ඇඹරීමෙහි යෙදුණ දුගී මවක ගැන කතාවකි."
අසෝකයන් ඇතුළු අප හැමගේ භද්‍ර යෞවන සමයේ මෙරට ප්‍රකට ජන මාධ්‍යයන් ලෙස පැවතුණේ තනි ගුවන් විදුලියක් හා ජාතික පුවත් පත් කිහිපයකි. කොළඹට නුදුරු නුගේගොඩ උප නගරයේ එකල නිල නොවන භද්‍ර යෞවන සාහිත්‍ය සහෘද කේන්ද්‍රයක් බිහිව තිබුණි. එහි සාමාජික මණ්ඩලය නුගේගොඩ අවට ස්ථිර වාසී ලෙස මෙන්ම බෝඩිං වාසී ලෙසද සිටි තරුණ පිරිසකගෙන් සැදුම් ලද්දක් විය. ඔව්හු සියල්ලෝම සාහිත්‍ය රස පවසින් හා නිර්මාණ ප්‍රසව වේදනාවෙන් පරිපීඩිතයෝ වූහ. සුනන්ද මහේන්ද්‍ර , අසෝක කොළඹගේ ,අජන්තා රණසිංහ , දයාරත්න රණතුංග ,ආනන්ද .කේ . විජයතුංග (පසුව බණ්ඩාර විජයතුංග) , ස්වර්ණ ශ්‍රී බණ්ඩාර හා මේ ලිපිය ලියන අස්මත් ශබ්ද වාච්යාද එකී නිල නොවන සාහිත්‍ය සහෘද කේන්ද්‍රයේ සප්තේන්ද්රියයෝවීමු.
අසෝකයන් ඇතුළු අප සප්ත සහෘද වෘන්දයම , දේශ විදේශ සාහිත්‍ය ,
සංගීත , කලා පර්ය්යුපාසනය පිණිස
නිතර සම්මුඛ වුණු එක්තරා ප්‍රශාන්ත සන්ථාගාරයක් එකල විය. එය වූකලී මහාචාර්ය තිලක් රත්නකාරයන්ගේ නිවසයි. රත්නකාරයන් කොළඔ ආනන්ද විදුහල්භි ශිල්ප දානය කළ සමයේ එහි සිසුන් වූ සුනන්දයන් හා ආනන්දයන් ( බණ්ඩාරයන්) හට හේ ප්‍රියතම ගුරු තුමෙක් විය. සප්ත සහෘද කේන්ද්‍රයේ සෙස්සන්ද එම නිවසේ සද්ධි විහාරිකයන් වීම එහි ඉෂ්ට ඵලයෙකි. තිලක් රත්නකාරයෝ සිංහල හා ආංගල දෙබසෙහිම හසළයෝය. ප්‍රාචීන හා ප්‍රතිචීන සම්භාව්‍ය සාහිත්‍යය විෂයෙහිද බහුශ්‍රැතයෝය. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහා කිවිඳාණෝ සහ ශ්‍රී චාර්ල්ස් ද සිල්වා මහා පඬිඳාණෝ වනාහි එම සන්ථාගාරයේදී සතතයෙන් අපගේ සන්තානය ඒකාලෝක කළ උත්තුංග උභය ප්‍රඥා ප්රදීස්තම්භයෝ වූහ. එසේම සෞන්දර්ය රසාකරයක් වන් එම සන්ථාගාරය වූකලී අසෝකයන් ඇතුළු අප සහෘද සප්තකයේ නිර්මාණ වින්දන යන උභය කෞශල්යයම උද්දීපනය කළ ආවේශ නිධානයක් වූ බැව් උපරිම උද්දාමයෙන් හා අප්‍රමාණ ආහ්ලාදයෙන් පවසම්හ.
ඒ යුගයේ අපගේ සාහිත්‍ය රස පවස නිවා ලීමට සමත් ගිහි පැවිදි යෝධ සාහිත්‍යධරයෝ අසංඛ්‍ය සංඛ්‍යාවක් පහන් ටැම් මෙන් බැලූ බැලූ අත නැඟී සිට ආලෝක කල්ලෝල විදා ලූහ. එකල අපගේ නිර්මාණ ප්‍රසව වෙහෙස දුර ලූයේ නොනිල තක්සලාවක් වැනි ඒ තනි ගුවන් විදුලිය හා සුජාත ජාතික පුවත්පත්ය. අසෝක කොළඹගේ නම් අංකුර නිර්මාණකරුවාගේ කුසලතා පොබයා ලීමට පුවත්පත් මෙන්ම ගුවන් විදුලියද ප්‍රබල ආවේශ ආලවාලයක් හෙවත් තෝතැන්නක් වූ බැව් නියතය. ඔහු තුළ පැවති නාට්‍ය හා ගීත රචනා කෞශල්‍යය මුලින්ම ප්රකටව ගියේ ගුවන් විදුලියේ ළමා පිටිය මගිනි. තම ගුවන් විදුලි ළමා ගීත නාටකයකට ඔහු විසින් රචිත "බුදු සාදු මම සමන් වැලක් වෙන්නම්" යන හෘදයංගම ගීතය ඊට මනා නිදසුනකි. නන්දා මාලිනිය ගුවන් විදුලි ළමා පිටියේ ගායිකාවක වශයෙන් ගැයූ පළමුවන ගීතය මෙය බවද මෙහි ලා සඳහන් කිරීම වටී.
අසෝකයෝ පසු කලෙක කෘතහස්ත ගුවන් විදුලි නාට්‍ය රචකයෙකු මෙන්ම විවිධ ශාස්ත්‍රීය වූත් සාහිත්‍යමය වූත් ගුවන් විදුලි රචනා සම්පාදකයෙකු ලෙසිනුත් මහත් වූ කීර්තියක් අත්පත් කරගත්හ. "මහපොළොව සිනාසෙයි" යන නමින් පළව ඇත්තේ ඔහුගේ ගුවන් විදුලි නාට්‍ය මංජරියකි. කවිය ,ගීතය සහ නවකතාව යන සාහිත්‍ය රචනාංග මගින් අසෝකයන්ගේ සහජ කුසලතා පිළිබිඹු වුණද ඔහු තුළ වූ නිසර්ග සිද්ධ ප්‍රතිභානය වඩාත් විශද වූයේ ඔහුගේ කෙටි කතා හා නාට්‍ය මගිනැයි යනු මගේ අවංක හැඟීමයි. කලාතුරකින් ඔහු චිත්‍රපටි තිර කතා හා රූප වාහිනී පිටපත් කීපයක් රචනා කළද ඔහු ඒවායින් තෘප්ත වූයේ යැයි සිතිය නොහැකිය. අසෝකයන් රාජ්‍ය සම්මානයට පාත්‍ර වීමට මුල් වූ ඔහුගේ "ඉර කොහේද හැංගිලා" නමැති කෙටිකතා සමුච්චයට ඔහු ලියූ පෙර වදනෙහි ලා මෙසේ ප්‍රකාශ කර ඇත.
" කෙටි කතා රචනය ඉතාමත් ආස්වාද ජනක අත්දැකීමක් වශයෙන් මම සලකමි. එසේ වුවද කෙටි කතා සංග්‍රහයක් ප්‍රකාශයට පත් කිරීමට මට හැකි වූයේ දීර්ඝ නිහැඬියාවකට පසුවය.මෙම කාලය තුළ මම කෙටි කතාවක්ද ,චිත්‍රපටි තිර කතා දෙකක්ද , රූප වාහිනී පිටපත් කිහිපයක්ද ,ගුවන් විදුලි නාට්‍ය රාශියක්ද රචනා කළෙමි. මේ අතුරෙන් ඇතැම් රචනා සාර්ථක නොවීය. කෙසේ වුවද මේ කිසිවකින් මට ඒ තරම් තෘප්තියක් ලැබුණේ නැත. එබැවින් මම යළිත් මගේ ප්‍රියතම මාධ්‍ය වූ කෙටි කතාව දෙසට නැඹුරු වන්නට සිතීමි."
ගුවන් විදුලි නාට්‍ය හැරෙන විට අසෝකයන්ගේ නාට්‍ය රචනා කෞශල්‍යය මනාව විශද කොට දැක්වූ වේදිකා නාට්‍ය පිටපතක් "ග්‍රහ තරු" නමින් ඔහු විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයෙකුව සිටි කාලයේ රචනා කළේය. පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්යවරයාව සිටි ඈෂ්ලි හල්පේ මහතා විසින් එය වේදිකා නිෂ්පාදනයක් බවට පත් කෙරුණි. අසෝකයන්ගේ නිසග උරුමයක් වන් ගැඹුරු හාස්‍යය හා උපහාසය ඒ නාට්‍යයේ ආත්මය බවට පත්ව තිබුණි. එකල ප්‍රේක්ෂකයන් එය සහෘදයන් ලෙස වැලඳ ගත්තේ දුර්ලභ ගණයේ අපූර්ව අත්දැකීමක් ලෙසිනි.
පසු කලෙක කෘතහස්ත , පරිණත , ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වශයෙන්ද කීර්තිමත් වූ අසෝකයන්ගේ මුල්ම කෙටි කතා සංග්‍රහය වන "අනුන්ගේ මුහුණු" පළ වූයේ 1965 වසරේදීය. එවිට ඔහුට වයස 25 කි. ඉන් පසු ඔහු කෙටි කතා සංග්‍රහයන් පහක් නවකතා දෙකක් කාව්‍ය සංග්‍රහයක් හා ගුවන් විදුලි නාට්‍ය සංග්‍රහයක් සහෘදයන්ට දායාද කළේය.මේ කෘති අතරින් තුනක්ම එසේ දායාද කළේ තුන් හිතකින් වත් නොසිතූ අයුරින් ඔහු දුස්සාධ්‍ය ලෙස රෝග ග්රස්තව මංච පරායණ වීමෙන් අනතුරුවය. එය වූකලී ඔහු සතුව පැවති ධෛර්යට හා උට්ඨාන වීර්යට යෝධ සාධකයකි.
"විපදි ධෛර්යම් සම්පදි ක්ෂමා"
"විපතේදී ධෛර්යයත් සැපතේදී ඉවසීමත් අවශ්‍ය වන්නේය" යන අර්ථය ධ්වනිත කරන ඒ සංස්කෘත ආප්ත වාක්‍යය තමාට ආත්ම ශක්තිය ලබා දෙන ප්‍රායෝගික ආවේශ වාක්‍යයක් බවට පෙරළා ගැනීමට අසෝකයන් සමත් වූයේ ඔහු ලද සංස්කෘත භාෂා ඥානයේ ඉෂ්ට ප්‍රතිඵලයක් ලෙසිනැයි මම උදක්ම විශ්වාස කරමි. අපූර්ව වස්තු නිර්මාණක්ෂම ප්‍රතිභාවකින් සන්නද්ධ ආත්ම බද්ධ මිත්‍ර අසෝකයෙනි ! ඔබගේ දෛව රාක්ෂස තෙමේ , ඔබට ආරෝග්‍යයෙන් දීර්ඝායුෂ්කව
නිධන ප්‍රාප්ත වන්නට ඉඩ නොදී නොකල්හි ඔබ ග්ලාන ම්ලාන කොට මංච පරායණ කර ලීම කොතරම් නම් අභාග්‍යයක්ද!
අසෝකයන්ගේ "සී මැදුරු කවුළුව" කාව්‍ය මංජරියෙන් ගත් මේ කවිය ඔහුගේ ජීවිතයත් චින්තනයත් හකුළා දක්වන ක්ෂුද්‍ර නිර්මාණ සංකේතයක් යැයි උදක්ම හඟිම්හ!
කෙළින් ඉරි
නොමැත අප ජීවිතයෙ.
ත්‍රිකෝණ සමචතුරශ්රද නොවේ.
අඩක් වියන ලද
පොල් අත්තකි එය
එහෙන් මෙහෙන් අග්ගිසි දික් වූ.
බොඳ වූ සිත්තමක්ය එය
පාට තැනින් තැන
විහිද ගලා ගිය.
හැඩයක්
රුවක් නොමැති
කටු කම්බි අකුලක්ය.
-
Category
විශේෂාංග -
Hits
671 times