චෙම්මීන් - තකෂි සිවසංකර පිල්ලෙයි
තකෂි සිවසංකර පිල්ලෙයි විසින් රචිත චෙම්මීන් (ඉස්සෝ) නමැති මලයාලම් නවකතාව ප්‍රථමයෙන් පළ වූයේ 1956දීය. එය ජයන්ත විමලසේන විසින් සිංහලට නගන ලද්දේ 1981දීය. මෙහි දැක්වෙන්නේ මා සතුව ඇති 1981 මිලදී ගත් කෘතියේ පිටකවරයයි.
චෙම්මීන් නවකතාවට තේමා වී ඇත්තේ කේරළයේ ධීවර ජිවිතයයි. එය ධීවර පවුලක් වාටා ගෙතුණු ශෝකාන්ත ප්‍රේමයකි.
කථකලි නර්නතන කලාවේ මාතෘභූමිය වන කේරලයට නවකතාකරණය සාහිත්‍යාංගයක් ලෙස එක්වූයේ 19 වැනි සියවසේදීය.
1912 උපත ලද සිවසංකර පිල්ලෙයි නවකතා දහයක්, කෙටිකතා හයසියයක් සහ චරිතාපදාන හතරක් රචනා කළේය. ඔහුගේ කෘති වැඩි ප්‍රමාණයක අන්තර්ගත වන්නේ 20 වැනි සියවසේ මැද භාගයේ කේරළයේ ජනජීවිතයයි.
සිවසංකර පිල්ලෙයිහට මෙම කෘතිය රචනා කිරීමට ගතවූයේ සති තුනකට නොවැඩි කාලයකි.
ඔහු 1947 රචනා කළ Thottiyude Makan නවකතාව මලයාලම් යාථාවාදි නවකතාවේ පුර්වාදර්ශය ලෙස සලකනු ලබයි. ඔහුගේ පළමු දේශපාලන නවකතාව වූයේ Randidangazhiය. එය එවක පැවැති වැඩවසම් සමාජයේ ශෝකාන්තය ඇසුරින් රචනා වූවකි.
චෙම්මීන් නවකතාව භාෂා 19කට පරිවර්තනය වූ අතර එම නවකතාව පාදක කර ගනිමින් විවිධ රටවල චිත්‍රපට 15ක් නිර්මාණය විය. එහි මලයාලම් චිත්‍රපටය චෙම්මීන් නමින්ම නිර්මාණය වූ අතර එහි අධ්යක්ෂවරයා වූයේ ප්‍රකට මලයාලම් සිනමාකරුවකු වූ රාමු කරියට්ය.
චෙම්මීන් නවතතාව සම්මාන රැසකට හිමිකම් කීවේය. එමෙන්ම එය සිවසංකර පිල්ලෙයි හට ජාත්‍යන්තර කීර්තියද ගෙන ආවේය.
1984දී ඔහු රචනා කළ Kayar නවකතාව ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.
තකෂි සිවසංකර පිල්ලෙයි මිය ගියේ 1999දීය එවිට ඔහුගේ වයස අවුරුදු 86කි.
මා ඉතා ආසාවෙන් කියවූ මෙම නවකතාව 1981 සිට මේ දක්වා වාර ගණනක් කියවා ඇත්තෙමි. එහි නව මුද්‍රණයක් මා කිසි දිනෙක දැක නැත (ඇතැම් විට මුද්‍රණය වී තිබෙන්නට පුලුවන) කෙසේ හෝ ඔබට මෙම කෘතිය සොයාගත හැකිනම් අපුරු නවකතාවක අත්දැකීම විඳ ගැනීමට අවකාශ සැලසෙනු ඇත.
-ප්‍රියන්ජන් සුරේෂ්-