සිය ආත්මීය අනන්‍යතාවයත්, විප්‍රවාසික ජීවිතයේ අර්ථයත්, එහෙමත් නැත්නං සමස්තයක් ලෙස ජීවිතයේම අර්ථය හොයාගෙන මාසගානක් තිස්සෙ යුරෝපයේ ඉඳල ලංකාවට පයිංම ආපු, එහෙම ආවයි කිව්ව හින්දම මගෙ ඔලුව ඇතුලෙ ලොකු ලව් එකක් ඇතිවෙච්ච, දෙවන පරම්පරාවේ ශ්‍රී ලාංකික ඉතාලියානුවෙකු වන සුරංග කටුගම්පලගෙ "පුතෙකුට" (for a son) සිනමාපටය තව දින කිහිපයකින් ඉතාලියේදී තිරගතවෙන්න නියමිතයි.
ලංකාවෙදි චිත්‍රපටි හදාගෙන රටගියපු, වීසා ලබාගැනීම සඳහා හිතලම ලංකාවට එන්න බැරිවෙන විදිහේ චිත්‍රපටි හදපු, ඩයස්පෝරාකම රස්සාවක් කරගත්තු බොරු ඩයස්පෝරාකාරයන්ගෙ චිත්‍රපටි කීපය අතඇරියොත්, මේක මම හිතන්නෙ ඇත්ත ශ්‍රී ලාංකික ඩයස්පෝරාවෙ පලවෙනි චිත්‍රපටයයි. තේමාව, රූපමය ගොඩනැංවීම, විප්‍රවාසික අධ්‍යාත්මයේ අතිසමීප නිරූපණය කියන කොයි පැත්තෙන් බැලුවත් ශ්‍රී ලාංකික විප්රවාසිකයන් ගැන මේ තරම් සංකීර්ණ මානයන්ගෙන් කතාකරන වෙනත් සිනමා පටයක් මීට කලින් හැදිල තිබුනෙ නැහැ.
තමාව කිසියම් සමාජයක ප්‍රධාන ප්‍රවාහය සමග ස්ථානගත කරගැනීමේ නොහැකියාව නිසා උපදින විවිධ මනෝ සංකීර්ණයන් අපි දන්න විදිහට ඕනෑම ආන්තික සමාජ කොටසකට යම් ප්‍රමාණයකට පොදුයි. මම හිතන්නෙ ලංකාවෙ බහුතරයක් දේශපාලන ප්‍රශ්නත් මෙවැනි විප්‍රවාසික මනෝසංකීර්ණ වල, එහෙමත් නැත්නම් විවිධ අනන්‍යතා අර්බුධ වල ප්‍රතිපල. ඒ වගේම එවැනි අර්බුධ ඉතිහාසය පුරාම පැවති සහ ඉදිරියටත් පවතින්න නියමිත, එක්තරා ප්‍රමාණයකට ලෝකයට අවශ්‍ය, ලෝක ඉතිහාසයේ ගමන්මග වෙනස් කිරීමට බලපාන මිනිසුන් බිහිකරනා නොනවතින ප්‍රවාහයක් බඳු මානසික ආකෘතියක්. ඉතිං එම ප්‍රජාවේ තිබෙන කිසි කලෙක කිසිඳු සමාජයකට නීට්ලි ෆිට් නොවන ගතිය තුලින් ඇතිවන මනෝසංකීර්ණය තමයි සුරංග තම චිත්‍රපටය සඳහා විෂය කරගන්නෙ.
කිසිඳු කෙමෙස්ට්රිමය සම්බන්ධයක් නොමැතිසේ පෙනෙන චරිත කිහිපයක දෛනික ජීවිතයේ තෝරාගත් චර්යාවන් ටිකක් ඔහේ සිද්ධවන අයුරු, සිනමා වෙරිටේමය ලෙස නිරීක්ෂනාත්මක දෘෂ්ඨියකින් රූපගත කරල තියෙන "පුතෙකුට" චිත්‍රපට කතාවේ මුල් භාගයට අනුව, එහි චරිත වල ස්වභාවය අපි දන්න ලාංකිකයන්ගෙ සම්බන්ධතාවල ස්වභාවයට වැඩිය තරමක් ඔඩ් විදිහට විසිරිලා තියෙන බවකුත්, එසේ විසිරීම නිසාම යම්කිසි අන්ඊසිනස් එකක් ජනිත වන බවකුත් පේන්න තියෙනව. හැබැයි ඒ නොගැලපෙන ගතිය හෝ අන්ඊසිනස් එක විප්‍රවාසික අනන්‍යතාවයේ පදනම බවත්, ඔවුන්ගේ අධ්‍යාත්මය ගොඩනැගෙන්නේම එවැනි අර්බුධයක් මධ්‍ය කොටගෙන බවත් කතාව ඉස්සරහට යද්දි පේන්න ගන්නව. විශේෂයෙන්ම ප්‍රධාන සමාජ ප්රවාහයට පිවීසීමට බාධකයක්ව පවතින තමස්වරූපයට පවා වෛර කරමින් ගන්ධබ්බ ජීවිතයක් ගෙවන ප්‍රධාන චරිතය වන, ශ්‍රී ලාංකීය විප්‍රවාසී මවගේ යොවුන් පුත්‍රයාගේ විඥාන ගලනය අතිශය සංකීර්ණ ගොඩනැංවීමක් බව කිවයුතුයි.
කෞශල්‍යා ප්‍රනාන්දු විසින් රඟන සාත්තුසේවිකාවක වන ශ්‍රී ලාංකීය විප්‍රවාසී මවත් ඇගේ යොවුන් පුත්‍රයාත් අතර ඇති විසම්බන්ධී-සම්බන්ධය මූලික කරගෙන යම්කිසි පෞද්ගලික හා ආත්මීය ස්වරූපයකින් පටන් ගන්නා මේ චිත්‍රපටයේ අත්දැකීම, පසුව ඉතාලියානු මවක් හා ඇයගේ ජීවන අත්දැකීමට චායාමය සමානකමක් දැක්වීම හේතුවෙන් ආත්මීයත්වයේ සිට විශ්වීයත්වයට එසවෙන බවක් අවසානයෙදි පේනව. හැබැයි සුරංගගෙ ට්‍රයි එක එහෙම විශ්වීයත්වයකට නැංවීම මගින් ලංකාවෙ කලාව සම්බන්ධයෙන් තියෙන සම්භාව්‍ය අදහසේදි වගේ ඒ ගැටලු සදාකාලික ස්වභාවික කරණයට ලක් කිරීම නෙමෙයි. ඔහුගෙ අරමුණ ඉතාලියානු පසුබිමෙහි තබා තම ආත්මීයත්වය තුලින් ගොඩනගන විප්‍රවාසික අධ්‍යාත්මයෙහි මදවේලාවක් අපිට ජීවත්වීමට ඉඩ සැලැස්වීමයි. මගෙ තක්සේරුව ඒක සෑහෙන්න දුරකට සාර්ථක බවයි.
* මාර්තු 30 ඉතාලියේදී තිරගතවන මෙම චිත්‍රපටය ලංකාවෙ හෝල් වලටනං කවද එයිද කියල කියන්න බැහැ. හැබැයි මේ මාසෙ (මාර්තු) 12 ඉරිදා සවස 3 ට ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේදී මේ චිත්‍රපටයේ ප්‍රදර්ශනයක් හා සාකච්චාවක් පැවැත්වීමට නියමිතයි කියල ආරන්චියි
-ඩෙනිස් පෙරේරා-
සබැඳි පුවත්