lan englan tam

විශේෂාංග

'මිහිර' මිහිරි මතක කියන තිඹිරි අයියා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'මිහිර' පුවත්පතද මුද්‍රණයේ දොර කවුළු වැසී යන යුගයේ 60 වසක් ඉක්බිතිව මුද්‍රණය කිරීම අවසන් කර තිබේ. පුවත්පත මේ වන විට වැඩිහිටියන්ව සිටින බොහෝ දෙනෙකුගේ ළමා මතක අතර සාර්ථක පදනම් සැකසූ එකක්ව පැවතියද කෙමෙන් කෙමෙන් පුවත්පත ගැන තිබූ අවධානය කල් ඉකුත් වෙමින් ගිය බව දකින්නට ලැබුණේ එහි අලෙවිය සම්බන්ධයෙන් තිබූ අඩුව හේතුවෙනි. ඉදිරියේදී වෙබ් පුවත්පතක් ලෙස එන බව කියන මිහිර මතකය අලුත් කළ කිහිප දෙනෙකු අතර පුවත්පත් ජනමාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාරද වේ.

මිහිර ගැන මිහිරි මතක

මිහිර ඉපදුණේ මගේ උපතින් දෙවසරකට පසු ව ය.එනම් මගේ මල්ලී උපන් 1964 දී ය.මගේ ලේඛන කලාව ආරම්භ වූයේ මිහිර පත්රයෙනි.ප්රාථමික පන්තිවල සිසුවකුව සිටියදීය.එකල මං ඉගෙනගත් තඹරව විදුහලෙන් මුලින් ම ඒ පත්රය ඇස ගැටුණේ දෙවැනි මහත්තයා (නියෝජ්ය විදුහල්පති]වන වින්සන්ට් මහතා නිසාය.ඔහු අපට මිහිර කියවන්නට දුන්නේය.එහි දුටු බටකොළ ආච්චි,යෝධයා,කමලා ළමා සමාජය මගේ සිත් ගත්තේය.
පත්තර මිලදී ගැනීමේ හැකියාවක් අපට නොවුණ ද මාර්ග සොයා ගත හැකි විය.එකල ගමේ ගුණවර්ධන මුදලාලිගේ කඩේ පත්තර තිබිණ.අපේ ගෙදර පිළිකන්නේ කොච්චි ගස් ඕනෑ තරම් විය.වියළි කොච්චි සේරුවක් ශත විස්සකට කඩේට මිලදී ගනු ලැබීය.මිහිර පත්රය ද ඒ මිලට ගත හැකි විය.
මුලින් ම මගේ ලියවිල්ලක් පළ වූයේ කමලක්කගෙන් අහන පැණයක් ලෙස ය.මා ඇසූ පැනය මෙසේ ය.
"අප එවන ගැටලු පළ නොකර කුණු බක්කියට දැමූ විට කවදා හෝ ඊජිප්තුවේ පිරමීඩයක් තරම් කන්දක් හැදෙයි.එදාට මොනවද කරන්නෙ?
කමලක්කාගේ පිළිතුර මෙසේ විය.
"එහෙම වෙන්න දෙන් නෑ.ඒක මිටි කන්දකට වඩා උස යන්න දෙන්නෙ නෑ."
මේ දෙබස දෙපැත්තට ම සරදමකි.වැඩේ නැගලා ගියේය.පත්තරය පන්තියේ අතින් අතට යෑමේ ප්රතිපලය වූයේ කමලක්කගෙන් ප්රශ්න අසා තැපැල්පත් යවන රැල්ලක් ඇති වීමය.එකල ගමේ ගෙවල් දෙක තුනකට ද ඒ පත්රය ගැනිණ.හැබැයි ඒ කවුරුවත් යැවූ ඒවා පළ නොවීය.
කැවුම් පෙට්ටිය මැයෙන් මිහිරට මා ලියූ කවියක් දුටු අපේ ලොකු අයියා එකල විද්යොදය විශ්ව විද්යාලයේ පළමු අවුරුද්දේ සිසුවකු ලෙස තමන්ට ලැබුණු මාසික බැංකු ණයෙන්(රු.75යි)රු.1.50ක් වැය කර මට සියල් පෑනක් තෑගි කළේය.එය අපූරු දිරිගැන්වීමකි.කටුපෑනෙන් ලියමින් සිටි මා තීන්ත පෑනට මාරු විය.
අපොස උසස් පෙළ ජීව විද්යා පන්තියේදී මා ලියූ සිනමා ලිපි ලේක් හවුසියෙන් පළ කළ සරසවියෙහි නිතර පළ විය.මිහිර අත්දැකීමෙන්
වසර හතළිස් ගණනකට පසුව ලේක් හවුසියේ වසර පහක් සේවය කිරීමේ අවස්ථාව මට ලැබිණ.එකල මිහිර කර්තෘ ජගත් හේවාමාන්නයි.යොවුන් ජනතා මිහිරි මතක සමග අප අල්ලාප සල්ලාපයෙහි යෙදීමේ ප්රතිපල ලෙස මිහිරෙහි මගේ ලිපි පෙළක් පළ විය."ලෝකය වෙනස් කළ මිනිස්සු"මාතෘකාව යටතේ පළ වූයේ විශිෂ්ට ගනයේ ලේඛකයන්,විද්යාඥයන්,දාර්ශනිකයන් යනාදීන්ගේ තොරතුරු ය.
එය කම්මැලිකමට නොලියූ අවස්ථාවල ජගත්ගේත් පාඨකයන්ගේත් ඉල්ලීම මත නැවත ලියැවිණ.ලේක්හවුසියෙන් පළ වු තරුණි වැනි පත්තර වෙළෙඳ අභියෝග හමුවේ කඩපොළක් බවට පත් වන විට මිහිර මිහිර ලෙස ම පැවතිණ.ළමා ලෝකය රසවත් කළ පත්තර දෙක හැටියට ඉතිරි ව තිබුණේ මිහිර සහ විජය පමණි.
ලේක් හවුසියේ වැඩ කළ දිනවල ඉඳහිට තලගොයකු මෙන් ඉපැරණි පුස්තකාලයට රිංගා පැරණි මිහිර පිටු පෙරලා බුලුවෙමි.
එහිදී මට මා හමුවිය.

එච්.එම්.විමලරත්න බණ්ඩාර
5 වැනි ශ්රේණිය
කු/තඹරව රජයේ විදුහල

මා ලේඛකයකු වුයේ මිහිර නිසා ය.මිහිර වැසී යෑම මට මගේ මුදුන් මුල අහිමි වීමක් වැන්න.ලොව කිසිදු දෙයක ස්ථිරසාර පැවැත්මක් නැත.ජීවිතය ද එබඳුය.සම්මුති සත්යය නොපවතී.පරමාර්ථ සත්යය පවතී.මිහිර පිළිබඳ මතක නොමැකේ.ක්රියාවලිය අපගේ ජීවිතාංශුවල පවතී. 

 

තිඹිරියාගම බණ්ඩාර

Back to top
Go to bottom

Popular News